නිදහසින් පසු පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතිවුණු දරුණුතම කඩාවැටීම සහ මෙරට ආර්ථිකය නංවාලීමට ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විද්වත් සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි සිදුකෙරණි. ශ්‍රී ලංකාවට ආර්ථික පරිවර්තනයක් පෙර කිසිදු කලකටවත් වඩා වර්තමානයේ අවශ්‍ය බවද එම අපේක්ෂාවන් බලාපොරොත්තු ඉටු කිරීමට මඟ පාදන සුවිසල් දායකත්වයක් සපයන ආර්ථික පරිවර්තන පනත රජය ඉදිරිපත් කොට ඇති බවද එහිදී සඳහන් කෙරිණි. එය මේ මොහොතේ රටට අවශ්‍යම පනතකි. පනතක් ඉදිරිපත් කළ පමණින් රටක් දියුණුවට පත්නොවන අතර එම පනතට අනුව ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළක්, දිශානතියක් ශක්තිමත් ආයතන ජාලයක් ඇති කිරීම ඇතුළු පුළුල් දැක්මක් නව පනතින් දක්වා ඇති බවද එහිදී එම විද්වතුන් විසින් අවධාරණය කෙරිණි. එහි දී ඔවුන් පල කළ අදහස් පහත පලවේ.
IMF ගිවිසුම්වලින් එළියට ගියොත් මොන ආණ්ඩුවකටවත් මේ රට සති දෙකකට වඩා කරන්න බෑ
– ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
මේ රට මුහුණ දුන් තත්ත්වය පිළිබඳව දේශපාලන වශයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම මාගේ ප්‍රධාන අරමුණයි. නිදහසින් පසු පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතිවුණු දරුණුතම හිඟයන් දෙක ලෙස රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය සහ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය හැඳින්විය හැකියි. කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් මෙරට ආර්ථිකය නංවාලීමට ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුයි. කවුරු ආණ්ඩු කළත් ලංකාවේ ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යෑමේ කටයුතුවලදී දරන වියදමේ ප්‍රතිඵලය, වියදම දරන කාලයට පමණක් සීමාවන නැවත නැවත දැරිය යුතු වියදම් දැරීමට ප්‍රමාණවත් ආදායමක්, ලැබීමක් ලංකා ආණ්ඩුවට නෑ. උදාහරණයක් ලෙස පසුගිය වසරේ රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනය කළ මුදල් පිළිබඳ වාර්තාවේ පැහැදිලි කරන කරුණක් නම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප, සමෘද්ධි, අස්වැසුම ඇතුළු අනෙක් කුටුම්භ සහනාධාර ගමන් වියදම් ආදී අනෙකුත් භාණ්ඩ හා සේවා ණය සඳහා පොලී ගෙවීම් යන වියදම් සඳහා ලංකා ආණ්ඩුව වියදම් කර ඇති මුදල ට්‍රිලියන 4.7ක්. සියලු දෙනා මත පැනවෙන නව බදුවලින්, ඍජු බදුවලින් ආදායම් මට්ටමේ වෙනසක් නැතුව සියලුදෙනා ගනු ලබන බඩුවලින්, වක්‍ර බදුවලින් ලාභ, ලාභාංශ, පොලී වැනි බදු නොවන ආදායම්වලින්, ප්‍රදානවලින්, අනෙකුත් තැන්පතුවලින් භාණ්ඩාගාරයට ලැබී ඇති මුදල ට්‍රිලියන 3යි. එහි හිඟ මුදල වන ට්‍රිලියන 1.7ක් මහ බැංකුව සතිපතා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය මඟින් ලැබෙන මුදලින් පවත්වාගෙන ගොස් තිබෙනවා. උද්ඝෝෂණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවෙද්දී රජය පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර මහ බැංකුවෙන් සල්ලි අච්චු ගසා ගෙවූ නමුත් අලුත් නීතිය අනුව එය මේ වන විට තහනම් කර තිබෙනවා.
රටේ ආර්ථිකය පවත්වාගෙන යෑමට රටින් බාහිර ආර්ථිකයේ පරිප්පු, අල, ලූනු, මිරිස් වැනි පරිභෝජන භාණ්ඩත් ඛනිජ තෙල්, පෝර රසායනික ද්‍රව්‍ය වැනි අන්තර් භාණ්ඩත් යන්ත්‍ර සූත්‍ර උපකරණ වැනි භාණ්ඩත් අනිවාර්යයෙන් ආනයනය කළ යුතුයි. එසේ නැතුව මිනිසුන්ට ජීවත් වීමට නොහැකියි. ඒ සඳහා තේ රබර් පොල් වැනි කෘෂිකාර්මික අපනයනත් රෙදි පිළි ඇඟලුම් වැනි කාර්මික අපනයනත් මැණික් හා අනෙක් ඛනිජ අපනයනය කර ලබන ආදායම යොදාගත් නමුත් 1977න් පසුව දිගටම වෙළෙඳ ගිණුමේ හිඟයක් පවතිනවා. ඒ හිඟය පියවීමට තරම් ආදායමක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් හෝ සංචාරක ලැබීම්වලින් ප්‍රමාණවත් නොවන අතර ගිය වසරේ හැර අනෙක් සියලුම වසරවල ගෙවුම් ශේෂ හිඟය මෙන්ම ජංගම ගිණුමේ හිඟය බලපා තිබෙනවා. මේ හිඟයන් දෙක පියවීම සඳහා කවුරු ආණ්ඩු කළත් දිගින් දිගටම ණය ගෙන තිබෙනවා. එහිදී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනාදියෙන් සහනදායී ණය ගෙන තිබුණත් සහනදායී ණය ප්‍රමාණවත් නොවුණු විට සල්ලි අච්චු ගසා මදි වූ විට වෙළෙඳපොළට සවරින් බොන්ඩ් නිකුත් කර විශාල ණය මුදලක් ගෙන තිබුණා. සංවර්ධන බැඳුම්කර නිකුත් කර තිබෙනවා. ඒ සියල්ල ගෙවා ගත නොහැකිව නිල වශයෙන් ණය ගෙවීමට නොහැකි බව දැනුම් දී ඇත. ඊට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමත් සමඟින් මෙවන් තත්ත්වයක් හමුවේ රට ඉදිරියට ගෙන යා නොහැකි බවට ලැබුණු උපදෙස් මත ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේ මෙම තත්ත්වයෙන් රට ගොඩගැනීමට හැකියාව ඇති කෙනෙක් ඉදිරිපත් වන ලෙසයි. ඒ අනුව ලෝකයේ විවිධ රටවල මෙවැනි කඩාවැටීම් හමුවේ ඒ සඳහා උපදේශානාත්මක විශේෂඥ සේවා සැපයූ සමාගම් 28ක් ඉදිරිපත් වූ අතර ඉන් 20ක් සුදුසුකම් ලබා තිබිණි. ඒ අතරින් මෙම වගකීම භාරදිය හැක්කේ කාටද යන්න තීරණය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුකාරක සභාවක් පත් කළා. එහිදී එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය ජී.එල්. පීරිස් එහි සභාපති ලෙස පත්කරන ලදී. ඒ අනුව මෙහි වගකීම ප්‍රංශයේ ලසාඩ් සමාගමට පැවරුවා. එහිදී මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති වන අර්බුදයන් පිළිබඳ අධිකරණවල පෙනී සිටීමට නීතිමය කර්තව්‍යයන් සඳහා උපදෙස් ලබාදීමට ක්ලිෆඩ් චාන්ස් සමාගම පත්කර ගන්නා ලද්දේ කැබිනට් අනුමැතියෙන්. මේ අතර අවසාන ණය දෙන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට යෝජනා ඉදිරිපත් වුවත් කැබිනට් මණ්ඩලයේ බෙදීම නිසා ඒ අවස්ථාවේදී අයි.එම්.එෆ්. එකට යෑමට නොහැකි වුණා. ඉන් පසුව රටේ ආර්ථිකයේ කඩාවැටීමෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය ඇතිවිය. ඉන්පසුව සංචිත ප්‍රමාණය හිඟවුණා. පෝලිම් ඇති වුණා. වෛරයෙන් ජනතාව මුසපත් වුණා. මහජන නියෝජිතයන්ගේ ගෙවල් ගිනිබත් වුණා. ගෙවල් අටසීයක් විනාශ වුණා. රට අරාජික වූ තැන පස් වතාවක් අගමැතිවරයා වශයෙන් දේශපාලන අත්දැකීම් ඇති නායකයෙක් ලෙස රට ගොඩගැනීමේ අභියෝගය භාරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අයි.එම්.එෆ්. එක වෙත යෑමට පියවර ගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ ගිවිසුම් දක්වා එන්න ලැබුණේ ඒ නිසායි.
මේ IMF ක්‍රියාවලියෙන් එළියට ගියොත් මොන ආණ්ඩුවකටවත් මේ රට සති දෙකකට වඩා කරන්න බෑ. මෙය නොතේරෙන පණ්ඩිතයන් බොරුවට කටමැත දොඩවමින් ඉන්නවා. ඔවුන් හදන්නේ මේ රට නැවතත් විදුලිය නැති ඉන්ධන ගෑස් පෝලිම් තිබෙන යුගයකට කැන්දාගෙන යන්නයි.
මේ ශ්‍රී ලංකාව පෙර කවරදාකටත් වඩා ආර්ථික පරිවර්තනයක් අපේක්ෂාවෙන් සිටින මොහොතක්
– ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
වර්තමානය ශ්‍රී ලංකාව පෙර කවරදාකටත් වඩා ආර්ථික පරිවර්තනයක් අපේක්ෂාවෙන් සිටින මොහොතක් ලෙස හැඳන්විය හැකිය. එම අපේක්ෂාවන් බලපොරොත්තු ඉටු කිරීමට මඟ පාදන සුවිසල් දායකත්වයක් සපයන ආර්ථික පරිවර්තන පනත රජය ඉදිරිපත් කොට තිබෙනවා. එය රටට අවශ්‍යම පනතත්. පනතක් ඉදිරිපත් කළ පමණින් රටක් දියුණුවට පත්නොවන අතර එම පනතට අනුව ක්‍රියාමත්මක කළ යුතු වැඩපිළිවෙළක්, දිශානතියක් ශක්තිමත් ආයතන ජාලයක් ඇති කිරීම ඇතුළු පුළුල් දැක්මක් නව පනතින් දක්වා තිබෙනවා. ඒ පිළිබඳව කටයුතු කළ සියලුදෙනාට අපගේ ස්තුතියත් ගෞරවයත් හිමිවිය යුතුය.
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති දෙස් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ වන විට අප විශාල ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කිරීම මාගේ යුතුකමක්.
මෙහිදී මුලින්ම සඳහන් කළ යුත්තේ වසර 2020, 2021 වන විට රජයේ ණය ගෙවීමේ හැකියාවක් නොහැකි බව මතු වී තිබීමයි. වසර 2020දී කොවිඩ් අවස්ථාවේ ලෝකයේ ඕනෑම රටකට කොන්දේසියකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූල්‍ය ප්‍රදානයන් ලබාදෙමින් තිබිණ. එම අවස්ථාවේ ශ්‍රී ලංකාවට එය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ නොවිණි. එයට හේතුව අප රටට ණය ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබීමයි. කොවිඩ් හදිසි ණය පහසුකමක් ලබාගැනීමට නොහැකිව අප රට පසුවුණා. රජයේ ආදායම් දිගින් දිගටම අඩුවීම ඊට හේතුවයි. මෙවැනි සන්දර්භයක් තුළ රජය තාවකාලිකව වසර 2020 අප්‍රේල් 12 වැනිදා ලබාගත් ණය ගෙවීම අත්හිටුවීමට ක්‍රියා කළ බව නිවේදනය කළා. රජය ලබාගත් රාජ්‍ය ණය, ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ණය සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබුණා. මෙහිදී එක් පාර්ශ්වයක් ශ්‍රී ලංකා රජයයි. ඒ ණය ලබාගත් අයයි. අනෙක් පාර්ශ්වය ණය ලබාදුන් අයයි. මෙම දෙපිරිස අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමට කටයුතු කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහිදී තරග විනිසුරුවකු ලෙස ක්‍රියාකරන භූමිකාවක් නිරූපණය කළා. අප වසර 2022 මාර්තු 18 දින මුල්වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අර්බුදයෙන් ගොඩඒමට මාණ්ඩලික මට්ටමේ එකඟතාවන්ට එළැඹුණා. ඒ අනුව ඉදිරි වසර 10දී රජයේ ණය බර අඩු කර ගැනීම රජයේ ආදායම් වැඩි කර ගැනීම අපනයන ආදායම් වැඩි කර ගැනීම ආදී තවත් බොහෝ ඉලක්ක අනුව කටයුතු කිරීමට එකඟතාව පළ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගනිමින් අප කටයුතු කරන අතර එය ණය ප්‍රශස්ත ලෙස තිරසරභාවයට පත්කර ගැනීමට යන ගමනේදී විශාල ශක්තියක් වුණා. මුලින්ම අප දේශීය ණය ප්‍රශස්තකරණයට ලක් කළා. එය කළේ 2023 සැප්තැම්බර් මාසයේදීයි. මෙහිදී අප ගෙවිය යුතු ණයවලට සුළු දායකත්වයක් දැරීමට සිදුවුණා.
දෙවැනි අදියර වනුයේ ද්විපාර්ශ්වීය විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි. එය පසුගිය 26 වැනිදා සිදු වුණා. පැරිස් සමාජය සහ ඉන්දියාව ජපානය ප්‍රංශය සහ චීනය මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණට එකඟ වුණා. එහිදී අප ගෙවිය යුතු ණය ආපසු ගෙවීමට වැඩි කාලයක් ලැබුණා. පොලී ප්‍රමාණය අඩු වුණා. මෙය අප ලැබූ ජයග්‍රහණයක්. ඉන් අනතුරුව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට 4 වැනිදා හැකි වුණා. මෙම සාකච්ඡාවට අප සමඟ එම ණය හිමියන්ගෙන් 50%ක ප්‍රමාණයක් එකඟ වුණා. මෙම එකඟතාව මත ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගන්නා නිර්ණායක සහ ඔවුන්ගේ විශ්ලේෂණයන්ට අනුව වඩාත් සුදුසු සහනයන් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වෙනවා.
ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේදී ඔවුන් ලබාදී ඇති අරමුදල්වලින් කිසිවක් අඩු නොකෙරේ. සහනයක් ලෙස සිදුකෙරෙනුයේ ණය ආපසු ගෙවීමේ කාලය වැඩි කිරීම හෝ පොලී අනුපාත අඩු කිරීම පමණයි.
පෞද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමේ හැකියාව සහ මුලින් කී විදේශ ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ලබාගත් සහනයන්ට ගැළපෙන සංසන්දනාත්මක සහනයක් ලබාදීමට කටයුතු කරනු ඇති. ණය හිමියන්ගෙන් අප බලාපොරොත්තු වන සහනයන් තීරණය කිරීමේදී ඉදිරි වසර 5 – 10 තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ලබාගන්නා වර්ධනය, රාජ්‍ය ආදායම්වල ඉහළ යෑම් ඉලක්ක ළඟා කර ගැනීමට අප දක්වන හැකියාවන් පිළිබඳව ද ගැඹුරින් විශ්ලේෂණය කර තීරණයක් ගනු ඇති. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ජාත්‍යන්තර නිල ණය හිමියන්ගේ එකඟතාවයද ලබාගත යුතුයි. මෙලෙස ශ්‍රී ලංකාව ණය ගෙවීම සම්බන්ධයෙන් හැකියාවන් වර්ධනය කර ගනිමින් ආර්ථික වශයෙන් ඉදිරියට යෑමට ආරම්භ කිරීමත් සමඟ විදේශීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අපට ලබාදෙන ශ්‍රේණියෙන් ඉහළට ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරනු ඇති.
යළි බිඳ නොවැටෙන ස්ථිරසාර ආර්ථික වැඩපිළිවෙළක් කරා ආණ්ඩුව ගමන් කරනවා
– ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති දෙස් විදෙස් ණය ආපසු ගෙවීම තිරසරභාවයකින් යුතුව සිදුකර ගැනීමට අදාළව විවිධ ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක මට්ටමකට සිදු කරගෙන තිබෙනවා. එවන් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ආණ්ඩුව, බලධාරීන් කටයුතු කළ අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ණය ගෙවා ගැනීමට නොහැකිව බිඳවැටීමේ තත්ත්වයක් ඇති නොවන තැනට වගබලා ගැනීමට ද ආණ්ඩුව මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඒ යන ගමනේදී ඉතාමත්ම ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කර අවසන්. ඒ සඳහා නායකත්වය ලබාදුන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
ගත වූ කාලසීමාවේ දී ආණ්ඩුව විසින් ආර්ථික සමාජ සංවර්ධන ඉලක්ක සපුරාලීමට අලුතින් සහ සංශෝධන අණපනත් 60කට වඩා ඉදිරිපත් කළා. ඒවායින් 30ක් පමණ ආර්ථික කළමනාකරණය හා බැඳුණු ප්‍රමුඛ පනත් වෙනවා. මෙම පනත් අතරින් වසර 2023 සැප්තැම්බර් 15 ඉදිරිපත් කළ ශ්‍රී ලංකා මහබැංකු පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, ප්‍රසම්පාදන පිළිබඳ නව නීති ඇතුළත් පනත සහ ආර්ථික පරිවර්තන පනත ප්‍රමුඛතාවයක් ගන්නවා.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රධාන වශයෙන් ආයතන 4ක් තිබෙනවා. ඒවා විවිධාකාරයෙන් රාජ්‍ය ණය කළමනාකරණය කරනවා. නමුත් මේ සඳහා තනි ආයතනයක් පිහිටුවා නෑ. මේ අඩුව පුරවාලමින් රාජ්‍ය ණය කළමනාකරණ නව පනත යටතේ තනි ආයතනයක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා.
මෙවැනි පරිසරයක් තුළ වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ ඉතා කාලෝචිත දුර දක්නා දැක්මක් ඇති ආර්ථික පරිවර්තන පනත හඳුන්වා දී තිබෙනවා. මෙම පනත සංයුක්ත පනතක්. මෙයින් පනත් 5ක් බද්ධව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ මා දන්නා පරිදි සංයුක්ත පනතක් ලෙස 1980 ගණන්වල ඉදිරිපත් කළ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය හා බැඳුණු පනත් 3ක් එක්කොට ඉදිරිපත් කළ පනත හැඳින්විය හැකියි. ඉන්පසුව පනත් 5ක් එක්කොට ඉදිරිපත් කළ ඔබ අප වඩාත් දැනගත යුතු පනතක් වනුයේ ආර්ථික පරිවර්තන පනතයි.
ශ්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් ඇති රටක්. එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 85යි. අප රටේ සම්පත් සීමිතය. මෙම සීමිත සම්පත් ප්‍රමාණය මනාව කාර්යක්ෂම ලෙස ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීමට අප ක්‍රියාකළ යුතුයි. ඒ සඳහා නව පර්යේෂණ පුහුණු තාක්ෂණය නව ලෝක දැනුම එක්කර ගත යුතුයි. නව ආර්ථික පරිවර්තන පනත මෙම ඉලක්ක ජය ගැනීමට මාර්ගෝපදේශ ලබා දෙන පනතකි. මෙම පනතේ ප්‍රධාන වශයෙන් කරුණු තුනක් සපුරාලීමට වැඩි බරක් තබා තිබෙනවා. ප්‍රධාන ක්ෂේත්‍ර තුනකින් රජයේ ණය තිරසරභාවය ඇති කරලීමට මින් අරමුණු කොට තිබෙනවා.
ශ්‍රී ලංකාව දැනට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128% දෙස් විදෙස් ණය බරකින් පසුවෙනවා. එය 95%ක් මට්ටමට අඩු කර ගැනීමට ඉලක්ක කොට තිබෙනවා. දැනට රජය ගෙවිය යුතු විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 9.4%කි. එය 4.5% දක්වා අඩුකර ගැනීමට ඉලක්ක කොට තිබෙනවා.
මෙපමණක් නොව සමස්ත දළ දේශීය නිෂ්පාදිතය වසරින් වසර 5% ඉක්මවා වර්ධනය කිරීමට ඉලක්ක කර තිබෙනවා. විරැකියාව අඩු කර ගන්නා අතර ආර්ථික දියුණුවට කාන්තා ශ්‍රම දායකත්වය ඉහළ නංවා ගැනීමට ඉලක්ක කොට තිබෙනවා. ලබන වසර වන විට එය 25% දක්වා ද වසර 2030දී එය 40% දක්වා ද වසර 2040දී එය 50% දක්වා ද වැඩි කර ගැනීමට ඉලක්ක කර තිබෙනවා.
එය අප ළඟා කරගත් ජයග්‍රහණයක්. ආර්ථික පරිවර්තන පනත මඟින් ණය තිරසරභාවය ඇති කර ගැනීම ඉලක්ක කොට තිබෙනවා. ඒ අනුව එය ළඟා කර ගැනීමට වැඩපිළිවෙළක් ද දක්වා තිබෙනවා. මේ ආකාරයට සර්ව සම්පූර්ණ පනතක් ලෙස අපට හඳුන්වා දිය හැකි නව පනත ක්‍රියාත්මක කිරීමට සැලසුම් පමණක් නොව වැඩපිළිවෙළක් ද පනතෙහිම දක්වා තිබීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව 1950, 60 දශකවල ඉතා දිළිඳුභාවයේ පැවතිණි. එලෙස පැවැති අවධියේ පවා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 20% ඉක්මවා තිබිණි. වසර 1990 මැද භාගය වන විට ශ්‍රී ලංකාව මැද ආදායම් රටක් බවට පත්වුණා. එම යුගයේ දී ද රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 22%ත් 18%ත් මට්ටමේ පැවැතුණා. එවැනි ඉහළ මට්ටමක රාජ්‍ය ආදායමක් ලැබූ ශ්‍රී ලංකාව වසර 2020 ගණන් වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 8%, 9% මට්ටමට පහත වැටිණි. මෙම කාලයේ රජයේ වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 20% ඉක්මවා තිබෙනවා. එලෙස රජයේ වියදම් ඉක්මවූ සහ රාජ්‍ය ආදායම් පහළ මට්ටමේ පවතින විට රටක් ගෙන යෑම අසීරු මට්ටමක පවතිනු ඇති. මෙලෙස ලෝකයේ අඩුම ආදායම ලබන රටක් ලෙස අප රට පත්ව තිබිණි. එම තත්ත්වයෙන් මිදී මේ වන විට අප රටේ ආදායම 10% 11% මට්ටමකට වැඩිකොට ගෙන තිබෙනවා. එය ද තවදුරටත් ප්‍රමාණවත් නෑ. ඒ අනුව අප එම ප්‍රමාණය 15%, 16%මට්ටමකට ළඟා කර ගැනීමට ඉදිරි වසර කිහිපයේදී කටයුතු කළ යුතුයි. ඒවා පිළිබඳ ඉලක්ක නව පනතේ ද දක්වා තිබෙනවා.
ආර්ථික පරිවර්තන පනත මඟින් ශ්‍රී ලංකාව කලක් තිස්සේ මුහුණ දෙන අභියෝග දෙකක් ජය ගැනීමට ඉලක්ක කොට තිබෙනවා. ඉහළ අයවැය පරතරය අඩු කිරීම සහ විදේශ වෙළෙඳ හිඟය අඩු කිරීම මෙම ඉලක්කයි. මෙය ජය ගැනීමට අපනයන ආදායම වැඩි කර ගත යුතුයි. ඍජු විදේශ ආදායම වැඩි කරගත යුතුයි. ඒ සඳහා අප නව දැනුම යොදාගත යුතුයි. තාක්ෂණය බද්ධ කළ යුතුයි. අපගේ කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායීව කළ යුතුයි. මේ අරමුණින් දැනට පවතින ආයතන ගණනාවක් අහෝසි කොට සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා අලුතින් ආයතන 5ක් පිහිටුවා තිබෙනවා. මෙම ආයතන 5 පිහිටුවීමත් සමඟ කටයුතු කරමින් සමස්ත ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල තුළින් සමස්ත ජනතාවගේ සුබසාධනයත් සංවර්ධනයත් ළඟා කර ගැනීම සිදු කළ යුතුයි.
ශ්‍රී ලංකා ආර්ථික කොමිසම පිහිටුවීම, ශ්‍රී ලංකා ආයෝජන කලාප විධිමත් කිරීමේ ආයතනයක් පිහිටුවීම, විදේශ වෙළෙඳාම නැංවීමේ ආයතනය, ජාතික ඵලදායී කොමිෂන් සභාවක් පිහිටුවීම, ජාත්‍යන්තර වෙළෙඳාම නංවාලීම සඳහා පියවර ගැනීමට බුද්ධි මණ්ඩලයක් පිහිටුවීම සිදු කිරීමට නියමිතයි. මෙහිදී ජාතික ඵලදායිතා කොමිසම සඳහා සෑම ආයතනයක්ම ඒකාබද්ධ කොට රටේ රජය හා පෞද්ගලිකව සිදු කරන සෑම රුපියලක ආයෝජනයකින්ම රටටත් සමාජයටත් ප්‍රතිලාභ හිමිවන තත්ත්වයක් උදාකිරීමට කටයුතු කරනු ඇති. මේ හරහා ආණ්ඩුව අපේක්ෂා කරනුයේ කුමන රජයක් යටතේ වුවත් ආර්ථික පරිවර්තන පනත පෙරදැරිව ණය තිරසරභාවය ඇතිකර ගනිමින් ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් සංවර්ධිත රටක් බවට පත්කිරීමයි.
ණය අර්බුදයෙන් මිදීමට කරුණු තුනක් මූලික කරගත් ඉලක්ක තිබිය යුතුයි
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ
ලෝකයේ මිනිසුන්ගෙන් ශ්‍රී ලංකාවේ අප ජීවත් වීමට බලාපොරොත්තු නොවිය යුතුයි. අප බලාපොරොත්තු විය යුත්තේ දීර්ඝ කාලීන ආර්ථික වර්ධනයක් සහිත තිරසර ණය ආපසු ගෙවීමේ හැකියාවක් සහිත දියුණු රටක් බිහි කිරීමටයි. ඒ සඳහා යන ගමනේදී අප අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කර ගැනීමට වගබලා ගත යුතුමයි.
අද දවසේ අප ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළක් ගැන කතා කරමින් සිටිනවා. වසර 2010දී ලෝකයේ ආර්ථික අර්බුදයක් මතුවූ අවස්ථාවේද ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුවිය. වර්තමානයේදී පවා එවැනි දේ සිදුවෙනවා. ආසියානු කලාපයේ රටවලින් 32%ක ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකළා. යුරෝපීය රටවලට එම සහනය ලැබුණේ 30%කිනි. ලතින් ඇමෙරිකානූ රටවලට ලැබුණේ 31%කින්. අප්‍රිකානු රටවලට 47%ක් ලැබුණා. මේ වන විට අපට 28%ක ණය සහනයක් ලැබී ඇතැයි කියැවෙනවා. එහෙත් අප හැමදාමත් ණය සහන මතම නොසිටිය යුතුයි. ලෝකයේ කවර රටක් වුවත් දියුණු ජාතියක් බවට පත්වීමට යෑමේදී ණය අර්බුදයෙන් මිදිය යුතුයි. ණය අර්බුදයෙන් මිදීමට කරුණු තුනක් මූලික කරගත් ඉලක්ක තිබිය යුතුයි. එවැනි ඉලක්ක ජයගත් රටවල් ණය අරබුදවලින් ගොඩ එනු ඇති.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඍජු විදේශ ආයෝජන 4%ත් 5%ත් මට්ටමක තිබිය යුතුයි. කාන්තා ශ්‍රම දායකත්වය 65%ත් 70%ත් මට්ටමක තිබිය යුතුයි. භාණ්ඩ හා සේවා අපනයනය ආදායම 65%ත් 70%ත් අතර තිබිය යුතුයි. මේ අතරින් අප රටේ දැනට භාණ්ඩ හා සේවා අපනයන ආදායම 21.5% මට්ටමේ තිබේ. එය 25% මට්ටමටත් 40% මට්ටමටත් ඉදිරියේ දී ළගා කර ගත යුතුය.
ඍජු විදේශ ආයෝජන ගෙන ඒමට හෝ නව වෙළෙඳපොළ දිනාගැනීමට යෑමේදී අප ළඟාකර ගත යුතු ඉලක්ක සහ සපුරාගත යුතු වැඩසටහන් ගොන්නක් තිබෙනවා. අල්ලස, දූෂණය පිටුදැකිය යුතුයි. ගෝලීය දූෂණ විරෝධී දර්ශකයෙන් අප දියුණු රටක මට්ටමට ළඟා විය යුතුයි. ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයෙන් ලොව පිළිගත් මට්ටමට ගෙනා යුතුයි. එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමකින් තොරව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදුකළ පමණින් අපට අර්බුදයෙන් මිදීමට නොහැකියි. එලෙස ක්‍රියා නොකළහොත් නැවත නැවත ජාත්‍යන්තර අරමුදලෙන් සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට සිදුවනු ඇති. අප සමඟ ණය අර්බුදයේ සිටින ඝානාව, චිලී, පේරු, ඉක්වදෝරය, ආජන්ටිනාව, ග්‍රීසිය ඉන් මිදීමට අවස්ථා ගණනාවකදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කර තිබෙනවා. එසේ නමුත් අප එලෙස දිගින් දිගටම එම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට සූදානම් නොවිය යුතුයි. මේ අවස්ථාවේ උදාවී තිබෙන්නේ පාඩම් ඉගෙන යළිත් ඒ වළටම නොවැටී ඉදිරියට යෑමට ක්‍රියා කිරීමයි.
ජයසිරි මුණසිංහ, නාමලී ගමගේ
ඡායාරූප – තිලක් පෙරේරා