පුවත්පත්වල මංගල යෝජනා පළකර ඒවාට පිළිතුරු දෙන අය රවටා ඔවුන් සතු මිල මුදල් ඉතා සූක්ෂ්ම ලෙස වංචා කරන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් ගැන මීට කලකට පෙර අසන්නට ලැබුණත් මේ ළඟකදී නම් එවැනි වංචාකාරයන් පිළිබඳව පොලිස් පොතේ ලියැවී තිබුණේ නැත. එම දීර්ඝ නිහැඬියාව බිඳ දමන්නේ හිටපු යුද හමුදා මේජර්වරයෙකි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකදී මේ වංචාකාර මේජර්වරයා අත්අඩංගුවට ගැනිණි. එම කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා සිටින තම 28 හැවිරිදි එකම පුතුට කොළඹ ප්‍රදේශයෙන් රූමත් සහකාරියක් සොයන බව එම තරුණයාගේ පියා ලෙස පෙනී සිටින පුද්ගලයෙක් සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක මංගල දැන්වීමක් පළකර තිබුණේ පසුගියදාය.
කොළඹ දිසාවේ විශ්වවිද්‍යාලයක අවසන් වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකගේ මවක් මේ මංගල යෝජනාව දැක ඊට ප්‍රතිචාර දක්වන්නේ එහි පළකර තිබුණු දුරකතන අංකයකට අමතමිනි. දැන්වීම පළකර තිබුණු පුද්ගලයා සමඟ සිසුවියගේ මව අදහස් හුවමාරු කරගත්තාය. එසේ අදහස් හුවමාරු කර ගනිද්දී දෙපාර්ශ්වයේම අදහස් එකිනෙකා සමඟ හොඳින් ගැළපෙන නිසා මනාල තරුණයාගේ ඡායාරූපයක් ‘වට්ස්ඇප්‘ කරන ලෙස සිසුවියගේ මව යෝජනා කරන්නේ මනාලයාගේ පියා ලෙස පෙනී සිටි පුද්ගලයාටය. දින කිහිපයකින් සිසුවියගේ මව වෙත අදාළ පුද්ගලයා කඩවසම් තරුණයකුගේ ඡායාරූපයක් එවා තිබුණේ ඒ තමාගේ පුතු බව සඳහන් කරමිනි.
තරුණයාගේ කඩවසම් බවට සිසුවියගේ මවුපියන්ද කැමැතිවූ නිසා සිසුවියට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ එම තරුණයා සමඟ අදහස් හුවමාරු කරගැනීමට මවුපියෝ අවසර ලබා දුන්හ. මෙසේ මාසයක් පමණ ගතවෙද්දී මේ දෙදෙනා හැබැහින් හමු නොවුණද මනාලයා ලෙසින් පෙනී සිටින පුද්ගලයා වට්ස්ඇප් මඟින් සිසුවිය අමතා කියන්නේ තමා සමාජ සේවා කටයුතුවල නිරතව සිටින බවයි. මේ වනවිට තමා ආබාධිත දරුවෙකුට උදවු කිරීමට සූදානම් වන බවද හැකිනම් කළ හැකි අයුරින් මූල්‍ය ආධාරයක් දරුවා වෙනුවෙන් ලබා දෙන ලෙසද මේ පුද්ගලයා ඉල්ලා සිටින්නේ තමන්ගේ අනාගත මනාලිය වන සිසුවියගෙනි.
මේ සිසුවිය සහ මනමාල තරුණයා මාසයක සිට වට්ස්ඇප් මඟින් හොඳටම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන සිටි බැවින් ‘අනාගත බෑනාගේ’ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි නිසා සිසුවියගේ මවුපියෝ රුපියල් තිස්දහසක් මනාලයා ලබාදුන් ගිණුම් අංකයට බැර කිරීමෙන් නොනැවතී තමන්ගේ නෑ හිතවතුන්ටද මේ බව දන්වා ඔවුන්ගෙන්ද එකතුකර ගන්නා ලද රුපියල් ලක්ෂ දෙකක පමණ මුදල් ‘අනාගත බෑනාගේ’ ගිණුමට බැර කරන්නේ ඔහු පිළිබඳව කිසිම සැකයක් නොසිතමිනි.
මේ සිද්ධියෙන් පසු සිසුවියගේ මවුපියන් මනාලයාගේ පියා ලෙස පෙනී සිටිමින් මංගල යෝජනාව පල කළ පුද්ගලයා අමතා තමන්ගේ නිවසට එන ලෙස ආරාධනා කර ඇති අතර ඔහු එය ඉතා ගෞරවයෙන් පිළිගෙන නිවෙසට පැමිණීමට දිනයක් ද යොදාගෙන තිබේ.
‘අනාගත බැනාගේ’ තාත්තා නිවෙසට එන දින සිසුවියගේ මවුපියන් ඒ සඳහා සූදානම් වී ඇති අතර ඔහුගේ පැමිණීම ප්‍රමාද වීම නිසා ඒ ගැන විමසීමට ඔහු ලබාදී තිබුණ ජංගම දුරකතන අංකවලට ඇමතුමක් ලබාගෙන ඇති අතර ඒ වනවිට අක්‍රිය කර තිබී ඇති අතර වට්ස්ඇප් ජාලයද අක්‍රිය කර තිබී ඇත.
තමන් වංචාවකට හසුවී ඇති බව දැනගත් සිසුවියගේ මවුපියෝ මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලිකර ඇත. සිසුවියගේ මව සහ පියා විශ්රාමිකයෝය.
සී.අයි.ඩියේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් මේ ගැන විමර්ශන සිදු කරන්නේ ඉන් අනතුරුවය. මනාලයාගේ පියා ලෙස පෙනී සිටි පුද්ගලයා ඉංග්‍රීසි පුවත්පතක පළ කළ මංගල යෝජනාව එහි සඳහන් දුරකතන අංකය ඉන් අනතුරුව මනාලයා ලෙසින් පෙනී සිටි පුද්ගලයා සහ සිසුවිය කතා කළ වට්ස්ඇප් අංකය පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ලබාගෙන ඒ පිළිබඳ ලබාගත් දත්ත සහ සී.සී.ටී.වී. දර්ශන 20ක් පමණ ඇසුරින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකදී ප්‍රධාන සැකකරු නිට්ටඹුව, වතුපිටිවල බෝඩිම් කාමරයක සිටියදී අල්ලා ගනු ලැබිණි. ඔහු හමුදා සේවයෙන් ඉවත් වුණු මේජර්වරයෙකු බවත් 59 හැවිරිදි වියේ පසුවන බවත් හෙළි විය.
මේ පුද්ගලයා පියා සහ පුතා ලෙස ද්විත්ව රංගනයක නිරත වී ඇති බවද විමර්ශන නිලධාරීන් විසින් සොයා ගන්නේ එහිදීය. සැකකරු මේ වංචනික ක්‍රියාව සඳහා යොදාගත් ජංගම දුරකතන දෙකක්, ලැප්ටොප් පරිගණකයක්, රවුටරයක් ද සී.අයි.ඩී. නිලධාරීන් භාරයට ගැනිණි. මේ පුද්ගලයා මෙලෙස මංගල යෝජනා පුවත්පත්වල පළකර තරුණියන් රවටා ඇති බවට සැක කරන අතර ඔහු ඔවුන්ට ලබාදුන් ජංගම දුරකතන අංක සහ බැංකු ගිණුම් අංක අදාළ සිසුවියගේ මවුපියන්ට ලබා දී තිබූ බවද හෙළි විය. මේ බැංකු ගිණුම් සහ දුරකතන සිම්පත් ඔහුගේ නමට නොතිබුණු නිසා ඒ ගැන සොයා බලද්දී හෙළිවී ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයකුගේ නැතිවූ ජාතික හැඳුනුම්පතක් මේ පුද්ගලයා විසින් සොයාගෙන එය උපයෝගී කරගෙන බැංකු ගිණුම් සහ සිම්පත් හදාගෙන ඇති බවය.
සැකකාර හිටපු මේජර්වරයා ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි අයකු වන අතර ඔහු සිසුවිය සහ ඇගේ මවුපියන් සමඟ කතාබහ කර තිබුණේද ඉංග්‍රීසි භාෂාවෙනි. සැකකාර හිටපු මේජර්වරයා අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි දර්ශිකා කුමාරිගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා නදීකා දිසානායක, උප පරීක්ෂක ඉසුරු ගුණතිලක, සැරයන්වරුන් වන ගුණරත්න, රජිත යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරන ලදි.
දීපාල් සමරසේකර