Home » ලේ කිරි කර දුන්නත් ඔබ එදා මට අද මේ සිටින්නේ ඒ මගේ අම්මා ද?

ලේ කිරි කර දුන්නත් ඔබ එදා මට අද මේ සිටින්නේ ඒ මගේ අම්මා ද?

by thanushika
June 29, 2024 12:30 am 0 comment

ඕනෑම මවක් පියෙක් තම දරුවන්ට දක්වන ආදරය වචනයෙන් කියා නිම කළ නොහැකිය. එවැනි අම්මලා තාත්තලා තමන්ගේ දූ දරුවන් අපයෝජනයට අපහරණයට ලක්වීමට ඉඩ දෙනවා නම් ඊට අනුබල දෙනවා නම් වැටත් නියරත් ගොයම් කෑවාක් වැනි යැයි ඕනෑම කෙනෙකුට සිතන්නට වීම අරුමයක් නොවේ. තමන්ගේ දරුවන් පාපතරයන්ට බිලි දෙන අම්මලා ගැන හිතන්නටවත් බැරි වුවත් එවැනි මවක ගැන පසුගියදා වාර්තා වූයේ ගාල්ල, යක්කලමුල්ල පොලිසියෙනි. ඒ එම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සිදු කරන ලද විමර්ශනයකදීය.

අහස පොළොව පවා නුහුලන මේ අනූවේදනීය කතාව පියවරෙන් පියවර පෙළ ගැසෙන්නේ මෙසේය.

ඇය 42 හැවිරිදිය. ඕ තිදරු මවකි. ඇගේ සැමියා ඇය හැර ගොසිනි. සැමියා හැර යාමෙන් අනතුරුව ඇය සිය දරු තිදෙනා සමඟ ජීවිකාව ගෙන ගියේ දුෂ්කරතා රැසක් මධ්‍යයේය. ඇය ගෝනාපීනුවල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක වුවත් දරු තිදෙනා සමඟ තැනින් තැන ගොස් කුරුඳු තළා ජීවිකාව ගෙන ගියාය. ඕ මීට ටික කලකට පෙර කුරුඳු තැළීම සඳහා යක්කලමුල්ල ප්‍රදේශයේ ඉඩමකට පැමිණියා ය. ඒ සිය දරු තිදෙනා ද සමඟය. එම ඉඩමේම පිහිටි කුඩා නිවෙසක ඇයට නවාතැන් ලැබිණි.

මේ කාලය වන විට ඇගේ වැඩිමල් පුතු පැවිදි දිවියට පත්ව සිටි අතර පහළොස් හැවිරිදි දියණිය සහ එකොළොස් හැවිරිදි පුතු සමඟ ඇය එම නිවෙසේ පදිංචිව සිටියේ කුරුඳු තැළීම සිය ජීවනෝපාය ලෙස කරගෙන යන අතරතුරේදීය.

මේ කාලයේදී ඇය එම ප්‍රදේශයේම පදිංචි විසිහය හැවිරිදි තරුණයකු සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගියාය. මේ අතර එම පුද්ගලයා ඇගේ නිවෙසට ද යාමට ඒමට පටන්ගෙන තිබිණි.

කාලය මෙසේ ගතවෙද්දී මේ මව සිය 15 හැවිරිදි සිය දියණියට යෝජනාවක් කළාය. ඒ ඇගේ අනියම් පෙම්වතා වන 26 හැවිරිදි තරුණයා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වන ලෙසටය. මවගේ යෝජනාවෙන් දියණිය පුදුමයට පත් වූවාය. ඇය එම යෝජනාව පිළිකුලෙන් බැහැර කළේ ඒ ගැන මවට ද දෝෂාරෝපණය කරමිනි. මේ මව මේ සම්බන්ධයෙන් දියණිය සමඟ ආරවුල් ඇතිකර ගත්තාය. එතැනින් නොනැවතුණු ඕ දියණියට බල කළේ 26 හැවිරිදි පුද්ගලයා සමඟ අඹු-සැමි ඇසුර පවත්වන ලෙසටය.

අම්මාගේ මේ සිත්පිත් නැති යෝජනාවෙන් දියණිය කම්පාවට පත්වුවත් ඇයට කළ හැකි දෙයක් නොවීය. 26 හැවිරිදි පුද්ගලයා පසුගිය දිනෙක නිවෙසට පැමිණි අවස්ථාවේදී මේ මව ඔහු කාමරයකට යවා දියණිය ද ඊට බලෙන් දමා දොර අගුළු දමා දියණියට පවසා ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයා සමඟ අඹු – සැමි ඇසුර පවත්වන ලෙසය.

මවගේ මේ ක්‍රෑර එසේම සාහසික ක්‍රියාව ඉවසාගත නොහැකිව 15 හැවිරිදි දියණිය පහුගිය දිනෙක නිවෙසින් පිටවී අසල නිවෙසකට ගොස් ඇත්තේ දුරකතන ඇමතුමක් ලබා ගැනීම සඳහාය. එම නිවෙස හිමි කාන්තාව එම දැරිය සමඟ කතාබහ කරද්දී දැරිය තමාට මුහුණපාන්නට සිදුවී ඇති සිද්ධිය එම කාන්තාවට පැවසුවාය.

වහාම මේ සිද්ධිය පොලිසියට දැනුම් දීමට එම කාන්තාව පියවර ගත්තාය. යක්කලමුල්ල පොලිසියේ නිලධාරින් එහි පැමිණ සිද්ධිය විමර්ශනය කර සැකකාර 43 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූ අතර දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු ෙකරිණි.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඇය මීට පෙර අතවරයට ලක්ව ඇති බවය. පොලිසිය ඉන් අනතුරුව සිදු කරන ලද විමර්ශනයේදී හෙළි වන්නේ සැකකරු අතින් ඇය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පළමුවරට අතවරයට ලක්ව ඇති බවකි.

මේ දැරියට අතවර කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන පවත්වද්දී හෙළි වන්නේ ඔහු ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බවකි.

සැකකාර 43 හැවිරිදි මව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. දැරිය පරිවාස භාරයට පත්කරන ලෙස ද නියෝග කෙරුණ අතර 11 හැවිරිදි පුතු ද තාවකාලිකව පරිවාස භාරයට පත් කැරෙන්නේ අධිකරණ නියෝග මතය.

ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ ගේ උපදෙස් මත යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන හේවගේ, කාන්තා පොලිස් පරීක්ෂිකා චෞද්‍රි, සැරයන් (40081) සෝමසිරි යන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කළහ.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division