Home » බොලිවුඩ් නිළි සොනාක්‍ෂි සිංහ සහීර් ඉක්බාල් සමඟ යුග දිවියට

බොලිවුඩ් නිළි සොනාක්‍ෂි සිංහ සහීර් ඉක්බාල් සමඟ යුග දිවියට

by thanushika
June 29, 2024 12:30 am 0 comment

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක වන සොනාක්‍ෂි සිංහ පසුගිය 23 වැනි දින යුග දිවියට එළැඹුණා. ඇයගේ මනාලයා වූයේ සහීර් ඉක්බාල්. ඔහුත් හින්දි සිනමාවේ රංගන ශිල්පියෙක්. සොනාක්‍ෂි සහ සහීර් මේ ආකාරයෙන් අතිනත ගත්තේ වසර හතක පමණ ප්‍රේම සබඳතාවකින් පසුව යි.

23 වැනි දින පෙරවරුවේ ඔවුන්ගේ විවාහය සිදු වී තිබුණේ විශේෂ විවාහ නීතිය නමැති නීතියකට අනුව බව සඳහන් වුණා. සොනාක්‍ෂි සහ සහීර් ආගම් දෙකකට අයත් අය. සොනාක්‍ෂි හින්දු කාන්තාවක වන අතර සහීර් ඉස්ලාම් ආගමිකයෙක්. මෙම පසුබිම තුළ ඔවුන්ගේ විවාහය ආගමික චාරිත්‍ර අනුව සිදු කෙරුණේ නැහැ. ඒ නිසායි එය ඉහත කී විශේෂ විවාහ නීතිය අනුව සිදු කෙරුණේ. කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන් ද විවාහ වී තිබුණේ මෙම නීතිය යටතේ බව සඳහන් වෙනවා.

මෙම විවාහයට සොනාක්‍ෂිගේ මවුපියන් සහ සොහොයුරෙකු එතරම් කැමැත්තක් නොදැක්වූ බවටත් කටකතා පැතිරුණා. සොනාක්‍ෂිගේ පියා වන ශතෘගන් සිංහ ද ඉතා ජනප්‍රිය නළුවෙක්. එමෙන්ම ඔහු කලෙක සිටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියටත් කටයුතු කරනවා. ඉහත කී ආකාරයෙන් විවිධ කටකතා පැතිරුණත් ශතෘගන් සිංහ සහ ඔහුගේ බිරිඳ පූනම් සිය දියණියගේ විවාහ අවස්ථාවට සහභාගි වී සිටිනු දැකිය හැකි වුණා. නමුත් සොනාක්‍ෂිගේ සොහොයුරා ලව් සිංහ ( Luv Sinha) ඊට සහභාගි නොවූ බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.

23 වැනි දින පෙරවරුවේ විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු එදින රාත්‍රියේ මුම්බායි හි ඉතා උත්කර්ෂවත් අයුරින් මංගල සාදයක් ද පවත්වා තිබුණා. සිනමා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙකු ඊට සහභාගි වී සිටි බවයි මාධ්‍ය වාර්තාවල දැක්වුණේ. සල්මාන් ඛාන්, කාජල්, අනිල් කපූර්, රේඛා, තාබු, රවීනා තන්දන් වැනි අය ඊට සහභාගි වී තිබුණා.

සල්මාන් ඛාන්, සොනාක්‍ෂි සහ සහීර් දෙදෙනාගේ ජීවිතවල වැදගත් චරිතයක් බව සඳහන් වෙනවා. සොනාක්‍ෂිත්, සහීරුත් මුලින්ම හමු වී තිබුණේ 2017 වසරේ සල්මාන්ගේ නිවසේ පැවැති සාදයකදී යි. ඔවුන් දෙදෙනා බොලිවුඩ් සිනමාවට පිවිස තිබුණේත් සල්මාන්ගේ චිත්‍රපට තුළින් වීම විශේෂත්වයක්. සොනාක්‍ෂිගේ පළමු චිත්‍රපටය වූයේ සල්මාන් ප්‍රධාන චරිතය රඟ පෑ Dabangg චිත්‍රපටය යි. සහීර්ගේ පළමු චිත්‍රපටය වූ Notebook සල්මාන්ගේ නිෂ්පාදනයක්. සොනාක්‍ෂි සහ සහීර් පළමු වරට එකට රඟපෑවේ Double XL නමැති සිනමාපටයේ යි. එය ප්‍රේක්‍ෂකයන් හමුවට ආවේ 2022 වසරේ.

විවාහය දිනයේ සොනාක්‍ෂි තමාගේත් සහීර්ගේත් ආදරය ගැන කෙටි සටහනක් ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ලියා තිබුණා. “මෙයට වසර 7කට පෙර හරියටම අද වගේ දවසක (23.06.2017) අපි එකිනෙකාගේ දෑස් තුළ ආදරයේ පිවිතුරුම ස්වභාවය දැක ගත්තා. එය කිසිදා අත් නොහැර අල්ලාගෙන සිටින්නට අප තීරණය කළා. ඒ ආදරය බොහෝ අභියෝග මෙන්ම ජයග්‍රහණ ද මැදින් අපේ ජීවිත මේ මොහොත දක්වා රැගෙන විත් තිබෙනවා” යයි ඇය එහි සඳහන් කර තිබුණා.

මේ වනවිට 37 වැනි වියෙහි පසුවන සොනාක්‍ෂි මුලින්ම කටයුතු කළේ චිත්‍රපටවල ඇඳුම් නිර්මාණ ශිල්පිනියක හැටියට යි. ඇය රඟ පෑ පළමු සිනමාපටය වූ Dabangg තිරගත වූයේ 2010 වසරේ යි. සොනාක්‍ෂි මෑතකම රඟපෑවේ ‘හීරමන්දි’ නමැති රූපවාහිනි මාලා නාටකයේ යි. බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉන්දියාවේ විසූ ලිංගික ශ්‍රමිකයන් පිරිසක් ගැන කියැවුණු මෙය අධ්‍යක්‍ෂණය කළේ සුප්‍රකට අධ්‍යක්‍ෂ සංජේ ලීලා බන්සාලි. කලකට පෙර ඉතා ජනප්‍රිය නිළියක වූ මනීෂා කොයිරාල ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. ‘හීරමන්දි’ විකාශය වූයේ නෙට්ෆ්ලික්ස් සේවාව හරහා යි.

සොනාක්‍ෂි දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක බාලම දරුවායි. ඇයගේ වැඩිමල් සොහොයුරන් වන ලව් සිංහ සහ කුෂ් සිංහ නිවුන්නු.

මේ වනවිට 38 වැනි වියෙහි පසුවන සහීර් ඉක්බාල් ධනවත් ව්‍යාපාරික පවුලකට අයත් කෙනෙක්.

ඔහුගේ පියා වන ඉක්බාල් රතන්සි ස්වර්ණාභරණ ව්‍යාපාරයකයි නිරතව සිටින්නේ. සහීර්ට සොහොයුරියක ද සිටින අතර ඇය ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division