Home » මල් පැළ විකුණා මොන්ටෙරෝවක් මිලට ගත් හිත හයිය මල් කෙල්ල

මල් පැළ විකුණා මොන්ටෙරෝවක් මිලට ගත් හිත හයිය මල් කෙල්ල

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

ජීවිතය මල් යායක් තරම් සොඳුරු නැති බැව් දැන දැනම ඇය පිපී පරවන මල් ගැන විශ්වාසය තැබුවාය. සිය හදවතේ ගුළි ගැහුණු හීන පොදිය මොහොතකටවත් බිම නොතැබූ ඇය උත්සාහය, කැපවීම, ආත්ම විශ්වාසයෙන් සිය ගැහැනු ආත්මය සරසා ගෙන ජයග්‍රහණයේ මාවතට පිවිස සිටින්නීය. ඇය, කුරුණෑගල මාවතගම පදිංචි ප්‍රිමාලි මධාරා ය. එසේ වුවද බොහෝ දෙනකු ඇය හඳුනන්නේ “ඇන්තූරියම් ප්‍රිමාලි” කියාය.

“මම මල් වවන්න පටන් ගත්තේ ජීවිතේ ලොකු ලොකු හීන තියාගෙන නෙවෙයි. මුලින්ම මට හිතුණේ මට ඇඳුමක් පැලඳුමක්, ක්‍රීම් එකක් ගන්න පුංචි මුදලක් ලැබුණා නම් ඇති කියලා. ඊටපස්සේ හිතුණා රුපියල් දහදාහක ආදායමක් විතර ලැබුණොත් ඇති කියලා. ව්‍යාපාරය ටික ටික දියුණු වෙද්දි ස්කූටරයක් ගන්න එක තමයි මගෙ ලොකුම හීනය වුණේ. ඒක හැබෑ කරගන්න එක එච්චර ලේසි වුණේ නැහැ. මුලින්ම මටම කියලා ගත්තෙ මදුරුවා බයික් එකක්. ඒක ගත්ත දවසේ මට පුදුමාකාර සතුටක් දැනුණා. ඊට ටික කාලෙකට පස්සේ තමයි ස්කුටිය ගන්න පුළුවන් වුණේ. ඊට ටික කාලෙකට පස්සේ මහත්තයාගේ ත්‍රීවිල් එක විකුණලා අපි ඇල්ටො කාර් එකක් ගත්තා. ඊට අවුරුද්දකට විතර පස්සේ වෙසෙල් කාර් එකක් ගත්තා. ව්‍යාපාරය පටන් අරගෙන ගතවුණු අවුරුදු හයේම හැම අවුරුද්දෙම අවසානයේ මොකක් හරි විශේෂ දෙයක් මිලදී ගත්තා. ඒ විදිහට ඉස්සෙල්ලාම ගත්තේ ඉඩමක්. ඊට පස්සේ වාහනයක්. ඒ විදිහට ගිය දෙසැම්බර් මාසේ මොන්ටෙරෝ එකක් ගත්තා. සමහරු හිතයි ඇන්තූරියම් වවලා මෙච්චර දෙයක් කරගන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන්ම පුළුවන්”

නෙක වර්ගවලින් සුසැදි සුන්දර ඇන්තූරියම් මල් යායේ සිට ප්‍රිමාලි සිය සාර්ථකත්වයේ කතාව අප හමුවේ දිග හැරියාය.

“මම මුලින්ම මල් වැව්වෙ විනෝදාංශයක් විදිහට. ඒ කාලෙත් බැංකොක් ඇන්තූරියම් පැළ මිල අධිකයි. ඒත් මම ටික ටික පැළ වැව්වා. එහෙම ඉන්නකොට තමයි ව්‍යාපාරයක් කරන අදහස හිතට ආවේ. ”

ප්‍රිමාලිට ඒ සිතිවිල්ල පහළ වන්නේ 23 හැවිරිදි වියේදී ගැබිනියකව සිටියදීය. සාමාන්‍යයෙන් ඇතැම් ගැබිනි මවුවරුන්ට ඒ කාලයේ ඇතිවන ශාරීරික අපහසුතා නිසා එදිනෙදා කළ වැඩ කටයුතු පවා අතපසු වද්දී ප්‍රිමාලිට මල් වැවීමේ ආශාව ඇතිවන්නේ සිය තෙවැනි දරුවා කුස පිළිසිඳ ගැනීමත් සමඟය. ඒ, 2017 වසරේදීය.

” ඒ පාර මට ලැබුණේ දුවෙක්. එයා දෙව්ලි. දුව ඉපදිලා එයාට සති 3ක් වෙද්දි විනෝදාංශයක් විදිහට කරපු මල් වැවීම මම ව්‍යාපාරයක් විදිහට පටන් ගත්තා. ”

ඒ අනුව පිටරටින් ගෙන්වන මල් පඳුරු මිලදී ගෙන අන්තර්ජාලය මඟින් ඒවා විකිණූ ප්‍රිමාලි වටා පාරිභෝගික ජාලයක් ඇති විය. ඇය ඇන්තූරියම් මල් පැළ විකිණීමේ ව්‍යාපාරය අරඹන්නේ බැංකුවකින් ලබාගත් රුපියල් 43,000ක ණය මුදලකිනි.

“ඒ සල්ලි ටික මම ව්‍යාපාරයට යෙදෙව්වේ හරිම පරෙස්සමෙන්. ඒ වෙද්දි ඒ මල් පැළ විකුණන වෙනත් අය ඒ පැළම විකුණලා රුපියල් 500 – 600ක් වගේ ලාභ ලබද්දි මම රුපියල් දෙසිය පනහේ ලාභයට පැළ වැඩි ගාණක් විකුණුවා. පුදුමේ කියන්නේ ව්‍යාපාරය පටන් අරගෙන මාස 3ක් විතර යද්දි මට ලොකු ආදායමක් ලැබුණා. ඒ වෙද්දි මගෙ චූටි දුවටත් මාස තුනක්. මට තනියම ව්‍යාපාරය කරගෙන යන්න බැරි නිසා මහත්තයත් ව්‍යාපාරයට සම්බන්ධ වුණා. මුලින්ම මම පැළ වැව්වේ අපේ ගෙදර වත්තේ අඩි 8×10 පොඩි ඉඩක. සුවහස් මල් සංගමයට බැඳිලා තමයි තවානට නෙට් එකක් දාගත්තෙත්. ඒ එක්ක ව්‍යාපාරයත් ටිකින් ටික දියුණු වෙද්දි අපේ ආදායම වැඩි වුණා. මහත්තයා ත්‍රීවිල් එක විකුණලා ඇල්ටො කාර් එකක් ගත්තා. අවුරුදු එකහමාරකට විතර පස්සේ අපි අපේ ගෙදරට අල්ලපු ඉඩම මිලට ගත්තා. ඒ පර්චස් 17 ඉඩමෙ සම්පූර්ණයෙන්ම නෙට් හවුස් එකක් කළා. ටික කාලෙකින් ඒ ඉඩමට යාබද ඉඩමත් අරගෙන ව්‍යාපාරය තවත් පුළුල් කළා.“

අද බෙහෝ තුටින් පැවසුව ද ව්‍යාපාරය සාර්ථකත්වය කරා ආ ගමන මල් මාවතක් තරම් සුන්දර සුවපහසු නොවූ බව ද ප්‍රිමාලි පැවසුවාය.

“අමාරුකම් බාධක ගොඩක් මැද ආ ගමනක්. පටන් ගන්නකොටම මේ ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න අයගේ කැපිලි කෙටිලිවලට මුහුණ දුන්නා. ඒ වගේම රටින් ගේන පැළවලට ලෙඩ හැදිලා විනාශ වූ අවස්ථා තිබුණා. ව්‍යාපාරය පටන් අරගෙන මාස පහක් හයක් යද්දි එකපාරටම පැළවලට ලෙඩක් ආවා. ඒ, අපි අලුත් තැනට මාරු වුණු අලුත. බෙහෙත් ගැහුවත් හරි ගියේම නැහැ. අන්තිමට ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවලා පිරිත් පැන් ඉස්සට පස්සෙයි ඒ කරදරේ නැතිවුණේ. මොන බාධක වුණත් නතර වීමක් වුණේ නැහැ.”

ඒ දිරිය ශක්තිය තමාට ලැබුණේ තමාගේ සමීපතම ආදරණීයයන් නිසා බව ඇයගේ විශ්වාසයයි.

“මගෙ අම්මා, තාත්තා, මල්ලි ඇරුණාම මේ හැමදේටම මට හයිය වුණේ මගෙ සැමියා දිනේෂ් ඉන්දික (39) මම මල් විකුණන්න පටන් ගත්ත අලුත ඔන්ලයින් කූරියර් කරපු මල් පැළ තොගයක්ම තැළිලා නාස්ති වෙලා ඒකෙන් වුණ පාඩුව නිසා මහත්තයා ආයේ මල් ගෙන්න යන්නවත් කැමති වුණේ නැහැ. බලෙන් තමයි මම එක්ක ගියේ. ඒත් ව්‍යාපාරයට සම්බන්ධ වුණාට පස්සේ මටත් වඩා ඒ ගැන උනන්දු වුණේ එයා. අදටත් ව්‍යාපාරයේ විකිණීම් වැඩ හැර අනිත් බොහෝ දේවල් කරන්නෙ මහත්තයා. ඒ වගේම ප්‍රශ්න, කරදර එද්දි මගෙ හිත හදන්නේ ශක්තිමත් කරන්නෙත් එයයි. එකපාරක් ලක්ෂ 3-4ක් වියදම් කරලා ගෙනාව මල් තොගයම ලෙඩක් හැදිලා මැරුණා. ඒ වෙලාවේ නම් මට සෑහෙන දුකක් දැනුණා. කවදාවත් නොවුණ තරමට මානසිකව වැටුණා. ඒ වෙලාවේ මගෙ හිත හැදුවේ මහත්තයා. ඒ වගේම අපි ටිකෙන් ටික දියුණු වෙනකොට කකුලෙන් අදින, ගැරහුම් කරන අය ගැන නොහිතා ඉස්සරහට යන්න හයිය දෙන්නෙ මහත්තයා. ඒ හැරුණාම අද අපේ ව්‍යාපාරය මේ තැන තියෙන්නේ අපේ ගැනුම්කරුවො නිසයි. මුල් කාලේ ඔන්ලයින් විකුණද්දි මං ගැන විශ්වාසය කරලා මගෙන් මල් පැළ ගත්ත අය නිසයි අද මම මෙතැන ඉන්නෙ. ඒ හැමදෙනාටත් ස්තුති වන්ත වෙනවා මෙතෙක් කාලයක් මගේ ව්‍යාපාරය සමඟ සම්බන්ධ වී සිටීම ගැන. ”

මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවියක වන ප්‍රිමාලි මධාරා තමා මල් වගාව හෝ අලෙවිකරණය සම්බන්ධ හැදෑරීමක් කළ අයකු නොවන බව ද කීවාය.

“මමවත් මහත්තයාවත් වගාව ගැන කාගෙන්වත් කිසිම පුහුණුවක් ලබලා නැහැ. මුල්ම කාලේ පැළ ගන්න ගියාම ඒ විකුණන තැන්වලින්ම අහගන්නවා ඒවා හිටවන විදිහ ගැන. ඒත් ඒවා සාර්ථක වුණේ නැහැ. පැළ මැරුණා. ඊට පස්සේ අපි අපේම ක්‍රමයක් හදාගත්තා. දැන් මම ඇන්තූරියම් වගාව ගැන නොමිලේ උගන්වනවා වගේම සහතික පත්‍රයකුත් දෙනවා. ”

වරක් ඇය වයඹ පළාත් හොඳම ව්‍යවසායකයා ලෙස ද සම්මානයට පාත්‍ර වූවාය. මේ වන විට ප්‍රිමාලි සතුව මල් පැළ වර්ග පන්දහසක් පමණ ඇති අතර ලක්ෂයකට ආසන්න පැළ සංඛ්‍යාවක් වේ. ඒ අතරින් ඇන්තූරියම් මල් පැළ විශේෂිත වන අතර ඒ පිළිබඳ වැඩි තොරතුරු විමසන්නට සිතුණේ නෙක පැහැයෙන් හැඩයෙන් යුතු ඇන්තූරියම් මල් යායේ සුන්දරත්වය දුටුවන්ගේ නෙත් සිත් සොරාගන්නා බැවිනි.

“ඇන්තූරියම් කියන්නේ අද පටන් ගත්ත ගමන් සතියකින් දෙකකින් යොදවපු මුදල් හොයන්න පුළුවන් වගාවක් නෙවෙයි. අනිවාර්යෙන් ඒකට මාස 3ක් විතර යනවා. එකපාරටම මේ මට්ටමට එන්න බැහැ. මල් වගාව කියන්නේ බොහොම ඉවසීමෙන් ආදරයෙන් කරන්න ඕන ව්‍යාපාරයක්. මේ දවස්වල වෙළෙඳපොළේ ඇන්තූරියම් මිල ගණන් ටිකක් අඩුයි. නමුත් මැජික් රෙඩ් කියන ඇන්තූරියම් වර්ගයේ හොඳ මවු ශාඛයක මිල කොවිඩ් කාලේ ලක්ෂ දෙකහමාරක් පමණ වුණා. දැන් ඒක අලෙවි වෙන්නේ රුපියල් ලක්ෂයකට වගේ මිලකට. මේ ව්‍යාපාරය දැන් අපේ ජීවිතේට බැඳිලා. උදේ දරුවො තුන්දෙනා පාසල් ගියාට පස්සේ මම උදේ 7 සිට දවල් 12 විතර වෙනතුරු ඉන්නේ මල් එක්ක. බබාලා ගෙදර ආවට පස්සේ දවල් 2ට විතර ආයෙත් මම ව්‍යාපාරයේ වැඩ. මහත්තයත් දවසම වැඩ කරනවා. අද අපි දවසම මහන්සි වෙලා වැඩ කළොත් තමයි තව මාසෙකින් අපේ ආදායම ලැබෙන්නේ. ඒ නිසා දවස ගානේම වැඩ කරන්න වෙනවා. සමහරු අපෙන් අහනවා මල් වගාවෙන් මෙච්චර සාර්ථක වෙන්න පුළුවන්ද කියලා. එහෙම අහන්නේ අපි ගැන නොදන්න අය. මමයි මහත්තයි මේ ව්‍යාපාරය වෙනුවෙන් කරන කැපවීම ගැන දන්න අය ඒ ගැන දන්නවා. මල් පැළ හිටවන්නෙත් මමයි මහත්තයයි.”

මේ වන විට ප්‍රිමාලි දේශීය වෙළෙඳපොළ මෙන්ම විදේශීය වෙළෙඳපොළ ද ජයගෙන අවසන්ය. ඇන්තූරියම් මල් සඳහා රුසියාවෙන් හොඳ ඉල්ලුමක් තිබෙන බව ද ඇය පැවසුවාය.

“ඒත් අපිට රටින් මල් ගේන්නවත් යවන්නවත් අවසර නැහැ. ඒ අවස්ථාව තියෙන්නේ ව්‍යාපාරිකයන්ට විතරයි. රජය ඒ සඳහා වැඩපිළිවෙළක් හදනවා නම් අපි වගේ ව්‍යවසායකයන්ට වගේම මේ ක්ෂේත්‍රයටත් යහපතක්”

වරංගා (13), ඩිනුර (07) සහ දෙව්ලි (06) යන දූ පුතුන් ප්‍රිමාලිගේත් දිනේෂ්ගේත් ජීවිත උයනේ සුපිපි සුන්දර කුසුම් ය. ව්‍යාපාරයත්, පෞද්ගලික ජීවිතයත් සමබර කරගනිමින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන ප්‍රිමාලිගෙන් අප ඇසුවේ ඇයගේ ඊළඟ සිහිනය ගැනය.

“ඊළඟ හීනය ටිකක් ලොකුයි. දැන් අපේ ව්‍යාපාරය තියෙන්නෙ පර්චස් 60ක විතර ඉඩමක වුණත් මෙතැනත් දැන් අපිට මදි. ඉඩකඩ ඇති තැනකට යන්න තියෙන බාධාව අපිට පදිංචියටත් එතැන සුදුසු වෙන්න ඕනේ නිසයි. ඒ නිසා මගේ ඊළඟ හීනය අක්කරයක් එකහමාරක් වගේ ලොකු තැනකට ව්‍යාපාරය ගෙනියන එකත් එතැනම අපේ සිහින නිවහනත් හදාගන්න එකයි. ටිකක් කල් ගියත් කොහොමහරි මම ඒ හීනෙත් සැබෑ කරගන්නවා”

ඇය කීවේ තිර හඬිනි. එය සිහින ලුහුබැඳ යන කාටත් ආදර්ශයකි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division