Home » සීතාවකට කෞතුකාගාරයක්

සීතාවකට කෞතුකාගාරයක්

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

අවිස්සාවේල්ල හරහා ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු සැමට දැක බලාගත යුතු ස්ථානයක ඉදිකිරීම් කටයුතු මේ දිනවල ලහිලහියේ සිදුවෙමින් පවතී.

ඒ මෙරට රාජාවලියේ වැදගත් රාජධානියක් වන සීතාවක රාජධානිය පිළිබඳව තොරතුරු ගවේෂණය පහසු වීම සඳහා ඉදිකෙරෙන ඓතිහාසික කෞතුකාගාරයයි.

අවිස්සාවේල්ල නගරයට යාබද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු භූමිභාගයක පිහිටි ඉපැරණි ගොඩනැඟිල්ලක් නවීකරණය කොට මෙම කෞතුකාගාරය ඉදිවෙමින් පවතී. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව මෙම ගොඩනැඟිල්ල මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරාගෙන මෙහි ඉදිරි කටයුතු සිදුකරගෙන යනු ලබයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියට මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 05ක මුදලක් වෙන්කර ඇත.

1521 සීතාවක රාජධානියක් ලෙස ආරම්භ වීම හා ඉන්පසුව මායාදුන්න රජ විසින් සීතාවක රාජධානිය ආරම්භ කළ අතර මායාදුන්න හා සීතාවක රණශූරයන් යටතේ සීතාවක සැලකිය යුතු ප්‍රදේශයක පැතිර ගිය රාජ්‍යයක් බවට පත් විය.

ඓතිහාසික උරුමයන් ඒකරාශී කෙරෙන ඉදිවෙමින් පවතින සීතාවක කෞතුකාගාරය තුළ ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන ඓතිහාසික තොරතුරු මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන, සුන්දර ස්ථානවල තොරතුරු දැකබලා ගත හැකි වනු ඇත.

සීතාවක යුගය හා සබැඳි නිර්මාණශීලී අනුරූ (ආකෘති), සීතාවක යුගයේ රණශූරයින් හා විශේෂ සිදුවීම් පිළිබඳ අඳින ලද සිතුවම් ප්‍රදර්ශනය, සීතාවක යුගය පිළිබඳ සැකසුණු වාර්තාමය වීඩියෝ පට ප්‍රදර්ශනය මෙන්ම තවත් අංග ඇතුළත් මැදිරි ගණනාවකින් යුතුව සූදානම් කරමින් පවතින බව දක්නට ලැබුණි.

සීතාවක යුගය හා සම්බන්ධ ඓතිහාසික වැදගත්කමක් සහිත කෞතුක වස්තූන් හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති දේ ඔබ සතුව ඇත්නම් මතු පරපුර වෙනුවෙන් එම භාණ්ඩ මෙම කෞතුකාගාරය වෙත පරිත්‍යාග කිරීමට හෝ අනුරූ සකස් කර ගැනීමට ලබා දීමට දැන් ඔබටද අවස්ථාව උදා කර දී ඇත. සීතාවක කෞතුකාගාරයේ ස්ථානභාර නිලධාරී සුමේධ ප්‍රියන්ත විතාන මහතා (මධ්‍යම සංස්කෘතික අරමුදල) දු. අංක 0760491254 ඔස්සේ අමතා මේ පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division