– විපක්ෂය අපේ කකුලෙන් ඇද්දා. විපක්ෂය හොඳක් දකින්නේ නැත්තේ කුහකකමට
– විපක්ෂයේ ජයගත නොහැකි අභියෝගය අපි ජයගත්තා
විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ මුල සිට අග දක්වා ඔබ සිටියා. මෙය අති දුෂ්කර ගමන් මඟක්. මේ ගැන විස්තරයක් කළොත්?
විපක්ෂ නායකතුමාගේ ආර්ථික කමිටුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා කියන්නේ මෙය ජයගත නොහැකි අභියෝගයක් බවයි. 2022දී සජබය දැකපු ජයගත නොහැකි අභියෝගය 2024 වෙද්දි ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්රමුඛ රජයට හැකිවුණා. ඒ ගමන් මඟේ දුෂ්කරතාව 2022 මැයි වෙද්දි සජබය දැක්කා. ඒ නිසා පැනලා ගියා. ජනතා විමුක්ති පෙරමුණ බය වුණා. වගකීමක් ගත්තේ නැහැ. අභියෝගයට මුහුණ දුන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. එහි ප්‍රතිඵලය ලැබුණා. නමුත් මෙහි තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ කඩා වැටුණු ඉක්මනට සෑම ප්‍රතිලාභයක්ම සෑම පුරවැසියකුටම ගලාගෙන ගිහින් නැහැ. එසේ ගලායාමේ ක්‍රමවේදයක් නැහැ. ආර්ථිකයේ ප්රසාරණයක් සිදුවීමට යම් කිසි කාලයක් ගත වෙනවා. එය ඉවසීමෙන් දරාගත යුතුයි. නමුත් විපක්ෂය අපේ කකුලෙන් ඇද්දා. සජබය වගේම ජනතා විමුක්ති පෙරමුණත් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ආර්ථික උපදේශකයින් ලෙස ඒ රජය මෙහෙයවපු පිරිසත් කකුලෙන් ඇද්දා.
ඔබ පවසන්නේ මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදි විපක්ෂය තමන්ගේ කාර්යභාරය ජනතාව වෙනුවෙන් ඉටු නොකළ බවද?
විපක්ෂය ඉටු කළේ නැහැනේ. 2023 අප්‍රේල් මස 28 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ යෝජනාවලිය පාර්ලිමේන්තුවට ගේනවා. මෙහිදී ඡන්දය දීම හෝ ඡන්දය නොදීම හෝ එසේත් නැතිනම් ඡන්දයෙන් වැළකි සිටීම කළ යුතුව තිබුණා. මේ අවස්ථාවේ සජබය ඡන්දය දීමෙන් වැළකි සිටියා. එයින් පේන්නේ ඔවුන් පක්ෂ නැති බවයි. ඔවුන්ට නිවැරදි තීන්දුවක් ගැනීමට බැරි පිරිසක්. දෙවැනි තීරණාත්මක සන්ධිස්ථානය වුණේ 2023 ජූලි 4 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ යෝජනාවලිය. එදා මීට විරුද්ධව සජබය ඡන්දය දුන්නා. ජනතා විමුක්ති පෙරමුණත් විරුද්ධව ඡන්දය දුන්නා. මේ නිසා ප්‍රධාන සන්ධිස්ථාන තුනේදි රටේ මිනිසුන් දුක් විඳිද්දි විපක්ෂය විරුද්ධව ඡන්දය දුන්නා. මේ කඩුලු දෙක පැන්නේ නැත්නම් අපි තාමත් සිටින්නේ 2022 ට වඩා බරපතළ තැනක. මම හදවතින් කියන්නේ. මේකේ අමාරුකම දන්නේ අපි විතරයි. හැමෝටම කියන්න, කයිවාරු ගහන්න ලේසියි. නමුත් මේක හරිම අසීරු කාර්යයක් වුණා. ඒ තරම් අසීරු තැනක සියලු දේ තිබ්බේ. රනිල් වික්‍රමසිංහ මහතා නැතිනම් මේ රට තිබුණද නැද්ද කියලා හිතාගන්න බැහැ. එය සිතියමට පමණක් සීමා වෙන්න තිබුණා. ජීවත් වෙන්න බැරි රටක් වෙනවා. හැමෝම අපේ කකුලෙන් ඇද්දා. නමුත් ආණ්ඩුවත් සමඟ මන්ත්‍රීවරු සිට ගත්තා. කුමන දෝෂාරෝපණ ආව ද කුහකත්වය මත කුමන ප්‍රකාශ නිකුත් කළ ද පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව අපිත් එක්ක සිට ගත්තා.
නමුත් පසුගිය කාලයේ විපක්ෂයේ සමහර පිරිස් එය අගය කළා?
හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා හොඳ ආර්ථික විශේෂඥයෙක්. එයට තර්ක නැහැ. මුදල් කමිටුවේ සභාපති ලෙස ඔහු හොඳ කාර්යභාරයක් ඉටුුකළා. නමුත් ඔහු හොඳ දේ කරලා එළියට ඇවිත් දේශපාලනඥයෙක් ලෙස නරක දෙයක් කළා. මුදල් කමිටුව් සභාපති ලෙස හොඳ විශ්ලේෂණයක් කරද්දි තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිවිරුද්ධ මතයක් දැරුවා. රනිල් වික්‍රමසිංහට ජන මතයක් නැහැ කිව්වට අද ඒ ජනමතය ගොඩනැඟිලා. එතුමාට ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැ කිව්වට ඒ පිළිගැනීම නිසා තමයි අද අපි මෙතැනට ආවේ. ඊළඟට කිව්වා පාර්ලිමේන්තුව ගෙනියන්න බැහැ කියලා. එය අපි කළා. රනිල් වික්‍රමසිංහ පොඩි මිනිහට දැනෙන පරිදි ආර්ථිකයක් ගොඩනැඟුවා. IMF එකෙන් ගන්න බැහැ කියූ පළමු වාරිකය ගත්තා. දෙවැනි වාරිකය ගනිද්දි මෙය කරන්න බැහැ කිව්වා. එය ගනිද්දි තුන්වැනි වාරිකය ගැන එවැනි ප්‍රකාශ කළා. අපි තුන්වැන්නත් ගත්තා. ණය ප්රතිව්යුහගතකරණයේදි චීනය ඉන්දියාව සහයෝගය ලබා දෙන්නේ නැති බව කිව්වා. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කියූ තරම් ලෙහෙසි පහසු වූයේ නස් එදා සජබයට දුටු ජයගත නොහැකි අභියෝගය ජය ගත්තා. රට ගැන හිතන්න. එදා මේ සියල්ල වෙන් වෙන් වශයෙන් හදුනාගත් නිසා තමයි රනිල් වික්රමසිංහයන්ට හැකිවුණේ මේ රට ගොඩදාන්න. අපිත් ආර්ථික කළමනාකරණයට දේශපාලනය ඈඳා ගත්තා නම් අපිත් දුර්වල පාලකයෝ පමණක් වෙනවා.
මූලික ණය ගෙවීමට 2028 දක්වා සහන කාලයක් හිමිවීම නිසා ඩොලර් කෝටි 500 ක් රටට ඉතිරි වන බව වාර්තා වෙනවා?
ඩොලර් බිලියන 5 ක සහනයක් ලැබනවා. මේ නිසා අපේ නැවතූ ව්‍යාපාර යළි ආරම්භ වෙනවා. රටේ ජනතාව බලාපොරොත්තු වන සේවාවන් ආරම්භ කළ යුතු වෙනවා. සෞඛ්‍ය යටිතල පහසුකම් ආදිය ගැන පූර්ණ අවධානය යොදවනවා. නැවතුන යටිතල ව්‍යාපෘති යළි ආරම්භ වෙනවා. තවමත් කැපී පෙනෙන වර්ධනයක් දැකගත නොහැකි ඉදිකිරීම් ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වෙනවා. රට පිළිබඳ විස්වාසය ගොඩනැගී ආයෝජන රටට එන්න පටන් ගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රතිඵල ලැබෙද්දි ලංකාව ලෝකයේ පිළිගත් ආර්ථික න්‍යායන් තුළ කටයුතු කරන රටක් බවට පත්වෙලා තියෙනවා. අදටත් මිනිසුන් කරන විවේචනයක් වන්නේ වංචාව හා දූෂණය. මෙයට තිත තියන්න හැකි නීති රාමුවක් සකස් කර ස්වාධීන ආයතනයක් ඇති කළේ අපේ ආණ්ඩුව. ඉදිරියේදි දූෂණ වංචා මඬින්න නීතියක් තියෙනවා. නොතිබූ ආයතන ශක්තිමත් වී ස්වාධීන වී තියෙනවා. දැන් අපිට තියෙන්නේ ඉදිරියට යාමයි.
විපක්ෂය පවසන්නේ නිසි ණය කපා හැරීමක් හෝ නිසි සහන කාලයක් ලබා නෙගෙන මැතිවරණය මුල්කරගෙන මේ කටයුතු හදිසියේ සිදු කළ බවටයි?
ඒ විපක්ෂයේ කුහකකමයි. ඔවුන් කතා කරන්නේ නොදැනුවත්ව නෙමෙයි. විපක්ෂයට ආර්ථික පාඩම් කියලා දෙන්න කාලයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ලෝකයයි පිළිගත් සම්මත ක්‍රමවේදයක් තියෙනවා. අපිටම සුවිශේෂි ක්‍රමවේදයක් අපි සකස් කළා. ඉන්දියව ප්‍රංශය ජපානය සම සභපතිත්වයෙන් යුත් ණය හිමියන්ගේ කමිටුව, චීනය ඒ සඳහා අපිට අවශ්‍ය අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. මැදි ආදායම් රටවල් ණය අර්බුදවලට ගිය පසු ඒ ණය අර්බුද විසඳීමට ගන්නා ක්‍රමවේද උදාහරණයකට ගන්නවා. අපිටම සුවිශේෂි වූ ක්‍රමවේදයක් සකස් කළා.
ඔබ පවසන්නේ මේ පිළිබඳ විවේචනය කරන්නන්ට ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳ නිසි දැනුමක් නොමැති බවද නැතිනම් කුහකකමද..?
විපක්ෂය හොඳක් දකින්නේ නැත්තේ කුහකකමට. ඔවුන් ජාත්‍යන්තර ආර්ථිකය ගැන හොඳට දන්නවා. ණය කපා හැරීම මදි කියන්නේ මොකක්ද? ආර්ථිකය පුළුල් වනවාට ඔවුන් අකමැතියි.
විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා අපට ලැබෙන මූල්‍යමය ප්රතිලාභ ගැන සඳහන් කළොත්..?
මම මුලින් සඳහනක් කළ ප්රතිලාභ ලැබෙනවා
මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් යම් ප්‍රමාණවලින් අඩුවෙමින් පවතිනවා. ඉදිරියේදී මේ හරහා ජනතාවට ලැබෙන සහන ගැන කතා කළොත්..?
ලෝක වෙළෙඳ පොළේ දත්ත අපේ රටේ වෙළෙඳ පොළටත් බලපානවා. ඒ නිසායි ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරන්නේ ආනයනය පුළුල් වූ ආර්ථිකයක් ගොඩනැඟීමට. සජබය යෝජනා කරන්නේ අදහසක් නැති ආර්ථික වැඩ පිළිවෙළක් ගොඩ නැඟීමට. නමුත් අපි සකස් කරන්නේ අනයනය පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කරන්නට. එයින් පමණයි අපේ ආර්ථිකය පුළුල් වන්නේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණය, අයි එම් එෆ් සාකච්ඡා සම්බන්ධව සමහරුන් වෙනත් පාරක ගමන් කිරීමට සූදානම් වෙනවා.
වෙනත් පාරක ගමන් කරන්න බැහැ . එසේ ගමන් කිරීමෙන්, අදහස් ප්‍රකාශ කිරීමෙන් වන්නේ 2022 ට වඩා දරුණු තැනකට රට ගමන් කිරීමයි.
රටට දැනුනු මේ සුබ ආරංචිය ජනතාවගේ පොකැට්ටුවට දැනෙන සුබ ආරංචියක් වීමට තවත් කොපමණ කාලයක් සිටිය යුතුද?
ජනතාවට දැනිලා තියෙනවා. නැහැ කියන්න බැහැ. නමුත් කුහක අය පිළිගන්න කැමැති නැහැ. පළමු වතාවට සුබ අසුබ වශයෙන් බෙදුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණය ආර්ථිකය ශක්තිමක් කිරීම සුබවාදීව දැක්කා. දේශපාලනික වශයෙන් බෙදුණු අය එය අසුබවාදීව දැක්කා. එය අපේ රටට වූ කණගාටුදායක පැත්තක්.
සුභාෂිණි ජයරත්න