ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරීපත්ව සිටි කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාරට වෙඩි තබා මරා දැමුවේ යැයි කියන වෙඩික්කරුව ගිනි අවිය ද සමඟ පොලිසිය අල්ලා ගත්තද තවමත් මෙම ඝාතනය ඇත්තේ අබිරහසක් ලෙසිනි. ඒ දිලීප රොෂාන් කුමාර මරා දැමීමට මුල්වූ කථාව තවමත් එළියට ඇවිත් නැති බැවිනි. පොලිසිය පැත්තෙන් කියැවෙන ආකාරයට අනුව වෙඩික්කරු කුලී ඝාතකයෙකි. පොලීසියට ඔහුව හසුවී ඇත්තේ අහඹු ලෙසිනි. දිලීප රොෂාන් කුමාරගේ ඝාතනය ඔහුගෙන් එළියට එන්නේ යැයි කියැවෙන්නේ ඔහුව අත්අඩංගුවට ගන්නා විට අතේ තිබුණු ජංගම දුරකතනයේ තිබුණු ගිනි අවියක ඡායාරූපයක් ගැන පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදීය. අත්අඩංගුවට ගත් වෙඩික්කරු කියනවා යැයි පොලිසිය කියන්නේ ඩුබායි වලින් ලද කොන්ත්‍රාත්තුවකට අනුව තමා එම ඝාතනය සිදුකළ බවය. ඝාතන කොන්ත්‍රාත්තුව ඔහුට ලැබෙන්නේ සමන් කොල්ලාගෙනි. සමන් කොල්ලා යනු දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කරන්දෙණිය සුද්දාගේ ප්‍රධාන ගෝලයාය. කරන්දෙණිය සුද්දා මෙන්ම සමන් කොල්ලා ද දැන් සිටින්නේ ඩුබායිවලය. මෑතකදී ඇල්පිටිය, පිටිගල, අම්බලන්ගොඩ, කොස්ගොඩ, බලපිටිය ආශ්‍රීතව සිදුවූ වෙඩි තැබීම් සහ ඝාතන ගොන්නකටම වගකිවයුතු වූයේ මොවුන් දෙන්නාය.
කරන්දෙණිය සුද්දා කොන්ත්‍රාත් මිනිස් ඝාතකයෙකි. සමන් කොල්ලා ඔහුගේ අතකොලුවාය. යුද හමුදා කමාන්ඩෝ බළකායේ සිටි සෙබළෙක් වූ කරන්දෙණිය සුද්දා හමුදාවේ සිටියදීත් කළේ කොන්ත්‍රාත් ඝාතනයන්ය. හමුදා නිල ඇඳුමට වහන්වී කුලියට මිනී මරමින් සිටි කරන්දෙණියේ සුද්දා එළියට එන්නේ හිත හොඳ දොස්තර ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි කරන්දෙණිය රොහලේ සේවයේ නිරතව සිටි වෛද්‍ය ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහගේ ඝාතනයත් සමඟිනි. 2011 වසරේ සැත්තැම්බර් 29 වෙනිදා ඔහුව මරා දමන්නේ කරන්දෙණියේ සුද්දාය. ඒ සිය සහෝදරයා වූ රාජුගේ ද සහය ඇතිවය. රාජුද කමාන්ඩෝ සෙබළෙකි. හමුදා සේවයේ නිරතව සිටියදී කඳවුරෙන් පැනවිත් වෙඩි තබා වෛද්‍ය ප්‍රියංකර මරා දමා නැවත කඳවුරටම හොර රහසේ රිංගා සිටි සුද්දා සහ රාජුව පොලිසිය අල්ලා ගත්තේ දීර්ඝ ලෙස සිදු කළ විමර්ශනයක් ඔස්සේය. වෛද්‍ය ප්‍රියංකර ඝාතනයට මුල්වී තිබුණේ ඉතා අඩු ගාස්තුවක් ලබාගෙන රෝගීන්ට සේවය සැපයීමය. ඒ තුළින් තවත් එවැනිම ව්‍යාපාරයක නිරත පුද්ගලයෙකුට වූ බලපෑම වෛද්‍ය ප්‍රියංකර මරා දැමීම දක්වා දුරදිග ගොස් තිබුණි. එම ඝාතන කොන්ත්‍රාත්තුව කරන්දෙණිය සුද්දාට දුන් පුද්ගලික රසායනාගාර හිමිකරුවකු ද පොලීසිය එදා අත්අඩංගුවට ගත්තේය.
වෛද්‍ය ප්‍රියංකරගේ ඝාතනයත් සමඟ පාතාලයේ කුප්‍රකට චරිතයක් ලෙස කල එළි බැස්ස කරන්දෙණියේ සුද්දා මේ වන විට පොලිසියට ලොකු හිසරදයක් වී හමාරය. වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ලෙස සේවයේ නිරතව සිටි රුවන් තිහාර ජයරත්නගේ ඝාතනය ද කියැවෙන්නේ කරන්දෙණිය සුද්දාගේ වැඩක් බවය. 2019 වසරේ ජූලි 03 වෙනිදා අම්බලන්ගොඩ කුළිගොඩදී ඔහුව මරා දමන්නේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් හඹාගෙන විත් වෙඩි තබාය. ගාල්ල බන්ධනාගාරයේත් බූස්ස බන්ධනාගාරයේ ඊට පෙර සේවයේ නිරතව සිට ඇති ඔහු බන්ධනාගාරය තුළ සිදු වූ දූෂණ අක්රමිකතාවන්ට එරෙහිව කටයුතු කිරීමේ වරදට දඬුවමක් ලෙස එම වෙඩිල්ල ඔහුට පත්තුවී තිබුණේ බන්ධනාගාරය ඇතුළේම සිදුවූ කුමන්ත්‍රණයක් ලෙසිනි. ඊට ගෑවුණු අය කවුරුන්දැයි බන්ධනාගාරය තුළ ප්‍රසිද්ධ රහසක්ව පැවතියත් අදටත් එම ඝාතන කොන්ත්‍රාත්කරු සිටින්නේ නිදැල්ලේය.
පාතාලයට දැඩිව හිසරදයක් වූ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ ඝාතනය පිටුපසද සිටින්නේ යැයි කියැවෙන්නේ කරන්දෙණිය සුද්දාය. රත්ගම දේවිනීගොඩදී බාලේන්ද්‍රසීහ වෙඩි තබා මරා දමන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් 09 වෙනිදාය. බාලේන්ද්‍රසීහ මරන්නට ඔත්තු බැලුවේ යැයි කියැවෙන පුද්ගලයකු දින කිහිපයකට පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට ද පත්විය. ඒ යැයි කියා මෙතෙක් කාලයක්ම බාලේන්ද්රසීහගේ ඝාතනය පැවතියේ අබිරහසක් ලෙසිණි. එම ඝාතනය ද කරන්දෙණියේ සුද්දාගේම වැඩක් බව හෙළිවන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාරගේ ඝාතනයට අල්ලාගෙන සිටින වෙඩික්කරුවාගෙනි. ඒ පොලිස් පරීක්ෂක බාලේන්ද්රසීහට ද කොකා ගස්සවා ඇත්තේ ඔහු වන බැවිනි. එම ඝාතනයද ඔහු විසින් සිදුකර ඇත්තේ යැයි කියැවෙන්නේ කොන්ත්‍රාත්තුවකට අනුවය.
මෙම ඝාතන ත්‍රිත්තවය හැරුණුකොට කරන්දෙණිය සුද්දාගේ නම ගෑවී ඇති දකුණේ සිදුවී ඇති ඝාතන ගණන බොහෝය. ඒ අතරින් බොහෝ ඝාතන පාතාලයේ ඔවුනොවුන් අතර සිදුවන ඇණකොටා ගැනීම්වල ප්‍රතිඵලය. ඊට මැදිව ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අහිංසකයන්ද ඒ අතර නැත්තේම නැත. එහෙත් භයානක තත්ත්වය එය නොව. අවංකව සිය රාජකාරිය දේවකාරියක් සේ ඉටුකර මින් නීතිය රජ කරවන්නට ගිය රාජ්‍ය නිලධාරීන් තිදෙනෙක්ම පාතාලයේ වෙඩිවලට බිලිවී ඇති බැවිනි. දකුණේ සිදුවූ එම ඝාතන ත්රීත්වටම නම කියැවෙන්නේ ද කරන්දෙණිය සුද්දාගේ ය. තව කීදෙනෙක් ඉදිරියේදී කරන්දෙණිය සුද්දාගේ වෙඩි උණ්ඩයට බිලිවේවි දැයි අවිනිශ්චිතය. ඒ කරන්දෙණිය සුද්දාගේ තර්ජනයට ලක්වූ පොලිසියේ නිලධාරීන් පවා බොහෝදෙනෙක් සිටින බැවිනි. ඒ අතර සුවිශේෂී චරිතයක් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටි සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමා හේවා ය. දැන් ඔහු වෙනත් ප්‍රදේශයක සේවයේ නිරතව සිටින්නේ සැඟවුණු චරිතයක් ලෙසිනි. පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල අපරාධ මර්දන කටයුතුවලට සක්‍රීය දායකත්වයත් ලබාදුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය ද කරන්දෙණිය සුද්දාගේ තර්ජනයට ලක්වූවෙකි. පොලිස් සේවයේන් මේ වන විට නියමිත කාලයට පෙර විශ්‍රාම ගොස් සිටින ඔහු තමාට එල්ලවී ඇති පාතාල තර්ජන නිසාම අඹු දරුවන් සමඟ සිටින්නේ විශේෂ කාර්ය බළකා කඳවුරක ආරක්ෂාවක් සහිතවය.
කරන්දෙණිය සුද්දා අම්මා අප්පා පවා මුදලට මරා දමන තරමේ චරිතයකි. පපුවේ තෙතමනයක් නොමැති පාතාලයේ දරුණු අපරාධකරුවෙක් ලෙස හඳුනාගෙන සිටින ඔහු සිය විශ්වාසවන්තම ගෝලයා වූ සමන් කොල්ලාව යොදවා මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරව මරා දැමුවේ කාගේ කොන්ත්රාත්තුවකටදැයි හෙළිකර ගැනීමට පොලිසියට මෙතෙක් හැකියාවත් ලැබී නැත. ඩුබායි සිටින සුද්දා මෙරටට කුදලාගෙන එන තුරු එම අබිරහස විසඳන්නට හැකියාවක් ලැබේවි දැයි අවිනිශ්චිතය. යම් දිනක කරන්දෙණිය සුද්දාව ඩුබායි සිට කුදාගෙන රැගෙන ආවත් රොෂාන් කුමාරගේ ඝාතන කොන්ත්‍රාත්කරු බලවතෙක් නම් ඇල්ලීම බොරුය. ඒ කීර්තිමත් රේගු නිලධාරියෙක් වූ සහකාර රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනයේ වෙඩික්කරුවන් මෙන්ම ඊට ගෑවුණු බොහෝදෙනෙක් නීතියේ රැහැනට හසුවී දඬුවම්ද ලැබුවත් ඒ පිටුපස වූ දැවැන්ත ව්‍යාපාරික චරිත අදටත් සිටින්නේ නිදැල්ලේ වන බැවිනි. රොෂාන් කුමාරගේ ඝාතනය පිටුපස ද සහකාර රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න ඝාතනයේ මෙන් සැඟවුණු චරිත සිටින්නට ඇති ඉඩකඩ බොහෝය. ඒ රොෂාන් කුමාරගෙන් බලපෑම් එල්වූයේ කුණු කෑම මිනිසුන්ට කවන්නට ගිය ව්‍යාපාරිකයන්ට වූ බැවිනි. ඔහු සමඟ යමෙක් වෛර බැඳගෙන සිටියේ නම් ඒ කුණු කෑම විකුණන ව්‍යාපාරික පැලැන්තිය පමණි. කරන්දෙණිය සුද්දා මඟින් තමන්ට ඇති බාධාව ලොකු ගාණක් දී පහසුවෙන්ම ඉවකර ගන්නට ඇත්තේ ඔවුන්ය. ඒ අය කවුරුන් දැයි නිශ්චිත ලෙස කිසිවක් පැහැදිලිව මෙතෙක් නිරාවරණය නොවූවත් පසුගිය පෙබරවාරි 26 වෙනිදා රොෂාන්ව මරා දැමා පැය 24ක් යන්නට මත්තෙන් පොලිස් ලොක්කන් පුරසාරම් දෙඩුවේ දවසින් දෙකින් ඝාතකයන් අල්ලන බව කියමිනි. අන්තිමට ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට අහඹු ලෙස වෙඩික්කරුව පවා කොටුවන්නේ රොෂාන්ගේ තුන්මහේ දානෙට දවස් දෙක තුනක් තිබියදීය. ඒ පසුගිය ජූනි 22 වෙනිදා යුක්තියට සමගාමීව ගල්කිස්ස බඩෝවිට සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීය. මෙම මෙහෙයුම දියත් කරනු ලබන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා නියෝජ්‍ය පොලිස්පති ගයාන් මාරපන, ගල්කිස්ස කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්රහක්මණ, සහකාර පොලිස් අධිකාරී රොහාන් පුෂ්පකුමාර, යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ මෙහෙයැවීමෙනි. පොලිස් පරීක්ෂක චමින්ද කූරඹගේ සමඟ පොලිස් කොස්තාපල්වරුන් වන චතුරංග (67091), පියසිරි (34274), වීරසේකර (25426), දක්ෂණ (105087), සලේ (104776) සහ පොලිස් කොස්තාපල් රියදුරු රංගන (89863) යන නිලධාරීන් මෙහෙයුමට සම්බන්ධව සිටිහ. මෙම නිලධාරීන් බඩෝවිට දෙවැනි අදියරයේ සැරිසරමින් කුඩුකාරයන් සොයා සිදුකළ මෙම සෝදිසියේදී පොලිසියේ විශේෂ අවධානයට යොමු වන්නේ ඒ පැත්තට ආ ආගන්තුකයෙක් කෙරෙහිය. පොල්ගස්ඕවිට කහතුඩුව සන්ෆලවර් ගාර්ඩන් හී පදිංචිකරුවෙක් වූ ඔහ ජී.ආර්.ඩී. හෙට්ටිආරච්චි නැමැති අයෙකි. අවුරුදු 51ක් වයසැති පුද්ගලයෙක් වූ ඔහුව දැඩි සෝදිසියකට ලක්කරන්නට වූයේ මත්කුඩු සොයාගෙන ඒ පැත්තේ ආ අයෙක්ද?නැතිනම් මත්කුඩු බෙදන්නට ඒ පැත්තට ආ අයෙක් දැයි සැකහැර දැන ගන්නටය. පොලිසියේ නිල සටහන්වලට අනුව දැක්වෙන්නේ එම සෝදිසියේදී මෙම පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 200ක් එහිදී හමුවූ බවය. ඒ අනුව මෙම පුද්ගලයාව මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා පොලිසිය ඔහුගේ ජංගම දුරකතනය ගෙන පරීක්ෂාකරන්නේ මත්කුඩු ජාවාරම හා බැඳුණු රහස් ඒ තුළ ඇතැයි සිතාය. ස්මාට් වර්ගයේ එම ජංගම දුරකතනයේ අතට ගෙන පරීක්ෂාවට ලක්කළ මෙම නිලධාරීන්ගේ විශේෂ අවධානයට යොමුවන්නේ ඒ තුළ ගබඩාවී තිබුණු ගිනි අවියක ඡායාරූපයක් කෙරෙහිය. එම ඡායාරූපය දුටු නිලධාරීන් එය හොඳින් නිරීක්ෂණයකරන විට ඔහු තිගැස්සෙන අයුරු නිරීක්ෂණය කළේය. එම තිගැස්ස පිටුපස බොහෝ දේවල් ඇති බව පොලිස් ඉවෙන්ම වටහාගත් නිලධාරීන් ඔහුව කුදලාගෙන යන්නේ පොලිස් ස්ථානය වෙතය. පොලිස් සිරමැදිරියේ දැමුණු මෙම පුද්ගලයාව සිය කාර්යාලයට ගෙන්වාගෙන ප්‍රශ්න කිරීමට මූලස්ථාන පොලිස් ස්ථානාධිපති දිලීප සී.පෙරේරා පියවර ගන්නේ එදින සවස් කාලයේදීය.
“දිලීප සර් “ යැයි එකපාරම මේ පුද්ගලයා දිලීප දුටු සැණින් යටහත් පහත් ලෙස පවසන්නට වූයේ කලක පටන් හොඳින් දන්නා කියන අයෙක් ලෙසිනි.
පොලිස් ස්ථානාධිපති දිලීපට නම් මේ පුද්ගලයා ගැන එතරම් මතකයක් ඒ වන විටත් තිබුණේ නැත. තමා දන්නා කියන අයෙක්දැයි කියා දිලීප ද හොඳින් කල්පනා කළේය. මතකයට ඔහුගේ මුහුණ එන්නේම නැත. “තමුන් මාව දන්නවද? යැයි දිලීප ඔහුගෙන් විමසන්නට වූයේ ඒ නිසාමය.
“ඇයි සර් මතක නැද්ද? සර් මිරිහානේ යුනිට් එකේ හිටිය කාලේ මාව ඇල්ලුවේ“ යැයි ඔහු කියන්නට විය. ඒ යැයි කියා විශේෂ මතකයක් ඔහු ගැන දිලීපට නොවීය. එබැවින් දිලීප තවදුරටත් හාර අවුස්සමින් ඔහුගෙන් ඒ ගැන තොරතුරු විමසුවේය. දිලීපට ද ඒ අතීතය මතකයට නැඟෙන්නේ එවිටය.
ඒ 2008 වර්ෂයේ දිනකි. එකල දිලීප උප පොලිස් පරීක්ෂකවරයෙකි. සේවයේ නිරතව සිටියේ මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව ස්ථාපිත කර තිබුණු විශේෂ අපරාධ විමර්ශන ඒකකයේය. එකල සිදුවූ ලොකු මංකොල්ලයක් ගැන එකල දිලීප ඇතුළු නිලධාරීන් විමර්ශනයක් පවත්වා තිබුණේය. එම කොල්ලයට අල්ලාගත් පිරිස අතර මෙම පුද්ගලයාද සිට ඇත. වෘත්තියෙන් මංකොල්ලකරුවෙක් වූ මෙම පුද්ගලයා ඇහැළියගොඩ මුල් පදිංචිකරුවෙකි. ඒ පැත්තේම ඇති පාසලකින් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇති ඔහු පාසලේ සිටි දක්ෂතම ශිෂ්‍ය භටයෙක් බව කියැවේ. පාසල් ගමනට සමුදීමෙන් අනතුරුව නිසි රැකියාවක් නොමැතිව සිටි ඔහු අවසානයේදී සිය වෘත්තිය ලෙස තෝරාගන්නේ මංකොල්ලකෑම් සහ සොරකම්ය. වරක් දෙවරක් පොලීසියට හසුවී බන්ධනාගාරගත වී සිටියදී පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් ගොඩනඟා ගන්නා ඔහු අවසානයේදී කොන්ත්‍රාත් ඝාතකයෙක් බවට පත්වන්නේ ඒ තුළින් ලොකු ගානක් අතට ලැබෙන්නට වූ බැවිනි. මැණික් පතල් හිමි මැණික් ව්‍යාපාරිකයෙක් ලෙස සමාජය හමුවේ පෙනී සිටින ඔහුට ඝාතන කොන්ත්‍රාත්තුවක් ලැබීම මැණිකක් ලැබුණ හා සමාන ය. අවුරුදු 10ක දියණියකගේත් කරදඬු උස්මහත්වූ නව යොවුන් වියේ පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකුගේත් පියෙක් වන ඔහු දරුවන් ඉදිරියේ පවා රගදැක්වා තිබුණේ මැණික් ව්‍යාපාරික චරිතයකි.
දිලීප මේ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූයේ දුරකතනයේ සටහන්ව තිබුණු ගිනි අවිය ගැනය. එය මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයකි. “උඹ අපිට ඇත්ත කීවේ නැත්නම් ළමයි ටිකයි ගෑනිවයි මොකකට හරි පටලවල ඇතුළට දානවා“ යැයි උපක්‍රමශීලී ප්‍රශ්න කිරීමක නිරත වන්නට වූයේ ඔහුව බියගැන්වීමේ අපේක්ෂාව ඇතිවය.
“සර් මම ඇත්ත කියන්නම්“ එම උගුලට හසුවූ ඔහු දිලීප ඉදිරියේ වැඳ වැටෙන්නට වූයේ දරුවන්ටත් බිරියටත් කරදරයක් නොකරන ලෙස ආයාචනය ද කරමිනි.
ඒ අනුව ඔහුගේ ජංගම දුරකතනයේ සටහන්ව තිබුණු ගිනි අවිය පොලිස් නිලධාරීන් අතට පත්වන්නේ ඊට සති දෙකකට පෙර ඔහු කුලියට ගත් පැපිලියාන දෙහිවල පාරේ පිහිටි නිවෙසක සඟවා තිබියදීය. මිලිමීටර් 09 වර්ගයේ එම ගිනි අවියේ පතොරම් 10ක්ද ඒ වන විටත් පුරවා තිබුණේය.
මෙම අවිය සඟවා තිබුණු නිවෙස කුලියට ගෙන ඇත්තේ රුපියල් 40,000ක මාසික කුලියකටය. මේ පුද්ගලයා ඇහැළියගොඩ මුල් පදිංචිකරුවෙක් වූවත් විවහා වී සිටියේ පොල්ගස්ඕවිට කතක් සමඟිනි. තැන තැන සිය බිරිඳ හා දරුවන් සමඟ පදිංචිව සිටි ඔහු පැපිලියානට එන්නේ කහතුඩුව සන්ෆලවර්
ගාර්ඩන් සිටය.
“උඹ දැන් අපිට ඇත්ත කියන්න ඕනේ. මේක උඹ පොල් ගාන්න තියාගෙන හිටියේ නැහැනේ. “ යැයි පොලිස් ස්ථානාධිපති දිලීප මොහුගෙන් ප්‍රශ්න කරන්නට ගත්තේය. මුලදී පොලිස් නිලධාරීන්ව වටේ ගෙන යමින් ඔහු ලිස්සායාමට උත්සාහයක නිරතව සිටියත් අවසානයේදී ඔහු සියල්ල වමාරන්නට ගත්තේ යැයි කියැවෙන්නේ ඇල්පෙනිති තුඩකින්වත් හිරිහැරයක් නොකරය. මාස තුනක් තිස්සේ අබිරහසක්ව පැවති කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර ගේ ඝාතන ගැන තොරතුරු එළියට ආවේ යැයි කියැවෙන්නේ එහිදීය.
පොලිසිය පවසන ආකාරයට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරට වෙඩි තබා මරා දැමා ඇත්තේ මේ පුද්ගලයාය. පැපිලියානේ පිහිටි නිවෙසින් සොයාගන්නේ වෙඩි තැබූ ගිනි අවියයි. මෙම ඝාතනය කොන්ත්‍රාතුවකි. එම කොන්ත්‍රාත්තුව මේ පුද්ගලයාට ලැබී ඇත්තේ ඩුබායිවලිනි. ඒ කරන්දෙණිය සුද්දාගේ සමීපතයා වන සමන් කොල්ලාගෙනි. කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් ලක්ෂ 08කි. ඒ මුදල බැරවන්නේ බිරියගේ ගිණුමටය. පෙබරවාරි 26 වෙනිදා කුරුඳුගහහැතැම්ම දිවිතුරුගම පිහිටි රොෂාන් කුමාරගේ නිවෙසට ගොස් ඔහුට වෙඩි තබා මරා දැමුවායින් පසුව තවත් රුපියල් 03ක මුදලක් විටෙන් විට බිරියගේ ගිණුමට බැරවී ඇත. ඒ මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැරවී ඇත්තේ සමන් කොල්ලාගේ මෙහෙයැවීමෙනි. සමන් කොල්ලා මේ වැඩේ ඔහුට භාරදෙන්නේ කරන්දෙණිය සුද්දාට ලද කොන්ත්‍රාත්තුවකට අනුවය. එම කොන්ත්‍රාත්තුවේ වටිනාකම හෝ කොන්ත්‍රාත්තුව සුද්දාට භාරදුන්නේ කවුරුන් දැයි කියා මොහු දන්නේ නැත. ඒ ගැන කිසිවක් අහන්නට ද ගියේ නැත.
“ සමන් කොල්ල මට කතා කරල කිව්වේ පැන්ෂන් ගිය අයි.පී. කෙනෙක් ඉන්නවා. මිනිහාට ගහන්න ඕනේ කියලයි.“ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා ඇත්තේ එවැනි කතාවකි.
කරන්දෙණිය සුද්දාගේ කල්ලිය සමඟ මොහුට සම්බන්ධකම් ගොඩනැගෙන්නේ 2019 වසරේදීය. ඒ මංකොල්යක් සම්බන්ධයෙන් පොලිසියට හසුවී ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදීය. 2020 වසරේදී බන්ධනාගාරයෙන් ඔහු එළියට ඇවිත් ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ කල්ලිය සමඟ ලොකු සම්බන්ධකමක් ගොඩනඟාගෙනය. සුද්දා සහ ඔහු අතර අතරමැදියෙක් වී ඇත්තේ සමන් කොල්ලාය.
විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයාගේ නමක් ගමක් සමන් කොල්ලා ඔහුට කීවේ නැත. කොන්ත්‍රාත්තුව භාර ගැනීමෙන් අනතුරුව සමන් කොල්ලා ඔහුව ඌරගස්මන්හන්දියට ගෙන්වා ගත්තේය. ඒ පෙබරවාරි මුල් සතියේ දිනකදීය. ඌරගස්මන්හන්දිය ගල්පොත්තාවිල පිහිටි නිවෙසක ඔහුට නවතින්නට පහසුකම් සපයා දුන්නේ කන්න බොන්න පවා දෙමිනි. එම නිවසේ ජීවත්වූයේ අඹුසැමි යුවළක් හා ඔවුන්ගේ එකම පුතා වූ අයේෂ් ය. සමන් කොල්ලාගේ සමීපතයෙක් වූ අයේෂ් මොහුට සිය නිවසේ නවාතැන් පහසුකම් සපයා දෙන්නේ සමන් කොල්ලාගේ ඉල්ලීම මතය. අයේෂ් දැන් රටේත් නැත. ඒ සමන් කොල්ලා විසින් ඔහුව ඩුබායි ගෙන්වා ගන්නා බැවිනි. මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ ඝාතනයෙන් සතියක් ඉක්මයන්නට මත්තෙන් අයේෂ්ව ඩුබායි ගෙන්වා ගැනීමට සමන් කොල්ලා වග බලාගෙන තිබුණේය. අයේෂ්ව අල්ලා ගන්නට නැති තැන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ ඝාතකයාට නවාතැන් දුන්නාට පොලිසිය අත්අඩංගුවට ගන්නේ ඔහුගේ මවුපියන්ය.
පොලිසිය විසින් පවසන ආකාරයට අනුව වෙඩික්කරු මේ නිවෙසේ දින 15ක පමණ කාලයක් රැඳී සිට ඇත. වැඩේට බැස ඇත්තේ පෙබරවාරි 26 වෙනිදා උදෑසනම සමන් කොල්ලාගෙන් ඩුබායි සිට ලද දුරකතන ඇමතුමකට අනුවය. ගිනි අවිය ඔහු අතට පත්වන්නේ එදා උදේය. ගිනි අවිය සමඟ යතුරුපැදියක්ද ගෙනවිත් දුන්නේ යැයි කියන්නේ අයේෂ්‍ය. ඉලක්කයට යන මඟ වීඩියෝ දසුනකින් වෙඩික්කරුගේ ජංගම දුරකතනයට ලැබී ඇත්තේ මරා දැමිය යුතු පුද්ගලයාගේ පින්තූරයක්ද සමඟිනි. දුරකතනයට ආ වීඩියෝ පණිවුඩයේ සඳහන් මඟ ඔස්සේ මද දුරක් එදා යන විට අතර මඟදී යතුරුපැදියට තවත් අයෙක් ගොඩවූ වී ඇත. ඔහු කවුරුන් දැයි වෙඩික්කරු දන්නේ නැත. සමන් කොල්ලා විසින් ඔහුව යොදවන්නේ යතුරුපැදිය පදවා ගෙන ඉලක්කය වෙත ගෙන යන්නටය. කුරුඳුගහහැතැම්ම දිවිතුරුගම පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ නිවෙස අසලට ගිය වෙඩික්කරු යතුරුපැදියෙන් බැස නිවෙස වෙත ගමන් කර ඇත්තේ උදෑසන 6.50ට පමණය. ඒ වන විටත් ඩුබායි සිට වට්ස්ඇප් මඟින් ලද ඡායාරූපයේ ඉලක්කය පැහැදිලිවම සිය මතයේ තබා ගෙන සිටි වෙඩික්කරු තමා රැගෙන ගිය ගිනි අවියේ වෙඩි උණ්ඩ කිහිපයක්ම මුදාහරින්නේ රටට ඇවැසි නීතිගරුක තවත් රජයේ නිලධාරියෙක් පාතාලයේ ගොදුරක් බවට පත්කරගනිමිනි.
පාතාලය හා මත්කුඩු ජාවාරම මැඬලීමට මුළු රටම සීරුවෙන් තබා තිබෙන මොහොතක මෙසේ පහසුවෙන්ම සිය ගොදුර ඩැහැගත් වෙඩික්කරු පැමිණි යතුරුපැදියේම නැඟී කිලෝමීටර් දෙක තුනක් ගොස් අතර මඟින් බසින්නේ ගිනි අවියද ඉනේ ගසාගෙනය. අනතුරුව ත්‍රීරෝද රථයක නැඟී ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසෙන ඔහු එතැනින් ගොඩවන්නේ මාතර බලා යන බස් රථයකටය. මාතරින් වැල්ලවායට යන ඔහු මාස දෙකක පමණ කාලයක් රැඳී සිටින්නේ හේනකය. පැපිලියානේ නිවෙස ඔහු කුලියට ගන්නේ ඉන් අනතුරුවය. ඒ පැමිණෙන්නේ ද ඩුබායිවලින් ලද තවත් ඝාතන කොන්ත්‍රාත්තුවකටය. අහඹු ලෙස හෝ බඩෝවිටදී මොහුව අත්අඩංගුවට පත් නොවන්නට එම ඝාතන කොන්ත්‍රාත්තුව මේ වන විටත් ඔහු ඉටුකර හමාරය. ඒ සියල්ල වැළකෙන්නේ ඔහුගේ ජංගම දුරකතනයේ සටහන්ව තිබුණු ඡායාරූපයෙනි.
ඡායාරූප – අෂාරෆ් ඒ. සමද්
දෙහිවල – ගල්කිස්ස විශේෂ වාර්තාකරු