රට පුරා ප්‍රදේශ රැසක පොලිස් වසම් තුළ කිරි ගොවියන්ට සහ ගව පට්ටි හිමියන්ට මහත් හිසරදයක් වන අන්දමින් ආරක්ෂක අංශවලට අභියෝග කරමින් ප්‍රදේශ රැසක ගව සොරකම් පසුගිය කාලය තුළ වාර්තා විය.
මින් වැඩි බලපෑමක් එල්ල වූයේ වයඹ පළාතටය. වයඹ පළාතේ පොලිස් වසම් තුළ දිනෙන් දින ගව සොරකම් පිළිබඳව පොලිස් පොතේ සටහන් වන පැමිණිලි සංඛ්‍යාව වැඩිවෙන්නට පටන් පටන් ගැනිණි. ගව මස් මිල ඉහළ යාමත් රාත්‍රී කාලයේදී පාළු ප්‍රදේශවලට ගොස් පහසුවෙන් මෙම ගව සොරකම් සිදු කිරීමට ඇති හැකියාවත් ගව සොරකම් වැඩීවීමට හේතුව බව අනාවරණය විය.
කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවලට මෙසේ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමත් සමඟ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පුත්තලම දිස්ත්‍රික්කය තුළ සිදුවන ගව සොරකම් සංඛ්‍යාව වැඩි බවට හඳුනා ගැනීමෙන් පසු පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ විශේෂ අවධානය මේ පිළිබඳව යොමු කිරීමට පියවර ගත්තේය. මෙලෙස පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් වයඹ ගව සොරකම් වැළැක්වීමට කටයුතු කරමින් සිටියදී ඉකුත් හයවැනි දින වෙන්නපුව පොලිස් ස්ථානයට වාර්තා වූ රුපියල් ලක්ෂ අටක් වටිනා ගව සොරකම් දෙකක් සම්බන්ධව පොලිසියේ දැඩි අවධානය යොමු විය.
වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චිගේ උපදෙස් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ අවධානය යොමු කරමින් දිවා රාත්‍රී විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කළේ පොලිස් කණ්ඩායම් සහ බුද්ධි නිලධරයන් යොදවාය. ඒ අනුව ඉකුත් දහතුන් වැනි දින පොලිස් කණ්ඩායම් තෝප්පුව මංසන්ධියේ රාත්‍රී අපරාධ නිවාරණ රාජකාරි නිරතව සිටියදී කොළඹ දෙස සිට වෙන්නප්පුව දෙසට ධාවනය වූ සැක කටයුතු වෑන් රථයක් නැවතීමට සංඥා කිරීමේදී එය නොනවත්වා ධාවනය වූ අතර එය එම අවස්ථාවේ අපරාධ නිවාරණ රාජකාරියේ නිරතව සිටි රථවාහන අංශයේ කොස්තාපල් 68337 ප්‍රනාන්දු සහ 687370 ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා තෝප්පුව මංසන්දියේ සිට වෑන් රථය පසුපස හඹා යෑමට කටයුතු කළේය. වෑන් රථය පොලිස් යතුරුපැදිය ගමන් ගත් පොලිස් නිලධාරීන්ගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරමින් ඉතා වේගයෙන් අතුරු මාර්ග ඔස්සේ ගමන් කරමින් වයික්කාල කම්මල ප්‍රදේශයේ වෙරළ තීරයේ නවතා තබා පලා යාමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් දෙදෙනා සූක්ෂම ලෙස වෙනත් මාර්ගවලින් පැමිණි අවස්ථාවේ වෑන් රථයේ ගමන් ගත් පස්දෙනාගෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. දෙදෙනෙක් පලා යන ලදි.
මෙම වෑන් රථය පරීක්ෂා කිරීමේදී සොරා ගන්නා ලද ගවයකු එහි සිටි අතර තවදුරටත් එය පරීක්ෂා කිරීමේදී සැකකරුවන් සන්තකයේ තිබී ජීව අත්බෝම්බ දෙකක්, කඩු තුනක්, විවිධ වර්ගයේ පිහි කීපයක්, ගවයින් බැඳීමට ගන්නා කඹ කීපයක් සහ ව්‍යාජ අංක තහඩු හයක් සොයා ගැනීමට හැකි විය. අත් අඩංගුවට ගත් සැකකරුවන් ඇහැලියගොඩ සහ කොළඹ පදිංචි අය වෙති. ඔවුන් වයස අවුරුදු 40, 37 සහ 27 වියේ පසුවන්නෝය. සොරා ගන්නා ගවයින් ඇහැලියගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යන ගව පට්ටි හිමියෙකුට අලෙවි කරන බව අනාවරණය විය.
සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙරට ප්‍රදේශ ගණනාවකින් මෙසේ ගවයන් සොරකම්කර ඇති බවයි.
ව්‍යාජ අංක තහඩු එක් එක් ප්‍රදේශවලදී වෙනස් කරමින් වාහනවලට යොදවා ගව සොරකමේ නිරතව ඇති බව හෙළිවී ඇත.
මේ සංවිධානාත්මක ගව සොර කල්ලියේ තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය මඟින් සිදුකළ හෙළිදරව්වකින් පසු බොහෝ ප්‍රදේශවල ජනතාව තම ගවයන් සොරාගෙන ඇති බවට ඉදිරිපත් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව සොයා බැලීමට වෙන්නප්පුව පොලිසිය දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.
මෙසේ ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කිරීමේදී දූෂණ මර්දන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන ඇතුළු පොලිස් කණ්ඩායමක් ඇහැලියගොඩ ප්‍රදේශයට පිටත්ව යන්නේ ලද තොරතුරකට අනුවය. පොලිස් නිලධාරීන් විවිධ වෙසින් පෙනී සිටිමින් ඇහැලියගොඩ ප්‍රදේශයේ සැරිසරමින් මෙහෙයුම් දියත් කරන්නේ ඉන් අනතුරුවය. තොරතුරු රැසක් මෙහිදී අනාවරණය විය. ඒ අනුව ගව ඝාතකාගාරය පවත්වාගෙන යන ස්ථානය වැටලීමට කටයුතු කැරිණි. එම අවස්ථාවේ එහි හිමිකරු පලාගොස් තිබේ. අනතුරුව එහි සිටි කාන්තාවක් සහ තවත් දෙදෙනෙක් ගවයන් දසදෙනකු සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
වෙන්නප්පුව, දංකොටුව, බෝපිටිය, පමුණුගම යන ප්‍රදේශවලින් මෙම ගවයන් සොරාගත් බව හෙළි විය. ගවයන් අතර කිරි එළදෙනුන් තිදෙනෙක් සහ පැටවුන් ද විය. සැකකරුවන් හා සැකකාරිය ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
මෙසේ සොරා ගන්නා ගවයන්ගේ ගව මස් කිලෝ එකක් සඳහා රුපියල් 700ක් සොරකමේ යෙදෙන කණ්ඩායමට ලබා දෙන බවද මෙහිදී සිදුකළ විමර්ශනවලදී හෙළි විය.
මෙම මහා පරිමාණ ජාවාරම රටපුරා පවත්වාගෙන යන බවට තොරතුරු හෙළි වී ඇති බැවින් මීට සම්බන්ධ තවත් සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරන බව වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.
වෙන්නපුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන, උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන, සැරයන්වරුන් වන 31904 සෝමරත්න, 8457සේනක, 54923 ශාන්ත, කොස්තාපල්වරුන් වන 68337 ප්‍රනාන්දු, 68737 ජයසුන්දර යන නිලධාරීන් වැටලීම සඳහා සහභාගි වූහ.