Home » යතුරු පැදි 400කින් විදෙස් සංචාරකයෝ කෝටියක් රට වටේ යැවූ වැලිගම සුමිත්

යතුරු පැදි 400කින් විදෙස් සංචාරකයෝ කෝටියක් රට වටේ යැවූ වැලිගම සුමිත්

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරයේ අපූර්වත්වය ලොව පුරා විවිධ ජාතීන්ගේ ආකර්ෂණයට ලක්වී තිබුණද ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් රටේ කීර්තිනාමයට හානි කරන අවස්ථා ද නැතිවා නොවේ. විශේෂයෙන් විදේශීය සංචාරකයන්ට සිදු වන විවිධ අකටයුතුකම් නිසා හානි සිදු වන්නේ රටේ කීර්තිනාමයටය. එහෙත් රටේ ගෞරවය ද රැක ගනිමින් විදේශීය සංචාරකයන්ට විශිෂ්ට සේවයක් සලසන්නෝ ද අප අතර වෙති. විදේශීය සංචාරකයන්ගෙන් පැසසුම් ලබන එවැනි අපූරු සේවා ස්ථානයක් පිළිබඳයි මේ විමසුම.

මාතර, වැලිගම ‘සුමිත් රෙන්ටර්ස්’ මෙරටට පැමිණෙන බොහෝ සංචාරකයන් අතර ප්‍රචලිත ආයතනයකි. විදේශීය සංචාරකයන් සඳහා මෝටර් බයිසිකල් සහ ස්කූටර් කුලියට ලබා දෙන මෙම ආයතනයේ නිර්මාතෘ සුමිත් ප්‍රියන්ත(59) ය. දශක දෙකකට අධික කාලයක් තිස්සේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් අතර සුමිත් රෙන්ටර්ස් ආයතනය කොතරම් ප්‍රචලිතද යන්න මුහුණුපොත, ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංචාරකයන් විසින් පළ කර ඇති සටහන් සාක්ෂි දරයි. ආගන්තුක සත්කාරයෙන් අග පැමිණි දකුණේ අභිමානය ද සමඟ සුමිත් රෙන්ටර්ස් ආයතනය පිළිබඳ අප වැඩිදුර තොරතුරු විමසුවේ සුමිත් ප්‍රියන්තගේ වැඩිමල් පුතු දිනේෂ් ප්‍රියදර්ශන(30)ගෙනි.

“මගේ තාත්තා සුමිත්, මෝටර් කාර්මික ක්ෂේත්‍රයට එකතු වෙලා තියෙන්නේ රාජගිරිය වෘත්තීය පුහුණු පාසලෙන් හා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයෙන් මෝටර් යාන්ත්‍රික පාඨමාලාව හදාරලයි. ඉන්පසුව තාත්තා යතුරු පැදි ගෙනත් අලුත්වැඩියා කර විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ ව්‍යාපාරය කරගෙන යන අතරතුර 2000දී පමණ යතුරුපැදි බදු දීම ආරම්භ කළා. ඒ, යතුරුපැදි 2කින්. මුලින්ම යතුරුපැදි බදු දුන්නේ දේශීය පුද්ගලයන්ට වුණත් එහිදී මතුවුණ යම් යම් ගැටලු නිසා තාත්තා තීරණය කළා දේශීය අයට යතුරුපැදි නොදී විදේශිකයන් විතරක් වෙනුවෙන් මේ සේවය පවත්වාගෙන යන්න. ඒ විදිහට විදේශිකයන්ට යතුරුපැදි බදු දීම වැලිගම මුලින්ම පටන් ගත්තේ මගේ තාත්තා. ටිකෙන් ටික මේ සේවය ගැන විදේශිකයන් අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ තාත්තගේ ආයතනයේ සේවය ලබාගන්න විදේශීය සංචාරකයෝ ඔවුන්ගේ මුහුණුපොත, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ඒ ගැන හොඳ කියලා දාපු පෝස්ට්වලින්. ඒවා වයිරල් වෙලා තව තවත් විදේශීය සංචාරකයෝ ගුවන්තොටුපළෙන් ආව ගමන් තාත්තා හොයාගෙන වැලිගමට එන්න පටන් ගත්තා. ඒ විදිහට තාත්තගේ ව්‍යාපාරය දියුණු වුණා. මේ කාලේ මමත් මල්ලිත් අධ්‍යාපන කටයුතුවල යෙදිලා හිටපු නිසා 2010 විතර වෙනකම් තාත්තා තමයි ව්‍යාපාරයට මුළුමනින්ම කැප වෙලා හිටියෙ. මේ වෙද්දි යතුරුපැදි 30ක් විතර තාත්තගේ ආයතනයේ තිබුණා.”

තම පියා සුමිත් ප්‍රියන්ත විදේශීය සංචාරකයන් අතර ජනප්‍රිය වීමට හේතු වූයේ ඔහුගේ ආයතනයෙන් සැලසූ කාර්යක්ෂම හා ගුණාත්මක සේවය පමණක්ම නොවන බව දිනේෂ් අප සමඟ කීවේය.

“මගේ තාත්තා නිසා කියනවා නෙවෙයි, සුමිත් කියන්නේ හිත හොඳ මනුස්සයෙක්. තාත්තා හැමතිස්සේම කියන්නේ අපි උපයන්න ඕනේ සල්ලිම නෙවෙයි, මිනිස්සුන්ට උදව් කරන එක මිනිස්සුන්ගේ හොඳ හිත දිනාගන්න එකයි වටින්නෙ කියලා. සුනාමිය ආව වෙලාවේ තාත්තා ඒක එයාගේ අත්දැකීම්වලින්ම ඔප්පු කළා. සුනාමිය නිසා ගොඩක් විදේශිකයන්ට තමන්ගේ හැමදේම නැතිවෙලා අවතැන් වුණා. ඔවුන්ට ඉන්න හිටින්න තැනක් තිබුණේ නැහැ. ඔවුන් අපෙන් ගත්ත බයිසිකල් පවා නැතිවෙලා. මට මතකයි සමහර විදේශිකයෝ ඇවිත් තාත්තාට අඬ අඬා කිව්වා , අපේ හැමදේම නැතිවුණා, අපිට බයිසිකල් දෙන්න විදිහක් නෑ කියලා. තාත්තා ඒ වෙලාවේ ඒ විදේශිකයන්ට උදව් කළා. ගොඩක් අයට නවාතැන් හොයලා දුන්නා. එයාලට බදු දීලා තිබුණු සමහර බයිසිකල් අපට ලැබුණා. සමහර ඒවා ලැබුණේ නැහැ. ඒත් තාත්තා ඒ ගැන කියලා කරදරේ වැටිලා හිටපු විදේශිකයන්ගෙන් අලාභෙ ගෙවන්න කිව්වෙ නැහැ. අපිට පුළුවන් විදිහට ඔවුන්ට උදව් කළා.

ඒ වගේම කොවිඩ් වසංගත කාලෙත් රට ලොක්ඩවුන් කරලා ගුවන්තොටුපළ වැහුව නිසා ගොඩක් විදේශිකයන්ට තමන්ගේ රටවල්වලට යන්න බැරිවුණා. ඒ වෙලාවේ අපි තාත්තා එක්ක කතා කරගෙන අපි දන්න විදේශිකයන්ට නවාතැන් පහසුකම් සපයා දුන්නා වගේම එයාලට ගමන් බිමන් යන්න නොමිලේ යතුරුපැදි දුන්නා. ඒ විදේශිකයෝ ආපහු තමන්ගේ රටට ගිහින් අපි කරපු උදව් ගැන කියලා සමාජ මාධ්‍ය ජාලාවල පළ කළ සටහන් නිසාත් අපේ ආයතනය විදේශිකයන් අතර ජනප්‍රිය වුණා. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපේ සේවය ලබාගන්න විදේශිකයන්ට හොඳම සේවයක් ලබා දීලා ඔවුන්ට අපේ රට ගැන හොඳ ආකල්ප ඇති කරලා ඒ මඟින් වැඩි වැඩියෙන් අපේ රටට සංචාරකයන් ගෙන්වා ගැනීමටයි.”

සුමිත් ප්‍රියන්තගේ යතුරුපැදි බදු දීමේ ව්‍යාපාරය තවත් වැඩි වර්ධනය වන්නට පටන් ගත්තේ එයට ඔහුගේ පුතුන් දෙදෙනා වන දිනේෂ් සහ දිලාන් ද සම්බන්ධ වීමෙන් පසුවය. නව පරපුරේ තරුණයන් ලෙස තමාත් මල්ලීත් පියාගේ ව්‍යාපාරයටම සම්බන්ධ වූ හේතුව ගැන දිනේෂ් කීවේ මෙවැන්නකි.

“තාත්තාත් අපිත් අතර ලොකු බැඳීමක් තියෙනවා. තාත්තා ව්‍යාපාරය ගැන අපි එක්ක නිතර කතාබහ කරනවා. මම කාලයක් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් කොළඹ ආයතනයක රැකියාවක් කළා. ඒ දැනුම සහ අත්දැකීම් එක්ක මම තීරණය කළා තාත්තගේ ව්‍යාපාරය ඩිජිටල් මාකටින් පැත්තට යොමු කළා නම් හොඳයි කියලා. අපේ පාරිභෝගික ජාලයේ ප්‍රධාන වශයෙන් හිටියෙ ඉතාලි, ඔස්ට්‍රේලියා සහ එංගලන්තයේ සංචාරකයන්. මුලින්ම සතියක දෙකක වගේ කෙටිකාලීන සංචාරවලට ලංකාවට ආව විදේශිකයන් තමයි අපෙන් යතුරුපැදි ගත්තෙ. 2014දී මම රැකියාවෙන් ඉවත් වෙලා තාත්තගෙ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. මම අපේ ව්‍යාපාරය ගැන සමාජ මාධ්‍ය ජාලා පිටුවල විස්තර දාන්න පටන් ගත්තා. ඒ හරහා බොහොම කෙටි කාලයකින් අපිට ලොකු පාරිභෝගික ජාලයක් හැදුණා. 2016 විතර වෙද්දි අපි බලාපොරොත්තු නොවූ තරමටම අපේ පාරිභෝගික ජාලය වැඩිදියුණු වුණා. ඒ අතර වැඩිපුරම හිටියේ රුසියානු සහ යුක්රේන ජාතිකයන්. 2016න් පස්සේ අපේ සේවය ලබාගත් විදේශිකයන් අතර සියයට 90ක්ම හිටියෙ රුසියානු ජාතිකයන්. 2017 වෙද්දි අපිට තිබුණේ යතුරුපැදි 100ක් පමණ සංඛ්‍යාවක්. අපිට ලැබෙන ඉල්ලුම සපුරන්න ඒ යතුරුපැදි සංඛ්‍යාව ප්‍රමාණවත් වුණේ නැහැ. නමුත් අපි ළඟට එන විදේශිකයෝ නැවත හරවලා යවන්න බැරි නිසා ඒ කාලේ අපි පිටින් යතුරුපැදි කුලියට අරගෙන ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරලා දුන්නා. මේ විදිහට ව්‍යාපාරය දියුණු වෙද්දි හවුල්කරුවන් කිහිප දෙනකු සමඟ ඊට අදාළ ව්‍යාපාර කිහිපයක්ම පටන් ගත්තා. 2018දි හෝටලයකුත් වැලිගම ආරම්භ කළා. ඒ හැමදේකින්ම අපේ ව්‍යාපාරය විදේශීය සංචාරකයන් අතර තවත් ජනප්‍රිය වුණා.”

ඒ සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙස වැඩි වන ඉල්ලුමට සරිලන සැපයුමක් සහිත වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් සැලසීමේ අවශ්‍යතාව මතු විය. සුමිත් රෙන්ටර්ස් ආයතනයට තවත් ශාඛා දෙකක් එකතු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ, සුමිත්ගේ වැඩිමහල් පුතුගේ ‘ද ගරාජ්’ ආයතනය සහ බාල පුතු දිලාන් විසින් අහංගම ඇරඹූ ‘ද ඩොක්ටර් ගරාජ්’ ආයතනයයි.

“මේ වෙද්දි අපි ළඟ යතුරුපැදි 400කටඅධික සංඛ්‍යාවක් තියෙනවා. 2016 සිට මේ දක්වා දළ වශයෙන් අපි විදේශිකයන් මිලියන 10කට වැඩි සංඛ්‍යාවකට සේවය සලසා තිබෙනවා. යතුරුපැදි බදු දීමට අමතරව අපි විදේශිකයන්ට හෝටල් පහසුකම් සැපයීම, ඔවුන්ට මතුවන ගැටලුවලදී උපදේශනය සැලසීම ආදී සේවා ද සපයනවා. ඒ අනුව 2023 වසරේ පමණක් එවැනි සියලුම සේවා වෙනුවෙන් මිලියනයක් පමණ විදේශීය සංචාරකයන්ට අපගේ සේවය ලබා දී තිබෙනවා. ඒ ගැන අපිට හරිම සතුටුයි. ඊට හේතුව ඔවුන්ට සේවය සැලසීමෙන් අපිට මුදල්වලට අමතරව වටිනා දෙයක් ලැබෙනවා. අපේ සේවය ගැන තෘප්තිමත් වන විදේශිකයන් නැවත ඔවුන්ගේ රටට යන්නේ අපේ රට ගැන ධනාත්මක හැඟීමකින්. ඔවුන් අපේ සේවය ගැන විතරක් නෙවෙයි අපේ රට ගැනත් ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට කියනවා. ඔවුන් නැවත නැවත ලංකාවේ සංචාරය කරන්න එනවා. එයින් අපේ රටට විදේශ විනිමය ලැබෙනවා වගේම අපේ රට ගැන ලෝකයේම අවධානයට ලක්වෙනවා. එය සංචාරක කර්මාන්තයේ දියුණුවට ලොකු පිටිවහලක්”

දිනේෂ් කීවේ සෑම ශ්‍රී ලාංකිකයකුටම රට වෙනුවෙන් ඇති වගකීමක් පිළිබඳව ද සිහිපත් කරමිනි. ඔවුන්ගෙන් යතුරුපැදියක් බදු ගන්නා විදේශිකයන්ට ඒ සමඟ සේවා කිහිපයක්ම සුමිත් රෙන්ටර්ස් වෙතින් නොමිලේ ලබා දේ.

” විදේශිකයන්ට අපේ රටේ මාර්ග නීති ගැන අවබෝධයක් නැති නිසා අපෙන් යතුරුපැදියක් ගන්න විදේශිකයන්ට අපි මාර්ග නීති ගැන වගේම පොලිසියට අවනත වීම ගැනත් දැනුම්වත් කරනවා. ඒ වගේම යතුරුපැදි පැදවීම ගැන පරීක්ෂා කරලා බලනවා. පදින්න දන්නෙ නැති විදේශිකයන්ට අපි ඒ පුහුණුවත් ලබා දෙනවා. ඒ වගේම අපේ වෙනම කණ්ඩායමක් ඉන්නවා තාක්ෂණ දෝෂවලට ලක්වන යතුරුපැදි අලුත්වැඩියා කරන්න. විදේශිකයෙක් බදු ගත්ත යතුරුපැදියක් කොහේදී හෝ කාර්මික දෝෂයකට ලක්වුණොත් අපේ තාක්ෂණික කණ්ඩායමේ කෙනෙක් ඒ ස්ථානයටම ගිහින් ඒ යතුරුපැදිය අලුත්වැඩියා කර දෙනවා. හදන්න බැරිනම් අලුත් යතුරුපැදියක් ලබා දෙනවා. ඒ වගේම දුර පළාත්වල සංචාරයට යන විදේශිකයන්ට අපි යතුරුපැදි ලබාදෙන්නේ එවැනි දුර ගමන්වලට සුදුසු පරිදි අලුත් ටයර් ආදිය යොදලයි. ඒ අතරමඟ යතුරුපැදිය කැඩිලා විදේශිකයාගේ කාලයත් මුදලත් වැය වීම වළක්වා ගන්නයි. ඒ විදිහට විදේශිකයන්ගේ යතුරුපැදි කාර්මික දෝෂවලට ලක්වූ අවස්ථාවලදි අලුත්වැඩියා සඳහා සමහර අය ඔවුන්ගෙන් වැඩිපුර මුදල් අය කිරීම සිදුවන නිසයි අපි ඒ සියලු සේවා අපේ පාරිභෝගිකයන්ට නොමිලේම ලබා දෙන්නෙ. අපි ළඟ ලක්ෂ පහේ සිට ලක්ෂ 15-20 වටිනාකමින් යුතු යතුරුපැදි තිබෙනවා. මුල් කාලේ අපි යතුරුපැදි ලබා දුන්නේ විදේශිකයාගේ විදෙස් ගමන් බලපත්‍රය ඇපයක් විදිහට තියාගෙනයි.

නමුත් විදේශිකයාට නිතරම ගමන් බලපත්‍රය ළඟ තබාගත යුතු නිසා දැන් අපි ගන්නේ මුදල් තැන්පතුවක් පමණයි. පළමු වරට වඩා කීප සැරයක් අපේ සේවය ලබාගෙන තිබෙන සංචාරකයන්ගෙන් අපි මුදල් තැන්පතුවක් ලබාගන්නෙත් නැහැ. එවැනි විදේශිකයන් විශාල පිරිසක් අප සමඟ සිටිනවා. ඔවුන් අප ගැන තබා ඇති විශ්වාසය අපට විශාල ශක්තියක්.”

ව්‍යාපාරයක සාර්ථකත්වය යනු නිරායාසයෙන් ලැබෙන්නක් නොවේ. එය අභියෝග, දුෂ්කරතා අතරින් යන ගමනක ප්‍රතිඵලයකි. මේ ව්‍යාපාරය තුළ ද එවැනි අත්දැකීම් තිබෙන්නට ඇත. දිනේෂ් ඒ ගැන සිහි කළේ මෙසේය.

“පහුගිය අවුරුදු දහය තුළ නම් අපිට විශාල අභියෝගවලට මුහුණ දීමට සිදුවුණේ නැහැ. හදිසි අනතුරු කිහිපයක් සිදු වුණා. ඒ වගේ අවස්ථාවක අපි බලන්නේ අපේ යතුරුපැදියට වූ හානිය ගැන නෙවෙයි. අපේ පාරිභෝගිකයා ගැනයි. අපි වහාම ඒ ස්ථානයට ගිහින් විදේශිකයාගේ තත්ත්වය ගැන සොයා බලනවා. ඇතැම් අවස්ථාවල තුවාල ලැබූ විදේශිකයන්ගේ රෝහල් බිල ගෙවන්න සිද්ධ වෙන්නෙත් අපිට. ඒ වගේම රිය අනතුරුවලට ලක්වන විදේශිකයන් වෙනුවෙන් නීතිමය කටයුතුවලටත් මැදිහත් වෙනවා. නීතිඥ සහාය ලබා දෙනවා.”

සුමිත් ප්‍රියන්තගේ පවුලේ සියලු දෙනාම මෙම ව්‍යාපාරය වෙනුවෙන් කැපවී සිටී. මව ඩබ්ලිව්. කේ මාලාගෙන් ද ඒ සඳහා ලැබෙන්නේ විශාල සහයෝගයකි.

“ලංකාවට නිතර නිතර එන ගොඩක් විදේශිකයෝ දැන් අපේ පවුලෙ අය තරමටම සමීපයි. සමහරු සංචාරය ඉවර වෙලා යන්නෙ අම්මගේ කෑමත් කාලා. තරුණයෙක් විදිහට මම මගේ තාත්තා ගැන හරිම ආඩම්බරයි මේ වගේ ව්‍යාපාරයක් ඇරඹීම ගැන. මම මුලින් කැමැත්තෙන් හිටියෙ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. තාත්තා කිහිප සැරයක් කිව්ව නිසයි මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ. නමුත් දැන් මම ගොඩක් සතුටුයි ඒ ගත්ත තීරණය ගැන. දැන් අපේ ව්‍යාපාරය ගොඩක් සාර්ථකයි වගේම ඒ ගැන ගොඩක් අය අගය කරනවා. නිතර ලංකාවට එන විදේශිකයො බොහෝ දෙනෙක් දැන් අපේ පවුලේ අය, යාළුවෝ වගේ අපි එක්ක හරිම සමීපයි. මම හිතනවා ඒකත් මේ ව්‍යාපාරයේ දියුණුවට ලොකු ආශීර්වාදයක් කියලා”

සංචාරක කර්මාන්තය අළු ගසා දමමින් යළි නැඟී සිටින මෙවැනි සමයක විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් මෙවැනි ව්‍යාපාර බිහිවීම ප්‍රශංසනීයය. එහෙත් මෙරට සුන්දරත්වය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ සුව පහසුව මෙන්ම සුරක්ෂිත බව සහ ගරුත්වය ගැන ද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව ද දිනේෂ් කීවේය.

“මෙහෙම යතුරුපැදි බදු දෙන සමහර ආයතනවලින් විදේශීය සංචාරකයන්ට ලොකු ආසාධාරණයක් වෙනවා. සමහරු යතුරුපැදි සඳහා විදේශිකයන්ගෙන් ගන්න තැන්පතු මුදල් යළි ඔවුන්ට ලබාදෙන්නෙ නැහැ. ඒ වගේම යතුරුපැදියකට යම් හානියක් වුණොත් ඒ වෙනුවෙන් අලාභය ලෙස විශාල මුදලක් අය කර ගන්න උත්සාහ කරනවා. ඒ වගේ දේවල් නිසා විදේශිකයෝ විශාල අපහසුතාවලට මුහුණ දෙනවා වගේම ඇතැම් විට ඔවුන් ලංකාවෙන් යන්නෙ නැවත මේ රටට නොඑන තරමට කලකිරීමෙන්. ඒ නිසා එවැනි ආයතන රජය විසින් නියාමනය කිරීම ඉතා වැදගත්.

ඒ වගේම යතුරුපැදි පදවන්න විදේශිකයන්ට අපේ රටේ රිය බලපත්‍රය ගන්න අවශ්‍ය නිසා ඔවුන්ට ඒ සඳහා කොළඹ පැමිණීමට සිදු වීමෙන් විශාල මුදලක්, කාලයක් වැය වෙනවා. විදේශිකයෝ අපේ රටට එන්නේ ඔවුන් මේ රටේ ගත කරන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ අපේක්ෂාවෙන් නිසා ඔවුන්ගේ කාලය සහ මුදල් නිකරුණේ නාස්ති නොවන ආකාරයට ඒ සඳහා දකුණු පළාතේ රිය බලපත්‍ර ලබාගැනීම සඳහා ස්ථානයක් විවෘත කිරීම වැනි පියවරක් ගන්නා ලෙසත් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.”

සුමිත් රෙන්ටර්ස් ආයතනය

සුමිත් රෙන්ටර්ස් ආයතනය

සුමිත් සිය බිරිය මාලි, පුතුන් දෙදෙනා හා හිත­මි­තුරු විදේ­ශීය සංචා­ර­ක­යන් පිරි­සක් සමඟ

සුමිත් සිය බිරිය මාලි, පුතුන් දෙදෙනා හා හිත­මි­තුරු විදේ­ශීය සංචා­ර­ක­යන් පිරි­සක් සමඟ

 

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division