Home » ශ්‍රී ලංකාවට ආ ලොකුම අහස් යන්තරේ

ශ්‍රී ලංකාවට ආ ලොකුම අහස් යන්තරේ

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment
ඇන්ට­නොව් යානයේ පාලක මැදි­රිය

– වටිනාකම ඇ‍ෙමරිකන් ඩොලර් මිලියන 100ක්
– දිග මීටර් 63යි. පළල මීටර් 73යි

හා මාර්ගයේ ධාවනය වන කන්ටේනර් රථයක හෝ ලොරි රථයක තවත් වාහනයක් ගෙනයාම සාමාන්‍ය දසුනක් වුවත් ගුවන් යානයක් තුළ බහා තවත් යානයක් ගෙනයාම ඉතාම දුලභ දසුනකි. එම දසුන දුලභ වන්නාක් මෙන්ම තවත් යානාවක් ගෙන යාමට හැකි තරමේ යානයක ප්‍රමාණය කෙසේ විය යුතුද යන්න ගැන අවබෝධයක්ද ලබා ගත යුතුය.

එවැනි දුර්ලභ දසුනක් පසුගිය ජූනි 28 වැනිදා අපට දැකගත හැකි විය. ඒ කටුනායක ගුවන්තොටුපොළට යාබඳ කටුනායක ගුවන් හමුදා කඳවුරෙනි.

එම දසුන දැකගත හැකි වූයේ ගුවන් හමුදාවට අයත් එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ගුවන් යානයකට පැටවීමයි. මධ්‍යම අප්‍රිකානු ජනරජය දක්වා එම්. අයි. 17 යානයක් එලෙසින් රැගෙන ගියේය. ඒ ගුවන් හමුදාව විසින් එහි සිදු කරන්නා වූ සාම සාධක රාජකාරි කටයුතු වෙනුවෙනි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2017 වර්ෂයේ සිට සක්‍රිය දායකත්වයක් ලබාදෙයි. එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා යොදා ගනිමින් එරට හමුදා භට පිරිස් ප්‍රවාහනය සිදු කෙරේ. එමෙන්ම එහි අභ්‍යන්තර ගුවන් ගමන්, හදිසි ප්‍රතිකාර සඳහා ප්‍රවාහන කටයුතු සිදුකිරීමට මෙන්ම ආහාරපාන භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සුවිශේෂී කාර්යයන් රැසක් සඳහා දායකත්වයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් සිදු කරන්නේ MI 17 හෙලිකොප්ටර් යානාද උපයෝගී කර ගනිමිනි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මේ වන විට ගුවන් හමුදා සාමාජිකයන් 118 දෙනෙකු යොදවා ඇති අතර ගුවන් හමුදාව සතු MI – 17 හෙලිකොප්ටර් යානා තුනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එහි සාම සාධක රාජකාරි කාර්යයන් වෙනුවෙන් අනුයුක්ත කර ඇත.

මෙහිදී විශේෂයෙන්ම පෙන්වා දිය යුත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බල ගණයේ සේවය අවස්ථා කීපයකදීම එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් වෙනුවෙන් ලබා දී ඇත. එසේ සාම සාධක රාජකාරි කටයුතු වෙනුවෙන් යොදවා ඇත.

MI – 17 හෙලිකොප්ටර් යානා 3 අතුරින් එක් හෙලිකොප්ටර් යානාවක සිදු කළ යුතු ප්‍රධාන නඩත්තු කටයුත්තක් සඳහා ඉදිරියේදී එය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය. එය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ප්‍රථම, එම සාම සාධක රාජකාරි බාධාවකින් තොරව නිසි ලෙසින් සිදු කළ යුතු හෙයින් වෙනත් හෙලිකොප්ටර් යානාවක් අනුයුක්ත කළ යුතුය. එබැවින් ගුවන් හමුදාව සතු MI 17 වර්ගයේ වෙනත් හෙලිකොප්ටර් යානාවක් පසුගිය 28 වෙනිදා මධ්‍යම අප්‍රිකානු රජය වෙත ප්‍රවාහනය කරනු ලැබීය. ඒ සඳහා භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා කරනු ලබන ලෝකයේ විශාලතම වර්ගය ගුවන් යානාවක් වන ඇන්ටනොව් 124 ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එය කටුනායක ගුවන්තොටුපොළෙහි ගුවන් හමුදා යානා ගාල් කර ඇති ගුවන් හමුදා කඳවුරේ සිට මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත පියාසර කරන ලදි. මේ යානය මෙරටට පැමිණීම විශේෂිතම අවස්ථාවක් විය. ඒ ලෝකයේ විශාලතම ගුවන් යානයක් එසේ රටකට පැමිණීම සිදුවන්නේ ඉතාම කලාතුරකින් වීම නිසාය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා වසර දහයක කාලයක් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි කටයුතු වෙනුවෙන් යොදවා ඇති අතර එමඟින් ඩොලර් මිලියන 125කට අධික මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබාදීමට කටයුතු කර ඇත.

පසුගිය 28 වෙනිදා මෙරටට පැමිණි ඇන්ටනොව් 124 යානය ලෝකයේ ඇති විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා අතුරින් එකකි. එවන් යානා ලෝකයේම ඇත්තේ 56ක් පමණි. මේ යානාව දැනට සේවයේ ඇති සේවයේ පවතින විශාලතම හමුදා ප්‍රවාහන ගුවන් යානය ලෙස සලකනු ලැබේ.

එයට පැයට කිලෝමීටර් 865ක වේගයෙන් පියාසර කළ හැකිය. දිගින් මීටර් 63ක් හා පළලින් මීටර් 73ක් පමණ වන මේ යානාවක වත්මන් මිල ඇ‍ෙමරිකන් ඩොලර් මිලියන 100ක් පමණ වනු ඇත.

ඇන්ට­නොව් 124 යාන­යට එම් අයි 17 හෙලි­කො­ප්ට­රය ඇතුළු කර­මින්

ඇන්ට­නොව් 124 යාන­යට එම් අයි 17 හෙලි­කො­ප්ට­රය ඇතුළු කර­මින්

1979 වසරේදී ඇන්ටනොව් පළමු ගුවන් යානය එකලස් කිරීම ආරම්භ කළ අතර 1982 දෙසැම්බර් 24 දින එම පළමු ගුවන් යානය සිය මංගල ගුවන් ගමන සිදු කරන ලදී. මෙම වර්ගයේ යානා බටහිර ලෝකයේ ප්‍රථම වරට දැක ගැනීමට හැකි වුණේ 1985 වසරේදීය. ඒ පැරිස් ගුවන් ප්‍රදර්ශනයේදීය. එතැන් සිට බටහිර රටවල්ද ඇන්ටනොව් යානා පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නට විය.

2008 වර්ෂයේදී මේ ගුවන් යානා සඳහා නව ප්‍රවේශයක් ලබා දෙන ලද්දේ රුසියාව සහ යුක්රේනය එක්ව එම වර්ගයේ නිෂ්පාදනය ආරම්භ කරන බවට කළ නිවේදනයත් සමඟය. එහෙත් පසුකාලීනව රුසියානු යුක්රේන ගැටුම් ඇතිවීම හේතුවෙන් එය ක්‍රියාවට නැංවීම අත්හිටවුණි.

ඇන්ටනොව් 124 ( AN-124) යනු, එන්ජින් හතරකින් යුත් ගුවන් යානයක් වන අතර එය බැලූ බැල්මටම මෙල්ල කළ යෝධයකු මෙන් දර්ශනය වේ. පියාසර කිරීමේදී විවෘත කළ හැකි පසුපස භාණ්ඩ ප්‍රවාහන දොරක් (පහළ බඳ කොටසෙහි) තිබීම මෙහි විශේෂිතම ලක්ෂණයයි. එමෙන්ම එය පියාසර රැහැන් පාලන පද්ධතියකින් සමන්විත වේ. එය දෙමුහුන් පාලන පද්ධතියකි, අවශ්‍ය විට යාන්ත්‍රික පාලනයකින්ද එය හැසිර විය හැකිය.

පියාපත් මැද කොටස පිටුපස ඉහළ තට්ටුවක මගීන් 88 දෙනෙකු එකවර රැගෙන යා හැකි පහසුකම් මේ යානා සතුය. මෙවන් යානාවල ඉහළ තට්ටුවේ ඉදිරි ප්‍රදේශය වන්නේ පියාසර තට්ටුව සහ කාර්ය මණ්ඩල ප්‍රදේශය නවාතැන් ගත් ස්ථානයයි. ඉහළ සහ පහළ තට්ටු අතර අතර පාලනය නැමිය හැකි අභ්‍යන්තර ඉණිමන් යුගලයක් හරහාය.

යානයේ භාණ්ඩ මැදිරිය මීටර් 36ක දිගකින් යුක්ත අතර එය පළලින් මීවර් 6.4ක් හා උසින් මීටර් 4.4කි. (අඩි118×21×14) ප්‍රමාණයේය.

යානයේ පැරෂුට් භටයින් යෙදවීමට හෝ මගීන් රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේද සකස් කර ඇත. එසේම අධි බර යුද ටැංකි කිහිපයක් ඇතුළුව ඕනෑම බර වාහනයක් එහි රැගෙන යාමට හැකියාව ඇත.

ගුවන් යානය ගොඩබැස්සවීමේදී එහි රෝද 24කින් යානය දරා සිටීමට සලස්වා ඇත. එක් පසෙකින් රෝද යුගල් 5කින් රෝද 10කින් බඳ දරා සිටින අතර ඒ අනුව දෙපසින් රෝද 20ක් සහ ඉදිරිපසින් රෝද 4කින් යානය දරා සිටී.

මේ වන විට ඇන්ටනොව් 124 යානා ප්‍රධාන වශයෙන්ම භාවිත කරනු ලබන්නේ Russian Aerospace Forces, Volga-Dnepr Airlines හා Antonov Airlines සේවාවන් විසිනි. මෙම යානා නඩත්තුව හා හැසිරවීමටද මනා දැනුමක් අත්දැකීමක් තිබිය යුතුය. වෙනත් යානාවලට වඩා එහි ක්‍රියාකාරීත්වය වෙනස් නිසා පළපුරුදු හා ඇන්ටනොව් යානා ගැන විශේෂ දැනුමක් ඇති නියමුවන් හා සේවකයන් එහි සේවයට යෙදවීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

පසුගියදා වකවානුවේ පැවැති ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වලදී මෙම ගුවන් යානය නේටෝව විසින් අතිශයින් ප්‍රයෝජනවත් ලෙස භාවිත කරන ලදී. සිවිල් පරිපාලනය ඇතිකරලීම උදෙසා මේ යානයේ ප්‍රයෝජනය ඉහළ මට්ටමින් තිබුණි. ඉහළම තාක්ෂණයෙන් පිරි පාලක මැදිරියකින්ද සමන්විත මේ යානාවක් ගොඩබැස්සවීමද සාමාන්‍ය නියමුවකුට වඩා හොඳ පළපුරුදු අයකු විසින් කළ යුත්තකි. යානය එතරම්ම බරපතළ තත්ත්වයක් දරන්නකි.

ඇන්ට­නොව් 124 යාන­යක් ගුව­නේදී

ඇන්ට­නොව් 124 යාන­යක් ගුව­නේදී

 

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division