– දරුවෝ පාසල් ගිහින් ගෙදර එන තුරු තාත්තා පුදුමාකාර නොඉවසිල්ලකින් හිටියේ
– විදේශීය සංගීතඥයන් එක්ක කරට කර වාදනයෙන් විස්කම් පෑ කෙනෙක් තමයි මගේ සීයා සාදිරිස් මාස්ටර්
– පැරණි නිර්මාණ අනාගතයට ගෙනයාමේ අවශ්‍යතාව නම් තාත්තාට තදින් ම තිබුණා තාත්තා නැතත් ඒ යුතුකම මම ඉටු කළ යුතුයි
– තාත්තාගේ හැමදේටම ළඟින්ම හිටියා මිස කවදාවත් මම තාත්තා සමඟ කරට කර ගියේ නැහැ
සිංහල සංගීතය ඉන්දියානු ගී අනුකරණයට නතු වූ යුගයක ශ්‍රී ලංකාවට ආවේණික වූ සංගීත ශෛලියක් ප්‍රචලිත කරවීමේ පුරෝගාමියා වූ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පසුගිය මැයි මස 30 වැනිදා වයස අවුරුදු 93ක් ආයු වළඳා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අභාවප්‍රාප්ත විය. සිංහල සිනමාව, වේදිකාව යුග කිහිපයක් පුරා සංගීත අධ්‍යක්ෂණයෙන් ද මියුරු සංගීතයෙන් ගායන ශිල්පීන් රැසකගේ ගී මිහිර ප්‍රකට කරවූවා වූ ද ඔහුගේ සත්සර ප්‍රතිභාව අනාගතයට රැගෙන යන්නට ඔහුගේම වදනින් කියන්නේ නම් “මගේ රත්තරන් පුතා” ඉන්නවා. ඔහු නමින් අග්‍රා ය. අග්‍රා ප්‍රේමරත්නයි. තාත්තාගේ අසීමිත ආදරයේත්, සංගීත උරුමයේත් වගකීම් කර දරන්නා ඔහුය.
අග්‍රා, තනිකමක් ද පාළුවක් ද පාඩුවක් ද දැනෙන්නේ…?
දිවි හිමියෙන් රැකගත් අග්‍රගණ්‍ය වස්තුවක් අහිමි වූවා වැනි බැරෑරුම් හැඟීමක් මැයි 30 වැනිදා පටන් මේ දක්වා මට දැනෙනවා. ඒ තරම්ම තාත්තායි මායි අතර විශාල බැඳීමක් තිබුණා. අපි ඔස්ට්‍රේලියාවට ඇවිත් වසර 16ක් වෙනවා. මුලින් හිටියේ මෙල්බන්වල. මෙල්බන්වලත් තාත්තා සංගීත පන්ති කළා. අපි සිඩ්නිවල පදිංචියට ආවාට පස්සේ සිඩ්නිවල පන්ති පටන් ගත්තා. මගේ ගෙදරම මම මියුසික් ස්ටූඩියෝවක් පටන් ගත්තා. මෙහේ සිටින ඇතැම් අයගේ ආරාධනාවලට අනුව තාත්තා ප්‍රසංගවලටත් දායක වුණා. තාත්තා මෙහේ සතුටින්ම හිටියේ දරුවන්ට සංගීතය ඉගැන්වීමේ කටයුතුවලදී සහ මගේ දරු දෙදෙනා සමඟ කාලය ගත කරමින්.
ඔබ සංගීතයට යොමු වන්නේ මොන කාලයේ සිට ද….?
වයලීනයක් තරම්වත් උස නැති කාලයේ පටන් මම තාත්තාගෙන් සංගීතය ඉගෙන ගත්තා. නමුත් මම සංගීතය ඉගෙන ගන්නවාට තාත්තා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මගේ බලවත් කැමැත්ත, උත්සාහය සහ පෙරැත්ත කිරීම නිසා අවසානයේදී තාත්තා ඊට විරුද්ධ නොවී සිටියා. පසු කාලයකදී මම ඉන්දියාවේ කලා ක්ෂේත්‍ර විශ්වවිද්‍යාල නිකේතනයෙන් දක්ෂිණ භාරතීය සංගීතය හා වීණා වාදනය, උත්තර භාරතීය හින්දුස්ථානී රාගධාරී සංගීතයත් හැදෑරුවා. මම මගේ ස්වතන්ත්‍ර සංගීත නිර්මාණ කටයුතුවලට පෙර මගේ තාත්තාගේ සංගීත අධ්‍යක්ෂණ කටයුතුවලදී සහාය සංගීත අධ්‍යක්ෂ හැටියට ඔහුගේ නිර්මාණවලට දායක වුණා. ඊට පස්සේ මාලනී බුලත්සිංහල මහත්මිය අවසන් වරට කළ “මොනාලිසා” සීඩී තැටියට ගීතයක් සංගීතවත් කරන්න මට අවස්ථාව ලැබුණා. මගේ ස්වතන්ත්‍ර නිර්මාණකරණයේ ආරම්භය එයයි. ඉන් පසුව වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයකට මම සංගීත අධ්‍යක්ෂණය කළා. උපාලි හේරත් ලියූ, අමරසිරි පීරිස් ගැයූ ‘වඩින්න වඩින්න පාවඩ දිගේ…’ ගීතය ලෝක කාන්තා දිනයක් වෙනුවෙන් මගේ සංගීත අධ්‍යක්ෂණයෙන් එළිදැක්වුණා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකිකයින් සම්බන්ධ වුණු ගී තැටි කිහිපයකට මම සංගීත නිර්මාණයෙන් දායක වුණා. එකක් ආචාර්ය මිත්‍ර ප්‍රනාන්දුගේ ‘සංඛ මධුර’ යි. අනෙක මහාචාර්ය මෛත්‍රී පනාගොඩගේ ‘හිරුමල හිනැහෙනවා’ ගී එකතුව යි. ‘හිරුමල හිනැහෙනවා’ ගී එකතුවට ගීත ගායනා කළේ ඔස්ට්‍රේලියාවේ මුතුහර ළමා සමාජයේ දරු පිරිසයි. මවු රටෙන් කිසි ම දෙයක් යොදා ගන්නෙ නැතුව ලෝකයේ පළමු වතාවට කෙරුණු සීඩී පටය මෙයයි. මගේ තාත්තා එහි ගීත සඳහා තනු නිර්මාණය කළා. ගීත රචනා කළේ මහාචාර්ය මෛත්‍රී පනාගොඩ මහතායි. එතුමාත් පදිංචි ව සිටින්නේ ඔස්ට්‍රේලියාවේයි. මීට වසර පහකට පමණ පෙර තාත්තා පන්ති කරන එක නතර කළා. එදා ඉඳලා තමයි තාත්තාගේ පන්ති මම කරන්න ගත්තේ. ඒ වන තුරු මම තාත්තාගේ වාදන සහායක හැටියටත්, තාත්තාගේ ගමන් ආරක්ෂකයා හැටියටත්, දුකට සැපට හැමදේටමත් ළඟින්ම හිටියා මිස තාත්තා සමඟ කරට කර ගියේ නැහැ. කොහොමටත් තාත්තා අපිව හැදුවෙත් ඒ විදිහට තමයි. සංගීතයත්, තාත්තාත් ගුරු කොට සෑම කල්හි ම මා අඩියක් පසුපසින් සිටියා. මට ඒක ආශීර්වාදයක්ම මිස අවැඩක් නම් සිදු වී නැහැ.
ඔස්ට්‍රේලියාවේ ඔබ ගත කරන ජීවිතය මොන වගේ ද…?
ඔස්ට්‍රේලියාවට ආව මුල් කාලේ විවිධ රැකියා කළා. දැන් මගේම ස්ටූඩියෝවක් පවත්වාගෙන යනවා. විවාහ වෙලා දරුවෝ ලබලා සතුටින් ඉන්නවා. මගේ දුව අංජලී දැන් වයස අවුරුදු දොළහයි. පුතා ආකාශ් අවුරුදු හතයි. ඒ දෙන්නා එක්ක මගේ තාත්තා පුදුම සතුටක් වින්දා. දරුවෝ දෙන්නාත් තාත්තා එක්ක හුරතල් වුණා. දරුවෝ පාසල් ගිහින් ගෙදර එන තුරු තාත්තා පුදුමාකාර නොඉවසිල්ලකින් හිටියේ. අන්තිම කාලේ තාත්තා එක්තැන් වුණා. එයාගේ හැම දෙයක්ම මගේ අතින්ම සිදු කළා. ඒ වගේම මගේ බිරිඳ අවන්තිටත් තාත්තා පුදුම ආදරයක් දැක්වූවා. අවන්තිත් එහෙමයි. තාත්තා එක්තැන් වුණාම තාත්තාගේ සාත්තු සේවා කටයුතු මාත් එක්ක අවන්තිත් හරි හරියට කළා. ඒ වගේ බිරිඳක් ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි. අපි හතරදෙනා කවදාවත් තාත්තාව තනි කළේ නැහැ. අවන්ති නීතිඥවරියක්. මම මගේම “ස්ටූඩියෝ අග්‍රා” ආරම්භ කරලා ඒකෙ වැඩ කරගෙන යන අතරේ සංගීත පන්ති පවත්වාගෙන යනවා. ඊට අමතර ව ඉදිරි නිර්මාණ කිහිපයක සංගීත අධ්‍යක්ෂණ කටයුතු සිදු කිරීමටත් ඇරයුම් ලැබී තිබෙනවා. ඉතින් සතුටින් ඒ හැමදෙයක්ම කරගෙන යනවා. මගේ දරුවෝ දෙන්නාත් මේ කලාව එක්කම තමයි ජීවත් වෙන්නේ.
ඔබගේ සීයා ගැන මතකය කෙබඳු ද…?
සාදිරිස් මාස්ටර් හා එමලින් නෝනා යුවළගේ මද්දුම පුතා තමයි මගේ තාත්තා. මගේ සීයා තමයි සාදිරිස් මාස්ටර් කියන්නේ. ඒ කියන්නේ මගේ තාත්තාගේ තාත්තා. එතුමා ඉතා කුඩා කාලයේ පටන් සංගීතයට යොමු වී තිබෙනවා. පසුව හින්දුස්ථානී සහ කර්ණාටක සංගීතය හදාරා ගායනය, වාදනය පමණක් නෙවෙයි රංගනයෙනුත් දස්කම් පා තිබෙනවා. එතුමාගේ අසාමාන්‍ය දක්ෂතාව නිසා ඒ යුගය බැබළවූ සංගීතඥයෙක් බවට එතුමා පත්වුණා. ඒ දක්ෂතාව සහ ඒ වන විට එතුමා ලබා තිබූ විශාල ජනප්‍රියත්වය නිසා නාට්‍ය ශිල්පීන් එතුමාට ඔවුන්ගේ නිර්මාණ සඳහා ආරාධනා කර තිබෙනවා. ජෝන් ද සිල්වා සූරීන්ගේ සිරිසඟබෝ, වෙස්සන්තර ආදි නාට්‍ය කිහිපයකම ප්‍රධාන චරිත මගේ සීයා නැතහොත් සාදිරිස් මාස්ටර් රඟපා තිබෙනවා. ටවර්හෝල් යුගයේ දැවැන්ත සංගීත ප්‍රසංගවලට සාදිරිස් මාස්ටර් නැතුවම බැරි වුණා. විශේෂයෙන් ම භාරතීය ගායන වාදන ශිල්පීන් ලංකාවට ඇවිත් දැවැත්ත ප්‍රසංග පවත්වන අවස්ථාවලදී විදේශීය සංගීතඥයින් එක්ක කරට කර වාදනයෙන් විස්කම් පෑ කෙනෙක් තමයි මගේ සීයා. මගේ තාත්තාට වැඩිමල් සහෝදරයෝ (අමරනාත් සහ කුලසේන) දෙන්නයි. ඒ දෙන්නා ම සංගීත ගුරුවරු හැටියට රජයේ පාසල්වල ඉගැන්නුවා. තාත්තාට බාල සහෝදරයෝ දෙන්නයි. විමල් ජේ. සාගර සහ විමල් ජේ. ශ්‍රියාරත්න යන ඒ දෙදෙනාත් ගැයුමට වැයුමට ශූරයි.
ඔබගේ ඥාති පරපුරම සංගීතයෙන් විස්කම් පෑ අය නිසා අඩුම තරමේ ඔබගේ පියාගේ නිර්මාණවත් සංරක්ෂණය කරලා අනාගතයට ඉතිරි කර දීමේ වගකීමක් හා යුතුකමක් ඔබට තියෙනවා නේද…?
ඇත්ත වශයෙන් ම මා ඒ වගකීම සහ යුතුකම හිස දරාගෙනයි සිටින්නේ. මගේ මීළඟ “ස්වරාංජලී” ප්‍රසංගය මම මගේ තාත්තාට උපහාරයක් විදිහටයි පවත්වන්නේ. තාත්තා නිර්මාණ විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඒ අතරින් ජනප්‍රිය වුණු ගීත බොහෝමයක් තියෙනවා. ඒ වගේම සංගීත ක්ෂේත්‍රයේ සන්ධිස්ථාන බවට පත් වුණු තාත්තාගේ නිර්මාණ තියෙනවා. ඒවායින් තෝරාගත් නිර්මාණ “ස්වරාංජලී” ප්‍රසංගයට මම ඉදිරිපත් කරනවා. රුක්මණී දේවි, සුනිල් ශාන්ත, පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව, වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක, නන්දා මාලිනී, මාලනී බුලත්සිංහල, චන්ද්‍රිකා සිරිවර්ධන, ගුණදාස කපුගේ, ලතා වල්පොළ වැනි ප්‍රවීණයින් බොහෝ දෙනෙකුට තාත්තා ගීත නිර්මාණය කර දී තිබෙනවා. ඒවා අතිශයින් ජනප්‍රිය වුණා.
ඒවායින් කිහිපයක් මතක් කරමු ද…?
‘නාඹර ගොයමට…, හිරු බිහිරියි සඳ ගොළුයි…, හංස රාණි ආදරේ.., සුපුන් සඳක් නැඟීලා…, අහසේ තරු ගණින්න වෙයි ද දන්නෙ නෑ.., ආලේ මිහිර පෙන්නා…, රුවන් තොරන් තනා.., රත්තරනින් රන් මාල නොබැන්දට…, කිරිකැටි පුතණුවනේ…, සඳ මඩලේ සිට තරු මඬලේ සිට, මාමී මාමිණි මා දෙයියා… වගේ ගීත රැසක් තියෙනවා. ඊට අමතරව තාත්තා දස්කොන්, රෝමියෝ ජුලියට් කතාවක් සහ හිතක පිපුණු මල් ඇතුළු සිංහල චිත්‍රපට 21ක සංගීත අධ්‍යක්ෂණය කළා. ඒ වගේම වේදිකා නිර්මාණ 30කට අධික සංඛ්‍යාවකත් සංගීත අධ්‍යක්ෂණය කළා. ඒ අතරින් හෙන්රි ජයසේනයන්ගේ ‘හුණුවටයේ කතාව’ අතිශය ඇගයුමට ලක් වුණා. එම නිර්මාණ අතරින් කිහිපයක් තෝරගෙන ‘ස්වරාංජලී’ ප්‍රසංගය කරන්න මම බලාපොරොත්තු වෙනවා.”
මේ වගේ දැවැන්ත කාර්යයක් සඳහා අතිවිශාල පිරිවැයක් දරන්න සිදු වෙනවා නේද…?
ඔව්. ඒ පිරිවැය මට තනිවම දරන්න අමාරුයි. මේ වන විටත් මගේ හිතවතුන් ඒ සඳහා අනුග්‍රාහකයින් සම්බන්ධ කර ගැනීමේ කටයුතු කරමින් සිටිනවා. ඒක හිතාගන්නත් අපහසු දැවැන්ත වියදමක් තමයි. මම හිතනවා තාත්තාගේ නිර්මාණවලට ආදරය කරන අය සහ ඒ නිර්මාණ අනාගතයට රැගෙන යාමේ මාගේ මේ වෑයමට බොහෝ දෙනෙක් මට සහාය දෙයි කියලා.
ඔබ සංගීතයේ තාක්ෂණික පර්යේෂකයෙක් හැටියට තාක්ෂණය සංගීත රසවින්දනයට බාධාවක් ලෙස අත්දකිනවා ද…?
මොන තාක්ෂණයක් දියුණු වෙලා ආවත් කනට බොරු කරන්න බැහැ. විද්‍යාත්මකව ගත්තත් අපට නින්ද යන තුරුම අවදියෙන් ඉන්න අපේ කන අපි අවධි වෙන්නත් කලින් අවදි වෙනවා. එහෙව් කනකට බොරු කරන්න බැහැ. රසය හරි හැටි හඳුනන කෙනෙකුට මිස මිල මුදල්, යන්ත්‍ර සූත්‍ර, නවීන තාක්ෂණය තිබුණාට සැබෑ නිර්මාණයක නියම රස විඳින්න බැහැ. අප තුළ කුසලතාවයක් නොමැතිව තාක්ෂණය යොදා ගැනීම නිෂ්ඵලයි. ඒක බොරුවක් බව දැනෙනවා. මම තාක්ෂණය යොදා ගන්නේ නිර්මාණවල අනන්‍යතාව සහ ප්‍රතිභාව සංරක්ෂණය කරමින් ඒවා ඉදිරියට ගෙන යාමට යි. තාත්තාගේ නිර්මාණ සහිතව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රසංගය ඒ සඳහා පාරාවළල්ලක් කර ගන්නයි මං මේ සැරසෙන්නේ. තාත්තා ජීවත්ව සිටින කාලේ තාත්තා සංගීත අධ්‍යක්ෂණය කළ නිර්මාණ අරගෙන ප්‍රසංගයක් කරන්න තාත්තාටත්, මටත් ලොකු උවමනාවක් තිබුණා. නමුත් මුල් ගී ගැයූ ඇතැම් අය ජීවිතයෙන් සමුගෙන තිබුණා. මුල් ගීත වෙනත් අයගෙන් ගායනා කිරීමේදී මුල් ශිල්පීන්ගේ හිත රිදෙයිදෝ කියලා තාත්තා ටිකක් අදිමදි කළා. නමුත් පැරණි නිර්මාණ අනාගතයට ගෙනයාමේ අවශ්‍යතාව නම් තාත්තාට තදින් ම තිබුණා. තාත්තා අද නැතත් ඒ යුතුකම මම ඉටු කළ යුතුයි.”
ඇයි ඔබ ගීත ගායනා නොකරන්නේ…? තාත්තාගේ ගීත ඔබට ගයන්න පුළුවන්නේ…?
ඒ කාලේ ඉඳලා එම තාත්තා මට ඒකට නම් බණිනවා. ගයන්න කිව්වාම මම නොගයා ඉන්නවා. ‘ඒක තමයි පව්කාරකම කියන්නේ…’ කියලා තාත්තා මට එතකොට බණිනවා. මම ගායනා කරන්න කැමතිම නැහැ. මගේම ගීතයක් කළ යුතුයි කියලා මං හිතනවා. අද ගීත අහලා විඳින අය අඩුයි. අද ගීත දකින්න තමයි හැමෝම කැමති. ඒ නිසා ගීතයක් පටිගත කරලා නවතින්න බැහැ. රූ පෙළගැස්මකුත් කළ යුතු වෙනවා. මගේ තාත්තා නිතර කියූ දෙයක් තිබුණා. ‘මවු කුසට පිළිසිඳ ගත්ත දා ඉඳලා දැනෙන දෙයක් තමයි හෘද ස්පන්ධනය. තාල ශාස්ත්‍රය තියෙන්නේ එතැනයි.’ කියා මගේ තාත්තා නිතර කිව්වා. ගායනයේදී වඩා ඒ හෘද ස්පන්ධනය වාදනයේදී මට හොඳින් දැනෙනවා. මා වාදනයට වඩාත් ප්‍රිය කරන්නේ ඒ නිසා වෙන්න ඇති.
තුෂාරී කළුබෝවිල