Home » හදවත රත්තරන් ජෝති ගැන “පොඩි ජෝති” කියන කතාව

හදවත රත්තරන් ජෝති ගැන “පොඩි ජෝති” කියන කතාව

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

ශ්‍රී ලාංකේය රසික රසිකාවක් අතර ජනප්‍රියම ගායකයා ලෙස අදටත් වැජඹෙන “හදවත රත්තරන් ජෝති“ හෙවත් එච්. ආර්. ජෝතිපාලයන් අභාවප්‍රාප්ත වී අදට වසර තිස් හතක් සපිරේ. ඔහු උපන්නේ 1936 පෙබරවාරි 12 දාය. හෘදයාබාධයක් වැළඳීමෙන් මිය ගියේ 1986 ජූලි 07දාය. එදා මෙදා ජෝති ඇසුර ලැබූ පිරිස බොහෝය. ඒ අතරින් ඇතැමකු දැන් ජීවතුන් අතර නැත. ඇතැමකු දැන් ලංකාවේ නැත.

එදත් අදත් ජෝතිගේ ඇසුර ලැබීම සිය ජිවිතයේ භාග්‍යයක් සේ සලකන, එමෙන්ම ජෝතිගේ ජීවමාන උසින් යුත් ප්‍රතිමාවක් තනා එයට වැඳුම් පිදුම් කරන ඔහු ‘ටුවාඩ් ජොල්ඩ්‍රස්මා‘ ය. මේ නමින් කියූ විට කිසිවකු ඔහු නොහඳුනනු ඇත. නමුත් එදා ‘පොඩි ජෝති‘ නමින් හැඳින්වූ අද ජෝති නම් වූ අසිරිමත් ගායකයා සමරමින් ගී ගයන පොඩි ජෝති ඔබේ මතකයේ නැති වන්නට ඉඩක් නැත.

නෙදර්ලන්තයේ ජීවත්වන පොඩි ජෝති සෑම වසරකම ලංකාවට පැමිණෙන්නේය. මේ දිනවල ලංකාවේ වෙසෙන ඔහු සමඟ කළ කතාබහකි මේ.

“මගෙ තාත්තාගේ යාළුවකුගේ මාර්ගයෙන් තමයි මට නෙදර්ලන්තයට යන්න අවස්ථාව ලැබුණේ. කුඩා වියේදී තමයි මම ඒ අයත් එක්ක ඒ රටට ගියේ. මගෙ තාත්තා ඒ කාලේ සේවය කළේ කාගිල්ස් සිලෝන් එකේ. පුංචි කාලේ ඉඳලම මම නෙදර්ලන්තයේ අයත් එක්ක හැඳුණ වැඩුණ නිසා මම ඒ යුවළට කතා කළෙත් අම්මා තාත්තා කියලා. අපි 1971 දී ලංකාවට ආවා නිවාඩුවක් ගත කරන්න. එතකොට මට වයස අවුරුදු දොළහක් විතර ඇති. අපි ආව සතුටට තාත්තා පාටියක් දාන්න යෝජනා කළා. එදා මට මතකයි අපේ තාත්තා අපි හැමෝම එක්කගෙන ජෝතිපාල මහත්මයාගේ ගෙදර ගියා අපේ ගෙදර පාටියේ සින්දු කියන්න එන්න කියලා ආරාධනා කරන්න. ඒ වෙනකොට ජෝතිපාලයන් හිටියේ එයාගේ සොයුරිය අයිරාංගනී වර්ණකුලසූරියගේ නිවෙසේ. ඇය විවාහ වෙලා හිටියේ නිතීඥ මෙන්ත වර්ණකුලසූරිය සමඟ. ඔවුන් හිටියේ නොරිස් කැනල් පාරේ නිවෙසක. අපි යනකොට කලින් දවසේ ෂෝ එකකට ගිහින් ඇවිල්ලා ජෝතිපාල මහත්මයා නිදි. අපි පැය දෙකහමාරක් විතර හිටියා. බොහෝ වෙලාවකට පස්සේ ඔහු අවදි වෙලා රැවුල කපලා නාලා හරිම පිළිවෙළට ඇඳුම් ඇඳගෙන තමයි අපත් එක්ක කතාවට ආවේ. ඔහු ඉතාම හොඳින් ඉංග්‍රිසි භාෂාව කතා කළා. මට ඒ කාලේ සිංහල වචනයක්වත් බෑ.

ඔහු මගේ නෙදර්ලන්තයේ පියාට කිව්වා මිස්ටර් ජැක් මට තැන කියන්න. මම එළිවෙනකම් ඇවිත් සින්දු කියන්නම් කියලා.

ඒ ගමන මගේ ලංකාවේ පියා කිව්වා අපිට බෑන්ඩ් එකකුත් ඕනේ කියලා. ජෝතිපාල මහත්මයා කිව්වා ඒවට නම් සම්බන්ධ වෙන්න බෑ කියලා අපට අර්නස්ට් සොයිසාගේ නොම්බරය දුන්නා.

1971 අවුරුද්දේ පෙබරවාරි මාසේ දවසක තමයි ඔහු අපේ නිවෙසට ආවේ. කිව්වා වගේම ඔහු පාන්දර 4ට විතර වෙනකම් සින්දු කිව්වා. එදා ඔහුගේ බොග්වන් ඉසබෙලා කියන වර්ගයේ කාර් එක එළවගෙන ආවේ බණ්ඩා. ඔහු එදා අපේ නි‍ෙවසට එද්දී මට LP ලොකු තැටි ගෙනැල්ලා දුන්නා. ඒකේ තිබුණේ සකුන්තලා චිත්‍රපටයේ ගීත. ඒ තැටියේ ජෝතිපාලයන් අත්සන් කර තිබුණා. අදටත් ඒ තැටි මා ළඟ තියෙනවා.

ජෝතිපාලයන් මට මුල්ම කාලේ කතා කළේ ‘සන්‘ කියලා. ඊට පස්සේ කාලයක් යන කොට ‘බ්‍රදර්‘ කියලා කතා කළා. අන්තිමට ඔහු මට කතා කළේ ‘මචං‘ කියලා. ඒ තරම් අපේ යාළුකම වැඩි වුණා. ඔහු එදා අපේ ගෙදර ගීත ගයලා එක ශත පහක්වත් ගත්තේ නෑ.“

මේ සිදුවීමෙන් පසු යළිත් නෙදර්ලන්තය බලා යන ටුවාඩ් සෑම වසරකම පාහේ ලංකාවට එන්නට හුරුව සිටියේය. ඒ එන හැම වරකම නෙදර්ලන්ත යුවළ ද ඔහු සමඟ මෙහි ආහ.

1978 වසරේ ද ලංකාවට පැමිණි ටුවාඩ් ඇතුළු පිරිස යළිත් සංගීත සැදෑවක් පවත්වන්නේය.

“ එදත් ජෝති අන්කල් සින්දු කිව්වා එළිවනතුරු. ඔහු ඕලන්ද පියා සමඟ බොහෝම හිතවත් වුණා. දවසක් ඕලන්දයේ පියා කාමරයේ වැටිලා හිටියා.

ඔහු නැති වුණා. ඒ වෙලාවේ අපට ජෝතිපාලයන් බොහෝ උදව් කළා. ඔහුගේ අවසන් කටයුතු කරලා අපි නැවත ඒ රටට ගියා. ඊළඟ අවුරුද්දෙත් මම ලංකාවට ආවා. ඕලන්ද තාත්තා ජෝති අයියා වගේම උස මහතයි. මම ඒ එනවිට ඔහුගේ ඇඳුම් සියල්ල, අත් ඔරලෝසු ආදී හැමදේම ජෝති අයියාට ගෙනැල්ලා දුන්නා. ඔහු බොහෝම කැමැත්තෙන් ඒ දේවල් භාර ගත්තා. මේ කාලේවෙන කොට අපි දෙන්නා හරිම යාළුයි.

මට අවුරුු දහ අටක්, දහ නවයක් විතර කාලේ මම ගෙයක් හදන්න සැලසුම් කළා. මගේ මහගෙදර තිබුණ හරියේ තමයි ගේ හදන්න සැලසුම් කළේ. ජෝති අයියා තමයි මේ ගෙදරට මුල්ගල තිබ්බේ. මට මතකයි මම ගෙයි මුල්ගල හැටියට තියන්න සකස් කරපු ලොකු මුට්ටියට ජෝති අයියගෙ සරමක්, ඔහුගේ කොණ්ඩය, ඔහු බීපූ සිගරට් කොට ආදී හැමදේම ඒ මුට්ටියට දාලා තමයි මුල්ගල තිබ්බේ. ඒ වෙනකොට මම උපාධිය අවසන් කරලා තිබුණේ. ගේ හදලා ඉවර වෙනකොට ජෝති අයියා මට කතා කළේ මචං කියලා. ඇත්තටම මම ඒ ගේ හැදුවේ ජෝති අයියාට ඉන්න. ගේ හදලා ඉවර වෙලා ඔහුට ඉන්න කිව්වාම ඔහු කිව්වා මට ඔය ගෙදර ඉන්න බැහැ කියලා කුණුකුණු ගාන්න ගත්තා. ඔය කාලේ තමයි ඔහුට මාලිගාවත්ත ෆ්ලැට් එකේ ගෙයක් ලැබුණේ.

මම ලංකාවට අවම දවසයි දෙකයි මගේ ගෙදර ඉන්නේ; අනිත් දවස් ගානම ඉන්නේ ජෝති අයියා එක්ක.

දවසක් ජෝති අයියා කිව්වා එයාට චිත්‍රපටයක් කරන්න ඕන කියලා එයාගේ ජීවිතේ ගැන. මම කිව්වා මම වියදම් කරන්නම් කියලා “සුමිතුරෝ” චිත්‍රපටය හැදුණේ ඒ විදිහට. ඒ චිත්‍රපටයට නොයෙක් බාධක ආවා. රෝයි ද සිල්වා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. 1983 තමයි චිත්‍රපටය පෙන්නන්න පටන් ගත්තේ. නමුත් ජූලි කලබලත් එක්ක ඒක සාර්ථක වුණේ නැහැ.

ආයෙම දවසක් මම ලංකාවට ඇවිල්ලා ජෝති අයියා එක්ක ෂෝ එකකට ගියා. එදා අපි ගමන් කිහිපයක්ම ගියා.

දවසක් අපි මාලිගාවත්තේ ඉන්නවා. ඒ සිංහල අවුරුද්දක් දවසක. උදේම මනුස්සයෙක් ඇවිල්ලා හිඟමන් යදිනවා; ඒ ගෙදර ඉන්නේ ජෝති කියලා දන්නේ නැති ඒ මනුස්සයා කිලුටු වෙලා හිටියේ. ජෝති අයියා රුපියල් පන්දාහකුත් දීලා එදා අඳින්න සූදානම් කරගෙන හිටිය සරමත් කමිසයත් ඒ මනුස්සයට දුන්නා. ඔහුගේ පරණ ඇඳුම් ටිකත් හෝදලා දුන්නා. ඊට කාලෙකට පස්සේ මර්සිඩීෂ් බෙන්ස් එකක කෙනෙක් එනවා ජෝති අයියා හමුවෙන්න. ඔහු ඇවිල්ලා අහනවා “මාව මතක ද කියලා.?“

“ජෝති අයියා අහනවා ඔබතුමා කවුද?“ කියලා

ඒ ගමන ඔහු මතක් කරනවා සිංහල අවුරුද්ද දවසේ එදා නිවෙසට ආව කෙනා මම කියලා. ඔහු ඒ සිද්ධියෙන් පස්සේ මැදපෙරදිග රැකියාවකට ගිහිල්ලා. ඒ ආවාම තමයි ජෝති අයියා බලන්න ඇවිත් තිබුණේ.

ලංකාවට පැමිණි විට ජෝති සමඟ එහෙ මෙහෙ ගිය ටුවාඩ්ටද ගීත ගැයීමට ආසාවක් උපන්නේය. ඊළඟ වතාවේ ලංකාවට එනවිට ඒ ගීත ගැයීම සඳහා ජෝති ඔහුට ඉඩකඩ සලසා දෙන්නේය. ඒ සින්දුවල මගෙ නම ගියේ ෂෙහාන් ජීවන්ත කියලා.

මම ජෝති අයියා මැරුණා කියලා දැනගන්නේ මාස ගාණකට පස්සේ. 1987 අවුරුද්දේ ජර්මන්වල ඉඳලා මට ඥාතියකුගෙන් දුරකතන ඇමතුමක් එනවා. අන්න ඔයාගේ යාළුවා මැරුණා කියලා. මට ඒක කොහොමටවත් විශ්වාස කරන්න බැහැ. මාස තුකට පස්සේ තමයි අම්මා එවපු ලියුම ලැබෙන්නේ.

මම ජෝති අයියා ජීවත් වෙලා ඉන්න කාලෙමයි ඕලන්දයේ මගේ ගෙදර ඔහුගේ පිළිරුව හැදුවෙ. අමෙරිකාවේ ශිල්පියෙක් තමයි එය හැදුවෙ. දවසක් ජෝති අයියා මාලිගාවත්ත ඔහුගේ නිවෙසේ නිදියගෙන ඉන්න වෙලාවේ මමයි මුනිදාසයි ඔහුගෙ උස මනිනවා. ඔහු අඩි හයයි අඟල් 2ක් උසයි. ඒ උසටම තමයි මගේ නිවෙසේ ඔහුගේ පිළිරුව හදලා තියෙන්නේ. අදටත් ඒ පිළිමේ ඉස්සරහ මගේ ගෙදර පහනක් පත්තු වෙනවා.“

සෑම වසරකම ලංකාවට පැමිණියද ගී ගැයිමට උනන්දුවක් නොතිබුණ ද ජෝතිගේ මරණයෙන් කලකට පසු ගී ගැයිමට අවස්ථාවක් ලැබෙන්නේය.

“මම නිවාඩුවකට දරුවෝ, බිරිය සමඟ රෝමයට ගියා. දවසක් අපි ඇවිදින්න යනකොට තරුණයෝ කිහිපදෙනෙක් අපේ ඉදිරියට ආවා. කෙනෙක් මගෙන් අහනවා ඔයා ෂෙහාන් ජීවන්ත නේද කියලා. ඔහු මගේ ගීත අහපු කෙනෙක්. ඒ සති අන්තයේ මට ඔවුන්ගේ ප්‍රසංගයක ගී ගයන්න අවස්ථාව ලැබෙනවා. කිහිප වරක්ම එහෙ ඉන්නකොට ගී ගයන්න ලැබුණා. ඉන්පස්සේ 2007 වසරේ රෝමයේ ෂෝ එකකට යනවා. එහිදී තමයි මගෙ නම වෙනස් වෙන්නේ. පාලිත මායාදුන්න තමයි මගෙ නම වෙනස් කරන්න හදන්නේ.

ජෝතිමත් ගී හඬ ‘පොඩි ජෝතිගේ‘ හඬින්… ඒ විදිහටයි එදා මගේ නම කියැවෙන්නේ. ෂෝ එක පටන් ගන්නත් කලින් ටිකට් විකිණිලා ඉවරයි.

ජෝති අයියා මට දෙවියෙක් වගෙයි. මම ඔහුට හරිම ආදරෙයි. ජෝති අයියා ළඟ තිබුණ ඒ මනුස්සකම මම තවමත් කා ගාවවත් දැකලා නැහැ.

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division