කෘෂි අපනයන විෂයෙහි තේ – පොල් – රබර්, කුරුඳු සහ Ceylon tea අතරට එක් වු නවකයා ලොව අධික මිලකින් යුත් කුළුබඩු විශේෂයක් වු වැනිලා ශාකයයි. මෙරට තෙත් කලාපය තුළ වැනිලා ඉතා හොඳින් වගා කළ හැකිය. ශ්‍රී ලංකාවේ වැවෙන වැනිලාවේ ගුණාත්මක පක්ෂය වැනිලා වගා කරන සෙසු රටවලට ද වඩා ඉහළය. නිසි පරිදි ආර්ථික වැවිල්ලක් වශයෙන් වැනිලා වගාව පවත්වාගත හොත් අනෙකුත් රටවල් හා පහසුවෙන් තරග කළ හැකි අස්වැන්නක් එමඟින් ලබා ගත හැකිය.
වැනිලා ඊසාන දිග මෙක්සිකෝවට ආවේණික භෝගයකි. වැනිලාවේ අගය පළමුව හඳුනා ගත්තේ එහි විසූ පැරණි ජන කොටසක් වූ ටොටොනාකෝ ඉන්ඩියානාවරුන්ය. මෙම ජන කොටස පරාජය කළ ඇස්ටෙක්වරු වැනිලාවේ අයිතිය තහවුරු කර ගත්හ. නමුත් ඔවුහු ද පරාජය කළ ස්පාඤ්ඤ අධිරාජ්‍යය විසින් වැනිලා ශාකයට අයිතිවාසිකම් කීහ. ස්පාඤ්ඤ ජාතික ස්පැනියාඩර් කෝටේර්ස් විසින් වැනිලාවලින් අසාමාන්‍ය රසයකින් යුත් පානයක් සකස් කරන ලදි. සියවසකට අධික කාලයක් මෙම විශේෂ පානය භුක්ති වින්දේ වංශවත් ධනවතුන් හා රදලයෝය. 1602 දී පළමුවන එළිසබෙත් රැජිණිගේ සුපවේදියා වූ හියු මෝගන් වැනිලා රසකාරකයක් ලෙස භාවිතයට ගත හැකි බව පෙන්වා දුන්නේය. වැනිලා කරලින් “වැනිලීන්” නම් ද්‍රව්‍යය වෙන් කර ගැනීමට 1858 දී ගොබ්ලි නම් රසායනවේදියා සමත් විය. මෙක්සිකෝව, මැඩගස්කරය, හයිටි රාජ්‍යය, ඉන්දුනීසියාව, චීනය, පැපුවා නිව්ගිනියා යන රටවල ආර්ථික භෝගයක් වශයෙන් මේ වන විට වැනිලා වගාව පවත්වාගෙන යනු ලබති. ජාත්‍යන්තර වෙළෙඳපොළේ වැනිලා සඳහා පවතින්නේ අධික ඉල්ලුමකි.
ලංකාව, ඉන්දියාව, තායිවානය, ලාඕසය හා වියට්නාම් යන රටවල මුළු නිෂ්පාදන එකතුව ටොන් 800 කි. ලංකාවේ මධ්‍යම කඳුකරයේ හා පහත රට තෙත් කලාපයේ වැනිලා ශාකය හොඳින් වැඩේ. මහනුවර නුවරඑළිය, මාතලේ, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල වැනිලා වගා කළ හැකිය. සාරවත් ලොම්පස හා කාබනික ගුණයෙන් හෙබි පසක වැනිලා හොඳින් වගා කළ හැකිය. මුහුදු මට්ටමින් අඩි 1000ට වඩා උස් බිම්වල සෙල්සියස් අංශක 20 – 32 අතර කලාපයේ සරුවට වැඩෙන වැනිලා ශාකයට මිලි මීටර් 2000 – 2500ක වර්ෂාපතනයක් අවශ්‍යය.අක්කරයක වගා කළ හැකි වැනිලා වැල් ප්‍රමාණය 1280කි. වසර දෙකක මෝරන කල් පමාවකින් පසු ලබන අස්වනු ප්‍රමාණය අමු කරල් කිලෝ දළ වශයෙන් 6200ක් පමණ වෙයි. 6 – 1 අනුපාතයට පදම් කළ පසු කිලෝ 1000ක් පමණ වේ. පදම් කළ වැනිලා කරල් කිලෝවක් ජාත්‍යන්තර වෙළෙඳපොළේ අෙමරිකානු ඩොලර් 259 සිට 2035 දක්වා මිලකට අලෙවි වේ. මේ හෙයින් වැනිලා නිෂ්පාදනය රටක ආර්ථිකය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කිරීමට සමත් වේ.
වැනිලා ව්‍යාපාරික භෝගයක් ලෙස වගා කිරීමේ වටිනාකම පිළිබඳ පළමුව උනන්දු වූයේ පවර් හෑන්ඩ් නම් වැවිලි සමාගමයි. පසුගියදා Sri Lanka සහයෝගිතා වැඩසටහනට එක් වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා හා පෙර කී වැවිලි සමාගමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ අපනයන කෘෂිකර්මය මඟින් ලබන ආදායමට වැනිලා නිෂ්පාදනයෙන් ලබාදිය හැකි දායකත්වය සැලකිය යුතු අගයක් ගන්නා බවයි. මහා පරිමාණ වැනිලා වගාවකට පිවිසීමේදී පෞද්ගලික වැවිලි සමාගම් වඩාත් යොමුව ඇත්තේ මහජනතාව එහි කොටස්කරුවන් බවට පත්කර ගැනීම කෙරෙහිය. වැනිලා අධික මිලකින් යුත් කුළුබඩුවක් හෙයින් ලබන ප්‍රතිලාභද අධික බැවින් වැවිලි සමාගම් මහජනතාව ඊට සම්බන්ධ කර ගැනීමට වඩාත් උනන්දු වෙති. එමඟින් ආයෝජන ප්‍රජාවගේද අතමිට සරු කිරීමට හැකි හෙයිනි.
නන්දන කුමාරපේලි