Home » කේන්දරේ 7 වැන්නේ පිහිටි ග්‍රහයන් හෙළිකරන විවාහ රහස්

කේන්දරේ 7 වැන්නේ පිහිටි ග්‍රහයන් හෙළිකරන විවාහ රහස්

කාන්තා කේන්ද්‍රයක චන්ද්‍රයා හතේ නම් ස්වාමියාට පණමෙන් ආදරෙයි

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

ලැබෙන පෙම්වතා පෙම්වතියගේ ගතිගුණ 7 වැන්නෙන් කිව හැකියි

කේන්දර සටහනක 7 වන රාශිය ආදරය සහ ප්‍රේමය පදනම් කරගත් විවාහය ගැන කියැවෙන්නකි. 7 වැන්න විවාහයේ සාර්ථකත්වය, අසාර්ථකත්වය, ගැටුම්, වෙන්වීම දික්කසාද, නීති ප්‍රශ්න, දෙවන විවාහයක් වශයෙන් කරුණු රාශියක් ගැන කියැවෙන්නකි.

7 වන රාශියේ ග්‍රහ පිහිටීම්, ග්‍රහ සංයෝග, ලග්නාධිපතිගෙන් 7වන රාශිය, 7 වන රාශි අධිපතියා සිටින ස්ථාන පවා විවාහ ජීවිත පිළිබිඹු කරන ස්ථානයන්ය.

ආදරය, ප්‍රේමය වැනි සොඳුරු ගමන් මඟක පියමන් කරන ඕනෑම තරුණයකු, තරුණියක මුලිින්ම උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය, ලග්නය, නැකත ආදිය ගැන අසන්නේ නැත. එසේම කුජදෝෂ ඇත්ද, ශනි මංගල දෝෂ ඇත්ද, පොරොන්දම් බලමුද කියා අසන්නේ නැත.

නෙතින් හඬින් රුවෙන් පළමුව දැන හඳුනාගෙන ප්‍රේමයකට මුලපුරන කෙනෙකු ටික කලක් ගතවූ පසු විවාහ අපේක්ෂාවට යොමුවීම සිරිතකි. එවිට රැකියාව, කුලගොත්, වත්පෝසත්කම්, මව්පිය, ඥාතීන් ගැන අවධානයකට යොමු කිරීමට සිදුවේ. කුමන ජාතිකයෙකුට වුවත්, කුමන ආගමිකයෙකුට වුවත් දෙමාපිය වැඩිහිටි බලපෑම මත ඉහත කරුණු කෙරේ අවධානය යොමුකිරීමට සිදුවේ.

ප්‍රේම කිරීමේ වැදගත්ම අවසාන අරමුණ වන්නේ විවාහයයි. ඊළඟට දරුවන් ලැබීමයි, එනම් මවක පියෙකු බවට පත්වීමයි. දරුවන් ලැබුණු පසු සමාජ වගකීම් රැසකට මුහුණ දීමයි. විවාහ ජීවිතයේ මෙම භාර ධූරම වගකීම මුළු ජීවිත කාලය තුළම ඉටුකළ යුක්තකි.

කොහේවත් ලොවක සිට කුසතුළට පැමිණි ආත්මයක් දරුවෙකු ලෙසින් බිහිවූ පසු ළදරුවෙකු, පුතෙකු හෝ දුවක වශයෙන් භාරගෙන ළමාවිය, තුරුණුවිය, වැඩිහිටි විය දක්වා පුණ්‍ය කර්ම රැසක් ඉටුකිරීමට සිදුවේ.

කිරිපිටිදී පෝෂණය කිරීම, පොත්පත් ඇඳුම් පැලඳුම් සපත්තු ආදිය සැපයීම, තරුණ වියේදීද, රැකියාවක් ලැබෙන තුරුද, විවාහයක් වන තෙක් ද රැකබලා ගැනීම, වියදම් කිරීම දාන පාරමිතාවකි.

මෙසේ බලද්දි ටික දිනක් ඇසුරු කරද්දී කේන්දර සටහන ගෙන්වාගෙන පරීක්ෂා කිරීම වටනේය. බොහෝ කලක් ප්‍රේමාස්වාදය විඳ අත්නොහරින තත්වයට පත්වන විට බොහෝ දෙනෙකුට කේන්දරය බාධාවක් වේ. ඇතෙමෙකුට කේන්දරයම වාසනාවක් වේ.

මව්පිය වැඩිහිටියන් තම දරුවාගේ ජීවිතය කෙරෙහි දක්වන අවධානය වනුයේ අනාගතය වටහා ගැනීමටය. පොරොන්දම් බැලීම, අෂ්ටකූඨ බැලීම, භෞම දෝෂ බැලීම, මාරක අපල බැලීම, දරුපල බැලීම ආදිය කරනුයේ දෙදෙනාගේ විවාහ ජීවිතය පිළිබඳව පූර්ව නිගමනයකට එළඹීමටය.

ප්‍රේම කර දිගුකලක් ගතවී කේන්දර පරීක්ෂාව ඇතෙමෙකු කලකිරීමට පත්වීම, අසහනයට පත්වීම, ආදරය බිඳ වැටීම, උමතුවීමකට පවා හේතු වන්නකි.

“පනින්ට පෙර සිතා බලමු” කීවාසේ විනෝදයට ප්‍රේම කරනවා වෙනුවට සැබැ යුගදිවියක් අරමුණු කරගෙන ප්‍රේම කරමින් කේන්දර පරීක්ෂාවට යොමුවීම වැදගත්ය.

බොහෝ දෙනෙකුගේ විවාහය සඳහා පොරොන්දම් පරීක්ෂා කිරීමේදී විසි පොරොන්දම් 90% ඉක්මවන අයද, අෂ්ට පොරොන්දම 90% ඉක්මවන අවස්ථා අඩුය.

එනිසා 7 වන රාශිය ගැන අවධානය යොමුකර පරීක්ෂාකර බැලීමේදී 7හි සිටින ශුභ ග්‍රහයින්, 7 අධිපති හි සිටින ශුභ වෙනත් රාශි, 7 අධිපතියා සමඟ සංයෝග වූ ශුභ ග්‍රහයින්, 7 රාශියට ශුභ දෘෂ්ටි වැටෙන රාශිවල සිටින ග්‍රහයින් කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතුය. එපමණක් නොව කුජ සිකුරු යෝගය ප්‍රේම විවාහයකට තුඩුදෙන්නකි. පිරිමි කේන්දරයක සිකුරු සිටින රාශිය හා යෝගවූ ග්‍රහයින් අනුව සහකාරිය ගැනද ගැහැනු කේන්දරයක කුජගෙන් සහකරු ගැනද සොයා බැලිය හැකිය.

තවද සහකරු හෝ සහකාරිය වීමට සිටින අයගේ වෘත්තිය, ගතිගුණ, කෞශල්‍ය, ලැබීම්, ගේදොර, මව්පිය, අධ්‍යාපනය ගැනද කේන්දරයෙන් සොයාගත හැකිය. එපමණක් නොව 2, 5, 10, 11, 9 රාශි අධිපතීන් සමඟ කුජ හෝ සිකුරු හෝ 7 අධිපතීන්ගේ සංයෝග දෘෂ්ටි ද සොයා බැලිය යුතුය.

පාසැලේ ප්‍රේමයක් ද, රැකියාවේ ප්‍රේමයක් ද, සරසවියේ ප්‍රේමයක් ද, ව්‍යාපාරයේ ප්‍රේමයක් ද, දේශපාලනයේ ප්‍රේමයක් ද කියා සොයාගත හැකිය. කලාවට ලැදිද, දහමට ලැදිද උගත්කමක් වේද, භූමි ලාභ තිබේද, ගේදොර යානවාහන ලැබේ ද යන්න 7 සහ ශුභ ග්‍රහ පිහිටීම් මගින් දැනගත හැකිය.

7 රාශිය විවාහයට මෙන්ම මාරක ස්ථානයක් ලෙස ද සැලකේ. 8 රාශිය ආයුෂ, අනතුරු ගැනද කියවෙන්නකි. 11 ද ආදායම් මෙන්ම තවත් මාරක ස්ථානයකි. 12 රාශිය වැය ස්ථානයකි. මෙසේ බලන විට පොරොන්දම් ගැලපීමට එහා ගිය අධ්‍යයනයක් රාශිවල ග්‍රහ පිහිටීම් කෙරේ යොමුවිය යුතුය. ශුභ ග්‍රහ දෘෂ්ටි යෝග මගින් අශුභ අපල මඟ හැරේ.

කාන්තා කේන්දරයක 7හි චන්ද්‍රයා සිටීනම් ස්වාමිභක්තිය ඇතිව ආදරයෙන් සිටින කෙනෙකු වේ. චන්ද්‍රයා 8 සිටී නම් නොයෙක් ප්‍රශ්න ඇතිවී මානසිකව දරාගත නොහැකිව දිවිතොර කරගන්නා පිහිටීමක් ලෙස සැලකේ.

රවි ග්‍රහයා සහ බුධ ග්‍රහයා 7හි එකට සිටීනම් තර්ක විතර්ක ප්‍රශ්න ඇතිවී විවාහ දිවිය දික්කසාදයකින් නිමැවේ. කේතු ග්‍රහයා 7 සිටී නම් දෙවන විවාහයකට යයි. එක්කෝ දිගුකලක් ප්‍රේම කර වෙන්වී වෙනත් විවාහයකට යයි.

සඳු, ගුරු, බුධ සහ සිකුරු යන ග්‍රහයින්ගෙන් 2ක් හෝ වැඩි ගණනක් 7හි සිටී නම් හොඳ පෙනුම හැඩරුව ඇති දක්ෂ බිරියක් ගුරු මකරයේ සිට 7හි කුජ සමඟ සිටී නම් එක බිරියකට වඩා සිටී. සිකුරු වෘශ්චිකය වී 7 හි යෝග වී ශනිගේ දෘෂ්ටි වැටී ඇත්නම් බිරියගේ ආයුෂයට අනිසි බලපෑමක්වේ. ශනි මීනයේ වී 7 හි රවිගේ දෘෂ්ටි වැටී නම් බිරියගේ ආයුෂ අඩුවේ. තවද සඳු ශනි 7හි නම් දෙවන විවාහයකට යයි. යුරේනස් 7 හි නම් අසතුටුදායක විවාහයකි. එසේම නැප්චූන් සිටී නම් අසතුටුදායකය.

කෙසේ නමුත් උප්පත්ති ග්‍රහ පිහිටීම්, ග්‍රහ ගමන්, ග්‍රහයෝග, මහ දශා, අතුරු දශා සහ පොරොන්දම් ගැලපීම් කෙරේද අවධානය යොමු කිරීම වැදගත්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division