Home » මෙහෙයුමට මාස 7 යි: ජනතාවගේ බිය සැක නැති කළ යුක්තිය

මෙහෙයුමට මාස 7 යි: ජනතාවගේ බිය සැක නැති කළ යුක්තිය

by thanushika
July 13, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් මෙරට ජන සමාජයට මහත් පිළිලයකි. විශේෂයෙන් ම මත්කුඩු භාවිත කරන්නන් බහුල වීම හොරකම්, කොල්ලකෑම්, මිනීමැරුම් මෙන්ම පවුල් දිවියේ ගැටුම් හෙවත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ද ඉහළ යෑමට බෙහෙවින් බලපා තිබේ. 1982 වසරේ මෙරටින් පළමු හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමඟ ගෙවුණු වසර 42ක පමණ කාලයකදී හෙරොයින්, අයිස් ඇතුළු සියලුම ආකාරයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ලක්ෂ පහක පමණ සංඛ්‍යාවක් මෙරට සිටින බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ දත්තවලින් පිළිබිඹු වන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙළි කළේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදීය.

ඒසා ප්‍රමාණයක් රට තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සිටියදී ‘ගෝල්ඩන් ට්‍රයන්ගල්‘ (Golden Triangle) හෙවත් මියන්මාරය, තායිලන්තය, ලාඕසය මෙන්ම ‘ගෝල්ඩන් ක්‍රෙසන්ට්‘ (Golden Crecent) හෙවත් ඉරානය, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය යන මුළු ලොවටම හෙරොයින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරමින් එම රටවල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් විසින් ලොවටම මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම මාර්ග තුනෙන් එක් මාර්ගයක ශ්‍රී ලංකාව පිහිටීම නිසා මෙරටට කිලෝ ගණනින් මත්ද්‍රව්‍ය සංවිධානාත්මකව ගෙනඒම ද වසර ගණනාවක සිටම සිදුවන්නකි.

එලෙස ලෝකයටම මත්ද්‍රව්‍ය බෙදාහරින මාර්ගයක ශ්‍රී ලංකාව පිහිටීම මෙරට තුළ මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රචලිත වීමට ද මහත් රුකුලක් වී තිබේ.

ඩුබායි ඇතුළු රටවල සිටින මෙරට මෙන්ම විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ප්‍රධානින් මෙරට සිටින ජාවාරම්කරුවන් සමඟ එක්ව සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල සාමාජිකයන්ගේ ‘අපරාධ සංස්කෘතිය‘ ද නිමා කිරීමේ අටියෙන් ඇරැඹුණු යුක්තිය මෙහෙයුමට මේ වන විට මාස හයක් ගතවී අවසානය. මේ වන විටත් යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ගේ උපදෙස් මත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් නවදෙනෙකුගේ අධීක්ෂණයෙන් ‘අපරාධ බියෙන් තොරව මිනිසුන්ට ජීවත්වීමේ පරිසරයක් ඇති කිරීම‘ මැයෙන් රටපුරා යුක්තිය මෙහෙයුම ගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා ඇරැඹුණේ අසූපන් දහසක් වන සියලුම පොලිස් නිලධාරින් අඛණ්ඩව දිවා රෑ නොබලා ඊට කැප වෙමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අමතරව යුක්තිය මෙහෙයුම ඔස්සේ පොලිස් නිලධාරින් විසින් පසුගිය කාලයේ මහා පරිමාණයෙන් සිදුවූ බැංකු කොල්ලකෑම්, රන් ආභරණ වෙළෙඳසල් කොල්ලකෑම්, ඒටීඑම් යන්ත්‍ර කඩා මුදල් සොරා ගැනීම් ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධ රැසක සුලමුල අනාවරණය කරගත්තේ ඊට අදාළ සැකකරුවන් පමණක් නොව කොල්ලකෑ රන් සහ මුදල් තොගද සොයා ගනිමිනි. තවද යුක්තිය මෙහෙයුමට දිවා රෑ කැපවී සිටින පොලිස් නිලධාරින් අපරාධ සිදුකොට නීතියෙන් වසන්ව කට්ටි පනිමින් වසර ගණන් සැඟවී සිටි අපරාධකාරයන් බොහෝ දෙනෙකු ද අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබා දීමට සමත් වීම ද කැපී පෙනෙන සිද්ධියකි. ඊට අමතරව රටපුරා සිටින හරක් හොරුන්, නිධන් හොරුන්, කුලී ඝාතකයන්, ‘ස්පා‘ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදුණු අය ද බොහෝ පිරිසක් යුක්තිය මෙහෙයුම ඔස්සේ නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසියට හැකි විය.

ගතවූ මාස හයක පමණ කාලය තුළදී යුක්තිය මෙහෙයුමේ සාර්ථකත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍ය හමුවේ පසුගියදා කරුණු අනාවරණය කරන ලද අතර එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය මාස හයක කාලය තුළදී යුක්තිය මෙහෙයුම ඔස්සේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඬලීමෙන් පොලිසිය ඉහළ සාර්ථකත්වයක් ලබාගත් බව හෙළි කෙළේ සංඛ්‍යා ලේඛන ද සමඟිනි.

යුක්තිය මෙහෙයුමේ සාර්ථකත්වය තව තවත් ඉහළ නංවා ගැනීමේ අරමුණින් අධිවේගී යතුරුපැදි සහිතව පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන්ද ඇතුළුව විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් ස්ථාපිත කරමින් දකුණු සහ බස්නාහිර පළාත්වල සිටින හඳුනාගත් පාතාල කණ්ඩායම් පසුපස හඹා යාම ද ඇරැඹුණේ ඉකුත් …….. වැනිදා සිටය. එම කණ්ඩායම් 20 ස්ථාපිත කිරීමත් සමඟ පාතාල කණ්ඩායම්වල අපරාධ බොහොමයක් අඩුවී ඇති බව ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද අවධාරණය කර සිටියේය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ කරුණු අනාවරණයට අනුව යුක්තිය මෙහෙයුම ආරම්භයට පෙර මුළු රටපුරාම හෙරොයින්, අයිස් ඇතුළු මෙරට තුළ භාවිත මත්ද්‍රව්‍ය ජාවාරම ජීවිකාව කරගත් සංඛ්‍යාව 5979ක් ලෙස හඳුනාගෙන තිබිණි. එය 1982 වසරේ පොලිසියට හසුවූ ප්‍රථම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සිට වසර 42ක පමණ කාලයකදී පරම්පරා දෙකක පමණ කාලයක් ගෙවී යද්දී මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ ප්‍රචලිත වෙමින් ඉන් කෙතරම් සංඛ්‍යාවක් යැපුණේ ද යන්න මනා ලෙස පිළිබිඹු වන්නකි.

‘යුක්තිය‘ ආරම්භයට පෙර හඳුනාගෙන සිටි එම 5979ක් වූ මත් ජාවාරමුන් කණ්ඩායම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණනින් මුදල් උපයමින් යානවාහන, වතුපිටිද සන්තකයේ තබා ගනිමින් අති සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කරමින් සිටි පිරිසකි. එම කණ්ඩායමෙන් අති බහුතරයක් දෙනා නැතිනම් 2255ක සංඛ්‍යාවක් ජීවත්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය ප්‍රමුඛකොට බස්නාහිර පළාත තුළයි.

යුක්තිය මෙහෙයුම ආරම්භයත් සමඟ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පෙන්වා දුන් පරිදි මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමටනම් කළ යුතු ප්‍රධානතම කාර්යභාරය වූයේ මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එන ජාවාරම්කාර කණ්ඩායම කොටු කරගැනීමයි. ඒ අනුව යුක්තිය ආරම්භයත් සමඟ මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන එන පිරිස පමණක් නොව විදෙස් රටවල සිට මත්ද්‍රව්‍ය මෙරටට එවන පුද්ගලයන් ද කොටුකර ගැනීමට සැලැසුම් සකස් කෙරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස නාවික හමුදාව සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව බුද්ධි අංශ ද සිදුකරන බුද්ධි මෙහෙයුම්වලින් ලද තොරතුරු ඔස්සේ සිදුකළ වැටලීම්වලදී පසුගිය කාලය පුරා මත්ද්‍රව්‍ය කිලෝ දෙසීය, තුන්සීය ගණනින් මෙරටට එවන ලද පුද්ගලයන් ද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය.

මෙරට තුළ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් යුක්තිය මෙහෙයුමට පෙර හඳුනාගෙන සිටි සංඛ්‍යාව වූ 5979 දෙනාගෙන් ඉකුත් මාස හය ගතවෙද්දී 5449ක් අත්අඩංගුවට ගැනීමට සමත් වීම ද යුක්තිය මෙහෙයුමේ සාර්ථක බව පිළිබිඹු කරවන්නක් බවද පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. “ලංකාවේ පොලිස් ස්ථාන 607ක් තිබෙනවා. අපි ඒ සෑම පොලිස් ස්ථානයකම පොලිස් වසමේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කවුද යන්න නම් ලැයිස්තුවක් සකස් කළා. ඒක කළේ යුක්තිය ආරම්භයට පෙරයි. පසුව ඒ නම් ලැයිස්තුව අපි අදාළ පොලිස් වසමේ ඕඅයිසී මහත්තයාට ලබා දුන්නා. අපි පොලිස් වසමක සිටින එවැනි මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ නම් ලැයිස්තුවක් ලබාගත්තේ බුද්ධි අංශ සහ මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින්ගේ බුද්ධි තොරතුරු මඟින්. මේ වන විට යුක්තිය මෙහෙයුමට මාස හයක් ගතවෙද්දී 5979ක් වූ මේ ජාවාරම්කරුවන්ගෙන් 5449ක් අත්අඩංගුවට ගෙන අවසානයි… තව අපට අත්අඩංගුවට ගැනීමට සිටින්නේ 530ක් වැනි සංඛ්‍යාවක්… යැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එහිදී පෙන්වා දුන්නේය. අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිශතය සියයට 91%ක් බවද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව මත්ද්‍රව්‍ය රටේ ගම් මට්ටමින්, බිම් මට්ටමෙන් පැහැදිලි ලෙසටම දුලබ වී ඇති බව ඉන් ගම්‍ය වන බවත් පොලිස්පතිවරයා අවධාරණය කළේය.

ඒ අතර එම ලැයිස්තුවේ සිටින සෙසු පිරිස වන 530ක් අත්අඩංගුවට ගැනීමට ද මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතරේ බුද්ධි අංශ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්ගේ බුද්ධි තොරතුරු ඔස්සේ හඳුනාගත් ජාවාරමුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට බන්ධනාගාරගත කිරීමෙන් නැවත ඇප මත පැමිණ ජාවාරමේ යෙදෙනවුන්ද ගතවූ මාස හය තුළදී 709 දෙනෙක් අත්අඩංගුවටගත් බව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. වැඩි වෙහෙසක් නොදරා යහමින් මුදල් හම්බ කරමින් සුඛෝපභෝගී දිවියක් ගතකිරීමට සඳහා නැවත නැවත පෙළඹෙන මත්ද්‍රව්‍ය ජාවාරමට එලෙස නැවත පෙළඹුණු බුද්ධි අංශ හඳුනාගත් එම 709 දෙනාට අමතරව පසුගිය මාස හය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමට පෙළඹුණු නව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 1079 දෙනෙක්ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය එක්ව හඳුනාගෙන ඇත. ඒ අනුව 1788ක් වූ එම පිරිස ද ඉදිරි මාස කීපය තුළදී අත්අඩංගුවට ගැනීමට යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

පසුගිය මාස හය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ අය මෙන්ම හෙරොයින් සන්තකයේ තබාගත් අය ඇතුළුව 152,072ක පිරිසක් පසුගිය මාස හය තුළදී යුක්තිය මෙහෙයුම ඔස්සේ අත්අඩංගුවට ගැනිණි. එම පිරිසෙන් 5448 දෙනෙකු මත්ද්‍රව්‍ය නාශක පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් මත්ද්‍රව්‍ය ජාලාවන්හි සුලමුල අනාවරණය කරගැනීමට පොලිස් නිලධාරින් කටයුතු කරමින් සිටී. එසේම අත්අඩංගුවට ගත් මුළු පිරිසෙන් 3765 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කෙරෙද්දී 837 දෙනෙකු නීති විරෝධීව වත්කම් උපයාගත් ආකාරය විමර්ශනයට ද ලක් කෙරෙමින් පවතී.

මේ මස 4 වැනිදා සිට යුක්තිය මෙහෙයුම නව ආරකින් අඛණ්ඩ ලෙස ආරම්භ කිරීමත් සමඟ අත්අඩංගුවට ගන්නා පිරිසෙන් 25%ක සංඛ්‍යාවකගේ දේපළ රාජසන්තක කිරීමට වත්කම් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස්පතිවරයා පවසා සිටියේය. ඒ අනුව ගම් මට්ටමේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළුව නිති විරෝධී ලෙස වත්කම් උපයන සියලු දෙනාගේ යතුරුපැදියේ, ත්‍රිරෝද රථයේ සිට සියලු දේ රාජ සන්තක කිරීමට ද ලබන 4 වැනිදා ඇරැඹෙන යුක්තිය මෙහෙයුම මඟින් සිදු ‍ෙකරේ.

ගෙවුණු මාස හය තුළදී යුක්තිය මෙහෙයුම මඟින් හෙරොයින් කිලෝග්‍රෑම් 417ක්ද, අයිස් කිලෝග්‍රෑම් 437ක්ද කොකේන් කිලෝග්‍රෑම් 14ක්ද ගංජා කිලෝග්‍රෑම් 4618ක්ද හෂීස් කිලෝග්‍රෑම් 12ක්ද, මත්පෙති 725494ක්ද වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1443ක් අත්අඩංගුවට ගෙන තිබුණේ වැටලීම් 157287ක් සිදු කරමිනි. එම වැටලීම් අතර හෙරොයින් වැටලීම් 53869කි. අයිස් වැටලීම් 40398ක්ද කොකේන් වැටලීම් 56ක් සහ ගංජා වැටලීම් 54920ක් සිදුකර තිබිණි. ඒ අනුව යුක්තිය මෙහෙයුම ඔස්සේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 19,075ක් බවද පොලිසිය නිකුත් කළ වාර්තාවලින් පිළිබිඹු වේ. මීට අමතරව නීති විරෝධි ලෙස ජාවාරම්කරුවන් උපයාගෙන ඇති වත්කම් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පොලිසිය භාරයට ගෙන රාජ සන්තක කිරීමට ද කටයුතු කර තිබේ. ඒ අනුව ජාවාරම්කරුවන් සතු වාහන, ඉඩම්, ස්වර්ණාභරණ ඇතුළු රුපියල් මිලියන 1425ක වත්කම් මේ වන විට රාජ සන්තක කෙරිණි.

යුක්තිය මෙහෙයුමේ බලපෑම නිසා 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස හය තුළදී සමස්ත අපරාධවල අඩුවීම 24%ක ප්‍රමාණයකි. 2023 වසරේ මුල් මාස හය තුළදී ගෙවල් බිඳුම්, දේපළ සොරකම්, වාහන සහ යතුරුපැදි සොරකම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ 2055ක් සිදුවෙද්දී මේ වසරේ මුල් මාස හය තුළදී එම ප්‍රමාණය 1562 දක්වා අඩු වී ඇත. 24%ක අඩුවීම මේ වසර අවසානය වන විට අපරාධවල අඩුවීම සියයට 50 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ගන්නා හොඳම ක්‍රියාමාර්ගය නගර, ගම්දනව්වල මත්ද්‍රව්‍ය පානය කරමින් රස්තියාදුවේ නිරත වන තරුණයන් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීම බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය.

එසේම යුක්තිය මෙහෙයුම ඔස්සේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනයට ද යුක්තිය මෙහෙයුමට සමගාමීව මේ වන විට ‘සුවසාර කැදැල්ල‘ වැඩ සටහන ක්‍රියාත්මක වේ. පොලිස් වසම් 602ක ක්‍රියාත්මක ප්‍රජා පාදක මධ්‍යස්ථාන 256කදී මේ වන විට 1302ක් පුනරුත්ථාපනය කර අවසන්ය. ඉදිරියේදී පුනරුත්ථාපනය කිරීමට නියමිත 12800ක පිරිස පුනරුත්ථාපනයේදී ප්‍රදේශයේ ආගමික ප්‍රජාවගේ මැදිහත් වීමෙන් පුනරුත්ථාපනය වන්නන්ගේ සියලුම ඉඳුම් හිටුම් සඳහා වැය වන බරපැන සලසා ගැනීමට ද පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන තිබෙනුයේ එම ආගමික ප්‍රජාව සමඟ මනා අවබෝධයකින් කටයුතු කරමිනි.

එසේම පාසල් අවට මත්ද්‍රව්‍ය භාවිතාව නිසා සිය දරුවන් පාසල් යැවීමට ඇතැම් දෙමාපියන් දැක්වූ බිය සැක දුරු කරමින් යුක්තිය මෙහෙයුමට සමගාමීව ‘පවුර සංසදය‘ පිහිටුවීමට ද පසුගිය මාස හය තුළදී කටයුතු කෙරිණි. එමඟින් එලෙස මත්ද්‍රව්‍ය අවධානය සහිත පාසල් වටා පවුර සංසද රටපුරා 5227ක් පිහිටුවා පාසල් අවට සුරක්ෂිත කර ඇත. ඒ අනුව පසුගිය කාලයේ පාසල් අවට සිදුවූ මත්පෙති, මත්ද්‍රව්‍ය, මත්ගුළි, බාබුල් වැනි මත් ජාවාරම් මේ වන විට මුළුමනින්ම තුරන් කිරීමට ද පසුගිය මාස හය තුළදී යුක්තිය මෙහෙයුම ඔස්සේ කටයුතු කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය.

ඒ අනුව රට තුළ තිබෙන මත්ද්‍රව්‍ය සුලබතාව අඩු කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයා තිබෙන දේපළ රාජ සන්තකකොට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වළක්වා ගැනීම, මත්ද්‍රව්‍ය නිසා පාසල් දරුවන්ට තිබෙන අවදානම වළකා ගැනීම මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින තරුණයන් පුනරුත්ථාපනය කිරීම අරමුණුකොට යුක්තිය මෙහෙයුම නව ආරකින් ඇරැඹීම පසුගිය 4 වැනිදා අලුයම සිට සිදු විය. ඒ අනුව යුක්තිය මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා මහජනතාව ද ඊට අවැසි තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division