Home » ‘කොටපොළ ලොක්කා’ පස් යට වැළලුණු කසිප්පු බාගේ ආරවුල

‘කොටපොළ ලොක්කා’ පස් යට වැළලුණු කසිප්පු බාගේ ආරවුල

by thanushika
July 6, 2024 12:30 am 0 comment

හම්බන්තොට දිසාවේ මිද්දෙනිය පොලිස් වසමේ කාරියමඩිත්ත ග්‍රාමසේවා වසමේ, ගොඩකදුරුවෙල, අංක 136 නිවසේ පදිංචිව සිටි හෙට්ටිගේ කීර්තිරත්න ඉකුත් මැයි 31 වැනිදා සිට ආගිය අතක් නැති විය. අනතුරුව ඔහුගේ මළසිරුර එම ප්‍රදේශයේ අක්කර දහයකින් පමණ වපසරියකින් යුත් පොල් වත්තක වළ දමා තිබියදී සොයා ගැනීමට විමර්ශන සිදුකළ මිද්දෙනිය පොලිසියේ නිලධාරින්ට හැකි වූයේ ඉකුත් ජූනි 6 වැනිදාය. හෙට්ටිගේ කීර්තිරත්න හෙවත් ‘කොටපොළ ලොක්කා‘ ඝාතනයට සැකපිට සිසිර නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණේ පසුගිය මැයි 22 වැනිදාය.

සිසිර මිද්දෙනිය පොලිසියට කොටුවීමත් සමඟ කීර්තිරත්නගේ ඝාතනයේ සුලමුල අනාවරණය වූයේ ඔහුගේ පාපෝච්චාරණයත් සමඟිනි. ඒ අනුව සිසිරගේ පාපොච්චාරණයෙන් කීර්තිරත්නගේ ‘ඉරණම් ගමන‘ සිදුවූ ආකාරය මිද්දෙනිය පොලිසියේ පොත්වල සටහන් වන්නේ මෙලෙසිනි.

හෙට්ටිගේ කීර්තිරත්න 47 හැවිරිදිය. ඔහු මාතර, කොටපොළ උපන් අයෙකි. එම නිසා කොටපොළ ලොක්කා නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ කීර්තිරත්න විවාහ තුනක් කරගත් අයෙකි. දෙවැනි විවාහයෙන් දරුවන් දෙදෙනෙකි. එම විවාහයෙන් වෙන්වූ කීර්තිරත්න ඉන් අනතුරුව විවාහ වී සිටියේ මිද්දෙනිය පොලිස් වසමේ කාරියමඩිත්ත ගමේ පදිංචිකාරියක වූ රේණුකා සමඟිනි. 38 හැවිරිදි රේණුකාට සහ කීර්තිරත්නට දාව අට හැවිරිදි පුතෙක් ද සිටී.

හරිහමන් රැකියාවක් නොකළ කීර්තිරත්න කලෙක සිටම නීති විරෝධි මත්පැන් හෙවත් කසිප්පු නිෂ්පාදනයේ නිරත වූ අයෙකි.

ඉකුත් මැයි 31 වැනිදා උදා විය.

කීර්තිරත්න එදින පෙරවරුවේ හේන් රැකියාව සඳහා සූරියැවට යාමට සූදානම් වූයේය. බිරිය දරුවා රැගෙන පාසල් ගියාය. ඇය නැවත දරුවා සමඟ සවස 2.30 පමණ වෙද්දී නිවසට පැමිණියාය. ඒ වන විට ද නිවසේ සිටි කීර්තිරත්න දවල්ට කා-බී සූරියවැව යාමට සූදානම් වෙමින් සිටියේය.

“එහෙනම් මං සූරියවැවේ යනවා…“ යැයි බිරියට කී කීර්තිරත්න ඇඳුම් බෑගයක් ද රැගෙන නිවෙසින් පිටවූයේ සවස 2.40ට පමණය. ඔහු සූරියවැවට යාම සඳහා බස්රථයට ගොඩවීමට විනාඩි 15ක පමණ දුරක් පා ගමනින් ප්‍රධාන මාර්ගයට යා යුතුය. කීර්තිරත්න බසයකට නැඟීමට පැමිණිය යුත්තේ කාරියමඩිත්ත, දඹරැල්ල මාර්ගයේ දම්මනේ වැව අසල පිහිටි බස් නැවතුම් පොළටය.

එම ස්ථානයට පැමිණ බස් රථයක් එන තෙක් බලා සිටි කිර්තිරත්නට ඒ මොහොතේ ඔහුගේ ඥාති පුත්‍රෙයක් ද හමුවිය. ඔහුගෙන් බුලත්විටක් ද ඉල්ලාගෙන කෑ කීර්තිරත්න බසයක් එන තෙක් එම ස්ථානයේ සිටියදී එම තරුණයා පිටව ගිය බව කීර්තිරත්නගේ අතුරුදන් වීමෙන් පසු විමර්ශන සිදුකළ පොලිස් නිලධාරින්ට එම තරුණයා හෙළිකර තිබිණි.

මිද්දෙනියේ, කාරියමඩිත්තේ සිට සූරියවැවට යාමට පැය එකහමාරක දෙකක පමණ කාලයක් ගතවේ. එම කාලය අතරතුර කීර්තිරත්නගේ බිරිය රේණුකා ඔහුගේ දුරකතනයට ඇමැතුම් ගත්තද දුරකතනය අක්‍රීය වී තිබිණි. අනතුරුව ඇය සවස 5.30ට පමණ සූරියවැවේ සිටින හේන් අයිතිකරුට ඇමතුමක් ගත්තාය.

“මහත්තයා… කීර්තිරත්න ආවද…?“ ඇය විමසුවාය.

“කීර්තිරත්න තවමනම් වාඩියට ආවේ නෑනේ…“ යැයි හේන් හිමිකරුගේ පිළිතුර විය. රේණුකා විටින්විට ඇමැතුම් කීපයක්ම හේන හිමිකරුට ගත්ත ද එම සෑම ඇමතුමකින්ම කියැවුණේ කීර්තිරත්න හේනට නොපැමිණි බවය. පසුව ඇය රාත්‍රී අට-නවය වනතුරුම කීර්තිරත්නගේ දුරකතනයට මෙන්ම හේන් හිමිකරුගේ දුරකතනයට ඇමතුම් ගත්ත ද කීර්තිරත්න පිළිබඳ ආරංචියක් නොවීය. පසුදා එනම් ජුනි 1 වැනිදා එළිය වැටෙද්දීම රේණුකා දිව ගියේ මිද්දෙනිය පොලිසිය වෙතයි.

“සර්… මගේ මහත්තයා කීර්තිරත්න… එයා ඊයේ දවල්ට කාලා සූරියවැවේ හේනක රැකියාවට යනවා කියලා ගියා… ඒ ගියා ගියාමයි තවම කිසිම ආරංචියක් නෑ… අඩුම තරමේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ සර්…“ යැයි පවසමින් රේණුකා මිද්දෙනිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

එම පැමිණිල්ල පිළිබඳව මිද්දෙනිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් වික්‍රමසේකරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පී. ජයතුංග ඇතුළු කණ්ඩායමක් විමර්ශන ඇරැඹීය. එහිදී පොලිස් නිලධාරින් කීර්තිරත්න හෙවත් කොටපොළ ලොක්කා පිළිබඳ සොයා බලන්නට වූයේ අවට පොලිස් ස්ථානද ඒ පිළිබඳව දැනුම්වත් කරමිනි. පොලිස් නිලධාරින් සිය තොරතුරුකරුවන්ගේ තොරතුරු ද බුද්ධි තොරතුරු මෙන්ම දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන සිදු කෙරිණි.

ඒ අතර ඉකුත් ජූනි හයවැනිදා රාත්‍රී 7ට පමණ මිද්දෙනිය පොලිසියට දුරකතන ඇමතුමක් ලැබුණේ කීර්තිරත්නගේ බාල සහෝදරයා වන ප්‍රදීප් ප්‍රසන්නගෙනි.

“සර්… කාරියමඩිත්තේ අපේ ගෙවල් පැත්තේ තියෙන ලියනාරච්චි මහත්තයගේ පොල් ඉඩමේ තැනකින් ගඳක් එනවා… එතන දිය සීරාව තියෙනවා… අපි කෝට්ටකින් ඇනල බැලුවම ෂර්ට් එකක බොත්තමක් වගේ එකකුත් උඩට ආවා…“ යැයි ප්‍රදීප් කීවේය.

ප්‍රදීප් හෙවත් සුද්දා ද කීර්තිරත්නගේ නිවස ආසන්නව පදිංචිකරුවෙකි. ඔහු අමිත් හෙවත් පොල් සුරංග සමඟ නිවෙස්වලට ආසන්න අක්කර 10කින් පමණ යුත් එම පොල් ඉඩමට ගොස් සිටියදී එම ස්ථානය දැක තිබුණේ ගඳ වහනය වීමත් සමඟ අහඹු ලෙසිනි. අදාළ ඉඩම හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුට අයත් වන්නකි. පසුව නිවෙස්වලට පැමිණි දෙදෙනා නිවැසියන් ද දැනුම්වත්කොට පොලිසියට දුරකතන ඇමතුමක් දෙනු ලැබීය.

පොලිසියට ලැබුණු එම තොරතුර පිළිබඳව සොයා බැලීමට මිද්දෙනිය පොලිස් ස්ථානාධිපති රොහාන් වික්‍රමසේකර සැණින් එම ස්ථානයට පොලිස් ජංගම මුර සංචාරක රථය පිටත්කර යැවුණේ තොරතුරේ සත්‍ය අසත්‍යතාව සොයා බැලීමටය.

අධික වැසි සහිත කාලගුණයක් පැවැති එදින හරිහැටි මාර්ගයක් ද නොමැති එම ස්ථානයට ළඟාවීම පොලිස් නිලධාරින්ට ද එතරම් පහසු නොවීය. එහෙත් පොලිස් නිලධාරින් පා ගමනින් එම ස්ථානයට ගොස් ස්ථානය සොයා එහි ආරක්ෂාව යෙදවීය. ඒ අතරේ ප්‍රදීප් පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනිණි.

එම ස්ථානය පරීක්ෂා කළ පොලිස් නිලධාරින් එහි යම් සැක කටයුතු කුමක් හෝ වළ දමා ඇති ආකාරය එවැනි විමර්ශන තුළින් ලත් අත්දැකීම් ඔස්සේ තහවුරු කරගැනිණි. පසුදා එනම් 7 වැනිදා එම ස්ථානය පිළිබඳව මිද්දෙනිය පොලිසියේ නිලධාරින් විසින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලදි. ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත් නවෝදා කොකුහැන්නදි මහත්මිය ද එම ස්ථානයට පැමිණි අතර ඇඹිලිපිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.සී.එස්. පෙරේරා ද එහි පැමිණියේය. ඊට අමතරව තංගල්ල අපරාධ ස්ථානීය පරීක්ෂණාගාර (SOCO) නිලධාරින්ද පැමිණීමෙන් පසු එම ස්ථානය හාරා කළු පැහැති ඉටි කොළයකින් වසා තිබූ මළසිරුර 7 වැනිදා පෙරවරුවේ අධික වර්ෂාව මධ්‍යයේම ගොඩ ගැනිණි.

එම මළසිරුර තම සැමියාගේ බව රේණුකා හඳුනා ගැනීමත් සමඟ එතෙක් දින හතක් පමණ අතුරුදන්ව සිටි කීර්තිරත්න මරණයට පත්ව ඇති බව තහවුරු විය.

ඒ සමඟම ඇඹිලිපිටිය මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.සී.එස්. පෙරේරා ලබා දුන් වාර්තාවට අනුව කීර්තිරත්නගේ මරණයට හේතුව හිසෙහි පිටුපසට මොට ආයුධයකින් සිදුකළ තදබල පහර දීම් තුනක් නිසා සිදුවූවක් බවට තීරණය කර තිබිණි.

එම අබිරහස් ඝාතනය පිළිබඳව මිද්දෙනිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දැනුම්වත් කිරීමෙන් පසු ඔවුනගේ උපදෙස් මත කීර්තිරත්නගේ ඝාතකයා සොයා පුළුල් විමර්ශනයක් ඇරැඹිණි. එහිදී විමර්ශන නිලධාරින් විසින් මුලින්ම කීර්තිරත්නගේ දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනුණි. තොරතුරුකරුවන්ගේ තොරතුරු ද රැස් කෙරිණි. කීර්තිරත්නගේ දුරකතනයට එදින සම්බන්ධව සිටි සෑම අයකුගෙන්ම ප්‍රශ්න කෙරුණු අතර එහිදී බුද්ධි තොරතුරු මෙන්ම ලැබුණු හෝඩුවාවන් ඔස්සේ විමර්ශන නිලධාරින්ට සිසිර නමැත්තා ගැන සැකයක් පහළ විය.

කීර්තිරත්න සූරියවැව යාම සඳහා බසයට නැඟීමට පා ගමනින් පැමිණිය යුතු මාර්ගයේ සිසිරගේ නිවස පිහිටා තිබිණි.

කීර්තිරත්න මීට වසර දහයකට පමණ පෙරදී කාරියමඩිත්තට පැමිණි පසු නීතිවිරෝධි මත්පැන් හෙවත් කසිප්පු ජාවාරම සිදුකළ අතර ඔහු හොර මත්පැන් පෙරීමට සිසිරට ද ඉගැන්වීය. අනතුරුව දෙදෙනා ගජමිතුරන් සේ කසිප්පු ජාවාරම කරගෙන ගියේය. ඒ අතරේ පසු ගිය කාලයේදී කීර්තිරත්න කසිප්පු ජාවාරමෙන් උපයාගත් මුදල් සමසේ නොබෙදීම නිසා දෙදෙනා අතර විරසකයක් ඇති වී තිබිණි. ඒ මීට වසර තුනකට පමණ පෙරදීය. අනතුරුව දෙදෙනා වෙන් වෙන්ව කාරියමඩිත්ත ගමේ කසිප්පු ජාවාරම කරගෙන ගොස් තිබිණි. දෙදෙනා අතර එලෙස විරසකයක් පැවැතියද දෙදෙනා මඟතොටදී හමුවූ විට එම තරහා-මරහා අමතකකොට කතාබස් කළහ. එසේම දෙදෙනාම කසිප්පු ජාවාරම නිසා කීප විටෙකදීම අත්අඩංගුවට ගත් මිද්දෙනිය පොලිසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත්කොට නඩු පවරා තිබිණි.

කීර්තිරත්නගේ සහ සිසිරගේ පැරණි ආරවුල ගැන සැලවීමත් සමඟ පොලිසියට සිසිර පිළිබඳව වූ සැකය තීව්‍ර විය. ඒ අනුව පොලිසිය සිසිර පසුපස පන්නන්ට වූයේය. පොලිසිය හොර රහසේ ඔහු ගැන සොයද්දී සිසිර ද ගම තුළ සාමාන්‍ය පරිදි ජීවත්වෙමින් සිටියේය. සිසිරගේ නිවසට ඔහුගේ ඥාති පුත්‍රයෙක්ද ආගිය අතර ඔහු සමන්තය. 39 හැවිරිදි සමන්ත කඩුවෙල පදිංචි අයෙකි. හරිහැටි රැකියාවක් නොකළ සමන්ත කාරියමඩිත්ත ගමට යාබද තලාව ගම්මානයේ කතක සමඟ විවාහ වී සිටියේය.

පොලිස් නිලධරයෝ සිසිර සහ සමන්තගේ ද දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගත්හ. ඉන් දෙදෙනා වෙනත් දිනවලට සාපේක්ෂව කීර්තිරත්න අතුරුදන් වූ දින එතරම් දුරකතන ඇමතුම් ලබාගෙන නැති ආකාරයක් තහවුරු විය. එසේම මැයි 31 වැනිදා දින සිසිර කසිප්පු ජාවාරම ද සිදුකර නැති බව පොලිස් නිලධරයෝ අනාවරණය කරගත්හ. ඒ අනුව කීර්තිරත්නගේ ඝාතනයට සිසිර සහ සමන්තගේ කිසියම් සබඳතාවක් ඇතැයි යන සැකය විමර්ශන නිලධාරින්ට ඇති විය. ඒ සමඟම ඉකුත් ජූනි 22 වැනිදා දහවල් සිසිර මිද්දෙනිය පොලිසියේ නිලධාරින් විසින් කීර්තිරත්න ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගන්නේ දම්මනේ වැව ආසන්නයේදීය.

සිසිර අත්අඩංගුවට ගෙන වැඩි වේලාවක් ගත වූයේ නැත. විමර්ශන නිලධාරින්ට ඇතිවූ සැකය හරියටම හරි බව තහවුරු වූයේ සිසිරගේ පාපෝච්චාරණයත් සමඟිනි.

“සර්… මං ඇත්ත කියන්නම්… මට ආපු තරහට කොටපොළ ලොක්කා මැරුවේ මම…“ යැයි කී සිසිර පොලිස් නිලධාරින් ඉදිරියේ කීර්තිරත්නට වූයේ කුමක් ද යන්න අකුරක් නෑර හෙළිදරව් කළේය. ඒ අනුව සිදුවී ඇත්තේ මෙවැන්නකි.

සූරියවැව යාමට පා ගමනින් බස් නැවතුමට යමින් සිටි කීර්තිරත්න සිසිරගේ නිවසට ද ගොඩවැදී ඇත. ඒ මොහොතේ සිසිර ඔහුගේ නිවසට ආසන්න කුඹුරට වතුර හරවමින් සිටියේය.

“හීන් මල්ලි… හීන් මල්ලි…“ යැයි සිසිරට හඬ ගෑ කීර්තිරත්න, “හීන් මල්ලි… මං සූරියවැවේ යනවා මට ගෙනියන්න… කසිප්පු බාගයක් දියන්කෝ…“ යැයි පැවැසීය.

“මගේ ළඟ කසිප්පු නෑ බං…“ යැයි ක්ෂණයෙන් සිසිර පැවැසීය.

“ඒත් එක්කම සර්… කීර්තිරත්නයා මට අම්මා මතක් කරලා අමු තිත්ත කුණුහරුපෙන් බැන්නා… ඒකට මට කේන්ති ගියා…“ යැයි සිසිර පොලිස් නිලධාරින්ට පැවැසීය.

ඒ සමඟම කේන්තියෙන් පිපිරෙමින් සිටි සිසිර, “හරි එහෙනම්… යමංකො උඩහට… හංගපු බාගයක් තියෙනවා… යැයි කී සිසිර නිවසට ආසන්නයේ පිහිටි වත්ත මැදින් ඉහළට තිබෙන මාර්ගයෙන් කීර්තිරත්න කැඳවාගෙන ගියේය. ඒ කීර්තිරත්නගේ මළසිරුර හමුවූ ලියනාරච්චිගේ වත්ත පිහිටි ප්‍රදේශයයි. ඒ වන විට වේලාව සවස 4.30ට පමණය.

“කෝ බාගේ දියන්…“ එම ස්ථානයට ගිය සැණින් කීර්තිරත්න දැඩි ස්වරයෙන් විමසීය.

“ඒයි… කොටපොළයා උඹට දෙන්න බාගයක් නෑ… උඹ දැන් පලයං ගෙදර…“ යැයි සිසිර පැවසුවේ කීර්තිරත්න දෙසට සමච්චල් සිනාවක් පාමිනි.

ඉන් දැඩි සේ කෝපයට පත් කීර්තිරත්න සිසිරට තඩි බෑමට කිසියම් මුගුරක් අවට සොයන්නට විය. එසැණින් කීර්තිරත්නට පෙර ඉක්මන් වූ සිසිර ආසන්නයේ තිබූ පොල්ලක් ගෙන කීර්තිරත්නගේ හිසට පහර දෙන්නට වූයේ සිත්පිත් නැත්තකු විලසිනි. ඉන් කපා හෙළු කෙසෙල් කඳක් සේ ඇද වැටුණු කීර්තිරත්න අසලට ළංවූ සිසිරට දැනුණේ ඔහුට සිහි නොමැති බවය.

කීර්තිරත්නගේ සිරුර එම ස්ථානයේම තිබියදී සිසිර නිවසට ගියේය. සවස 6.30 පමණ විය. සිසිර ඊට මඳ වේලාවකට පෙර සිදුවූ සෑම දෙයක්ම අකුරක් නෑර සමන්තට පැවැසීය. අනතුරුව අඳුර වැටීමත් සමඟ දෙදෙනා උදැල්ලක් සහ කළු පැහැති ඉටි කොළයක්ද රැගෙන නිවසට මීටර් 350ක් පමණ දුරකින් කීර්තිරත්න වැටි සිටි ස්ථානයට ගියෝය.

අනතුරුව ඉටිකොළයෙන් එතූ කීර්තිරත්නගේ සිරුර පසුව තවත් මීටර් 50ක් පමණ ඈතට ගෙන ගොස් අඩි දෙකහමාරක පමණ ගැඹුරැති වළක් හාරා වළ දමා අසල වූ තේක්ක ගසකින් අතු කීපයක් කපා එම ස්ථානයට දමා දෙදෙනා නිවෙසට පැමිණියෝය. පසුව දෙදෙනා සාමාන්‍ය පරිදි කාලය ගතකරද්දී සමන්ත පසුදා එනම් ජුනි 01 වැනිදා කොළඹ ගොස් 4 වැනිදා නැවත පැමිණියේය. විමර්ශන නිලධාරින් සිසිර අත්අඩංගුවට ගැනීමත් සමඟ සමන්ත ප්‍රදේශයෙන් පලාගොස් සිටියේය.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මාතර සහ හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්නගේ උපදෙස් මත තංගල්ල දිස්ත්‍රික් II සහකාර පොලිස් අධිකාරි එච්.ආර්.ඒ. විජේබණ්ඩාරගේ අධීක්ෂණයෙන් මිද්දෙනිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් වික්‍රමසේකරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පී. ජයතුංග, සැරයන් 72702 මධුර, කොස්තාපල්වරුන් වන 97619 රුවන් සහ 60834 වසන්ත යන නිලධාරිහු විමර්ශන සඳහා එක් වූහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division