අහිංසක මිනිසුන් රවටා ඔවුන් සතු මිල මුදල් ඉතා සූක්ෂ්මව සොරකම් කරන තක්කඩි කට්ටඩියන් හොර ශාස්ත්‍රකාරයන් බොරුවට පේන කියන අය සහ ශාස්ත්‍රය කිසිම විටක හොඳහැටි ප්‍රගුණ නොකළ බොරු කේන්දරකාරයන් මෙරට බොහෝ තැන්වල සිටින අතර ඔවුන්ගේ ක්‍රියා කලාපය නිසා පීඩාවට ලක්වන අසරණ වන බොහෝ පිරිසක් මේ ජන සමාජයේ තවමත් සිටිති.
මෙහි ඇති හාස්‍යජනක තත්ත්වය නම් මෙවැනි තත්කඩි පුද්ගලයන් පිළිබඳව පොලිසිය ඇතුළු වගකිවයුතු අංශ ජනතාව කොතරම් දැනුම්වත් කළත් මේ අයට දිගින් දිගටම රැවටෙන අයගේ සංඛ්‍යාවේ අඩුවක් නම් තවමත් පෙනෙන්නට නැත.
ආසන්නම සිද්ධිය පසුගියදා වාර්තා වී තිබුණේ මොරගහහේන ප්‍රදේශයෙනි.
මොරගහහේන පොලිස් බලප්‍රදේශයට අයත් නිවසක් ඇතුළේ දෝනා හාරමින් කිසියම් පිරිසක් නිධන් වස්තු සොයන බවට පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට තොරතුරු ලැබෙන්නේ පසුගියදාය.
එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර, මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න ඇතුළු කණ්ඩායම මේ ගැන විමර්ශනයක් සිදු කිරීමට කටයුතු යොදන්නේ පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් අනුවය. පොලිස් කණ්ඩායම් දෙක මොරගහහේන පොලිස් වසමේ මොරොට්ටාවත්ත ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස වටලන්නේ ඒ අනුවය.
නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් එම නිවෙසේ කැණීම් සිදු කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ අදාළ නිවසට ගොස් සිදු කරන ලද විමර්ශනයේදීය.
සැකකාර ව්‍යාපාරිකයා සමඟ අත්අඩංගුවට ගන්නා ලද තිදෙනා සමඟ නිවසේ තිබුණු වතුර ඉසීමේ මෝටරයක්, ගල් කඩන යන්ත්‍ර දෙකක්, අලවංගු, වයර් කෝඩ් සහ පූජා භාණ්ඩ පොලිසිය විසින් සොයා ගන්නේ ඉන් අනතුරුවය.
නිවස අයත් සැකකාර ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කරද්දී මේ නිධන් කතාවේ සුලමුල හෙළි විය.
පොලිසිය හෙළිකරගන්නා ලද තොරතුරුවලට අනුව සැකකාර ව්‍යාපාරිකයා 53 හැවිරිදිය. ඔහු තමාට අයත් මේ නිවසේ නාන කාමරයේ අපජලය බැහැර කිරීම සඳහා අමතර වළක් කැපීමට සූදානම් වී ඇත්තේ පසුගියදාය. ඒ සඳහා සුබ නැකතක් යොදා ගැනීම ඔහුගේ අරමුණ විය. ඒ සඳහා ජ්‍යොතිෂවේදියෙකු සොයා යන්නේ කළුතරටය. කළුතර ප්‍රදේශයේදී ජ්‍යොතිෂවේදියකු හමු වූ මේ ව්‍යාපාරිකයා ඔහුගෙන් වළ කැපීම සඳහා සුදුසු වේලාවක් ඉල්ලා ඇත්තේ තමාගේ ජන්ම පත්‍රයද ජ්‍යොතිෂවේදියා අතට පත් කරමිනි.
ජන්ම පත්‍රය පරීක්ෂා කළ ජ්‍යොතිෂවේදියා ව්‍යාපාරිකයාට පවසා ඇත්තේ අපූරු කතාවකි. ඒ ව්‍යාපාරිකයාට අයත් නිවසේ නාන කාමරය අසල කාමරයක් පිහිටි ස්ථානයේ පොළොව යට මිල කළ නොහැකි මැණික් තොගයක් ඇති බවත් මේ මැණික් තොගය ආත්ම ගණනාවක සිට ඔහුට හිමි විය යුතු ඒවා බවය.
එම මැණික් තොගය ව්‍යාපාරිකයාට හිමිකර දිය හැකි බවද ජ්‍යොතිෂවේදියා පවසා ඇත. නිකම්ම හිමිවෙන මහා ධනස්කන්ධයක් නිසා ව්‍යාපාරිකයා ද මේ මැණික් තොගය කෙරෙහි ලොබ බැඳගෙන තිබේ. තමන් එම මැණික් තොගය ලබා ගැනීමට කැමති බව ව්‍යාපාරිකයා ජ්‍යොතිෂවේදියාට දන්වා ඇත. එසේ නම් තමන් කියන ආකාරයට කටයුතු කරන ලෙස ජ්‍යොතිෂවේදියා ව්‍යාපාරිකයාට උපදෙස් දී තිබේ.
ජ්‍යොතිෂවේදියා ඉන් අනතුරුව සිදුකර ඇත්තේ කුඩා මුට්ටි හතරක් සහ තෙල් බෙහෙත් අඩංගු කුප්පි හතරක් ව්‍යාපාරිකයාට ලබා දීමයි. ඒ සඳහා ඔහු රුපියල් 3000 ක් ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ඇත.
ජ්‍යොතිෂවේදියා කියූ ආකාරයට මුට්ටි සහ තෙල් බෙහෙත් කුප්පි තම නිවෙසට ගෙන ආ ව්‍යාපාරිකයා ඒවා නාන කාමරයට යාබද කාමරයේ හතරකොනේ බුලත් තබා කාසි මත තෙල් කුප්පිද තබා ජ්‍යොතිෂවේදියා දැනුම් දුන් ආකාරයට අඩි 25 ක පමණ දිගට දෝනාවක් ලෙස අඩි 08 ක පමණ පළලට වළක් හාරාගෙන දිවා රාත්‍රී කැණීම් සිදුකර ඇත්තේ තමාට හිමි මැණික් තොගය සොයා ගැනීම සඳහාය.
පොලිසිය අදාළ ස්ථානය වටලන විටත් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනා නිවෙසේ කැණීම් සිදු කරමින් සිට ඇත.
බිලිඳකු ඇතුළු පස්දෙනෙකු එම නිවෙසේ පදිංචිව සිටින බව පොලිසිය කළ විමර්ශනයේදී හෙළි විය. මේ කැණීම් සිදු කිරීම සඳහා ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනා කිසිම ආරක්ෂිත උපක්‍රමයක් භාවිත කර නොතිබුණි. මේ අය දිගින් දිගටම මෙසේ කැණීම් සිදු කළේ නම් එය අනාරක්ෂිත කැණීමක් නිසා නිවසද කඩා වැටී සියලු දෙනා ඊට යට වීමට ඉඩ තිබුණු බවද පොලිසියේ මතයයි.
සැකකරුවෝ අවුරුදු 53, 57 වයස්වල පසුවන අය වෙති. ඔවුහු මොරගහහේන මොරොට්ටාවත්ත හොරණ සහ කඹුරුපිටිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ අධීක්ෂණයෙන් පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර, පොලිස් පරීක්ෂක එල්. පී. තිලකරත්න, සැරයන් (18397) ලාල් නන්දන, කොස්තාපල් (80100) අමරජීව, මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න, සැරයන් (41013) කුලතුංග, කොස්තාපල් (31292) ජීවන්ත යන නිලධාරීන් කොට්ඨාස බුද්ධි කොස්තාපල් (91214) වන්නිනායක යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරති.
ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ
දීපාල් සමරසේකර