Home » රන්බඩු කොල්ලකන ඩබලට කළකම් පල දුන්නේ මෙහෙමයි

රන්බඩු කොල්ලකන ඩබලට කළකම් පල දුන්නේ මෙහෙමයි

by thanushika
June 29, 2024 12:30 am 0 comment

ඒ බඩල්ගම දෙල්වගුර කළුමඩ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකි. වෛද්‍යවරයා රෝගීන් බලමින් සිටියි. එක්වරම ඊට ඇතුළු වූයේ ‘රෝගියෙකි’. ඔහු තමන්ගේ අසනීප තත්ත්වය වෛද්‍යවරයාට පැවැසුවේ ‘ගිනිඅවියක්’ එල්ල කරමිනි. “රත්තරන් බඩු දීපන් නැත්නම් මරනවා“යැයි දොස්තරට ඔහු කළ තර්ජනය නිසා බියට පත්වූ වෛද්‍යවරයාට කළ හැකි දෙයක් නොවීය. බෙහෙත් වෙනුවට රන් දම්වැලත් අත්පලඳනාවත් රැගෙන රෝගියා පිටව ගියේ එළියේ සිටි රෝගීන්ට මුවඟින් සිනාවෙන් සංග්‍රහයක් ද කරමිනි.

මේ සිද්ධිය බඩල්ගම පොලිසියට වාර්තා වූයේ ඒ සැණිනි. මේ ආකාරයට ගිනි අවි පෙන්වා රන් ආභරණ පැහැරගත් සිද්ධීන් ගණනාවක් පිළිබඳව බඩල්ගම පොලිසියට මෙන්ම අවට පොලිස් ස්ථානවලට ද ලැබී ඇති බව පොලිසියට හෙළි වූයේ මේ අතරය.

බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පතිරණ සිය නිලධාරීන් සමඟ සාකච්ඡා කළේ කෙසේ හෝ ඉක්මනින්ම මේ ‘ගිනි අවි කොල්ලකරු’ අත්අඩංගුවට ගන්නා අන්දම ගැනය. තොරතුරු ලබා දෙන්නන්ට දැඩි විමසිල්ලනේ සිටිනා ලෙස ස්ථානාධිපතිවරයා දැන්වූයේ ඒ අනුවය. ඉකුත් 16දා දහවලේ පොලිසියට වැදගත් තොරතුරක් ලැබුණි.

ඉන් කියැවුණේ සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් බඩල්ගම පොලිස් වසමට අයත් ප්‍රදේශයක සැරිසරන බවකි. දෙල්වගුර ප්‍රදේශයෙන් ලැබුණු එම තොරතුරට අනුව පොලිස් කණ්ඩායමක් දෙල්වගුර ප්‍රදේශයේ මාර්ග බාධකයක් යෙදුවේ ඒ නිසාය. සැක කටයුතු යතුරුපැදියේ ආ දෙදෙනා පොලිස් කණ්ඩායම දුටු අවස්ථාවේම පලා යාමට උත්සාහ ගත්තත් එය පෙරැළිණි.

පෙරළුණු යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා දිව යාමට සූදානම්වූ අවස්ථාවේ පොලිස්‌ කණ්ඩායම් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන පරික්ෂාවට ලක් කරන්නේ මිනිත්තු කිහිපයක් ඇතුළතදීය.

එක් සැකකරුවකුගේ ලිංග ප්‍රදේශයේ සඟවා තිබූ ජීව අත්බෝම්බයක් පොලිසියට හමුවූයේ ඔහු පරික්ෂාවට ලක් කරද්දීය. අනෙක් සැකකරු සතුව තිබී ගල්කටස් ගිනි අවියක් සහ උණ්ඩ හතරක් පොලිසියට හමුවිය. සැකකරුවන්ගෙන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් ඒ වන විට ගමන් කරමින් තිබූ යතුරුපැදිය ද මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්‍රදේශයෙන් පෙර දිනයකදී සොරා ගත් එකක් බව හෙළි විය.

එමෙන්ම ඔවුන් විසින් සොරා ගන්නා ලද යතුරුපැදියක් දැවමොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති බවට ලැබුණු තොරතුරක් අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු සතුව තිබී එම සොරා ගත් යතුරුපැදිය හා ගල්කටස් ගිනි අවියක් සමඟ එම උණ්ඩ හතරක්, මන්නා පිහි හයක් සහිත බෑගයක් ද පොලිස් භාරයට ගනු ලැබීය. යතුරුපැදිවල හොර අංක සවිකරගෙන ගමන්බිමන් ගොස් ඇතැයිද අනාවරණය කරගත් පොලිසිය එම අංක තහඩු කිහිපයක් ද සොයාගෙන ඇත.

මෙම සැකකරුවන් බඩල්ගම පොලිස් වසමේ මෙන්ම අවට පොලිස් බලපෙදෙස්වලදී කාන්තාවන් බිය ගන්වා ඔවුන් ගමන් කළ යතුරුපැදි පෙරළා දමා රන් ආභරණ පැහැර ගැනීමේ සිද්ධීන් විසිපහකට වැඩි ප්‍රමාණයකට සම්බන්ධවී ඇතැයි ද ප්‍රධාන සැකකරු ගිනි අවි පෙන්වා බිය ගන්වා ගනු ලැබූ රන්කරුවකු වන අනෙක් සැකකරු මැදිහත් කරගෙන එසේ සොරාගත් රන් ආභරණ වැඩි ගණනක් මිනුවන්ගොඩ ගල්ඔළුව පදිංචිකරුවකුට විකුණා ඇති බව ද හෙළි වී ඇත. 2023 දෙසැම්බර් සිට ගතවූ කාලයේදී මෙම සොරකම් සිදුකර ඇති බව ද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

සිකුරාදා දිනවලදී ‘ගල්ඔළුවේ නානා’ නමැති සැකකරු නොමැති නිසා දීනේෂ් නැමැත්තෙකුට රන් බඩු විකුණා මුදල් ලබාගෙන ඇති බවද මේ අතර කල්එළියේ පුද්ගලයකුට ද සොර බඩු විකුණා ඇති බව ද හෙළිවූ බව පොලිසිය කියයි. මොහමඩ් ‘නානා’ නමැත්තාගේ සමීප ඥාතියකු මිනුවන්ගොඩ ප්‍රදේශයේ රන් ආභරණ වෙළෙදසලක් පවත්වාගෙන යන්නෙකු බව ද හෙළිවී ඇත. ‘නානා’ නිතරම රන් බඩු නැද්දැයි සොයා බලමින් සොරබඩු මිලදී ගැනීමටම කැපවී සිටි පුද්ගලයකු බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව නානා නමැත්තා අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පියවර ගනිමින් සිටියි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවා තබා තවදුරටත් ප්‍රශ්න කරමින් පරීක්ෂණ මෙහෙයවනු ලැබිණි.

මිගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ අධීක්ෂණය සහ මීගමුව කොට්ඨාස 3 සහකාර පොලිස් අධිකාරි ගාමිණී රත්නායකගේ මෙහෙයවීම යටතේ බඩල්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පතිරණ, පොලිස් පරීක්ෂක සමන් කුමාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රසාද්, කරුණාතිලක, සැරයන්වරුන් වන (33587) පුෂ්පකුමාර, (59552) චන්ද්‍රසේන, (51793) ජූඩ්, (36989) කැලුම්, (61074) දයාවංශ කොස්තාපල්වරුන් වන (82159) කුමාර, (82225) කුමාර, (100893) කුමාර, (84115) වික්‍රමසිංහ, (102658) නනුෂන්, (100380) සිල්වා, (101974) ලක්ෂාන් ඇතුළු නිලධාරීහූ පරීක්ෂණ මෙහෙයවති.

එම්. පුෂ්පකුමාර - කොටදෙණියාව සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division