– ගම්පහ දිසාවේ ප්‍රදේශ රැසකින් රුපියල් ලක්ෂ 80ක් වටිනා ස්කූටි 5ක් ත්‍රිරෝද රථ 6ක් උස්සලා
– සැකකරුවන්ගේ නිවෙස පිටුපස වළ දමා තිබූ අංක තහඩු රැසක් සොයා ගනී
– කෑලි ගලවන්නේ දොම්පේ තැනකදී
ත්‍රිරෝද රථ සොරකම් කරන, කොල්ලකන කල්ලි කණ්ඩායම් මෙන්ම එම සොරකම් ද සංඛ්‍යාත්මකව ක්‍රමයෙන් වර්ධනය වන බවක් පෙනෙන්නට ඇති බව පොලිසිය නිරීක්ෂණය කරන්නේ මීට සැලකිය යුතු කාලයක සිටය. ත්‍රිරෝද රථ මෙන්ම ස්කූටි වර්ගයේ මෝටර් බයිසිකල් ද මේ කල්ලි කණ්ඩායම්වල ඉලක්කය වී ඇති බව පොලිසිය සොයා ගන්නේ ඒ සම්බන්ධව රටේ පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාවේ වර්ධනයක් පෙනෙන්නට ඇති නිසාය.
ත්‍රිරෝද රථ සොරකම් කරන හෝ පැහැර ගන්නා කල්ලි කණ්ඩායම්වල අරමුණු තුනක් ඇති බවද පොලිසිය සිදුකරන ලද නිරීක්ෂණවලින් හෙළි විය. පළමු අරමුණ එම ත්‍රිරෝද රථ පැහැරගෙන ගොස් ඒවා සඳහාම සැදීපැහැදී සිටින සංවිධානාත්මක පුද්ගලයන්ට භාර දීමයි. එම පුද්ගලයන් ඒවා කෑලිවලට ගලවා වෙන් වශයෙන් අමතර කොටස් ලෙස විකිණීමයි. දෙවැන්න වර්ණය, චැසි, එන්ජින්, අංක වෙනස් කර සොරකම් කරන ලද ප්‍රදේශවලින් දුරබැහැරට ගෙන ගොස් ව්‍යාජ ලේඛන සාදා විවිධ පුද්ගලයන්ට අඩු මිලට විකිණීමයි.
තෙවැන්න එම ත්‍රිරෝද රථයෙන් ගොස් විවිධ අපරාධ සිදුකර රථය නැවත කොතැනක හෝ දමා යාමයි. තවත් කාරණාවක් නම් කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩවී අතරමඟදී ත්‍රිරෝද රථ රියැදුරා සතුව ඇති මිල මුදල් ආභරණ කොල්ලකා සමහර අවස්ථාවලදී ත්‍රිරෝද රථ රියැදුරාටත් තුවාල කර පලා යෑමයි.
එවැනි ප්‍රධාන සිදුවීම් දෙකක් වැල්ලම්පිටිය පොලිසිය සහ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසින් සිදුකරන ලද විමර්ශන දෙකකදී හෙළිකර ගන්නා ලද අතර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එහි පොලිස් නිලධරයන්ට හැකි වූයේ පසුගියදාය.
මේ අතර පසුගිය ජූනි 02 වැනිදා මෝටර් බයිසිකලයකින් පැමිණි දෙදෙනෙකු බැලුම්මහර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සොරකම් කර පලා ගොස් ඇති බවට යක්කල පොලිසියට පැමිණිල්ලක් ලැබිණි.
යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ ඇතුළු කණ්ඩායමක් මේ ගැන සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකදී හෙළි වන්නේ අදාළ ත්‍රිරෝද රථය වැලිවේරියේ පිහිටි ත්‍රිරෝද රථ අමතර කොටස් අලෙවි කරන ස්ථානයකට සහ ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයකට රුපියල් ලක්ෂයකට විකුණා ඇති බවකි.
එහි ගිය පොලිස් නිලධරයෝ ත්‍රිරෝද රථ අමතර කොටස් අලෙවිහලේ අයිතිකරු සහ ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයේ අයිතිකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යන්නේ ත්‍රිරෝද රථය සොරකම් කරගෙන අදාළ ස්ථානවලට ගෙන ආ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහාය.
පොලිස් නිලධාරින් මේ සම්බන්ධව සිදුකරන ලද දීර්ඝ විමර්ශනයේදී ත්‍රිරෝද රථය සොරකමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් පුද්ගලයකු අත්අඩංගුවට ගන්නේ වැලිවේරිය දෙමළගම ප්‍රදේශයේදීය. ඔහු මෝටර් බයිසිකලයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට හෙළිවන්නේ එහිදීය.
එම සැකකරු සන්තකයේ තිබී මෙරටදී නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් සහ තියුණු පිහියක් ද සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය.
එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග අනුව රඳවාගෙන ප්‍රශ්න කරද්දී ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් ගණනාවකදී මේ සැකකරු ඇතුළු තවත් සිව්දෙනෙක් ඉතා සංවිධානාත්මකව කලක් තිස්සේ සිදුකරන ලද ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සොරකම් ගණනාවක තොරතුරු හෙළි කරගැනීමට යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ ඇතුළු කණ්ඩායමට හැකි විය.
යක්කල, වැලිවේරිය, නවගමුව, සපුගස්කන්ද, කැලණිය සහ ගම්පහ ප්‍රදේශවලින් මේ කල්ලිය ත්‍රිරෝද රථ 6ක් සහ මෝටර් බයිසිකල් 5ක් සොරකම් කර තිබුණු අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 80 ඉක්මවයි.
කැලණිය, සපුගස්කන්ද සහ නවගමුව පොලිස් වසම්වලට අයත් ප්‍රදේශවලදි සොරකම් කරන ලද ත්‍රිරෝද රථ තුනක් සහ යක්කල පොලිස් වසමේදී සොරකම් කරන ලද මෝටර් බයිසිකලයක් සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය. දෙල්ගොඩදී අල්ලා ගන්නා ලද සැකකරුවකුගෙන් ප්‍රශ්න කරද්දී ගම්පහ සහ නිට්ටඹුව පොලිස් වසම්වලින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 2ක් සොයා ගැනීමට හැකි විය. ප්‍රධාන සැකකරුගේ නිවෙසේ පිටුපස වළ දමා තිබුණු වාහන අංක තහඩු රැසක් ද පොලිස් නිලධාරින් විසින් සොයා ගන්නා ලදි.
මේ සොරකම් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුට අමතරව සෙසු සිව්දෙනා ද කොටුකර ගැනීමට පොලිසියට හැකි වන්නේ එලෙස සිදුකරන ලද විමර්ශනවලදීය.
මොවුන් සොරකම් කරන ලද ත්‍රිරෝද සහ මෝටර් බයිසිකල් දොම්පේ ප්‍රදේශයේ යම් ස්ථානයකදී කැබලිවලට ගලවා ඒවා වැලිවේරිය ප්‍රදේශයේ ගරාජයකට ගෙනැවිත් අමතර කොටස් ලෙස අලෙවි කරන බවද විමර්ශනයේදී අනාවරණය විය. සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න, බස්නාහිර පළාත් උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, ගම්පහ පොලිස් අධිකාරි II චින්තක පීරිස් යන නිලධාරින්ගේ අධීක්ෂණය සහ මඟපෙන්වීම අනුව යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාෂ්වර, උප පොලිස් පරීක්ෂක අජිතනන්ද, සැරයන්වරුන් වන (47826) බාලසූරිය, (67767) හිරංග, කොස්තාපල්වරුන් වන (68536) රණසිංහ, (77930) ගයාන්, (89116) බෝපෙගෙදර, (25337) ප්‍රදීප්, කාන්තා පොලිස් කොස්තාපල් (6811) ගයනි යන නිලධාරින් හා නිලධාරිනියන් වැටලීම සිදුකරන ලදි.
ඡායාරූප – ගම්පහ සිසිල ගුණතිලක
දීපාල් සමරසේකර