ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදකයින්ගෙන් වැඩි පිරිසක් සිටින වියළි කලාපයේ කිරි ගවයන්ගේ කිරි නිෂ්පාදනය නියං සමයේදී සැලකිය යුතු ලෙස අඩුවීමේ කලක පටන් පවතින ගැටලුවට පිළියම් සෙවීමට පර්යේෂකයන් කණ්ඩායමක් නව වැඩපිළිවෙළක් දියත් කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන ආචාර්ය කේ. එෆ්. එස්. ටී. සිල්වාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකත්වය යටතේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා අපනයන කෘෂිකර්ම පීඨයට අනුබද්ධ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන ආචාර්ය දේශානි සී. මුදන්නායක, ආචාර්ය නිශානි අබේසිංහ සහ කථිකාචාර්ය නාමල් රණවීර යන නිලධාරීන්ගෙන් සමන්විත වූ පර්යේෂකයන් කණ්ඩායමක් මේ සඳහා පිළියම් සොයමින් ක්ෂේත්‍ර අධ්‍යයනයක් සහිත විවිධ පර්යේෂණ සිදු කරන ලදී.
එහි ප්‍රතිඵලය ලෙසින් සකස් කළ තාක්ෂණික ක්‍රමවේද සහිත මාර්ගෝපදේශන අත්පොත, ‘Farmer Manual on Drought Resilient Dairy Farming in the Dry Zones of Sri Lanka’ යන නමින් 2024 ජුනි මස 25 වන දින, බදුල්ල ‘RIVER SIDE’ හෝටල් පරිශ්‍රයේදී විශ්වවිද්‍යාල ප්‍රජාව, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (DAPH) සහ රාජ්‍ය සහ පෞද්ගලික කිරි සැකසුම් ආයතන ලෙසින් වන කිරි කර්මාන්තය සඳහා ඍජුව හා වක්‍රව සම්බන්ධ වන කොටස්කරුවන් හමුවේ එළිදක්වන ලදී. එමෙන්ම මෙම අත්පොත, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ග්‍රාමීය කිරි නිෂ්පාදකයන් වෙත බෙදා හැරීමට ද නියමිතයි.