Home » ක්‍රිකට් පිටියේ මහා ධනවතා අදටත් සචින්

ක්‍රිකට් පිටියේ මහා ධනවතා අදටත් සචින්

by Mahesh Lakehouse
July 6, 2024 12:30 am 0 comment

විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු කාගෙත් කතාබහට ලක් වූයේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ මුදල් කන්දරාවක් ලෝක ශූර ඉන්දියාවට ලැබීම ගැනය. එවැනි මුදල් තොගයක් ලැබීමත්, එය ලෝක ශූර ක්‍රීඩකයන් අතර බෙදී යෑමත් සමඟ ලොව වඩාත්ම ධනවත් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර තවදුරටත් ඉදිරියට යෑමට ක්‍රීඩකයන් කිහිපදෙනකුට අවස්ථාව ලැබී තිබේ. ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් තරු බවට පත්වී සිටින විරාට් කෝලි සහ රෝහිත් ෂර්මා වැනි ක්‍රීඩකයන් ලෝක ක්‍රිකට් පිටියේ මහා ධනවතුන් බවට පත්වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට අමෙරිකාවට යෑමටත් පෙර සිටමය. ලෝක ශූරයන් වීමෙන් පසු ක්‍රීඩකයන් අතර බෙදී යන කෝටි ගණනක මුදල් තෑගි ඔවුනොවුන්ගේ වත්කම තවත් ඉහළ නැංවූවද, එතෙක් මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වඩාත්ම ධනවත් ක්‍රිකට් ක්‍රීඩකයාට කිට්ටු කිරීමට එය ප්‍රමාණවත් නොවන බව ඉන්දියාවේම මාධ්‍ය ඊයේ පෙරේදා වාර්තා කළේය.  

ලෝක ක්‍රිකට් පිටියේ මහා ධනවතා අන් කිසිවකු හෝ නොව ඉන්දියාවේ ලිට්ල් මාස්ටර් සචින් තෙන්ඩුල්කර් ය. ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් දශකයකටත් වැඩිය. එහෙත් අදටත් ලෝක ක්‍රිකට් පිටියේ වැඩිම ටෙස්ට් ලකුණුලාභියාගේ සහ වැඩිම එක්දින ලකුණුලාභියාගේ වාර්තාව ඔහුගේ වාර්තා මල්ලේ ඉතිරිව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම තරගයේ වීරයා සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයාගේ වාර්තාව ද සමඟ ය. ඉන්දීය ජනතාව දේවත්වයෙන් පුදන සචින්ගේ ක්‍රිකට් වාර්තා නොබිඳ පවතින්නා සේම ඔහුගේ වත්කම් වාර්තාව ද අබිබවා යෑමට මෙතෙක් කිසිවකු සමත් වී නැතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

දැනට 51 හැවිරිදි වියෙහි පසුවන සචින්ගේ වත්කම ඉන්දීය මුදලින් රුපියල් කෝටි 1250කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි හාරදහස් පන්සියයකටත් වැඩිය. අමෙරිකානු ඩොලර්වලින් නම් මිලියන 165කි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමෙන් පසු පළමුවරට අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක මුදලකට ලෝක ප්‍රකට වර්ල්ඩ් ටෙල් ක්‍රීඩා සමාගම සමඟ වසර 5ක ගිවිසුමකට අත්සන් තැබීමේ සිට බ්‍රිතාන්‍ය වෙළෙඳ දැන්වීම් සමාගමක් සමඟ ඩොලර් මිලියන 9.6ක පස් අවුරුදු ගිවිසුමකට අත්සන් තැබීම දක්වාත්, ඉන් අනතුරුව තවත් ලෝක ප්‍රකට ක්‍රීඩා ආම්පන්න සහ ක්‍රීඩා ඇඟලුම් සමාගම් රැසක් සමඟ ඩොලර් මිලියන ගණනාවකට ගිවිසුම්ගත වීම දක්වා ද සචින්ගේ වත්කම අහස උසට ගියේ බලා සිටිද්දීමය. එය අද වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ධනවත්ම ක්‍රීඩකයා බවට පත්වීම දක්වා දුරදිග ගිය ගිවිසුම්මාලාවකි.

මේ වන විට ලෝක ක්‍රිකට් පිටියේ නොම්මර එකේ පිතිකරුවා බවට පත් වී සිටින විරාට් කෝලි ද එවැනිම ධනවතකු බවට වාර්තා පළවූවද, ඔහුට වඩා තවත් ක්‍රිකට් ධනවතකු ඉන්දියාවේ සිටී. ඔහු සචින්ගේ තරමටම ඉන්දීය ජනතාව දේවත්වයෙන් පුදන මහේන්ද්‍ර සිං දෝනිය. චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායකයා ලෙස වසර ගණනාවක් අයිපීඑල් පිටියේ ජීවමාන චරිතයක් බවට පත්වූ දෝනි ද සචින් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී වසර ගණනාවක් ගත වී තිබුණ ද අදටත් ලෝක ක්‍රිකට් පිටියේ වත්කම අතින් දෙවැනි වන්නේ සචින්ට පමණි. ඔහුගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 1040කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි තුන්දහස් අටසියයකට අධිකය. අමෙරිකානු ඩොලර්වලින් මැන බලන්නේ නම් මිලියන 130කි. ලෝක ප්‍රකට ක්‍රීඩා ආම්පන්න සහ ඇඟලුම් සමාගම් රැසක සන්නාම තානාපතිවරයකු ලෙස ඩොලර් මිටි ගණන් උපයා ගත් දෝනි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති එන්. ශ්‍රීනිවාසන්ගේ ඉන්ඩියා සිමෙන්ට්ස් සමාගමේ උපසභාපතිවරයකු බව ජාත්‍යන්තර වශයෙන් දන්නේ අතළොස්සක් පමණි.

විරාට් කෝලි ලෝක ක්‍රිකට් ධනවතුන්ගේ ලැයිස්තුවේ පසුවන්නේ තුන්වැනි තැන ය. ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි20 පිටියේ ප්‍රබලතම පිතිකරුවා ලෙස ලෝක පූජිත වූ කෝලි මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ඔහුගේ පිතිහරඹයේ තරම තවදුරටත් ලෝකයාට පෙන්නුම් කරමිනි. එය ලෝක ශූරයන් බවට පත්වීමෙන් පසු ලැබුණු ඩොලර් කන්දරාවට අමතරව තවදුරටත් සිය වත්කම ඉහළ දමා ගැනීමට මං විවර ගැනීමකි. අද වන විට විරාට් කෝලිගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 1020ක් වන අතර, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි තුන්දහස් හත්සියයකට වැඩිය. අමෙරිකානු ඩොලර්වලින් නම් මිලියන 128කට ටිකක් අඩුය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මහා ධනවතුන් අතර ඊළඟට සිටින්නේ ද ඉන්දියා‍ෙවහිම ක්‍රීඩකයෙකි. වසර ගණනාවකට පෙර ක්‍රීඩාවෙන් සමුගත් මේ පිතිකරුවා කලක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළ සෞරව් ගැන්ගුලි ය. බෙංගාලයේ කුමාරයා ලෙස කාගෙත් ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ගන්ගුලිගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 79.25ක් වන අතර එය ඉන්දීය මුදලින් රුපියල් කෝටි 634කි. ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි දෙදහස් පන්සියයකට ආසන්න මුදලකි.

අමෙරිකානු ඩොලර් මිලියන 60ක වත්කමකට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එක්දහස් අටසියයක පමණ) හිමිකම් කියන ඔස්ට්‍රේලියාවේ හිටපු නායක රිකී පොන්ටින් ලෝක ක්‍රිකට් ධනවතුන් අතර පස්වැනි තැන පසුවෙයි. මීට වසර දෙකකට පෙර හදිසියේම මෙලොවින් සමුගත් ඔස්ට්‍රේලියාවේ සුපිරි දඟපන්දු යවන්නා වූ ෂේන් වෝන් එම ලැයිස්තුවේ 6 වැනි තැන පසුවන අතර, ඔහු අමෙරිකානු ඩොලර් මිලියන 51.12කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එක්දහස් හයසියයකට ආසන්න මුදලක්) හිමිකම් කීවේය. මෑත ඉතිහාසයේ විස්සයි20 තරග බිම සිය පිත්තෙන් දිග්විජය කළ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල් අමෙරිකානු ඩොලර් මිලියන 46.87කට හිමිකම් කියමින් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එක්දහස් හාරසියයක පමණ) ක්‍රිකට් ධනවතුන්ගේ ලැයිස්තුවේ 7 වැනි තැන පසුවන අතර, හිටපු ඉන්දීය ක්‍රීඩක විරෙන්දර් ‍ෙශවාග් ඩොලර් මිලියන 41.5ක වත්කමකට හිමිකම් කියමින් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එක්දහස් තුන්සියයකට ආසන්න මුදලක්) 8 වැනි තැන පසුවෙයි.

පසුගිය වසරේ ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලානය දක්වා සිය කණ්ඩායම මෙහෙය වූ ඔස්ට්‍රේලියානු පිලේ නායක පැට් කමින්ස්ගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 40ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එක්දහස් දෙසීයයක පමණ) වන අතර, ඔහු පසුවන්නේ 9 වැනි තැනය. එතෙක් මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මහා ධනවතුන් අතර දසවැනි තැන පසුවන්නේ ඉන්දියාවෙන් බිහි වූ තවත් සුපිරි ක්‍රීඩකයකු වූ යුව්රාජ් සිං ය. ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් 33.25ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දහසකට වැඩිය.

මේ දසදෙනාගේ ලැයිස්තුවට මීළඟට එක්වීමට නියමිතව සිටින්නේ ඉන්දීය නායක රෝහිත් ෂර්මාය. මේ වන විට ඔහුගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 240කට වැඩිය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි නවසියයකට ආසන්න මුදලක් වන අතර, අමෙරිකානු ඩොලර්වලින් නම් මිලියන 30කි. ලෝක ප්‍රකට අඩිඩාස්, සියැට් ඇතුළු වෙළෙඳ සන්නාම රැසක් සමඟ ගිවිසුම්ගතව සිටින ෂර්මා ඉන්දීය ක්‍රිකට් පිටියේ වේගවත්ම මුදල් උපයන්නා බවට පත්වී ඇති අතර, හෙට අනිද්දා වන විට ලෝක ක්‍රිකට් පිටියේ මහා ධනවතුන්ගේ දසදෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වනු ඇත.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division