Home » පුස්තකාලයක් නැති ජනපති රනිල්ගේ  අලුත් නිවස මෙන්න

පුස්තකාලයක් නැති ජනපති රනිල්ගේ  අලුත් නිවස මෙන්න

ජනපති නිවසට ගිනි තබා වසර දෙකයි

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

නපති රනිල් වික්‍රමසිංහගේ 5 වන පටුමගේ පිහිටි නි‍ෙවස හා එහි තිබූ වටිනා පුස්තකාලය ගිනි තබා විනාශ කොට වසර දෙකක් සපිරෙන්නේ මෙම මස 09 වැනිදාටය. අරගලකරුවන් යැයි කියා ගන්නා පිරිසක් පස්වන පටුමගේ අංක 117 නිවසේ පිහිටි පුස්තකාලය ගිනිබත් කරන්නේ 2022 ජුලි මස 09 දා රාත්‍රියේය.

ඊට පසුවදා මාධ්‍ය කණ්ඩායමකට ගිනි බත්වූ නිවස තුළට ඇතුළුවීමට අවස්ථාව උදාවූ අතර ඉන් වසර දෙකකට පසුවද වර්තමානයේ තත්ත්වය ගැන දැක බලා ගැනීමට ද මාධ්‍ය කණ්ඩායමකට අවස්ථාව උදා වූයේය. එම අවස්ථා දෙකේදීම නිවස තුළට යාමට මෙම ලියුම්කරුද භාග්‍යවන්ත විය.

රනිල් වික්‍රමසිංහ මහතා එදා අග්‍රාමාත්‍ය ධුරය භාර ගත්තේ රට ගිනි ගොඩක්ව තිබූ අවස්ථාවකදීය. ඉන්ධන නැති, ගෑස් නැති, ඖෂධ නැති රටක් භාරගෙන ජනතාවගේ මානසික ව්‍යාකූලතාවය සංසිඳවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේය. ඒ වෙනුවෙන් ඔහුට ගෙවීමට සිදුවූ වන්දිය සුළුපටු නොවේ.

එදා අරගලකරුවන් විනාශ කළේ එක් නිවසක් පමණක්ම නොවේ. ඔවුන් විනාශ කළේ ඉතිහාසයකි. නැවත ගොඩනැඟිය නොහැකි ඉතිහාසයකි. පොත් 2500ට අධික මහා පුස්තකාලයකි. එහි තිබූ සමහර පොත් නැවත මුද්‍රණයක් නොවූ පොත් ය. එවැනි පොත් සිය ගණනක් තිබුණි.

අගමැති රනිල්ට මේ නිවස තනා දෙන්නේ ඔහුගේ මෑණියන් වන නාලනී වික්‍රමසිංහ මහත්මිය විසිනි. ඇයට මෙම ඉඩම හිමිවන්නේ ඇගේ පිය පාර්ශ්වයෙනි. නාලනී වික්‍රමසිංහගේ පියා දොන් රිචඩ් විජයවර්ධන හෙවත් ඩී.ආර්. විජයවර්ධනය. විජයවර්ධන පරපුර පැවැත එන්නේ තුඩුගල මද්දුමරාලගෙනි. ඔහු සීතාවක රාජසිංහ රජුගේ ප්‍රධාන සෙන්පතියෙකි. විජයවර්ධන නාමය උරුම වන්නේ ඔහු දක්ෂ යුදකාමියෙකු බැවිනි.

ඔවුන් පසුව කොළඹ ඉඩම් හිමි වැවිලිකරුවෝ වූහ. කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි අක්කරයක පමණ භූමිය මිලදී ගන්නේ තුඩුගල ඩෙප් විජයවර්ධන විසිනි. වැවගේ සොෆියා ඩෙප් වීරසිංහ වූයේ ඩී.ආර්. විජයවර්ධනගේ මෑණියන්ය. ඇය විසින් සේදවත්ත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන වලව්වක් ඉදි කළේය. ඩී.ආර්. විජයවර්ධන ලේක්හවුස් ආයතනය ආරම්භ කරද්දී ඊට නම යෙදීමේ කතාව නිර්මාණය වන්නේ ද වැවගේ යන වාසගම මූලික කරගනිමිනි.

පරපුරෙන් පරපුරට ආ පස්වන පටුමගේ ඉඩමෙන් පර්චස් 80ක් ඩී.ආර්. විජයවර්ධන විසින් සිය වැඩිමල් දියණිය වූ නාලනී වික්‍රමසිංහට ලියා දෙන්නේ 1944 දී ය. ඩී.ආර්. විජයවර්ධන 1944 ඔක්තෝම්බර් මස 19 දා තම දියණියට මෙම පර්චස් 80ක බිම් කැබැල්ල පවරන අවස්ථාවේ එහි තක්සේරු වටිනාකම වූයේ රුපියල් 60,000කි.

සේදවත්ත වලව්වේ සිටි ඩී.ආර්. පසුව කොල්ලුපිටිය ශ්‍රී රම්‍යා නිවස මිලදී ගන්නේ පෞද්ගලික වෙරළක් හිමි එකම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වෙමිනි. ඊට හේතුව ශ්‍රී රම්‍යා නිවස සමඟ ඔහු මුහුදු වෙරළ තීරයත් මිලදී ගැනීම නිසාය. පසුව ශ්‍රී රම්‍යා නිවස ඇමරිකානු මධ්‍යස්ථානය වෙත විකුණා කොළඹ 02 බේබෘක් පෙදෙසට පැමිණෙන්නේය.

කොල්ලුපිටිය 05 වන පටුමගේ පිහිටි ඉඩමේ ඩී.ආර්. විජයවර්ධන විසින් සිය දියණිය වෙනුවෙන් නිවසක් ඉදිකරන්නේය. නාලනී විවාහ වන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහ සමඟය. විවාහයෙන් පසු එහි ප්‍රතිසංස්කරණ රැසක් කළේ මේ දෙපළ එකතුවීමෙනි. එස්මන්ඩ් ලංකාවේ පළමු දිසාපතිවරයා වන සී.එල්. වික්‍රමසිංහගේ පුත්‍රයෙකි. ඩී.එස්. සේනානායක අගමැතිවරයා සමඟ එක්ව ගොවිජනපද ව්‍යාපාරය ආරම්භ කරන්නේ සී.එල්. ය.

ශාන් වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහ, නිරාජ් වික්‍රමසිංහ, ක්ෂනිකා වික්‍රමසිංහ හා චන්න වික්‍රමසිංහ යනු එස්මන්ඩ් හා නලනීගේ දූ දරුවන්ය. දරුවන් වැඩිමහලු වෙද්දී නාලනී හා එස්මන්ඩ් දෙපොළ ඔවුන්ට දේපොළ පවරා දීමට කටයුතු කළේ 1970 දශකයේය. ඒ 1972 ඔක්තෝම්බර් මස 22 දා ය. ශාන් වික්‍රමසිංහ කොළඹ පදිංචියට අකමැති වූයෙන් ඔහුට රත්මලාන ප්‍රදේශයේ පිහිටි ඔවුන්ට අයත් ඉඩමක් පවරා දුන්නේය.

නිරාජ්ට හා රනිල්ට පර්චස් 20 බැගින් වූ කොටස් දෙකක් බෙදා දුන්නේය. ඩී. ආර්. විජයවර්ධන පවුල සතුව තිබූ ලේක්හවුස් ආයතනය මැතිනිය විසින් පවරා ගත්තේ මේ කාලයේදී ය. පසුව ජේ.ආර්. ජයවර්ධන බලයට පැමිණි පසු ලේක්හවුස් ආයතනය නැවත විජයවර්ධන පවුල වෙත පවරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළත් එය ඉටු වූවේ නැත. නමුත් නාලනී – එස්මන්ඩ් දෙපළ තමන්ගේ උරුමය ලෙහෙසියෙන් අතහැරීමට සුදානම් නොවූහ.

ඔවුන් දෙපළගේ සටනේ ප්‍රතිඵලය වූයේ රජය විසින් තක්සේරු කරන ලද වන්දි මුදලක් හා මහාභාරකරු වෙත පැවරූ කොටස් හිමිකමකින් යුතු වටිනාකමක් ගෙවීමට රජය එකඟ වීමය.

නාලනී වික්‍රමසිංහ අම්මා ඉඩම රනිල් පුතා වෙනුවෙන් පැවරුව ද එහි නි‍ෙවසක් ඉදිවූයේ වන්දි මුදල ලැබීමෙන් පසුවය.

1980 දශකයේ මුල් භාගයේදී නි‍ෙවස ඉදිකිරීම් කටයුතු ආරම්භ වූවේ නාලනී වික්‍රමසිංහට රජයෙන් ලැබුණු වන්දි මුදල යොදවාය. එහි ඉදිකිරීම් කටයුතු පැවරුණේ ලෝරන්ස් තුඩාවේ සමාගම වෙතය. ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියා වූවේ රංජිත් සමරසිංහය. ඉදිකිරීම් අවසානයේ ඔහු එම නි‍ෙවසේ පදිංචියට ගියේ මාපිය උරුමයෙන් ලද පෞරාණික ගෘහ භාණ්ඩ හා පොත් පත් ද රැගෙනය.

එහිදී හෙලේනා විජයවර්ධන ළමාතැනියගෙන් ලැබුණු පියානෝවක් ද තිබුණි. පරම්පරාවෙන් ලැබුණු වසර 200ක් පමණ පැරණි ඇඳක්ද තිබුනි. ඒ තුඩුගල විජයවර්ධන පරපුරෙන් හා වික්‍රමසිංහ පරපුරෙන් ලැබුණු උරුමයන්ය. ඔහුගේ නිවසේ තිබූ තවත් වසර 100ක් පමණ පැරණි කළුවර ඇඳි පුටු දෙකක් ද තිබුනි. ඉන් එක් පුටුවක් ඓතිහාසික වටිනාකමක් උරුමාකරගත් එකක් වූවේ රාජ්‍ය නායකයන් රැසක් එහි අසුන් ගෙන තිබීම නිසාවෙනි.

ඊ.ඩබ්ලිව්. ජයවර්ධන, ඩි.බී ජයතිලක, ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග වැනි රාජ්‍ය නායකයන් අසුන්ගෙන තිබුනි. ඊට අමතරව එන්.එම්.පෙරේරා, සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නායකයින් ද එහි අසුන්ගත් බව රනිල් වික්‍රමසිංහ ජනපති කීවේ නි‍ෙවස ගිනි ගත් දිනට පසුදාය. එම ඓතිහාසික පුටු කට්ටලය ඔහුට ලැබී තිබුණේ ඩී.ආර්. විජයවර්ධන සීයාගෙනි.

එම පුටුවේ අත් වාරුව අබලන්ව තිබූ බැවින් කළුවර ලීයෙන් අලුත් අත් වැටක් ඊට යොදමු යැයි එය අලුත්වැඩියාවට පැමිණි වඩු බාස් කීවත් පෞරාණිකත්වය නැති වෙතැයි සැකයෙන් රනිල් වික්‍රමසිංහයන් ඊට ඉඩ දී නැත. ජනපති රනිල් එහි අලුත්වැඩියාව පමණක් කරගත් බව නිවසේ සේවකයෙකු ලියුම්කරු හා කීවේ නිවස ගිනි තබා විනාශ කිරීමෙන් පසු අප එහි ගිය අවස්ථාවේදීය

සිය පුස්තකාලයේ පොත් 2500ක් පමණ තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ නි‍ෙවසේ තිබූ පොත්පත් ගැන එදා අප කළ විමසීමේදී සඳහන් කළේය. එදින ඔහු තවදුරටත් මෙසේ ද කීය.

“නීතිය හා සමාජය පිළිබඳ පොත් ගණනාවක් තිබුණා. ඒ වගේ පරණ පොත් පත් හුගක් තිබුණා. අලුත් ඒවා තියෙනවා. සමහර ඒවයේ එම පොත ලියූ අයගේ අත්සන සහිත සටහනක් පැවැතියා. රූස්වෙල් ජනාධිපතිතුමාගේ පොත් තුනේම එයා අත්සන් කරලා තිබුණා. කී සීගර් ජනාධිපතිතුමා අත්සන් කර දුන් පොත් තිබුණා. 1902 සිට වැදගත් තොරතුරුවල විස්තර ඇතුලත් කරන ලද සී.ඩී 200ක් පමණ තිබුණා.

මියුසික් සී.ඩි. හා ඩී.වී.ඩී. ගණනාවක් තිබුණා. 1912 සිට අද දක්වා එක එක විදිහේ ගීත හා සංගීතය පටිගත කරන ලද වසර 100 ක් පමණ ඉපැරණි සංගීතය ඇතුළත් සී.ඩි. ගණනාවක් තිබුණා. සිංහල, හින්දි, බටහිර සංගිත තැටි මේ අතර විය. පැරණි වීඩියෝ පට ද තිබුණා. 1977 දේශපාලනයට පැමිණි කාලයේ සිට මැතිවරණය වෙනුවෙන් ලබාගත් ඡයාරූප ඇතුළත් සී.ඩී පට ද තිබුනා.

නි‍ෙවසේ පහළ කොටසේ බුදු පිළිම 15ක් පමණ තිබුණා. ඉහළ මාලයේ බුද්ධ ප්‍රතිමා 20ක් පමණ තිබුණා. ඒ සියල්ල දැන් විනාශයි. ත්‍රිපිටකය, ධම්ම පදය සිංහල ඉංග්‍රිසි භාෂා දෙකෙන්ම පොත් තිබුණා. වැදගත් තොරතුරු ඇතුළත් ලිපි ගොනු ගණනාවක් තිබුණා. පරිශීලනය සඳහා ගෙනාපු ලිපි ගොනුත් තිබුණා. ඉතිහාසය ගැන තොරතුරු ඇතුළත් ලිපි ගොනුත් ගණනාවක් තිබුණා. ඒ ඔක්කොම දැන් විනාශයි.

ඡයාරූප වගේම පින්තූර ගණනාවක් තිබුණා. පස්වග මහණුන් නිරූපණය කෙරෙන රෙද්දෙන් වියපු ඉපැරණි සංරක්ෂිත පින්තූරයක් තිබුණා. ගෘහ භාණ්ඩත් අලුතෙන් ගත්ත ඒවා තිබුණේ ස්වල්පයයි. අනෙක් සියලු දේ මට පරම්පරාවෙන් ලැබුණු දේවල්. ඒ වගේම තවත් ඓතිහාසික පියනෝවක් ද තිබුණා. එය 1900 දී පමණ මගේ ආච්චිගේ මෑණියන් විසින් මිලදී ගත් එකක්. ඒ වගේම තුඩුගල පරම්පරාවෙන් ලැබුණු වසර 200ක් ඉපැරණි ඇඳක් තිබුණා.

මේවා කෞතුකාගාරයකට පවරන්න තිබුණ භාණ්ඩ. තිබුණ පොත්වලින් කොටසක් රාජකීය විද්‍යාලයට දෙන්න මායි මෛත්‍රියි කතා කරගෙන හිටියා. ඕලන්ද කාලේ පොත් තිබුණා. පෝල් ඊ. පිරිස්ගේ පොත් 50ක් 60ක් පමණ තිබුණා. අපි කතාවෙලා තිබුණේ ඒවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට දෙන්න. තවත් පොත් ටිකක් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න සැලසුම් කරලා තිබුණා.

මට තියෙන එකම කනගාටුව අනාගත පරම්පරාවට උරුම වෙන්න තිබුණ වටිනා ඓතිහාසික පොත්පත් විනාශ වෙච්ච එක ගැනයි. 1932 දී හිටලර් පොත් පුච්චලා තමයි ගමන ආරම්භ කළේ. මෙවරත් වුණේ එවැනි දෙයක්.

එදා අගමැති ලෙස ජනපති රනිල් කීවේ එවැන්නකි.

2020 මහමැතිවරණය පරාජයත් සමඟ ඔහු පොතක් ලිවීමට පටන් ගත්තේය. අග්නිදිග ආසියාවේ දේශපාලන හැසිරීම ගැන එම පොතේ අන්තර්ගතය විය. එහි අත්පිටපත පවා දැවී අළුවී ගොසිනි. ඔහුට කියා තිබූ සියලු දේපළ විනාශ වී අවසන්ය.

එදා අප පිටත් වෙද්දී ඔහු කීවේ මිනිසෙකුට මිල මුදල් හම්බකරගත හැකිවුවත් ඔහු එකතු කරගත් දේ නැවත ලබා ගැනීමට නොහැකි බවය. එය සත්‍යයක් බව අපට පසක් වූවේ නව නි‍ෙවසට ගිය පසුවය. දැන් නි‍ෙවසේ තිබෙන්නේ අලුත් ගෘහ භාණ්ඩ හා ගින්නෙන් අඩක් විනාශවූ නැවත සකස් කළ ගෘහ භාණ්ඩ හා උපකරණය.

පුස්තකාලය තිබූ තැන දැන් පුස්තකාලය වෙනුවට ඇත්තේ ගෘහ භාණ්ඩ සහිත කාමරයකි. පහළ කුඩා පුස්තකාලයේ පමණයක් ඉතිරි වූ පොත් කිහිපයක් රාක්කවල තබා ඇත. එදා පොත පතින් සවිමත් වූ නිවස අද පොත පතින් හිස් නිවසක් වී හමාරය.

ඉතිහාසයක් විනාශ කළ භූමියට නැවතත් ජනපති රනිල් පදිංචියට පැමිණ ඇත. නි‍ෙවස නැවත පිළිසකර කළේ තුඩාව සහෝදර සමාගම විසිනි. මෙම පුස්තකාලය ගැන විමසූ අවස්ථාවේ ඔහු කීවේ “දැන් එතන පුස්තකාලයක් නෑ.“ කියා පමණකි. මුවගේ සිනහවක් තිබුණ ද ඇස් තෙත බරිතව දිලිසෙමින් තිබුණි. ඉතිහාසය විනාශ වුවද ඔහු රටේ වර්තමානය ගොඩනගමින් සිටියි.

එල්. පී සුරංග

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division