Home » ආයෙත් කවදාවත් මං එයාව ළං කරගන්නෙ නෑ

ආයෙත් කවදාවත් මං එයාව ළං කරගන්නෙ නෑ

දසුනි නවෝද්‍යා

by thanushika
June 29, 2024 12:30 am 0 comment

අනුකි නපුරුය. දඩබ්බරය. කේන්තිය උපතින්ම ගෙනාවා සේය. ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ සර්කස්කාරයෝ ටෙලි නිර්මාණයේ අනුකී වන ඇය තුෂාර තෙන්නකෝන්ගේ රෝස සුදුයි ආදරියේ ටෙලි නිර්මාණයේ ඩොක්ටර් නිත්‍යාය. එමෙන්ම මේ දිනවල විකාශය වන අසංක සායක්කාරගේ සික්ස්පැක් ටෙලි නිර්මාණයේ නිසලීය. අනුකී, නිසලී මේ කුමන නමින් ඇමතුව ද සැබැවින්ම ඇය දසුනි නවෝද්‍යාය. “මුලදි මුලදි ප්‍රේක්ෂකයන්ගෙන් නොසෑහෙන්න බැණුම් අහපු අනුකි මේ දවස්වල ඔවුන්ගේ ආදරය ලබනවා.“ දසුනි එසේ පැවසුවේ අප හා කතාබහට එක්වෙමිනි.

“අනුකි කියන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්ධා මංගල සූරියබණ්ඩාර සුසංයෝගයේ අපූරු සංකලනයක්. හරිම වස, නපුරු චරිතයක්. අනිත් අතට ඇගේ හිත හරිම හොඳයි. ඇය නිතරම බලන්නෙ අක්ක එක්ක එල්ලෙන්නමයි. අනුකිට ඉන්න හොඳම යාළුවො තුන්දෙනාම කොල්ලො. එයාල කරන දේම තමයි අනුකිත් කරන්නෙ. දඩබ්බර වැඩ කරලා පැනල දුවන්නෙ විදුලිය වගේ. මුල් දවස්වල ප්‍රේක්ෂකයෝ මට නොසෑහෙන්න බැණ්නා. නොකීව දෙයක් නැති තරම්. ඒත් මේ වෙද්දි ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරිලා. මුලින් බැණ්න අයම දැන් ආදරෙන් කතා කරනවා. අනුකි හිටියෙ නැති දවසක් වුණොත් කෝ අද අනුකි හිටියෙ නෑනෙ කියන තැනට පත්වෙලා. අනුකි කියන්නෙ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. එතැනින් පස්සෙ මට ටෙලි නිර්මාණ කීපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.“

අනුකිගේ නපුරුකම, දඩබ්බරකම හමුවේ බැණ වැදුණු ප්‍රේක්ෂකයන් සජීවීව ඇය හමුවූ විට ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසිනි.

ප්‍රේක්ෂකයන් සජීවීව හමුවුණහම අනේ ඔයා අනුකි කියල හිතන්නත් බෑනෙ කියනවා. ඔයත් අනුකි වගේ සැරයි ද නපුරුයි ද කියලත් අහනවා. සාමාන්‍ය ජීවිතේ මං පොඩ්ඩක් විතර සැර වුණාට අනුකි තරම් නපුරු නෑ. මං හැමදෙනා එක්කම සුහදව කටයුතු කරන කෙනෙක්. අනුකි වෙන්නත් මට ලොකු වෙහෙසක් ගන්න වුණා. තරහ මවා ගන්න හරිම අමාරුයි. තව තරහ ගන්න, තව තරහ ගන්න කිය කියා අධ්‍යක්ෂවරයා මාව නිතරම දිරිමත් කළා. යාළුවොත් එක්ක දඩබ්බරකම් කරලා, මිනිස්සු පස්සෙන් පන්නන කොට දුවන දිවිල්ලට සමහර අය කියනවා අනුකි නෙවෙයි සුසන්තිකා කියලයි දාන්න තිබුණෙ කියලා. ඒවා ජීවිතේට එකතු වෙන හරි සුන්දර අත්දැකීම්.

අනුකිගේ නපුරුකම නිසා දසුනිත් නපුරුයි කියා සිතූ ප්‍රේක්ෂකයන්ට නෑ මං නපුරු නෑ කියා ඔප්පුකර පෙන්වන්නට අවස්ථාවක් ලැබීම ගැන මේ දිනවල ඇය පසුවන්නේ තෘප්තිමත් හැඟීමකිනි.

අසංක සායක්කාරගේ සික්ස්පැක් ටෙලි නිර්මාණය ප්‍රධාන චරිත 6ක් වටා දිවෙන නිර්මාණයක්. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කතාවක්. ඒ චරිත 6ට සමාන්තරව දිවෙන නිසලි කියන චරිතයට මට ආරාධනා ලැබුණා. ඒකත් ප්‍රධාන චරිතයක්. නිසලී හෙදියක්. අනුකිට වඩා හාත්පසින්ම වෙනස් හරිම අහිංසක ආදරණීය චරිතයක්. අනුකිගේ නපුරුකම විතරක් දැක්ක ප්‍රේක්ෂකයන්ට ස්වාධීන රූපවාහිනී නාළිකාවේ සික්ස්පැක් ටෙලි නිර්මාණය හරහා දකින නිසලිගේ අහිංසකකම ලොකු වෙනසක් ඇති කරාවි. ඉදිරියේ දී තවත් ලොකු වෙනසකින් හමුවෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබිල තියෙනවා. තාම ඒ ගැන හිතලා නෑ. කවදාහරි වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්නත් ආසාවක් තියෙනවා. වේදිකාව කියන්නෙ රංගන පාසලක්. කාර්යබහුලත්වය තමයි එකම බාධාව.”

පංච කල්‍යානියක් වුණු ඇගේ දිගු වරලස කෙටි වීම ගැන විමසූ අපට ඇගෙන් ලැබුණේ මෙවන් පිළිතුරකි.

ඇත්තම කිවුවොත් මේ දවස්වල අනුකිගෙ නපුරුකමටත් වඩා ප්‍රේක්ෂකයන්ගෙන් මං බැණුම් අහන කාරණාව ඕක. පුළුවන් හැම විදිහටම ප්‍රේක්ෂකයො මට බණිනවා කොණ්ඩෙ කැපුව කියලා. ඇත්තටම ප්‍රේක්ෂකයන් මේ තරම් ආදරය කරනවා කියලා හිතුවෙ නෑ. ඒ කමෙන්ට්ස් දැක්කම සතුටක් නැත්තෙත් නෑ. කොණ්ඩෙට පුදුමාකාර විදිහට ආදරය කළ කෙනෙක් මං. එක ටෙලි නාට්‍යය චරිතයක් ප්‍රතික්ෂේප කරන්නත් වුණා කොණ්ඩෙ කොට කරන්න ඕන කිවුව නිසා. ඒත් ජීවිතේ සිදුවෙන සමහර දේවල් අපිට වළක්වන්න බෑ. මටත් ලොකු අකරතැබ්බයකට මුහුණපාන්න සිදුවුණා. කොණ්ඩෙ නොකපා බේරගන්න ගොඩක් උත්සාහ කළා. ඒත් කරගන්න බැරි වුණා. අදටත් මං දුක්වෙනවා. ආයිම වවාගන්න ලොකු උත්සාහයක් ගන්නවා.

දසුනි දක්ෂ නිවේදිකාවකි. රංගනය නිසා නිවේදිකාවට කුමක් වේදැයි අප ඇසූ පැනයට ඇගෙන් ලැබුණේ කිසිදාක නිවේදනය අත්නොහරින බවට ප්‍රතිඥාවකි.

මං ක්ෂේත්‍රයට එන්නේ නිවේදිකාවක් විදිහට. ඒ 2021 වසරේ. අවුරුදු එකහමාරක් වගේ පුංචි කාලයක් තුළ 2023 වගේම 2024ත් සුමති ටෙලි සම්මාන උලෙළේ නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ නිවේදන ජීවිතේට ලොකු අවස්ථාවක්. එතන හිටිය ළාබාලම නිවේදිකාව වුණෙත් මං. රංගන කටයුතු නිසා කාර්යබහුල වෙද්දි නිවේදනය පැත්ත පොඩ්ඩක් අඩු වුණාට කවදාවත් මං නිවේදනය අත්හරින්නෙ නෑ. පහුගිය දවස්වල වැඩි ඉඩක් දුන්නෙත් නිවේදනයට. දෙපැත්තම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා.

තනිකඩ දිවියට සමුදෙන්නේ කවදාදැයි බොහෝ දෙනා අසන බව පැවසූ දසුනී විශ්වාසයෙන් ඉදිරියට යාහැකි කෙනෙක් හමුවන තෙක් කාලයට එය බාර කරන බව ද පැවසුවාය.

ඇරියුම් නම් එනවා. නැත්තෙ නැහැ. ඒත් මගේ රංගන, නිවේදන, අධ්‍යාපන වැඩකටයුතු නිසා ඒ ගැන හිතන එක පොඩ්ඩක් පස්සට කල් දැම්මා. ආදරණීය අත්දැකීම් නැතුව නෙවෙයි. ඒත් දැන් ආදරවන්තියක් නෙවෙයි. විශ්වාසය කියන දේ මත තමයි ආදරයක් ගොඩනැඟෙන්නේ. මං ඕනම කෙනෙක් ගැන හරි අඩුවෙන් විශ්වාස කරන කෙනෙක්. ඒ වගේම මං අවංකව ආදරය කරන කෙනෙක්. මොන ගැටලුව, බාධකය ආවත් ආදරය කරන කෙනා කොහොමහරි පරිස්සම් කරගෙන ආදරය, ආරක්ෂා කරගන්න උත්සාහ කරන කෙනෙක්. එහෙම කරලත් ඔහු මගේ විශ්වාසය බිඳිනව නම් ජීවිතේ කවදාවත් ආයිම මං එයාව ළං කරගන්නෙ නෑ. මාව තේරුම් ගන්න පුළුවන්, මගේ අම්ම තාත්තාට ආදරේ කරන විශ්වාසයෙන් ඉදිරියට යන්න පුළුවන් අවංක කෙනෙක් හමුවුණොත් මාත් ආදරේ කරාවි. විවාහ වේවි.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division