තවමත් ඉඳහිට දවසක කවුරුන් හෝ හමුවන්නට පැමිණේ. එහෙමත් නැති නම් දුරකතන ඇමතුමක් හෝ දෙයි. බොහෝවිට මේ මා හඳුනන අය නොවේ. බොහෝ කලකට පෙර එලෙස පැමිණි දුරකතන ඇමතුමකි මේ.
“පුළුවන්නම් මට රස්සාවක් හොයලා දෙන්න.“
ඒ ගැහැනියගේ හඬ ආයාචනාත්මකය.
“මට දරුවෙකුත් ඉන්නවා.හිතුවක්කාර විවාහයක් කර ගත්ත නිසා ගෙදර එක්ක සම්බන්ධයක් නෑ. මම හිතුවා එයා මට හරිම ආදරෙයි කියලා. ඒත් ඒකත් වැරදියි කියලා තේරුණේ මගේ දරුවට අවුරුදු පහක් විතර වුණාට පස්සේ. දාලා යන්න හිතුණ වාර අනන්තයි. ඒත් දරුවට තාත්තා කෙනෙක් නැති වෙනවනේ. ඒ නිසා මොන දුක විඳගෙන හරි ඉන්න හිතුවා. දැන් එයා අපි ගැන බලන්නේ නෑ. මගෙ දරුවට හොඳට උගන්න ගන්න ඕන. ඒකයි මම රස්සාවක් හොයන්නේ.“
ඇය එකල සිටියේ නගරයට ආසන්නවය. එනිසාම ඇයට රැකියාවක් සොයා දෙන්නට හැකි විය. වසරක් දෙකක් ගත විය. ඇය දිනෙක මා බලන්නට පැමිණියාය.
“මම රට යනවා . කියලා යන්නයි ආවේ.“
“එතකොට දරුවා?“
“දරුවා මගෙ අම්මා බලාගන්නම් කිව්වා. නංගිත් ඉන්නවානේ ගෙදර. මාස කිහිපයකට ඉස්සෙල්ලා තාත්තා මැරුණා. මම මළගෙදර ගියා.
දැන් ගෙදර අය මා එක්ක යාළුයි.“
“එතකොට මහත්තයා?“
එයා මාව දාලා ගියා. දරුව ගැනවත් එයාට උවමනාවක් තිබුණේ නැහැ. මට විශ්වාසයි මගෙ නංගි දරුවාව ආදරෙන් බලා ගන්න බව“ ඇය යන්නට ගියාය.
මේ සිදුවීම වී දැන් වසර ගණනාවකි. ඒ දරුවා දැන් යෞවනයෙකි. දැන් ඔවුහු සාර්ථක ජීවිතයක් ගත කරති. කටුක කාලයක් ගෙවා දැමු ඇය දැන් හිඳින්නේ සතුටිනි. ඇය පමණක් නොව මෙ මිහිපිට ජීවත් වන කවුරුත් සොයන්නේ සතුටය. දුකින් තැවෙමින්, විඳවමින් ජීවිත ගෙවන්නට කිසිවෙක් කැමැති නැත.
සතා සීපාවා වුවද කැමැති සතුටින් හිඳින්නටය. ගේ කුරුල්ලෙකුට ආදේශ කරමින් ගොඩනැඟූ මේ ගීත නිර්මාණය ද බෙහෙවින් අරුත් බරය. නිවෙස් ආශ්‍රිතව ජීවත් වන ගේ කුරුල්ලන්ට හිඳන්නට බොහෝවිට මුට්ටියක් මුනින් අතට නවා එහි ළගින්නට ඉඩ සලසා දෙන්නේ ද නිවෙස් හිමියෝමය. මේ එවන් කුරුලු පියෙකු හා පුතෙකු ඇසුරු කරගෙන ලියැවුණ අලුත්ම ගීතයකි.
ගීතය හරි අපූරුය. ඒ අපූරු බව ගෙන එන්නේ ගායන ශිල්පියාගේ කට හඬත් සංගීතයත් එක්තැන් වූ විටය. ගායකයාගේ කටහඬත් සංගීතයත් තිබූ පමණින් ගීතයක් සාර්ථකය යැයි අපට කිව හැකිද? මන්ද ගී පද රචනය එහි වචන භාවිතය, මෙන්ම ගීතයේ අරුත ද ඒ සාර්ථකත්වයට හේතු සාධක වේ. එවන් අපූරු ගීතයකි අද ගීයක අරුම සඳහා තෝරා ගැනෙන්නේ.
මේ ගීතය ගයන්නේ ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිශාන්ත එරන්දක විසිනි. ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ ප්‍රවීණ සංගීත ශිල්පී නාලක අංජන කුමාර විසිනි. ගී පද රචනා කරන්නේ ගාල්ල, බද්දේගම, වැයිහේන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති බන්දුසිරි ජයලත් රූපසිංහ විසිනි.
“හිස් අහසට විසි කරලා
වාසගම අපේ
ගේ කුරුලු ගෙදර හැරදා
අපි ඉගිල යමු පුතේ “
ගීතයේ අත්දැකීම පිළිබඳ ඔහු කියූ කතාවය මේ.
“දවසක් මම පාසල ඉවර වෙලා නිවෙසට යනවා. එදා ටිකක් හැන්දෑවෙලා තිබුණේ. එක පාරට මහ වැස්සක් කඩා හැළෙනවා. අයිනකට වෙන්න තැනක් නැහැ. මම එක තැනකදි දැක්කා උණබම්බු දෙක තුනක් දාලා තියෙන වැටක් ගහලා ඊට මඳක් එහායින් තියෙන ගෙයක්. කරන්නම දෙයක් නැති තැන මම මෝටර් සයිකලයක් අරගෙන ඒ වත්තට ගියා. ගිහිල්ලා නිවෙස අයිනට වෙලා හිටියා වැස්සෙන් බේරෙන්න. වැස්සේ අඩුවකුත් නැහැ. ඒ ගෙදර අය මාව දැක්කෙත් නැහැ. ඊට මොහොකතට පස්සේ මට ඇහෙනවා ඒ ගෙදර සැමියයි බිරියයි අතර රණ්ඩුවෙන සද්දයක්. ඔවුන් දෙන්නා නුසුදුසු වචන කියා ගනිමින් බැණ ගන්නවා. මම ඒකට කන්දෙන්න ගියෙත් නැහැ අවට බලමින් ඉන්න මම ඒ මොහොතේ දකිනවා ගෙයි මුදුන් වහලය පැත්තේ ඉඳලා ඉගිලිලා යන ගේ කුරුල්ලෙක්ව. ගේ කුරුල්ලෝ කියන්නේ අපි දන්න කාලේ ඉඳලම මිනිස්සු එක්ක සහජීවනයෙන් වාසය කරන කුරුලු විශේෂයක්. ඔන්න ඔය සිද්ධිය කාලයක් තිස්සේ මගෙ හිතේ තිබුණා. එදා ගැමි ගෙවල්වල ගේ කුරුල්ලෝ නිවැසියන් සමඟ සහජීවනයෙන් වාසය කළා. මෙන්න මේ අදහස තමයි මගේ හිතේ කාලයක් තිස්සේ තිබිලා පද පෙළක් වුණේ. අද වන විට පවුල් ආරවුල් කියන්නේ බොහෝම සංකීර්ණ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය තමයි මම ලිව්වේ.“
බන්දුසිරි සමාජයට අමතන්නේ ගේ කුරුල්ලෙකු හරහාය. නිවැසියන්ගේ ආරවුල දකින ගේ කුරුලු පියා සිය පුතුට කියන්නේ ඒ නිවෙස හැරදා වෙනත් තැනකට යමු කියාය. නැතිනම් සිය පුතු ද මේ ආරවුල් දැක සිය ජීවිතය වනසා ගනිවී යැයි යන බිය ගේ කුරුලු පියාගේ සිතේ ඇති නිසාය.
“සැක පුලිඟු මැඳුර අවුලා
නිදි යහන ගිනි ගනී
ඒ පුලිඟු අපේ සුව යහනට
ඒවි මගෙ පුතේ“
දරුවෙකුගේ අනාගතය සැලසුම් කළ හැක්කේ ඒ දරුවා ගුණයහපත් දරුවකු කළ හැක්කේ මවට හා පියාටය. ගේ කුරුලු පියා ඒ සුදානම් වන්නේ සිය පැටවා යහපතක් සමාජකට ගෙන යන්නටය.
ඉතාම කෙටි පද පෙළකින් ගැඹුරු අර්ථයක් ගෙන ඒමට තරම් ගී පද රචක බන්දුසිරිගේ වචන භාවිතයට හැකියාව ලැබී ඇත.
හිස් අහසට විසි කරලා
වාසගම අපේ
ගේ කුරුලු ගෙදර හැරදා
අපි ඉගිල යමු පුතේ….
සැක පුලිඟු මැඳුර අවුලා
නිදි යහන ගිනි ගනී
ඒ පුලිඟු අපේ සුව යහනට
ඒවි මගෙ පුතේ
රුදු වදන් සුළං හමලා
දුක් කඳුළු බිඳු වහී
ඒ වදන් නුඹේ පුංචි සිතට
බරයි මගෙ පුතේ
ගායනය – ක්‍රිශාන්ත එරන්දක
පද රචනය – බන්දුසිරි ජයලත් රූපසිංහ
සංගීතය – නාලක අංජන කුමාර