Home » ඉන්ධන සමඟ හොඳ හිත බෙදන අනුරපුරේ පිරවුම්හල

ඉන්ධන සමඟ හොඳ හිත බෙදන අනුරපුරේ පිරවුම්හල

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

දිනපතා දවසේ පැය 24 පුරාම පැමිණෙන සියලු දෙනාට ඉන්ධන සමඟ ආදරය බෙදන මේ අපූරු ඉන්ධන පිරවුම්හල ඇත්තේ අනුරාධපුර ශ්‍රාවස්තිපුරයි.

මෙම අපූරු ඉන්ධන පිරවුම්හලේ නිර්මාතෘවරයා වැව් බැඳි රජරට ඉපදී හැදී වැඩුණු ව්‍යාපාරිකයකු වූ ජයන්ත තෙල්ලඹුරය.

අනුරාධපුර තුන්වන පියවර පදිංචිකරුවකු වන ඔහු නිවුන් පුතුන් දෙදෙනකුගේ පියෙකි.

අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු තම ඉන්ධන පිරවුම්හල ගැන අදහස් දැක්වූයේ මෙසේය.

” මගේ පියා ඩී.තෙල්ලඹුර. එතුමා තලාව කැකිරාව පාරේ ඉතා සුළු ඉඩකඩක පුංචියට ඉන්ධන පිරවුම් හලක් ආරම්භ කළේ 2000 වසරේ දී.

තාත්තගෙ ප්‍රතිපත්තිය වුණෙත් තමන්ගෙන් සේවය ලබා ගන්න එන පාරිභෝගිකයන්ට උපරිමයෙන් සේවා සැපයීම.

එය වඩාත් හොඳින් ඉටු කරන්නට 2002 දී එතුමා ඉඩකඩ තියන තලාව කුරුණෑගල පාරේ තැනක ඉන්ධන පිරවුම්හල ආරම්භ කළා. මමත් එම ව්‍යාපාරයට පූර්ණකාලීනව දායක වුණා.

පසුව මම අනුරාධපුර ශ්‍රාවස්තිපුර පිහිටි ඉඩමක් මිලදී ගෙන තලාව ෂෙඩ් එක වෙනත් ව්‍යාපාරිකයකුට විකුණලා තමයි මේ ෂෙඩ් එක ආරම්භ කළේ. ඒ 2022 ඔක්තෝබර් මස 12 වෙනිදා”

අනුරාධපුර නගරයට කිලෝ මීටර් දෙකහමාරක් පමණ ආසන්නයේ අනුරාධපුර ඇල්ල හරහා කුරුණෑගල මාර්ගයේ පිහිටි මෙම ඉන්ධන පිරවුම්හලේ විශේෂාංග රැසකි.

අනතුරුව අප සමඟ අදහස් දැක්වූයේ කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු උපේෂිකා උදයංගනීයි.

අපි හුදු ඉන්ධන පිරවුම්හලක සේවාවෙන් ඔබ්බට ගිය පාරිභෝගිකයන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් වගකීමෙන් ඉටු කරන ව්‍යාපාරයක් ලෙස පාරිභෝගිකයන්ගේ සිත දිනා ගැනීමට සමත් වෙලා තියනවා.

අපේ ඉන්ධන පිරවුම්හලට පැමිණෙන රියැදුරන්ට මෙන්ම ඒ ඒ් වාහනවල පැමිණෙන මගීන්ට වැසිකිළි කැසිකිළි පහසුකම්, ස්නානය කිරීමට පහසුකම් ලබා දෙනවා. ආබාධිත අයට රෝද පුටුවලින් ගිහින් එම අවශ්‍යතා ඉටු කරන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී දුර ගමන් සේවාවල නිරතවන රියැදුරන්ට රිය සහායකයන්ට වාහනය ගාල් කරලා විවේක ගන්න පහසුකම් සලසලා තියෙනවා. ඒ වගේම එහෙම එන අයට රසවත් උණුසුම් ඉඟුරු තේ එකක් නොමිලේම ලබා දෙනවා.

රැගෙන එන ආහාර ගැනීම සඳහා ඉතා පිරිසිදු කෑම කාමරයක් සකස් කරලා තියනවා. අපේ ඉන්ධන නිකුත් කරන පොම්ප 15ක් තියෙනවා. ඉන් එක් ඩීසල් පොම්පයක් දිග වාහන, කන්ටේනර් රථ, ටිපර්, බස්රථ වැනි වාහනවලට ඉන්ධන නිකුත් කිරීම සඳහා මාර්ගයට ආසන්නයේම ස්ථානගත කරලා තියනවා”

මෙම ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රය පුරා අප කළ නිරීක්ෂණයේ දී අපට දකින්නට ලැබුණේ දිනපතා උදය සවස විධිමත්ව පවිත්‍ර කරමින් පවත්වාගෙන යන වැසිකිළි කැසිකිළි සහ නානකාමර පද්ධතියයි.

කාර්යාලීය සහ පොම්පකරුවන් වශයෙන් සමස්ත කාර්ය මණ්ඩලය 20 දෙනකු පමණ වන මෙම ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩයට සේවා මුරවලට අනුව උදේ දිවා රාත්‍රි ආහාර නොමිලයේම සපයන අතර ඒ සඳහා වූ අංග සම්පූර්ණ අතිශයින්ම පිරිසිදු මුළුතැන්ගෙයක් සහ කෑම පිළියෙල කිරීම සඳහා සේවිකාවක් ද ආයතනය සතුය.

“අපේ සර් සෘජු,දැඩි සහ මෘදු කියන නායකයකු සතු සියලු ගුණාංගයන්ගෙන් සම්පූර්ණ ව්‍යාපාරිකයෙක්.

අපට ඉතා හොඳ සාධාරණ වැටුපක් සහ දිරිදීමනා ලබා දෙනවා.

සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්ති භාර අරමුදලට අප දායක කරවලා අපේ රැකියා සුරක්ෂිතභාවය ආරක්ෂා කරලා තියෙනවා. ආයතනයෙන් ගෙවීම් කරන ජංගම දුරකතන ලබාදී තියෙනවා. නොමිලේ නිල ඇඳුම්, සෞඛ්‍ය පහසුකම් අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උපකාර කිරීම ආදී බොහෝ සේවා අපට ලබා දෙනවා. මේ නිසාම අපි සර් එක්ක වැඩ කරන්නෙ හරිම තෘප්තියෙන් වගේම මේ ආයතනය අපේ කියන හැඟීමෙන් යුක්තව.

එසේ අදහස් දැක්වූයේ ආයතනයේ කළමනාකරුවකු වශයෙන් සේවය කරන සුජාන් රණසිංහය.

කළමනාකාර ප්‍රසන්න කස්තුරිසිංහ අප සමඟ පැවසුවේ “එතුමා හොඳ ඇහුන්කන් දෙන්නෙක්. මේ ෂෙඩ් එක නිර්මාණය කළේ එතුමාගේ අත්දැකීම් සහ පළපුරුද්දට අපේ අදහස් ද මුසු කරලා. පොම්ප කරුවන්ට පවා එහිලා අදහස් දැක්වීමේ අයිතිය ලබා දුන්නා.” ලෙසිනි.

ශ්‍රාවස්තිපුර පදිංචි ප්‍රියන්ත රත්නායක තලා⁣ව ඉන්ධන පිරවුම්හලේ සිටම සේවයට එක්ව සිටින මෙම ඉන්ධන පිරවුම්හලේ සේවය කරන පොම්පකරුවෙකි. තුන්දරු පියකු වන 44 වියැති ප්‍රියන්ත හෘද රෝගී තත්ත්වයකට පත්වූයේ 2022 වසරේ දී ය.

“මේ ගැන දැනගත්ත අපේ සර් මාව මහනුවර ආසිරි රෝහලට යවලා අදාළ පරීක්ෂණ කරවලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා මා සුවපත් කළා.

එහෙම එතුමා ළඟ වැඩ කරන අයගෙ ලෙඩදුක්, දුක සැප සොයා බලන බෝධිසත්ව ගුණ පිරුණු මහත්තයෙක්”

ප්‍රියන්ත රත්නායක අප හා එසේ පැවසුවේ කෘතවේදීවය.

කළමනාකාරවරුන් දෙදෙනකු විගණන නිලධාරිවරයකු ඇතුළු හය දෙනෙකුගෙන් සමන්විත කාර්යාලයීය කාර්ය මණ්ඩලය සමඟ මනා පරිපාලන රටාවක් අනුගමනය කරමින් පැමිණෙන පාරිභෝගිකයන්ට ඉන්ධන සමඟ ආදරය බෙදන මේ අපූරු ඉන්ධන පිරවුම්හලේ සුහදශීලී සේවය ලබා ගැනීමට අනුරාධපුරයට පැමිණෙන අපේ පාඨක ඔබට ද අවස්ථාව ඇත.

ඔබ අනුරාධපුර වන්දනාවක ආවොත් ඔබ නිවසින් රැගෙන එන ආහාර පාන ඉතා පිරිසිදු ස්ථානයක සිට භුක්ති විඳීමට, මඳක් විවේක සුවයෙන් ගත කිරීමට වැසිකිළි කැසිකිළි පහසුකම් ලබා ගැනීමට අනුරාධපුර ශ්‍රාවස්ති පුර ඉන්ධන පිරවුම් හ⁣ලේ පහසුකම් සලසා ඇති බව මෙහිලා විශේෂයෙන් සටහන කරමි.

ජී. එස්. කිත්සිරි රත්නායක
ඡායාරූප – තාරක විජේවර්ධන

සුනිල් පොරමඬල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division