Home » අරුවක්කාළු කුඩු උදුනේ දැවුණු කෝටි 200ක මත්කුඩු

අරුවක්කාළු කුඩු උදුනේ දැවුණු කෝටි 200ක මත්කුඩු

by thanushika
July 6, 2024 12:30 am 0 comment

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් විශාල වශයෙන් මුදල් හුවමාරු වෙයි. අසීමිත ලෙස මුදල් ගලා ඒමෙන් මේ ජාවාරම්වල නිරත වන්නන්ට නිරයාසයෙන්ම බලයක් ආරූඪ වන බව නොරහසකි. පාතාල කණ්ඩායම් බිහිවීමට එය ද එක් හේතුවකි. කප්පම් ගැනීම් සහ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය අතර ඇතිවන ගැටුම් නිසා ජීවිත හානි ද සිදු වෙයි.

සංවිධානාත්මක කල්ලි අතර ගැටුම්, වෙඩි තැබීම් සහ කොන්ත්‍රාත් ඝාතන මහා පරිමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ඇතිවන අනිසි ප්‍රතිඵලයන්ය. මහා පරිමාණ ජාවාරම්කරුවන් කිලෝ ගණනින් මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය තොග ග්‍රෑම් පන්සීයය, දෙසිය පනහ, සියය, මිලි ග්‍රෑමය වැනි කුඩා කොටස් බවට පරිවර්තනය වෙමින් රටපුරා ගම් නියම්ගම්වල සංසරණය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලය හරහාය. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සුවච කීකරු ගෝලයන් බවට පත්වන්නේ අහිංසක දුප්පත් ජනතාවයි. ඉතා පහසුවෙන් සහ ක්ෂණිකව මුදල් උපයා ගැනීමට හැකි කෙටිම මාර්ගය අවබෝධ කරගන්නා ඔවුන් එහි ඇති භයානකම සමාජ ව්‍යසනය තුට්ටුවකටවත් මායිම් නොකර ජාලය හරහා මත්කුඩු බෙදාහැරීමට කටයුතු කරති. තරුණ කොටස් නොදැනුවත්වම මත් රකුසාට බිලි වෙයි. දරුවන්ගේ ඇබ්බැහිවීම, නිවෙස්වල සාමය, සතුට පෑල දොරින් පලා යයි. මවුපියෝ දැඩි පීඩාවට පත් වෙති. මේ සමාජ ව්‍යසනය ගැන වර්තමාන ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැඩි අවධානයක් යොමු කළේය. ඒ අනුව මහා පරිමාණ මේ මත්ද්‍රව්‍ය ජාලය පාලනයට ක්‍රියා කැරෙන්නේ හය මාසයක් ඇතුළතදීය. ඒ ‘යුක්තිය මෙහෙයුම‘ ඔස්සේය.

රට තුළ ඉහළ යන මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ රැල්ල මැඬලීමේ අරමුණින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘යුක්තිය’ මෙහෙයුම පසුගිය දෙසැම්බර් 17 වැනිදා රටම ආවරණය වන පරිදි ආරම්භ වී මාස හයකදී ලබාගත් ප්‍රතිඵලය අතිමහත්ය.

පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව රටපුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පොලිස් වසම් 605 තුළදී විශාල වශයෙන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඒ අතර මුහුදු මාර්ගයෙන් ගෙන එද්දී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය ප්‍රමාණය අතිවිශාලය.

මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම මෙතෙක් සිදු වූයේ පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේදීය. මේ සඳහා රජයට විශාල වියදමක් දැරීමට සිදුවිය. එමෙන්ම නිසි කාලයට, නිසි වෙලාවට දහනය කිරීමද ගැටලුවක් විය. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ උපදෙස් අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණයෙන් පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්තේ අධිබලැති මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ උදුනක් ස්ථාපනය කිරීමට කටයුතු කරන ලද්දේ පසුගියදාය.

එසේ ස්ථාපනය කළ අධිබලැති උඳුනේ ඉකුත් ජූනි මස අටවැනි දින මත්ද්‍රව්‍ය දහනය කිරීමේ කටයුතු ආරම්භ කළේ ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ නාවික හමුදාව එක්ව සිදුකළ වැටලීම්වලින් අධිකරණයට ඉදිරිපත් කර නීතිමය කටයුතු අවසන් කළ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 355යි ග්‍රෑම් 880ක ප්‍රමාණයක් දහනය කිරීමෙනි.

මෙම උදුන ආධාරයෙන් මත්ද්‍රව්‍ය දහනය කෙරෙන්නේ පුත්තලම මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේය. ඒ පසුගිය ජූනි 29 දාය.

එහිදී යුක්තිය මෙහෙයුමට සමගාමීව රටපුරා සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා මත්කුඩු කිලෝග්‍රෑම් 1200කට ආසන්න ප්‍රමාණයක් අධික උෂ්ණත්වය යටතේ දහනය කිරීම සිදුවිය. මීට අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 614යි ග්‍රෑම් 36ක්, කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 581යි ග්‍රෑම් 34ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13යි ග්‍රෑම් 686ක් මෙසේ විනාශ කිරීමට කටයුතු කෙරිණි.

මෙලෙස දහනය කළ මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී සහ ගොඩබිම සිදු කරන ලද මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඒවා වන අතර ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 2000ක් පමණ වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. මත්ද්‍රව්‍ය තොගය කොළඹ මහාධිකරණයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් බාරයට ගැනීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව යටතේ පුත්තලම වනාතවිල්ලුවට රැගෙන ඒමෙන් පසු විනාශ කිරීම සිදුවිය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයන්, රජයේ රස පරීක්ෂක සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ නිලධාරීන් ඇතුළු පුත්තලම සහ වනාතවිල්ලුව පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් ද මෙම අවස්ථාවට එක් වූහ.

මිහිර විජේසේකර - මාරවිල සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division