ආරංචි සුලභය. එහෙත් සුබාරංචි දුලබය. විශේෂයෙන් ආර්ථික අර්බුදයක කරවටක් ගිලී සිටි රටක මිනිසුන්ට සුබ ආරංචි අතිශය දුලබය. එවන් රටක මිනිසුන්ට සැබෑම සුබ ආරංචියක් පසුගියදා අසන්නට ලැබුණේය. ඒ දෑ වසරකට පෙර බංකොලොත් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකාව ඉන් මිදී ඇති බවය. එහෙත් මේ සුබ ආරංචිය සියලු දෙනාට එක විලස සුබ ආරංචියක් වූයේ නැත. ස්වකීය බල ව්‍යාපෘතියෙන් වියුක්තව දේශපාලනයේ යෙදෙන්නට අකමැති අයට බංකොලොත්භාවයෙන් රට මිදීම කනස්සල්ලට හේතුවක් විය.
තුවාලයක් සහිතව සිඟමන් යැද ජීවත් වෙන යාචකයාට තුවාලය සම්පතකි. යම් හෙයකින් එම තුවාලය සුව වූ දිනක ඔහුට සිය වෘත්තිය වන සිඟමන් යැදීමට නොහැකිව යන්නේය. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ විපක්ෂ කණ්ඩායම් ද පත්ව ඇත්තේ ඒ තත්ත්වයටය. ඊට හේතුව එළඹෙන ජනාධිපතිවරණයත්, ඊට පසු පැවැත්වීමට නියමිත මහ මැතිවරණයත් දෙකම නමැති බංකොලොත්භාවයේ එල්ලී ජයගන්නට එම කණ්ඩායම් සිහින දකීමය.
2022 රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ බලලෝභී කණ්ඩායම් එකී අර්බුදය පෙරට දමා මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමට උත්සාහ ගත්තේය. ඒ තීරණාත්මක අවස්ථාවේ රට වෙනුවෙන් ඉදිරිපත් වූයේ වත්මන් ජනාධිපතිවරයා පමණි. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව අද වන විට රටේ ආර්ථික අර්බුදය ද ජය ගෙන ඇත්තේය. පසුගිය 26 වනදා සුබ ආරංචිය ලෙසින් රටටම කීවේ ඒ පණිවිඩයයි.
දෑ වසරකට ආසන්න කාලයක් අසීරුතා මැද පවත්වාගෙන ආ ද්විපාර්ශ්වීය ණය හිමියන් සමඟ සකච්ඡාව සාර්ථකව නිම කර එකඟතාවකට පැමිණීම සහ ප්‍රධාන ණය හිමියෙක් වූ චීනයේ එක්සීම් බැංකුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව ගිවිසුම් ගත වීම ඊයේ දිනයේ සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කරමින් සිටිනා අතර එය සැබැවින්ම සුබ ආරංචියකි.
දරුණු අර්බුදයක ගිලෙමින් සිටින රටක් පෙරට ගැනීම ලෙහෙසි නැත. ජනප්‍රිය දේශපාලන තීන්දු වෙනුවට බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රික තීන්දු ගැනීම එහිදී අනිවාර්යය. ඒ සෑම තීන්දුවකටම එරෙහිව ජනතා විරෝධය කුළුගන්වන්නට උත්සාහ ගෙන එය අසාර්ථක වූ නිසා ආණ්ඩුව කරනා සෑම දෙයකටම එරෙහිව උසාවි යන්නට පෙලඹුණ උදවිය වෛරී තර්ක පෙරට දමා ලැබූ ජයග්‍රහණයට අවමන් කරන්නට සැරසෙති.
විපක්ෂයේ කණ්ඩායම් පවසනුයේ ශ්‍රී ලංකාව තවමත් විදෙස් ණය ගෙවීම අරඹා නැති බවය.
මෙය අමූලික බොරුවකි. ශ්‍රී ලංකාව තමන් ලබාගත් ද්විපාර්ශ්වීය ණය ගෙවීම ඇරඹුවේ මීට මාස හත අටකට පෙරය. ඒ අනුව බංග්ලාදේශයට ඩොලර් මිලියන 200 ක්, ඉන්දියාවට ඩොලර් මිලියන 121 ක්, ආසියානු සංවර්ධන බැංකුවට ඩොලර් මිලියන 760.1ක් සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට ඩොලර් මිලියන 7 ක් ලෙස ශ්‍රි ලංකාව ඉකුත් මාස කිහිපයේ ණය ගෙවා ඇත.
එමතුදු නොව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ EFF 23-26 වැඩසටහන යටතේ ලබාගත් මුදලින් ඩොලර් මිලියන 9.8 ක් ද, ලෝක බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 489.9 ද ඇතුළු ණය රැසක් ශ්‍රී ලංකාව මේ වන විට ගෙවා ඇත.
ණය ගෙවිය නොහැකි බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ රටක් මේ ආකාරයෙන් ඩොලර් මිලියන දහස් ගාණක ණය ගෙවා දැමීම සුබ ආරංචියක් නොවන්නේ දේශපාලන කුහකයන්ට පමණි.
රට බංකොලොත් බවෙන් මිදුණ බවට ජනධිපති රනිල් වික්‍රමසිංහ විසින් කරනා ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනා පාර්ශ්ව නඟනා තර්කයක් වනුයේ ශ්‍රී ලංකාව ලබාගත් ණය ප්‍රමාණය පසුගිය වසරේ ඉහළ ගොස් ඇති බවය. මෙය ද මුළුමනින්ම නොමඟ යවනා සුලු තර්කයකි. සැබැවින්ම ණය ප්‍රමාණය ඉහළ යාමට හේතුව අලුතින් ණය ලබාගැනීම නොව ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය වෙනස් වීමය.
2023 අවසානයේදී ඩොලර් මිලියන 96,170 ක් වූ රාජ්‍ය ණය ප්‍රමාණය 2024 මාර්තු අවසානයේදී ඩොලර් මිලියන 100,184 දක්වා එනම් ඩොලර් මිලියන 4,014 ඉහළ ගොස් ඇති බව ඔවුන් නඟනා තර්කයයි.
එහෙත් මේ ඩොලර් මිලියන 4014 ක ප්‍රමාණය ශ්‍රී ලංකාව අලුතෙන් ලබාගත් ණයක් නොවේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ගණන් බැලීමේදී දේශීය ණය විශාල ප්‍රමාණයක් ඇත. එහෙත් මහ බැංකුව වැනි ආයතන සිය වාර්තා සෑකසීමේදී සමස්ත ණය ප්‍රකාශ කරනුයේ ඩොලර්වලිනි. විපක්ෂය වලිගය පාගා ගන්නේ මෙතනදීය. 2024 පළමු කාර්තුව ඇතුළත ඩොලරයක මිල රුපියල් 323.92 සිට රුපියල් 301.17 දක්වා අඩු විය. එහෙත් ඩොලරය රුපියලට සාපේක්ෂව පහත යාම නිසා ගෙවිය යුතු රුපියල් ණය ප්‍රමණයේ ඩොලර් අගය ඉහළ යයි. එය උදාහරණ සහිතව මෙසේ පැහැදිලි කළ හැකිය.
ඩොලර් 1 ක මිල රුපියල් 300ක් ලෙස පැවති අවස්ථාවක ඔබ රුපියල් 600 ක ණයක් ලබාගත්තේ නම් ඔබ ගෙවිය යුතු ප්‍රමාණය ඩොලර්වලින් 2 කි. එහෙත් එය ගෙවනා අවස්ථාවේ ඩොලරයක මිල රුපියල් 200 දක්වා අඩු වී තිබුණහොත්, ඔබ ගෙවිය යුතු මුදල ඩොලර් 3 කි. නමුත් ඔබ ගෙවනා මුදල රුපියල්වලින් 600 ඉක්මවන්නේ නැත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රමණය ඉහළ ගොස් ඇති බව පෙනෙන්නේ රුපියල් 700 ඉක්මවා යනු ඇතැයි මත පළ කළ ඩොලරයේ අගය පාලනය කිරීමට ආණ්ඩුව සමත් වීමය. එසේ කිරීම මඟින් දේශීය වෙළඳපොලේ භාණ්ඩ මිල පහත වැටුණි. 70% ඉක්මවූ උද්ධමනය තනි අංකයක් තෙක් පහත වැටීම සිදු විය.
මේවා මහ ලොකු තර්ක නොව සාමාන්‍ය පෙළ සිසුවෙක් හොඳින් දන්නා කරුණුය. එවැනි සරල කාරණාවක් නිසි ලෙස කියවා ගත නොහැකි පක්ෂ රටක ආර්ථිකය හදන්නට බලය ඉල්ලීම මේ සියවසේ ලොකුම විහිළුව වන්නේය.