Home » හිරුණිකා වසර තුනකට මහ උළු ගෙදරට යැවූ ඩිෆෙන්ඩර් සිද්ධියේ මුල මැද අග

හිරුණිකා වසර තුනකට මහ උළු ගෙදරට යැවූ ඩිෆෙන්ඩර් සිද්ධියේ මුල මැද අග

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

ලයේ සිටියදී අනීතික ලෙස හැසිරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක වීම කෙසේ සිදු වන්නේ කෙසේදැයි පොදු සමාජයට පණිවිඩයක් ලබා දිය යුතු වෙනවා. දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයා පැහැරගෙන යාමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර යන අය විසින් අධාර අනුබල දෙනු ලැබූ බවට මෙම නඩුවේදී ඉදිරිපත් වී ඇති සාක්ෂි සැලකීමේදී සෑහීමකට පත්විය හැකියි. ඒ හේතුවෙන් නීතිපතිවරයා නඟා ඇති චෝදනා 18ටම විත්තිකාරිය වරදකරු කරමි.” කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මේ තීන්දුව ලබා දුන්නේ, කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු සිරකර තබාගැනීමක් කළ බවට අධිචෝදනා එල්ල වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධ නඩු තීන්දුව ඉකුත් 28 වැනිදා පෙරවරුවේ කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරමිනි.

2015 දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී දෙමටගොඩ රෙදිපිළි වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර අමරසිංහ නමැති තරුණයා රැකවලුන් යොදවා පැහැරගෙන ගොස් අතින් පහරදී තුවාල කිරීම හා එයට අනුබල දීම ඇතුළු චෝදනා 24න් 18ක්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ තිබිණි. එම චෝදනා දහඅටටම විත්තිකාරිය වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරයා ඇයට බරපතළ වැඩ සහිත වසර 32ක සිරදඬුවමක් නියම කර එය වසර 03කින් ගෙවීයන ආකාරයෙන් නියම කළේය.

විත්තිකාරියට එරෙහි අධිචෝදනා 18 සඳහා එක් චෝදනාවකට රුපියල් 20, 000 බැගින් රුපියල් 360,000 ක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම්, එක් චෝදනාවක් සඳහා මාස 06ක ලිහිල් සිරදඬුවමක් ද නියම කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් පිටු 31ක දීර්ඝ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරියට එරෙහිව ප්‍රබල සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ බවත්, අධිකරණය පුද්ගලයන්ගේ තරාතිරම නොව ඉදිරිපත් වූ සාක්ෂි අනුව පමණක් තීන්දු දීම සිදු කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා සිය නඩු තීන්දුවේදී ප්‍රකාශ කර සිටියේය.

නඩු තීන්දුව අසා දැන ගැනීමට හිරුණිකාගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර සහ සැමියා හිරාන් යටෝවිට ද අධිකරණ ශාලාවට පැමිණ සිටි අතර, නඩු තීන්දු‍ව ප්‍රකාශ කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ඉකිගසමින් ශාලාවෙන් පිටතට යන අයුරු පෙනිණි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දීර්ඝ වේලාවක් බිම බලා ගෙන සිටි අතර පසුව ඇය ද හඬන්නට වූවාය.

නඩුවේ තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අය වෙනුවෙන් මෙතෙක් නඩුවට පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනාන්දු අධිකරණය ඉදිරියේ පෙනී නොසිටි අතර ඔහු අසනීපව ඇති බවට අධිකරණයේදී හෙළි විය. විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ අධිකරණය අමතමින් සඳහන් කර සිටියේ මන්ද්‍රි කාරක කරුණු ඉදිරිපත් කිරීම සඳහා පමණක් තමන් විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින බවය.

නඩුව ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ, මෙම පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගත් විත්තිකාරියගේ ආධාරකරුවන් අට දෙනෙකුට අධිකරණයෙන් අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කළ බවය.

‘‘ස්වාමිනි, මෙම සැකකාරිය අදාළ තරුණයා පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ඒකරාශී වීම, නීති විරෝධී ලෙස රදවා තබාගැනීම ඇතුළු චෝදනා සඳහා වෙන වෙනම සිර දඬුවම් නියම කළහොත් වසර 69ක් සඳහා සිර දඬුවම් හිමි විය යුතුයි. එවැනි පසුබිමක නීතිපතිවරයාගේ ස්ථාවරය වන්නේ අදාළ තැනැත්තිය සිදු කළ බරපතළ වරදට අනිවාර්යෙන්ම ඇය බන්ධනාගාරගත කළ යුතු වීමයි. ස්වාමිනී, ඇය එවකට පාර්ලිම්න්තු මන්ත්‍රීවරියක්. තමාගේ බලය අනිසි ලෙස භාවිත කරලා අධාරකරුවන් 8 දෙනකු යොදාගෙන සමාජයේ සාමාන්‍ය පුද්ගලයකු පැහැරගෙන ඇවිත් සිය පෞද්ගලික ප්‍රශ්න විසඳා ගැනීම උදෙසා තර්ජනය කිරීම සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. එය බරපතළ තත්ත්වයක්. මේ නිසා මෙම විත්තිකාරියට ලබා දිය යුත්තේ අත්හිටවූ සිරදඬුවමක් නොවෙයි. අධිකරණය මඟින් වරදකරු කෙරුණු විත්තිකරුවකුට හෝ විත්තිකාරියකට දඬුවම් නියම කිරීමේ මූලධර්ම තිබෙනවා. මුලින්ම මේ විත්තිකාරිය කර තිබෙන වරදවල්වල් කෙසේදැයි සලකා බැලිය යුතුයි. ඒ අනුව ඇයට සිර දඬුවම් නියම කරනවාද එසේ නැතහොත් නියම කළ සිරදඬුවම අත්හිටුවනවාද යන්න තීරණය කළ යුත්තේ අධිකරණයයි. මෙම තැනැත්තියට ලබා දෙන දඬුවම අත්හිටුවීමෙන් බලාපොරොත්තු වන අභිප්‍රාය ඉටු වෙන්නේ නැහැ. නීතියට ගරු කරන තෙක් නීතිය සමාජය ආරක්ෂා කරන බවට මේ තුළින් සමාජයට පණිවිඩයක් ලබා දිය යුතුයි. මේ තැනැත්තියගෙන් පාරේ යන අයටත් සිදුවන්නේ මෙවැනිම තත්ත්වයක් බව සමාගත කළ යුතුයි. මෙම තැනැත්තිය මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරියක්. ඇය එවකට සිටියේ මහජනතාව විශ්වාස කරන තනතුරක. සිද්ධියට අදාළව නඩුව විභාග වන අවස්ථාවේදී අදාළ පැහැරගැනීමට ලක්වූ තරුණයා තමාගේ කාර්යාලයට පැමිණි බව ඇය පැවසූවත් ඊට අදාළ සී සී ටී වී දර්ශන ඇය නඩුවට ලබා දුන්නේ නැහැ. ඒ කියන්නේ හෘදය සාක්ෂියට එරෙහිව කටයුතු කළ අවස්ථාවක් තමයි එහිදී දක්නට ලැබුණේ. ස්වාමිනී, මම නැවත නැවතත් අවධාරණය කරන්නේ පුද්ගලයෙක් ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගැනීමට එහා ගිය බලයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පුද්ගලයකු ඇදගෙන ගිහින් සිදුකරන ද මෙම ක්‍රියාව බරපතළ තත්වයක්. ඒ නිසා ඊට අනිවාර්යෙන්ම දඬුවම් පැමිණවිය යුතුයි. ඇය විසින් සිදු කර තිබෙන්නේ බරපතළ වරදක්. ඒ නිසා ඇයට අනිවාර්යෙන්ම බන්ධනාගාර ගත විය යුතු ආකාකරයේ දඬුවමක් නියම කළ යුතු යැයි මා ඉල්ලා සිටිනවා. එසේම එම දඬුවම අත් හිටුවීම නොකළ යුතු බවත් මා ඉල්ලා සිටිනවා. මොකද විත්තිකාරියට තමන් වරදක් කළ බව දැනෙන ආකාරයේ දඬුවමක් නියම විය යුතුයි. එසේම එය සමාජයට පණිවිඩයක් ලබා දිය හැකි ආකාරයේ දඬුවමක් ද විය යුතුයි. එට අමතරව විත්තිකාරිය ගමන් කළ මාර්ගයේ ඉදිරිය්දී ගමන් කිරීමට සුදානම් වන පුද්ගලයන්ට පණිවිඩයක් ලබාදිය හැකි ආකාරයේ දඬුවමක් ලබාදිය යුතුයි. එසේම නීත්‍යානුකූලව ජීවත් වන පුද්ගලයන්ට නීතියේ රැකවරණය ලැබෙන බව හැඟවෙන ආකාරයේ දඬුවමක් ඇයට ලබා දිය යුතුයි.“ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

විත්තිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනුර මැද්දේගොඩ සඳහන් කර සිටියේ තම සේවාදායිකාවට වයස අවුරුදු 03, 04 සහ 05 යන වයසේ දරුවන් තිදෙනකු සිටින බවත් ඇය බන්ධනාගාර ගත කරනු ලැබුවහොත් එම දරුවන් තිදෙනාට දැඩි අගතියක් සිදුවන බවත්ය. එබැවින් විත්තිකාරියට ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපති නිතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

‘‘ස්වාමිනී, මෙම විත්තිකාරිය ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක්. සමාජ අකටයුතුකම් සිදුවන අවස්ථාවලදී ඇය පෙරට විත් ඊට එරෙහිව පෙනී සිට තිබෙනවා. මෙම විත්තිකාරියට ඉන්නේ කුඩා දරුවන් තිදෙනෙක්. ඇය බන්ධනාගාර ගත කරනු ලැබුවහොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවෙනවා. මෙම දඬුවමට එරෙහිව තම සේවාදායිකාව අභියාචනයයක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා.“ යනුවෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙහිදී මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විවෘත අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටයේ, විත්තිකාරිය තරුණයකු පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම හා අධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කරන බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2016 වර්ෂයේ ජූලි මස 26 වැනිදා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අය ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා 24ක් නඟා තිබිණි. 2017 නොවැම්බර් මස 06 වැනිදා විත්තිකරුවන් කිහිප දෙනෙකු මීට පෙර වරද පිළිගැනීම හේතුවෙන් මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම හේතුවෙන් වසර 12ක අත්හිටවූ සිරදඬුවමක් නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. පැහැරගැනීමට ලක්වූ තරුණයාට රුපියල් 285,000 ක වන්දි මුදලක් ගෙවීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් විණී.

ඉන්පසු 9 වැනි විත්තිකාරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රට විරුද්ධව පමණක් නඩු විභාගය ක්‍රියාත්මක විය. දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102 වගන්ති සමඟ කියවිය යුතු 331,338, 353, 356 වගන්තිය යටතේ සහ 140 වැනි වගන්තිය යටතේ වගඋත්තරකාරියට එරෙහිව චෝදනා ඉදිරිපත්ව තිබිණ.

නඩු විභාගයේදී පැමිණිල්ල ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාව ඇතුළු පිළිගැනීම් බොහොමයකට විත්තිය එකඟ නොවීම නිසා නඩු විභාගය දීර්ඝ ලෙස කල් ගියේය. විත්තිය එකඟ වූයේ පැමිණිල්ල ඉදිරිපත් කළ යෝජනා අතරින් පැහැර ගැනීම කළ ඩිෆෙන්ඩර් රථයේ අංකය ගැන හා විත්තිකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් යන කාරණය ගැන පමණි. එමනිසා අනෙක් කරුණු තහවුරු කිරීමට පැමිණිල්ලට සිදු විය.

නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස පැහැර ගැනීමට ලක්වූ අමිල ප්‍රියංග යන අය 2023 වසරේ මැයි 09දා සාක්ෂි දෙන ලදි. මේ වන විට කැලණිමුල්ල ප්‍රදේශයේ තේකොළ කර්මාන්ත ශාලාවක ගබඩා සහායකයකු ලෙස සේවය කරන සාක්ෂිකරු සිද්ධිය වූ අවස්ථාවේ දෙමටගොඩ ‘ලකී ස්ටෝර්ස්’ හි වෙළෙඳ සේවකයකු ලෙස සේවය කළ බව පවසන ලදි. ඔහු 2000 වසරේදී විවාහව ඇති අතර එම විවාහයෙන් දරුවන් ‍2ක් සිටින බව කියා සිටියේය. පසුව ඔහු 2022 වසරේදී දෙවැනි විවාහයක් කරගෙන ඇත.

සාක්ෂිකරු වැඩිදුරටත් සාක්ෂි දෙමින් මෙසේ ද ප්‍රකාශ කර තිබිණි.

“මේ සිදුවීම වන විට මම පදිංචිව සිටියේ ගොතටුවේ. මම චමිලා ගීතානි සමඟ සම්බන්ධයක් තිබුණා. මම දෙමටගොඩ ‘ලකී ස්ටෝර්ස්’ හි වැඩ කරන කොට 2015 වසරේ දෙසැම්බර් 21දා ඩිෆෙන්ඩරයක ආ කිහිප දෙනෙක් බලහත්කාරයෙන් පැහැර‍ගෙන ගියා. ඔවුන් උදේ 10.20ට පමණ ආයතනය ඇතුළට ඇවිත් මගේ නම කියලා කතා කළා. ඉන්පස්සේ මගේ කොලර් එකෙන් අල්ලා ගෙන එළියට ඇද‍ගෙන ගියා. ඊට පස්සේ ඉස්සරහ සිකියුරිටි කුටිය ළඟට අරන් ගිහින් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. පස්සේ මාව ඩිෆෙන්ඩර්එකට බලෙන් දාගෙන කොලොන්නාව පැත්තට අරන් ගියා. කොලොන්නාවේ කාර්යාලයේ හිරුණිකා මිස් හිටියා. මාව දැක්ක ගමන් මූද මිනිහා කියලා එයා ඇහුවා. කාර්යාලයේ චමිලාගේ සැමියා වන ඇන්ටන් ද සිටියා. මේ පුද්ගලයා මගේ දේශපාලන වැඩවලට හුඟක් උදව් කරලා තියෙනවා. ඒ නිසා එයාගේ කීම අහක දාන්න බැහැ, කියලා හිරුණිකා මිස් මට කිව්වා. මගේ ෂර්ට් එක ඉරිලා තිබුණ නිසා ඒ ගොල්ලෝ මාව විහිළුවට ගත්තා. ඒ ගොල්ලෝ හොඳටම හිනා වුණා. ඒ වෙලාවේ හිරුණිකා මිස් මේසයක් උඩ වාඩිවෙලා කකුල් දෙක පද්දමින් හිටියා. එයා මගෙන් මේ ගෑනු කෙනා ඉන්නේ කොහෙද කියලා ඇහුවා. කොටිකාවත්තේ ඉන්නේ කියලා මම කිව්වා. හිරුණිකා මිස් මගේ අයිඩින්ටිය අරන් චමිලාව ගෙනැවිත් භාර දෙන්න කිව්වා. හැබැයි චමිලා අරන් එන්නෙ නැතිව කොහේ හරි ගිහින් හැංඟුණොත්, යාපනේ හිටියත් මට කමක් නැහැ. මට බලය තියෙනවා මම ඉන්න තැනකින් උස්සන් එනවා කියලා කිව්වා” යැයි කියා සිටියේය.

විත්තියේ නඩුවේදී 9 වැනි විත්තිකාරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරන ලද අතර, ඇගේ සාක්ෂියේ මෙසේ සඳහන් විය. “මම කොළොන්නාවේ කාර්යාලයට එන විට ඇන්තනි හිටියා. මම ඇන්තනිගෙන් කොහොමද කියලා ඇහුවම ඔහු “මැඩම්, මේ මිනිහා මගේ වයිෆ් අරන් ගිහින්. මෙයාට කියන්න මගේ වයිෆ්ව ගෙනත් දෙන්න කියලා” කිව්වා, “ඊට පස්සේ මම ඇහුවා කෝ වයි‍ෆ්” කියලා. “මේ මනුස්සයගේ ගෙදර තියන් ඉන්නවා” කියලා ඇන්තනි කිව්වා. “මට උත්සවයකට යන්න පරක්කුවෙලා තියෙන්නේ. ආයේ එනවා. වයිෆ්ව අරන් එන්න කියලා” හිරුණිකා කිව්වා කියලා කියනවා. “මම ඹෆිස් එකට ගියෙම මගේ වාහනයේ කවුද ගියේ කියාගෙන. ඇන්තනි, එයාගේ බිරිය හා දරුවා සහ තවත් අය එතැන හිටියා. කට්ටියම නැඟිට්ටා. “මේ ඉන්නේ මගේ වයිෆ්” කියලා ඇන්ටනි කිව්වා. “මම කැමැත්තෙන් ගියේ” කියලා වයිෆ් කිව්වා. ඉන්පස්සේ මම දෙන්නටම අවවාද කළා”

පැමිණිල්ලේ දේශනයේදී හිරුණිකාගේ සාක්ෂියේ අවංකභාවය ගැන පැමිණිල්ලේ නීතිඥයා ප්‍රශ්න කරන ලදී. මෙම සිදුවීම විත්තිකාරිය පවසන ආකාරයේ අහිංසක වැඩක් නොවන බව පෙන්වා දුන් පැමිණිල්ලේ නීතිඥයා ඇය ඒ වන විට බලයේ සිටි ආණ්ඩුවේ මන්ත්‍රීවරියක බැවින් නීතිය අතට ගෙන කටයුතු කළ ආකාරයක් මෙම සිදු වීමෙන් පෙනෙන බව ප්‍රකාශ කර සිටියේය.

‘‘දේශපාලනඥයන්ට නීතිය සිල්ලර දෙයක්. අධිකරණයට, පොලිසියට වෙන් වෙන් කාර්යභාරයන් පැවරී තිබෙනවා. දේශපාලනඥයන් නඩුකාරයෙක් විදියට වැඩ කරන්න ගියොත් මොනවගේ තත්ත්වයක් ඇති වෙයිද යැයි රජයේ නියෝජ්‍ය සො‍ලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පැමිණිල්ලේ දේශනය ආරම්භ කරමින් එදින ප්‍රකාශ කර තිබිණි.

නීතිවිරෝධී අයුතු රැස්වීමක සාමාජිකයන් වෙමින් පුද්ගලයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගත් බව කියන සිද්ධියකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඥාති සහෝදරයකු ඇතුළු පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් 6 දෙනකු මුලින්ම කොළඹ මහේත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඉකුත් 2015 වසරේ දෙසැම්බර් 23 වැනිදාය.

දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටා තිබෙන තම වෙළෙඳසැලේ සේවය කළ සේවකයකු වූ අමිල ප්‍රියංග අමරසිංහ නැමැත්තා ඉකුත් 2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා දහවල් 2.30ට පමණ සුදු අත්කොට ටී ෂර්ට් සහ කළු දිග කලිසම් හැඳගත් පුද්ගලයන් හය දෙනෙකු පහරදී පැහැරගෙන ගොස් ඇතැයි නො. 654, බේස්ලයින් පාර, දෙමටගොඩ පදිංචි කලීල් මොහොමඩ් සෆ්රිනාත් නමැත්තා විසින් කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනය කර තිබිණි. අමිල ප්‍රියංග අමරසිංහ නැමැති තම වෙළෙඳ සැලේ සේවය කරන සේවකයා වසර දෙකක පමණ කාලයක් තමා යටතේ සේවය කරන අතර, සිද්ධිය සිදුවූ දින වයස අවුරුදු 10ක පමණ ගැහැනු ළමයකු සමඟ පැමිනි පුද්ගලයන් හය දෙනා, අමිල නැමැත්තා හැඳ සිටි කමිසයෙන් ඇද පහර දී බේස්ලයින් පාර දෙසට ගොස් දෙමටගොඩ ගුවන් පාලම අසල නවතා තිබූ අංක 62-1859 දරන කළුපාට ඩිෆෙන්ඩර් රථයේ දමාගෙන දෙමටගොඩ දෙසට පලාගිය බව පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් දක්වා තිබිණ. තම සේවකයා පැහැරගෙන යාමට පැමිණි පුද්ගලයන්ගෙන් “ඔයාලා කවුද?” යන්නෙන් තමා විමසූ අවස්ථාවේ, “අපි එස්. ටී. එෆ්.” යනුවෙන් ඔවුන් පිළිතුරු දී ඇති බවත්, ඒ අවස්ථාවේදී තමා ඔවුන්ගෙන් පොලිස් හැඳුනුම්පත ඉල්ලා සිටි අතර, ඔවුන් එය නොදී අමිල පැහැරගෙන ගිය බවත් පැමිණිලිකරු තම පැමිණිල්ලෙන් පවසා තිබිණි.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ අංක 126, සී 1, රාමහැර පාර, හේවාගම, කඩුවෙල පදිංචි පැලවත්ත විතානගේ කැලුම් නිරංජ, අංක 43, පැරකුම්බා මාවත, කොළොන්නාව පදිංචි මලින්ද ජයතිලක, අංක 87/1, ගම්මාන පාර, පාදුක්ක පදිංචි රූපසිංහ ආරච්චිගේ කසුන් සම්පත්, අංක 97/25/2, සමගි මාවත, මාගම්මන, හෝමාගම පදිංචි ඉන්දික රුවන් පුෂ්පකුමර ද සොයිසා, අංක 47, ජය මාවත කිත්තම්පහුව, වැල්ලම්පිටිය පදිංචි මයිකල් ඇන්ටනී ජොන්සන්, අංක 424/4, සියඹලාඹේ උතුර පදිංචි පසිදු සංජීව අබේසිරිවර්ධන, බොරැල්ලේ පදිංචි නියාස් මොහොමඩ් රිස්වාන් සහ ජෙගනාදන් ඇන්ටනි යන සැකකරුවන් අට දෙනාය.

වසර නවයක ආසන්න කාලයක් මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වීමෙන් අනතුරුව ඉකුත් 28 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අයට අධිකරණයෙන් දඬුවම් නියම කෙරිණි. ඒ අනුව එදින දහවල් 2.30ට පමණ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රැගත් බන්ධනාගාර වෑන් රථය වැලිකඩ කාන්තා අංශයට ඉගිළ යනු පෙනිණි.

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division