සම්මානනීය විදත් මාධ්‍ය ප්‍රවීණයෙකුගේ අභාවයේ තෙමස් පූර්ණය දින කිහිපයකට ඉහත දී යෙදී තිබිණ. ඒ අන් කවරෙකුත් නොව ගුවන් විදුලි මාධ්‍යයෙන් රට හඳුනාගත් අසෝක තිලකරත්නයි. එතුමන් සිංහල හෝඩියේ අකුරු නිරවුල්ව සහ නිරායාසයෙන් නිවැරදිව උච්චාරණය කිරීමේ සමතෙක් බව විදත් මාධ්‍යයට ළැදි බොහෝ අය හඳුනාගෙන සිටියහ.
අසෝක තිලකරත්නයන් මා මුලින්ම දුටුවේ වෙසක් ක්‍රියාකාරකමක් වාර්තා කිරීමට ගුවන්විදුලියෙන් පැමිණි වැඩසටහන් නිෂ්පාදකයෙකු හැටියටය. ඒ වන විට පාසැල් ශිෂ්‍යයෙකු වූ මම, එම ක්‍රියාකාරකමේ ම ශබ්ද විකාශන භාරව සිටියෙමි.
මා ගුවන් විදුලියේ සහන නිවේදකයෙක් වූ පසුව වාසනාවකට මෙන්, මේ ජ්‍යෙෂ්ඨයා සමඟ එකට කටයුතු කිරීමට ඉඩ ලැබිණ. අප දෙදෙනාගේම නම් දෙක තිලකරත්න වීම ඇතැම් අයට ගැටලුවක් වී තිබිණ. බොහෝ අසන්නෝ අප නෑදෑයෝදැයි ප්‍රශ්න කළහ. අප ඒ ප්‍රශ්නයට ‘නෑ’ කියන්නට ගියේ නැත. පිළිතුර වූයේ “විශ්වාසා පරමා ඥාතී” යන්නයි. එය එසේම විය.
1990 දශකයේ මුල් භාගයේදී ‘ශනිදා උදාව’ නමින් සජීව වැඩසටහනක් ස්වදේශීය සේවය සහ සියලූම ප්‍රාදේශීය සේවා එක්ව ප්‍රචාරයට යොදා තිබිණ. එම වැඩ සටහන කොළඹ සිට මෙහෙයවනු ලැබුවේ අසෝක අයියා සහ මා විසිනි. වැඩසටහන අවසානයේ අපි දෙන්නා වෙන වෙනම අපේ නම් කියමු.
මම චන්දන තිලකරත්න
මම අසෝක තිලකරත්න
එක් දිනක් වැඩසටහන අවසන් කරන මොහොතේ අසෝක අයියා මැදිරියේ සිටියේ නැත. මේ නිසා නම් දෙකම කීවේ මම ය. වැඩසටහන අවසන් වී ආපසු ආපනශාලාවට යන අතරතුර ඔහු සිනාසෙමින් මා ඇමතීය.
“මම ‘අශෝක’ නෙවෙයි ‘අසෝක’.”
සිංහල භාෂාවේ ‘ස’ යනු තුනක් තිබුනත් ඒවාට වෙන වෙනම වැදගත්කම් තිබෙන බව, මා පළමු වතාවට හිතන්න පටන් ගත්තේ එදාය.
මේ ‘ස’යනු ප්‍රශ්නය බරපතල ලෙස දැනුනු තවත් අවස්ථාවක් විය. ඒ 1994 හෝ 95 දී ය. කොළඹ පදනම් ආයතනයේ පැවති සුනිල් සාන්ත අනුස්මරණ උත්සවයක නිවේදන කටයුතු මට පැවරී තිබිණ. ඒ වැඩේට මට ආරාධනා කළේ විජිත් කුමාර සේනාරත්න මහතාය.
මම හැකිතාක් ඉහළින් වැඩේට සූදානම්ව නිවේදන කටයුතු ආරම්භ කළෙමි.නමුත් සුනිල් සාන්ත මැතිනිය කෝපයට පත්ව ඇතැයිද වහාම ඇය හමුවන ලෙස ද මට කවුදෝ ඇවිත් කීවේය.
ඊළඟ විරාමයේ දී, ඉදිරි පෙළ අසුනක හුන් ඇය වෙත ගොස් මම ඈ වෙත හිස නැමීමි. එතුමිය කෝපයට පත්වූ බවක් පෙනුනේ නැත. නමුත් මගේ මහත්තයාගේ නම හරියට කියන්නයි ඇය ඉල්ලා සිටියාය.
“එතුමා සුනිල් සාන්ත. ශාන්ත නෙමෙයි.”ඇය අවධාරණය කළාය.
මට ලැජ්ජා සිතිණ. ඒ වන විට අප දැක තිබූ ගුවන් විදුලි සංස්ථා සෑම තැටියකම එතුමන්ගේ නම සඳහන් වූයේ සුනිල් ‘ශාන්ත’ යනුවෙනි. විජිත් කුමාර සේනාරත්නයෝ වැඩසටහන අවසන සුනිල් සාන්තයන් පිළිබඳ පොතක් මා අත තැබූහ. එයින් නොනැවතී මම එතුමා ගැන තවත් කරුණු සොයන්නට පටන් ගත්තෙමි.
මා කියවා ගත් කරුණු අනුව සුනිල් සාන්තයන්ගේ මුල් නම බද්දලියනගේ දොන් ජෝසප් ජෝන් ය. එතුමන් ශාන්ති නිකේතනයේ සංගීතය හදාරා ලංකාවට ආවේ ඊට ගැළපෙන ලෙස තම නම ‘සුනිල් ශාන්ති’ යනුවෙන් වෙනස් කරගෙනය. ඒ නමින් ඔහු ශ්‍රී ලංකාව තුළ ද රවීන්ද්‍ර සංගීතය ව්‍යාප්ත කරලීමට කටයුතු ආරම්භ කළේය.
එහෙත් ටික කලකින්ම දේශීය සංගීතය පිළිබඳව වැඩි වැඩියෙන් සිතන්නට සුනිල් සාන්තයන් පෙලඹී තිබේ. කුමාරතුංග මුනිදාසයන්ගේ බලපෑම ඊට ප්‍රබල සාධකයකි. ඒ අනුව සුනිල් සාන්තයන් දේශීය සංගීතය සමඟ ඉදිරියට ගියේ තම නම ඊට ගැළපෙන ලෙස වෙනස් කරගෙනය. ඒ සුනිල් ‘සාන්ත’ යනුවෙනි.
මෙය දැනගත් වහාම මම ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේ ඇති සුනිල් සාන්තයන්ගේ අතට අසුවූ සෑම තැටියකම නමේ “ශ” යන්න කපා “ස” යන්න යෙදීමි. මේ තැටි තාම තිබෙනවා නම් ඒ තියෙන්නේ මගේ “ස” යන්න බව මගේ ගුවන් විදුලි සංස්ථා සහෘදයින්ට කියා සිටිමි. එකල මෙන්ම මෙකල ද මා සමග වැඩුණු හැමෝම සුනිල් සාන්තයන්ගේ නම නිවැරදිව කියන්නේ එදා මා උගත් මේ පාඩම නිසාය.
සුනිල් සාන්තයන්ගේ නමේ “ස” යන්න පිටුපස ලොකු කතාවක් තිබෙන්නා සේම අසෝක තිලකරත්න මහතාගේ නමේ ස යන්න පිටුපසද කතාවක් තිබේ. අසෝක අයියා ඉතා සරල මිනිහෙකි. ඔහු ආටෝප පාවිච්චි කළේම නැත. එතුමා ඉංග්‍රීසියෙන් නම් ලීවේද Asoka යනුවෙනි. මම තිලකරත්න ලියන විට Thi දැමුවද ඔහු ලීවේ Tille.. කියාය. මා සුනිල් සාන්තයන් හා අසෝක අයියා අතර සමානකමක් දකින්නේ මේ නිසාය. දෙදෙනාම සරලය. ප්‍රතිපත්ති ගරුකය. ඔවුන් මැනවින් ඉංග්‍රීසි උගත් පිරිසිදු සිංහලයන්ය. නමේ නිවැරදි උච්චාරණයෙන් කියැවෙන්නේ ඒ දිවි පෙවතයි.
කා ගේ හෝ නමක් උච්චාරණය කළ යුත්තේ ඒ නමේ අයිතිකාරයා කියන පිළිවෙළටය. ඒ පිළිබඳව වාද කරගන්නට අපට බැරිය. මේ බව අපිට උගන්වා තිබුණේ ගුවන් විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයයි.
“සිංහල හෝඩියේ ‘න’යනු දෙකකි. ‘ල’යනු දෙකකි . ‘ස’ යනු තුනකි. මේ ආදි වශයෙන් එකම අකුර දෙතුන් විදිහකට ලියැවෙයි. මේක හරි කරදරයකි. ඉංග්‍රීසි භාෂාවේ නම් එහෙම නැත. අකුරු විසි හයකි. එය ඉතා සරලය.”
ඒ අපි පොඩි කාලේ සිංහල භාෂාව ගැන සිතූ හැටිය.
නමුත් සමහර අය වැඩිහිටි වූවාට පසුවත් මේ විදිහටම හිතන අවස්ථා නැත්තේ නොවේ.
සිංහල භාෂාවේ විචිත්‍රත්වය ඇත්තේ අකුරුවලය. ඒවා අපේ මුඛය ආශ්‍රිතව උත්පත්තිය ලබන ආකාරයට නිර්මාණය වී තිබේ. නිදසුනක් ලෙස දිවේ කෙළවර නැමී උඩු තල්ලේ වදින්නේ නැතිව මුර්ධජ ‘ණ’ කියන්නට බැරිය.
මේ වගේ විද්‍යනුකූල හෝඩී ලෝකයේම ඇත්තේ අතලොස්සකි. සෑම අකුරකටම අනන්‍ය වූ වෙනම උච්චාරණයක් තිබේ. එලෙස සෑම අකුරක්ම නිවැරදිව උච්චාරණය කළ හැකි අය දුර්ලභය. අසෝක තිලකරත්නයන් එබඳු දුර්ලභ කෙනෙකි.
උච්චාරණය දුර්වල යැයි සිතන කෙනෙකුට එම උච්චාරණය නිවැරදි කර ගැනීමට මාර්ග තිබේ. නමුත් හොඳම දෙය නම් කුඩා කාලයේ සිට දරුවනට නිවැරදි උච්චාරණය හුරු කිරීමයි.
“පන්තියේදී නැගිටලා සිංහල පාඩම හයියෙන් කියවල තියෙනවද?”
නිවේදකයින් බඳවා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට පැමිණි තරුණියකගෙන් දිනක් මම ඇසුවෙමි.
ඇගේ පිළිතුර ‘නැත’ යන්නයි.
නමුත් අපේ කාලේ නම් එහෙම නැත. නිවැරදිව උච්චාරණය නොකරන ළමයින්ට ටොකු අනින ගුරුවරු මම දැක ඇත්තෙමි.
විද්ත් මාධ්‍යයට ඕනෑ කරන්නේ මයික්‍රපෝනයට සුදුසු කටහඬවල්ය. කට හඩ මයික්‍රෆෝනයට සුදුසු වන්නේ සෑම වචනයකම සෑම අකුරක්ම නිවැරදිව උච්චාරණය වන විටය. ඒ අනුව දන්තජ තාලුජ ඛණ්ඨජ ඕෂ්ඨජ මුර්ධජ ආදි වශයෙන් නිවැරදිව උච්ඡාරණය කරන්නට බැරි කෙනා විද්ත් මාධ්‍යයට නෑවිත් සිටිය යුතුය.
වෙනත් විදිහකට කියනවා නම් නිවේදකයෙක් විය යුත්තේ ‘ස’ යනු තුන නිවැරදිව උච්චාරණය කළ හැකි කෙනෙක්ය.
අසෝක අයියාගේ අවමඟුල් උත්සවයේදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ අපූරු අනුශාසනාවක් කළහ. එම අනුශාසනාවේදී උන්වහන්සේ විශේෂිත ශ්ලෝකයක් සඳහන් කළහ. මගේ මතකයේ හැටියට එහි තේරුම මෙහිලා සඳහන් කිරීම වටී.
ස ශ ෂ අකුරු තුන නිවැරදිව
උච්චාරණය කළ නොහැක්කාගේ
මුඛයේත් අධෝ මුඛයේත් වෙනස
ඉන් එකක දත් තිබීම පමණි.
අනේ! ඒ ශ්ලෝකය ඒ වෙලාවේ ලියාගන්නට බැරි වීම දුකකි.