මෝටර් රථ නිෂ්පාදනය/එකලස් කිරීම හා උපාංග නිෂ්පාදන කර්මාන්තය විටින් විට ආරම්භ වුවද 2020 වසර අවසාන වන තෙක් මෙම ක්ෂේත්‍රයට රජයේ පූර්ණ අනුග්‍රාහකත්වයක් නොලැබුණු අතර 2021 වසරේ කර්මාන්ත අමාත්‍යාංශය මුල් වී අනෙකුත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සමඟ එක්ව මෝටර් රථ එකලස් කිරීම/නිෂ්පාදනය කිරීම හා උපාංග නිෂ්පාදනය කිරීමට අදාළව සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) හඳුන්වා දෙන ලදි. කර්මාන්ත අමාත්‍යාංශයේ කාර්යභාරය වන්නේ ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් කරා රැගෙන යාමේ රාජ්‍ය ප්‍රතිපත්තිය මත දේශීය නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය වර්ධනය කිරීමයි. මේ සඳහා නිෂ්පාදන කර්මාන්ත 20ක් හඳුනාගෙන ඇති අතර ඒ අතරින් මෝටර් රථ එකලස් කිරීම/නිෂ්පාදනය කිරීම සහ මෝටර් රථ උපාංග නිෂ්පාදනය කිරීම ප්‍රමුඛස්ථානයක් උසුලයි.
මේ බව අනාවරණය වූයේ පසුගිය දිනෙක කොළඹ මාධ්‍ය හමුවක් පවත්වමින් වාහන එකලස් කිරීමේ කර්මාන්තකරුවන් හා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ද ඉදිරිපත්කළ අදහස් ඇසුරිණි.
මේ අනුව කර්මාන්ත අමාත්‍යාංශයේ මුල් වීමෙන් මෙම කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ මෝටර් රථ උපාංග නිෂ්පාදනය සහ එකලස් කිරීමේ උපදේශන කමිටුවක් ද පිහිටුවා ඇති අතර මෙම කර්මාන්තය තුළ නියැළී සිටින කර්මාන්තකරුවන් නියෝජනය කරමින් නිලධාරීන් පත් කරනු ලබයි.
ශ්‍රී ලංකාවෙහි වාහන එකලස් කිරීම/නිෂ්පාදනය කිරීම විටින් විට සිදු වුව ද, සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළින් එම කර්මාන්තය නියාමනය කිරීම, ප්‍රවර්ධනය කිරීම යන අරමුණු ඇතිව ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන්ගේ අදහස් ගොනු කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ සම්මත මෙහෙයුම් පටිපාටිය කර්මාන්ත ඇමති විසින් 2020/12/16 වන දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, 2021/01/11 දින කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මේ අනුව වාහන නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයේ නව පරිච්ඡේදයක් මේ අසුරින් ගොඩනැඟීමට අරමුණු කරනුයේ පහත සඳහන් අපේක්ෂා ඉටු කිරීමට අවැසි වාතාවරණය සකසමිණි.
(1) ඕනෑම දේශීය හා විදේශීය ආයෝජකයකුට මෙරට වාහන නිෂ්පාදන/එකලස් කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයට විශ්වසනීයභාවයකින් යුතුව ආයෝජනය කිරීමට අවස්ථාව ලබා දීම.
(2) දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යායක් (DVA Formula & XID Metrix) හඳුන්වා දීම තුළින් වාහන උපාංග නිෂ්පාදන කර්මාන්තය වේගවත්ව ප්‍රවර්ධනය කිරීම.
(3) වාහන එකලස් කරන කර්මාන්ත හා උපාංග නිෂ්පාදන කර්මාන්ත මුල්කර ගනිමින් ජාත්‍යන්තරව පිළිගත් නවීන තාක්ෂණය රට තුළට රැගෙන ඒම සහ විශ්ව විද්‍යාල හා තාක්ෂණ විද්‍යාලවල පර්යේෂණ හා සංවර්ධන අංශ ප්‍රවර්ධනය කිරීම.
(4) ඉංජිනේරු හා තාක්ෂණ විෂයයන්ට අදාළව තාක්ෂණ නිලධාරීන්, ඉංජිනේරුවන් දසදහස් ගණන් පුහුණු කිරීම සහ පුහුණුවෙන් පසු රැකියා ලබා දීම හෝ විදේශගතව ඉහළ වැටුපකට රැකියාව කිරීමට අවශ්‍ය පුහුණුව ලබා දීම,වැනි අරමුණු රාශියක් ඉටුකරගැනීම අපේක්ෂා කරයි.