Home » දකුණු ආසියාවේ නව තිරසර සංචාරක ගමනාන්තය

දකුණු ආසියාවේ නව තිරසර සංචාරක ගමනාන්තය

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවට වැඩිම විදේශ ආදායම් ලබා දෙන ආදායම් මාර්ග දෙක වන්නේ විදේශීය රැකියාලාභීන්ගේ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයයි. එහිදී අප වඩාත් අවධානය යොමු කළ යුතු වන්නේ සංචාරක කර්මාන්තය කෙරෙහිය. එම නිසා සංචාරකයන්ගේ සිත් ගන්නා ආකාරයේ සංචාරක ස්ථාන අලුතින් නිර්මාණය කිරීම එසේත් නැත්නම් සැඟව ඇති සංචාරක ස්ථාන හඳුන්වාදීම කළ යුතු වේ. වරක් පැමිණි සංචාරකයෙක් යළිත් අප රටට පැමිණෙන්නේ එසේත් නැත්නම් ඔහු මේ රට ගැන එතෙර සිටින්නන්ට දැනුම් දෙන්නේ සංචාරක ආකර්ෂණය වැඩිවුවහොත් පමණි.

එම නිසා අලුතින් සංචාරක ගමනාන්ත අප විසින් නිර්මාණය කළ යුතු වේ. අද වන විට සිංගප්පූරුවේ කෘත්‍රිම වලාකුළු සහ කෘත්‍රිම වැසි ලබා දෙන Cloud Forest වෙත ඇදී එන විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව අතිවිශාලය. පෙර සන්තෝෂා දිවයින පමණක් මුල් කරගත් සංචාරක ආකර්ෂණය කරගත් සිංගප්පූරුව මේ වන විට එම කුඩා රටේ අස්සක් මුල්ලක් නෑර සංචාරකයන් ඇදී ගොස් ඇත්තේ අලුතින් නිර්මාණය කළ සංචාරක ස්ථාන හරහාය.

අප රටේද අතීතයේ සිට සංචාරකයන්ගේ ආකර්ෂණය ඇති කරගත් ස්ථාන රැසකි. ඒ අතුරින් අනුරාධපුරය, පොලොන්නරුව වැනි පුරාවිද්‍යාත්මක ස්ථාන මෙන්ම උණවටුන, හික්කඩුව වැනි වෙරළ තීරයන්ද වේ. එහෙත් අලුතින් අප විසින් නිර්මාණය කළ තිරසර සංචාරක ගමනාන්තයන් නොමැති නිසා වරක් දෙවරක් පැමිණි සංචාරකයකු යළිත් පැමිණීමට පෙලඹෙන්නේ නැත.

එහෙයින් අප විසින් කළ යුතු වන්නේ අලුතින් සංචාර කලාප තිරසර සංචාරක ගමනාත්ත ස්ථාපිත කිරීමය. ඒ සම්බන්ධයෙන් මේ වන විට බස්නාහිර පළාතේ අලුතින් සංචාරක කලාප, විශේෂයෙන්ම තිරසර සංචාරක ගමනාන්ත නිර්මාණය කිරීම විශේෂයෙන්ම සැඟව ඇති සංචාරක ගමනාන්ත හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

ඒ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ ප්‍රධානත්වයෙනි.

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා සිළුමිණට පැවසුවේ නව සංචාරක ගමනාන්තයක් සඳහා කේන්ද්‍ර ස්ථානයක් වශයෙන් මුළු ලෝකයේම අවධානය දිනාගත් සංචාරක ප්‍රදේශයක් බවට සීතාවක පුරවරය පත්කිරීම මෙහි අරමුණ බවයි.

‘‘අප මේ වන විටත් බස්නාහිර පළාතේ සංචාරක ගමනාන්ත, අප්‍රකට සංධිස්ථාන ලෝකයටම රැගෙන යන Western province of sri Lanka යන වැඩසටහන ජපානය, ඉන්දියාව, ඉතාලිය, බ්‍රසීලය, චීනය ආදී රටවල්වලට හඳුන්වා දී තිබෙනවා. එම රටවල්වල විශේෂ අනුග්‍රහය ද මේ සඳහා හිමිව තිබෙනවා.

අප විසින් මේ දක්වා සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා පුරාවිද්‍යාත්මක ස්ථාන, සීගිරිය වැනි ලෝක උරුමයන්, මහනුවර දළදා මැදුර වැනි බෞද්ධ කේන්ද්‍රස්ථානයන්, පෙරහැර වැනි සංස්කෘතිකාංග යොදා ගත්තා. එහෙත් අප නවීන ලෝකය හා ඒකාබද්ධව කටයුතු කළ යුතුයි.

ඒ උදෙසා නව තිරසර සංචාරක ගමනාන්තයන් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුමයි. අද වන විට සීගිරිය පමණයි දකුණු ආසියාවේ තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස හඳුන්වා දී ඇත්තේ. මේ නිසා අලුතින් මේ සම්බන්ධව සංචාරක කලාප හෝ සංචාරකයන් සිත් ගන්න ස්ථාන නිර්මාණය කළ යුතුයි. එම නිසා බස්නාහිර පළාතේ අලුතින් සංචාරක නිර්මාණය කිරීම සඳහා විවිධ පියවර රැසක් ගෙන තියෙනවා. විශේෂයෙන්ම අප්‍රකට ස්ථාන අලුතින් හඳුන්වාදීමත්, එමෙන්ම පවත්නා සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම කළ යුතුයි.

ඒ උදෙසා තමයි අප Western province of sri Lanka යටතේ පාරාදීසයේ පාරාදීසය නමින් සීතාවක සංචාරක පුරවරය අලුතින් හඳුන්වා දී ඇත්තේ.‘‘

සභාපතිවරයා පෙන්වා දෙන්නේ 1991 වසරේදී ඉන්දියාව විශාල ආර්ථික කඩාවැටීමකට පත් වූ බවත් ඉන්දියාව අද වන විට ලෝකයේ 4 වැනි ආර්ථිකයකට හිමිකම් කියන්නට සමත්ව ඇත්තේ සංචාරක කර්මාන්තය ද උපයෝගී කරගෙන බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම තමිල්නාඩුව, ඇසෑම්, මහාරාෂ්ට්‍ර වැනි ප්‍රාන්ත එක් එක් ප්‍රාන්ත වශයෙන් සංචාරක කර්මාන්තයන්හි දියුණුවට කටයුතු කළ බවත් අප ද ඒ අනුව යමින් පළාත් අනුව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කටයුතු කළ යුතු බවයි.

විශේෂයෙන්ම කොළඹ සංචාරක කලාප අලුතින් ස්ථාපිත කිරීම මෙහිලා අගය කළ යුතුය. අවිස්සාවේල්ල කේන්ද්‍ර කොටගත් සීතාවක පුරය ආශ්‍රිතව කඳුවළලු මෙන්ම ජල මූලාශ්‍ර ආදිය ද දිය ඇලි ද දක්නට ලැබේ. විශේෂයෙන්ම ලබුගම හා කලටුවාව යන ජල මූලාශ්‍රය ඇත්තේ සංවේදී තෙත්බිම් කලාපයකය. අඹතලේ ආදී ප්‍රදේශවලට ජලය සපයන්නේ කැලණි ගඟෙන් වන නමුත් ලබුගම හා කලටුවාව යනු වර්ෂා ජලය සහිතව ජල මූලාශ්‍රය ඇති සංවේදී තෙත් බිම් කලාපයක් නිසා එම සංවේදී පරිසර කලාප හරහා සංචාරක ප්‍රවර්ධනය ඉතා පහසු වී තිබේ.

මේ ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීම උදෙසා විශේෂයෙන්ම කාලගුණය හා දේශගුණය ද මෙහිදී උපයෝගී වනු ඇත. උදෑසන ලබුගම හා කලටුවාව වැනි ප්‍රදේශවල දැකගත හැක්කේ හපුතලේ හා බණ්ඩාරවෙල දක්නට ඇති කාලගුණික රටාවකි.

සවස් කාලය ද එසේමය. එයින් උපරිම ප්‍රයෝජන ගෙන මෙරට සංචාරක කර්මාන්තය තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස සීතාවක ඒ අනුව හඳුන්වා දිය හැකිය. මේ දක්වා මෙරට තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස පැවතුණේ සීගිරිය පමණි.

‘‘විවිධ වර්ගයේ සංචාරකයන් දිවයිනට එනවා. ඇතැම් අය වන්දනා ස්ථාන නැරැඹීමට, තවත් අය විනෝද වීමට, තවත් අය අලංකාරය නැරැඹීමට, තවත් අය වසර සිය දහස් ගණන් පැරැණි ස්ථාන නැරැඹීමට, තවත් අය පරිසරවේදීන් ලෙස ස්වභාවිකත්වය ගැන අධ්‍යයනය කිරීමට මේ සියලු දෙනාටම අප අවශ්‍ය ක්‍රමවේද පහසුකම් සැලසිය යුතුයි.

මෙහි දී සංවේදී තෙත්බිම් හා පරිසාරික ස්ථාක හඳුන්වා දීමේදී අප අනිවාර්යෙන්ම එහි ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. මෙහි පළමු අභියෝගය වන්නේ එයයි.

මේ වන විටත් අදාළ ප්‍රදේශවල ජනතාව, පරිසර හිතකාමීන් ආගමික නායකයන් මහජන නියෝජිතයන්, විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සම්බන්ධීකරණය අරඹා තියෙන්නේ. අපට ප්‍රජා සහාය නැතිව මේ කටයුතු කරන්න බැහැ. ඒ වගේම ඒ ස්ථාන ආරක්ෂා කරන්නත් ප්‍රජා සහාය අදහස් අවශ්‍ය වනවා.

විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය මේ හා සම්බන්ධ කරගෙන ඇත්තේ සියලුම තාක්ෂණික කටයුතු ආදී සියල්ල කිරීම සඳහායි.

සීතාවක සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනයට අදාළ නොවූවත් මෙහිදී තවත් කරුණක් පෙන්වා දිය යුතු වෙනවා මීගමුව කලපුවේ සහ අවට සෞන්දර්ය නැරැඹීම සඳහා මේ වන විට යොදාගන්නේ ඩීසල් භාවිත කරනු ලබන බෝට්ටු. එම නිසා එම බෝට්ටු හරහා සමුද්‍ර ජීවීන්ට විශාල අනතුරක් සිදු වනවා. ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජපන් ජයිකා ආයතනය විද්‍යුත් ආරෝපණ බෝට්ටු 5ක් සපයා තියෙනවා. ඒ ලෙසින් සීතාවකද පරිසරය ආරක්ෂා කරගත් සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීම අනිවාර්යය වෙනවා.‘‘

සීතාවක ඔඩිසි දුම්රිය ආරම්භ කිරීමත් සමඟ සීතාවක සංචාරක කලාපයක් දේශීය සංචාරකයන්ට විවර වූ අතර මේ වන විට එම සංචාරක කලාපය විදේශිකයන් උදෙසා ප්‍රවර්ධනය කෙරේ. සංචාරක එකමුතුවක් කරා පැමිණි සංචාරකයන් රැගෙන ගොස් ඔවුන්ට මේ සංචාරක කලාපය පිළිබඳව අවබෝධයක් ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී.

පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඔස්ට්‍රේලියා, නවසීලන්ත හා ආසියානු සබැඳි සමුළුව පැවැති අතර ඊට සමගාමීව මේ සංචාරක පිරිස එසේ සීතාවක ඔඩිසි දුම්රියේ ගමන් කරන ලදී.

සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හා සීතාවක උද්භිද උද්‍යානය පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස නම් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඒ සමඟම සිදු කෙරිණි. තෙත් බිම් සමුළුව සඳහා දිවයිනට පැමිණි රටවල් 15ක පරිසරවේදීන් සියයකට අධික පිරිසක් සීතාවක ඔඩිසි දුම්රියෙන් සීතාවක උද්භිද උද්‍යානය හා කලටුවාව ජලපිරිපහදු මධ්‍යස්ථානය ඇතුළු ආකර්ෂණීය සංචාරක ස්ථානවල විශේෂ සංචාරයකට එක්විය. දුම්රිය ගමන අතරතුරදී කොළඹ ගෝල්ෆ් ක්‍රීඩාංගණය ආශ්‍රිත පරිසර පද්ධතිය ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්විණි. එමෙන්ම හංවැල්ලට නුදුරු කිතුල් කන්ද ආශ්‍රිත පරිසරයද ඔවුන්ගේ සිත් ගත් ස්ථාන අතර විය.

සීතාවක උද්භිද උද්‍යානයේ පිහිටුවා තිබූ සමරු ඵලකය නිරාවරණය කළ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිල වශයෙන් එසේ සනිටුහන් කළේය.

ඒ අනුව දකුණු ආසියාවේ දෙවැනි තිරසර සංචාරක කලාපය බවට සීතාවක තෙත් කලාපය පත්විය.

මේ කාර්යයන් නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම ද සහිතව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව සංවිධානය කර තිබිණි.

විදේශවලින් පැමිණි සියකට අධික පරිසරවේදීන් මෙම අවස්ථාවට එක් වූහ. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය , දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division