Home » සම්පන්දන්ගෙන් නිහඬ වූ දෙමළ ජනතා හඬ

සම්පන්දන්ගෙන් නිහඬ වූ දෙමළ ජනතා හඬ

by sachintha
July 6, 2024 12:29 am 0 comment

ඉලං‍ෙගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායක වූ ආර්. සම්පන්දන් සිය දිවියට සමුදුන්නේ වයස අවුරුදු 91දී

සම්පන්දන් සිය දේශපාලන ගමන ආරම්භ කළේ 1970 දී ත්‍රිකුණාමලය මුල්කරගෙන. 1977 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් ත්‍රිකුණාමලය ආසනයට තරග කර ජයග්‍රහණය කළේය.

ඉලං‍ෙගයි තමිල් අරසු කච්චි පක්‍ෂය හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායකයා ලෙසත් ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසත් සිය දීර්ඝ දේශපාලන ගමන ඉදිරියට ගෙන ගිය ආර්. සම්පන්දන් ශ්‍රී ලංකා දේශපාලනයේ හෝ දෙමළ දේශපාලනයේ මහමෙරක් ලෙස මතු වූයේ නැත.

අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ මරණය සහ වී. ආනන්ද සංගරි එල්ටීටීඊය ප්‍රතික්ෂේප කරමින් කොටි සංවිධානය සමඟ ඇතිකරගත් ගැටුම නිසා සම්පන්දන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා විය. ආර්. සම්පන්දන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා වූයේ කොටි සංවිධානයේ බහුවිධ දේශපාලන මුහුණුවර ප්‍රදර්ශනය කිරීම උදෙසාය. එස්. ජේ. වී. සෙල්වනායගම් සහ අමිර්තලිංගම්ගේ මඟ අනුගමනය කළ ආර්. සම්පන්දන් දෙමළ දේශපාලන ඉතිහාසයේ සටන් නොකළ අපරාජිත නායකයකු ලෙසින් ප්‍රදර්ශනය විය. ඔහුගේ අභාවයත් සමඟ ජීවමාන වංශයක් ලෙස පැවත ආ දෙමළ ජාතික සන්ධානයට ද සිය අභාවය වැලඳ ගැනීමේ ඉඩකඩ බහුලව පවති. දෙමළ ජාතික සන්ධානය ආරම්භයේ සිටම සම්පන්දන් යන නාමයට අවනතව පැවැති දේශපාලන ව්‍යාපාරයකි. ඒ තුළ නායකත්වයට සීතල යුද්ධයක් පැවැතිය ද එය ඉස්මතු නොවූයේ සම්පන්දන් නැමැති ශක්තිමත් නායකත්වය මත පදනම්වය.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයට අමරණීය නාමයක් එක්කරමින් තිස්පස් වසරකට අධික කාලයක් ශ්‍රී ලංකා දෙමළ දේශපාලනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු මෙන්ම ඉලං‍ෙගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායක වූ ආර්. සම්පන්දන් සිය දිවියට සමු දුන්නේ වයස අවුරුදු 91 කදීය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් අවිහිංසාවාදි ලෙස ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළේය. ඔහු කළ කාර්යභාරය දේශීය මෙන්ම විදේශීය වශයෙන් පැසසුමට ලක්වූ අවස්ථා ගණනාවකි. ඉලං‍ෙගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආර්. සම්පන්දන් දශක ගණනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් දෙමළ ජනතා ප්‍රශ්න වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ නොනවතින හඬක් නැඟුවේය.

උතුරු නැඟෙනහිර යුද්ධය තියුණු ලෙස පැවැති සමයක දෙමළ ජාතික සන්ධානය (TNA) නමින් ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂවල සන්ධානයක් ආරම්භ වූයේ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ද අනුදැනුම ඇතිවය. කොටි සංවිධානයේ පැසිස්ට්වාදය හමුවේ ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේ දේශපාලන ක්‍රියාදාමයක් ලෙස මෙම දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලාංකික දෙමළ සුළුතරය නියෝජනය කිරීම පදනම් කරගෙන ආරම්භ කරනු ලැබුවේ 2001 ඔක්තෝබර් මස 06 වැනිදාය. මධ්‍යස්ථ ජාතික මට්ටමේ දෙමළ දේශපාලන පක්ෂ සහ ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් වෙනුවෙන් සටන් කළ ප්ලොට්, ඊ. පී. ආර්. එල්.එෆ්. ටෙලෝ, වැනි සටන්කාමී සංවිධාන ද මෙම සන්ධානය හා එක්විය. මෙහි නායකත්වයට පත්වූයේ ද ආර්. සම්පන්දන්ය.

එල්. ටී. ටී. ඊ. සංවිධානය මෙන් පැසිස්ට්වාදි සංවිධානයක නායකයකුගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ දෙමළ ජාතික සන්ධානය ප්‍රභාකරන්ගේ පවා චෝදනාවට ලක්නොවී සමාජ සාධාරණත්වය හරහා දෙමළ අයිතීන් වෙනුවෙන් උපක්‍රමශීලීව සටන් කිරීමේ හැකියාව ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කළ නායකයෙක් ලෙස සම්පන්දන්ව විදහා දැක්විය හැකිය. සම්පන්දන් සිය තිස් පස් වසරක දේශපාලන දිවිය තුළ සිය ජාතියේ හෝ සමාජයේ කිසිදු අවස්ථාවක දෝෂදර්ශනට ලක්වූයේ නැත. අප ශ්‍රී ලංකා දේශපාලනය ගත්කල දේශපාලනඥයන් බහුතරයක්ම මයිනන්, කාක්කන් ලෙස සමාජයේ හෑල්ලුවට ලක්වූ අයුරු දැක ඇත්තෙමු. නමුත් සම්පන්දන් කිසිදු අවස්ථාවක කිසිවකුගේත් උදහසට ලක්නොවූ කීර්තිමත් දේශපාලනඥයෙකි.

මෙම සන්ධානය ආරම්භයේදී දෙමළ ඊළාම් නම් වූ ශ්‍රී ලංකා දූපතේ දෙමළ ජනයා සඳහා වෙනම රාජ්‍යයක් සඳහා වූ ස්වයං නිර්නය අයිතිය වෙනුවෙන් පෙනී සිටියේය. එය ශ්‍රී ලංකා ත්‍රස්තවාදි යුද්ධය විසඳීම සඳහා එල්ටීටීඊය සාකච්ඡා මේසයට ගෙන ඒමේ වෑයමක් ලෙසිනි. එසේ වුවද 2009දී එල්ටීටීඊය පරාජය කර සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම අතහැරදමා පෙඩරල් පාලනය පිළිගැනීමට තම කැමැත්ත ප්‍රකාශ කළේය.

සම්පන්දන් යනු විවිධ දේශපාලන මාර්ගයන් ඔස්සේ පැමිණි පුද්ගලයෙකි. ඔහු දේශපාලන වගකීම් සමඟ තමාගේ තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීය. බොහෝ නින්දා අපහාසවලට මුහුණ දුන්නද ඔහු දෙමළ ජනතාවගේ සුභසාධනය ගැන සිතමින් තම ගමන ඉදිරියට ගෙන ගියේය. ඔහුගේ ජීවිත කාලය තුළ දෙමළ ජනයාට යම් දේශපාලන විසඳුමක් ලැබෙනු ඇතැයි සම්බන්ධන් විශ්වාස කළේය.

සම්පන්දන් සිය දේශපාලන ගමන ආරම්භ කළේ 1970දී ත්‍රිකුණාමලය මුල්කරගෙනය. 1977 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් ත්‍රිකුණාමලය ආසනයට තරග කර ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකා දෙමළ දේශපාලනය වෙනස් මගකට යොමුවූයේ මේ කාලය තුළය. එය දෙමළ ප්‍රශ්නයට එකම විසඳුම ලෙස සන්නද්ධ අරගලය තෝරාගත් වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු තරුණයන් රජයට එරෙහිව සටන් කිරීමට පටන්ගෙන තිබුණු මොහොතක් විය.

1983 මැද භාගයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීමට එරෙහිව ගෙනෙන ලද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන සංශෝධනයට විරෝධය පළ කරමින්, පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය කළහ. එමෙන්ම 1983 කළු ජූලියේ සිදුවීම්වලදී දෙමළ ජනයා ඝාතනය කිරීමට සහ ඔවුන්ගේ දේපළ කොල්ලකෑමට හා විනාශ කිරීමට විරෝධය දැක්වීම සඳහා ද පාර්ලිමේන්තු සැසිවාර වර්ජනය යොදාගත්හ. ඔහු අඛණ්ඩව මාස තුනක් පාර්ලිමේන්තු සැසිවාරයට නොපැමිණීම හේතුවෙන් සම්පන්දන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 1983 සැප්තැම්බර් මාසයේදී අහිමිවිය.

වසර 18 කට අධික කාලයක් පාර්ලිමේන්තු නියෝජනයකින් තොරව සිටි ආර්.සම්පන්දන් යළිත් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 2001 වසරේදීය. ඒ දෙමළ ජාතික සන්ධානය පිහිටුවා තරග කිරීමෙනි. එම මැතිවරණයේදී තරග කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමට ආර්.සම්පන්දන් උත්සහ කළ ද මැතිවරණ දෙපාර්තමේන්තුව එම පක්ෂය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි. මේ නිසා දෙමළ ජාතික සන්ධානයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ එම මැතිවරණයට තරග කිරීමට සිදු විය.

මෙම තත්ත්වය හමුවේ කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ එකම දේශපාලන නියෝජිතයා ලෙස දෙමළ ජාතික සන්ධානය පිළිගන්නා ලෙස ඉල්ලා සිටියේය. එහෙත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක වී. ආනන්ද සංගරි එය ප්‍රතික්ෂේප කළේය. එය ඉල්ලා අස්කරගන්නා ලෙස ආනන්ද සංගරි ප්‍රසිද්ධියේම ප්‍රභාකරන්ට අභියෝග කළේය. ප්‍රභාකරන් සිය ප්‍රකාශය ඉල්ලා අස්කර නොගැනීම නිසා 2004 පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණහි උදා හිරු ලකුණින් දෙමළ ජාතික සන්ධානයට තරග කිරීමට ආනන්ද සංගරි අවසර දුන්නේ නැත. ඔහු අධිකරණය හමුවට ගොස් තහනම් නියෝගයක් ලබා ගත්තේය.

මේ අනුව 2004 මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ඉලං‍ෙගයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ නිවස ලකුණින් තරග කරන ලදී. මෙහිදී ඡන්ද 633,654ක් (6.84%) ලබා ගනිමින් උතුරු නැගෙනහිර ආසන 22ක් දිනා ගත්තේය. ආර්. සම්පන්දන් මෙම පක්ෂයේ සභාපතිවරයා ලෙසත් දෙමළ ජාතික සන්ධානයේ සභාපතිවරයා ලෙසත් තේරී පත් විය. සම්පන්දන් එතැන් පටන් පැවති සියලුම පාර්ලිමේන්තු මැතිවරණ සියල්ලක්ම ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මෙතෙක් විපක්ෂ නායක ලෙස කටයුතු කර ඇත්තේ දෙමළ ජාතිකයන් දෙදෙනකු පමණි. ඒ 1977දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක අප්පාපල්ලේ අමිර්තලිංගම් හා ආර්. සම්පන්දන් පමණි. 2015 පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය දැක්වුවද පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ආණ්ඩුව පිහිටවූ අතර, දෙමළ ජාතික සන්ධානය එම ආණ්ඩුවේ කිසිදු නිලයක් ලබා ගත්තේ ද නැත. එසේ වුවද ඉලංගයි තමිලරසු පක්ෂය මෙම පක්ෂ දෙකෙන් පසු වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් පක්ෂය බවට පත් විය. මේ පක්ෂයට ආසන 16 ක් හිමිව තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 38 වසරකට පසු ශ්‍රී ලංකා විපක්ෂ නායක ධුරය යළිත් වරක් ශ්‍රී ලාංකික දෙමළ නායකයකුට හිමි විය. එම අවස්ථාව හිමිවූයේ ද ආර්. සම්පන්දන්ටය.

ශ්‍රී ලාංකේය දෙමළ ජනතාවගේ ප්‍රශ්නය වෙනුවෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් හඬක් නැඟූ නායකයෙක් ලෙස දෙමළ සමාජය තුළ සම්පන්දන් පැසසුමට ලක්විය. මානව හිමිකම් කඩකිරීම්, අතුරුදහන් වූවන්, දෙමළ ප්‍රදේශවලට ආක්‍රමණකාරි ක්‍රියා සහ ඉඩම් ගැටලු ඇතුළු දෙමළ ජනයා මුහුණ දෙන ගැටලු වෙනුවෙන් හඬ නැඟූ ප්‍රමුඛ නායකයෙකි. උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ ගැටලුව ජාත්‍යන්තරය හමුවට ගෙන ගිය අතර ඒ තුළින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කිරීමට ද සම්පන්දන් කටයුතු කළේය.

ශ්‍රී ලංකා දේශපාලනය ගත් කල බහුතරයකට එල්ල වන්නේ සොරකම් කිරීම, ජනතා දේපළ කොල්ලකෑම වැනි චෝදනාවන් වුව ද සම්පන්දන් දේශපාලන භූමිකාව තුළ අපට එවන් චෝදනාවක් අසන්නට ලැබුණේ නැත. මෙරට පසුගිය කාලය පුරා බලයට පත්වූ දේශපාලන පක්ෂ ඇමතිධුර සඳහා සම්පන්දන්ට ආරාධනා කළ අවස්ථා එමටය. එහෙත් ඒ කිසිදු අවස්ථාවක ඔහු ඊට එකඟ වූයේ නැත. එකම අරමුණක් ඔස්සේ ගෙනගිය සිය දේශපාලන ගමන 91 වැනි වියෙහි දී නිමාකර ජීවිතයෙන් සමුගත්තේය.

lටී.චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division