– ගුරුවරියයි ගෙදර අයයි නිවසින් පිටව යනු බලා ගෙදර තිබූ බඩුමුට්ටු උස්සලා
– බඩු පටවාගෙන ගිය බෑගයක් අතරමඟදී බිම වැටුණු පසු හොරාට අහුලා දී ඇත්තේ ගුරුවරියගේ මාමා
ගෙවල් බිඳුම් කොල්ලකෑම් බොහොමයක් සිදු කරන්නේ ඒ සඳහාම සූදානමින් සිටින කල්ලි කණ්ඩායම් බව පොලිසිය මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත. තනි පුද්ගලයෙකු නිවසක දොරක් හෝ ජනේලයක් ගලවාගෙන ඇතුළතට ගොස් සොරකම් කිරීමේ අවස්ථාව වාර්තා වන්නේ අඩුවෙනි. මේ එවැනි කතාවකි.
වරකාපොළ පොලිස් වසමේ දංඕවිට ප්‍රදේශයේ නර්තන ආචාර්යවරියක් සිය සැමියා, දරු දෙදෙනා සමඟ පදිංචිව සිටින්නේ කලෙක සිටය. මෙම ආචාර්යවරිය අඹේපුස්ස ප්‍රදේශයේ විද්‍යාලයක නර්තන ගුරුවරියක් ලෙස සේවය කරන අතර ඇයගේ නිවස ආසන්නයේ සැමියාගේ මවුපියන් පදිංචිව සිටින නිවස ද පිහිටා ඇත.
ඉකුත්දා දහවල් නර්තන ආචාර්යවරිය නිවස වසා දමා සිය සැමියා, දරු දෙදෙනා සමඟ ඔවුන්ගේ කාරයෙන් වරකාපොළ නගරයට පැමිණීමට නිවසින් පිටත්ව තිබේ. නිවසේ ගරාජයේ සැමියාගේ නවීන පන්නයේ යතුරුපැදිය ද ගාල් කර තිබුණි.
නර්තන ආචාර්යවරිය ඇතුළු සිවුදෙනා නිවසින් බැහැරව යන අයුරු මඟදී බලා සිටි සොරෙක් නිවසේ මිදුලට ගොස් නිවස වටා ගමන් කරමින් සිටින අවස්ථාවේදී නිවසේ පිටුපස ග්‍රිල් නොදමා ජනෙල් පියන ඇර තිබුණු ජනේලයෙන් ඇතුළතට රිංගා නිවසේ තිබුණු ලැප්ටොප් පරිගණක 03ක්, ජංගම දුරකතන 2ක්, පාවහන් ජෝඩු 2ක්, ඇඳුම්, කෘත්‍රිම රන් භාණ්ඩ විශාල තොගයක් සහ රුපියල් ලක්ෂ 6ක් වටිනා රන් භාණ්ඩ දරු දෙදෙනාගේ බෑග් තුනකට පුරවා ගත්තේය. කැබිනට්ටුව උඩ තිබුණු බෑග් තුන ද ගැට ගසා යතුරුපැදිය පණ ගන්වා නිවස ඉදිරිපිට මාර්ගයට පැමිණ වරකාපොළ නගරය බලා පිටත්ව ඇත.
කෙටි දුරක් ගමන් කරන අවස්ථාවේදී යතුරුපැදියේ පිටුපස බැඳ තිබුණු බෑග් තුනෙන් එකක් බිමට වැටී ඇති අතර මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි නර්තන ආචාර්යවරියගේ සැමියාගේ පියා “අනේ මහත්තයාගේ බෑග් එක වැටුණා නේද“ යැයි අසා ඔහුට බෑගය අහුලා දී ඇති අතර සොරා යළි බෑග් තුනම රැගෙන වරකාපොළට පැමිණ සිය බිරියගේ මහනුවර රජවැල්ලේ පිහිටි නිවසට ගොස් සොරා ගන්නා ලද රන් භාණ්ඩ මහනුවර උකස් මධ්‍යස්ථානයකට හිතවතුන් දෙදෙනෙකු ලවා උකස් කර මුදල් ගෙන තිබේ. පසුව සැකකරු බිරිය සමඟ කෘත්‍රිම රන් භාණ්ඩ, ලැප්ටොප් පරිගණක 3, ජංගම දුරකතන 2, සොරා ගන්නා ලද ඇඳුම් පැළඳුම්, පාවහන් රැගෙන යතුරුපැදියෙන් දේවාලේගම පොලිස් වසමේ වට්ටාරම ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසට පැමිණ තිබේ. හිතවතාගේ නිවසේ රැදී සිට හෙරොයින් පානය කරමින් සිටින විට තොරතුරකට අනුව දේවාලේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගන රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු සහ බිරිය අත්අඩංගුවට ගත්හ.
එම යුවළගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත වරකාපොළ පොලිස් වසමේ දංඕවිට නර්තන ආචාර්යවරියගේ නිවසට රිංගා සොරකම් කරන ලද භාණ්ඩ සහ යතුරුපැදිය ද අත්අඩංගුවට ගැනිණි.
පසුව පොලිසිය සැකකරු විසින් නර්තන ආචාර්යවරියගේ සොරකම් කරගන්නා ලද රන් භාණ්ඩ උකස් කිරීමට දී ඇති හිතවතුන් දෙදෙනාද අත්අඩංගුවට ගන්නා ලදි. පසුව සැකකරුවන් හතර දෙනා සහ අත්අඩංගුවට ගත් කෘත්‍රිම රන් භාණ්ඩ, ලැප්ටොප් පරිගණක 3, ජංගම දුරකතන දෙක, පාවහන් ජෝඩු දෙක, ඇඳුම් පැළඳුම් හා යතුරුපැදිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වරකාපොළ පොලිසියට භාර දුන් බව දේවාලේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගන රණසිංහ පැවසීය.
ප්‍රධාන සැකකරු කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් බිරිය මහනුවර රජවැල්ලේ නිවසේ ජීවත් වෙමින් සිට ඇති බවත් මිතුරෙකු හමු වීමට යන බවසා මහනුවර රජවැල්ල නිවසින් පැමිණ මෙම සොරකම සිදු කර දින දෙකකට පසුව යළි බිරියගේ මහනුවර රජවැල්ලේ පිහිටි නිවසට ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය. සොරකම් කරන ලද භාණ්ඩ තොගයේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 15කි.
සැකකරු මීට පෙර දේවාලේගම පොලිස් වසමේ නිවාස දෙකක භාණ්ඩ සොරකම් ද කර ඇති බවත් පොලිසිය පැවැසීය. දේවාලේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංගන රණසිංහ, උප පොලිස් පරීක්ෂක චන්ද්‍රපාල, උප පොලිස් පරීක්ෂක කුමාරසිරි, සැරයන්වරුන් වන ඉඳුනිල් (53757) ප්‍රියදර්ශන (72952), කාන්තා පොලිස් කොස්තාපල් තිළිණි (9489) සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන වරකාපොළ පොලිසියට භාර දී තිබුණි.
කෑගල්ල විශේෂ චමින්ද ජයලත්