Home » මොරවක මාල හොරු ඇල්ලූ පොලිසි හතරේ ‘ඔපරේෂන්’ එක

මොරවක මාල හොරු ඇල්ලූ පොලිසි හතරේ ‘ඔපරේෂන්’ එක

by thanushika
June 29, 2024 12:30 am 0 comment

ඒ පසුගිය 07 වැනිදාය. ‘ගොදුරක්’ සොයාගෙන ගාල්ල, යටලමත්ත සිට යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනා 24 සහ 25 හැවිරිදි වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි. දුරකතර ගෙවා ගෙන අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ මොරවක දෙසට ගමන් කරමින් සිටි මෙම තරුණයන් දෙදෙනාගේ උකුසු ඇස්වලට හසුවන්නේ කාන්තාවක් සිය යතුරුපැදිය මාර්ගය අයිනේ නවතා එහි වාඩිවී සිටිමින්ම යමෙකු සමඟ දුරකතන සංවාදයක යෙදෙමින් සිටි අයුරුය. 40 හැවිරිදි එම කාන්තාව සිය දරුවන් දෙදෙනා පාසලට ඇරලවා යළි නිවසට යාම සඳහා මොරවක දෙසට යන අතරතුර සිල්ලර වෙළෙඳසලක් දුටු ඇය තම ඥාති දරුවෙකු විභාගය සමත්වීම නිසා එම දරුවා බැලීමට යාමට කේක් එකක් මිලදී ගැනීම සඳහා යළි සිය යතුරුපැදිය අකුරැස්ස දෙසට හරවා ගමන් කරමින් සිටියදී ඇගේ ජංගම දුරකතනය නාද වූයේ ඇගේ සැමියා දුන් ඇමතුමක් නිසාය. ඇය යතුරුපැදිය මඟ අයිනේ නවතාගෙන සැමියා සමඟ දුරකතන සංවාදයේ නියැළි සිටියේ අතුඇළ, තුන්බෝධිය ආසන්නයේය.

‘ගොදුරකට’ ඉව අල්ලමින් පැමිණි තරුණයන් දෙදෙනාගේ උකුසු ඇස්වලට කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය හසුවිණි. වහා යතුරුපැදිය නවතා ඉන් බිමට බැසගත් එක් තරුණයෙක් කාන්තාව අසලට ගොස් සිතට ආ ගමක් සහ නමක් පවසා ඒ නිවස කොතැනකදැයි කාන්තාවගෙන් විමසුවේ ඉතා කාරුණික අන්දමිනි. කාන්තාවද තම ජංගම දුරකතනය පසෙකටලා තමන් එම නම් දරන පුද්ගලයා නොදන්නා බව තරුණයාට පැවසුවේ හාන්කසියකින්වත් මෙවන් කොල්ලයක් සිදුවේයැයි කිසිම සැකයක් නැතිවය.

“අනේ ඔහොම කෙනෙක් ගැන මමනම් දන්නේ නැහැ” යනුවෙන් පවසත්ම, එක් තරුණයෙක් ඇය ගෙල බැඳි රන් මාලය කඩාගෙන ඇගේ අතේ රඳවාගෙන සිටි ජංගම දුරකතනයද කොල්ලකා සැණෙකින් යතුරුපැදියේ නැඟී පවනට බඳු වේගයෙන් පලා යන්නට විය. වේලාව උදේ 7.45ට පමණ විය. කාන්තාව සියයතුරුපැදිය සමඟ බිමට පතිත වූවාය. අසල්වැසියන් කිහිප දෙනෙකුගේ සහායෙන් ඇය නැඟී සිටියද ඇය අන්දුන්-කුන්දුන් වී සිටියේ කුමකින් කුමක් සිදුවූවාදැයි අදහාගත නොහැකිවය.

මෙම සිද්ධිය දුටු ප්‍රදේශවාසියෙක් එසැණින් දුරකතනය ඔස්සේ මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික පනාවල අමතමින්, මේ දැන් අතුඇළ, තුන්බෝධිය ළඟදී අංක තහඩු නැති කළු පාට මෝටර් සයිකලයකින් ආව කොල්ලෝ දෙන්නෙක් මෝටර් බයිසිකලයක සිටිය ගැහැනු කෙනෙක්ගේ මාලයක් කඩාගෙන ගියා යැයි කීවේය. ස්ථානාධිපතිවරයා පැවසුවේ “හරි… මොන පැත්තටද ඒ අය ගියේ” යනුවෙනි. “මොරවක පැත්තට ගියා.සර්“ යැයි ඇමතුම දුන් පුද්ගලයා කීවේය.

සිය කාමරයෙන් එළියට පැමිණි ස්ථානාධිපති පනාවල වහා රොටුඹ, කොස්මෝදර, පිටබැද්දර සහ ඌරුබොක්ක පොලිස් ස්ථානවලට සිද්ධිය පිළිබඳව දැනුම් දීමට පියවර ගත්තේ මොන පැත්තෙන් ගියද කොල්ලකරුවන් කොටුකර ගැනීමේ අදහස පෙරදැරි කරගෙනය. එකී පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ද තම තමන්ගේ පොලිස් වසම් ආවරණය වන පරිදි සියලු මාර්ග බාධක යොදමින් නිලධාරීන් සීරුවෙන් තැබීමට පියවර ගත්තේ තමන්ගේ ස්ථානාධිපතිවරුන්ගේ අධීක්ෂණයෙනි.

උදේ පාන්දරින්ම පැමිණි දුරකතන පණිවුඩය අනුව එසැණින් වහාම තම ජීප් රිය පාරට පිවිසෙනවාත් සමඟ පණිවුඩයට සමානකමින් යුතු වූ යතුරුපැදියක් මොරවක දෙසට අධික වේගයෙන් ධාවනය වනවා දුටු පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම එම යතුරුපැදිය ලුහුබැඳ යන්නට විය. යතුරුපැදිකරුවන් පරගල පාරට හැරී අධික වේගයෙන් යන පසුපස ස්ථානාධිපතිවරයාද ජීප් රියෙන් ලුහු බැන්දේය. ඉදිරිපසින් රොටුඹ පොලිස් ස්ථානාධිපති බන්දුල ප්‍රියන්ත ප්‍රමුඛ නිලධාරීන් පිරිස රැගත් ජීප් රථය තමන් ඉදිරියට පැමිණෙන අයුරු දුටු යතුරුපැදියේ පසුපස අසුනේ ගමන් ගත් තරුණයා යතුරුපැදියෙන් පැන පාරේ ඉදිරියට දිව යන්නට විය. එසේ දිව ගිය තරුණයාට වැඩි දුරක් දිව යන්නට නොහැකි විය. ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය. ඉදිරියෙන් සහ පසුපසින් පොලිස් ජීප් රථ හඹා එනවා දුටු යතුරුපැදිය පැදවූ තරුණයා එක්වරම අනෙක්පසට යතුරුපැදිය හරවා අඩි 30ක් පමණ මාර්ගයෙන් පහළ කඳු බෑවුමකට යතුරුපැදිය දමා එම ස්ථානයට නුදුරින් තිබූ නිවසකට පැන නිවසේ එළියේ තිබූ ටීෂර්ට් එකක් සහ කලිසමක් ඇඳගෙන මාර්ගයේ ගමන් කරමින් තිබූ ලොරියකට ගොඩ විය. ලොරිය පිටබැද්දර ප්‍රදේශය දෙසට ගමන් කළේය. මාර්ග බාධක දමා වාහන‍ සෝදිසි කරමින් සිටි පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග ඇතුළු නිලධාරීන් විසින් මාර්ග බාධක යොදා ගමන් කරන සියලු රථවාහන සෝදිසි කරමින් සිටියදී තරුණයා සැඟවී පැමිණි ලොරි රථයද සියුම් පරීක්ෂාවට ලක් කැරිණි. එහි ආ එම තරුණයාද සැකපිට පොලිස් අත්අඩංගුවට පත්විය.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ප්‍රධාන සැකකරු ළඟ තිබී ජීව අත්බෝම්බයක් සහ මිරිස් කුඩු පාර්සලයක්ද සොයා ගැනීමට හැකි විය. කොල්ලකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලිස් භාරයට ගැනිණි. වින්දිත කාන්තාව මොරවක පොලිසියට පැමිණ පැමිණිල්ල සටහන් කරන්නටත් ප්‍රථම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ ප්‍රදේශවාසීන්ගේ ක්‍රියාශීලීභාවයෙනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ උපදෙස් මත දෙනියාය සහකාර පොලිස් අධිකාරී ලාල් චන්ද්‍රසිරිගේ අධීක්ෂණයෙන් මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික පනාවල, පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග, රොටුඹ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල ප්‍රියන්ත, කොස්මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් ද සිල්වා යන නිලධාරීහූ තම මෙහෙයවීම යටතේ පොලිස් නිලධාරීන් යොදවමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යුහුසුලුව කටයුතු කළහ.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දැඩි කැපවීමකින් ක්‍රියා කළ මොරවක සහ අවට පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරීන් ගෙන්වා විශේෂ ස්තුතියක් පුද කරමින් කියා සිටියේ පැමිණිල්ල ලැබෙන්නටත් පෙර සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකි වූයේ ප්‍රදේශවාසීන්ගේ සහාය නිසා බැවින් ඒ අයට ද සිය කෘතඥතාව පුද කරන බවය.

විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division