– කුළුබඩු මුවාවෙන් රට රටවලට මීට කලිනුත් කොකේන් ප්‍රවාහනය කරලා
– කටුනායක ගුවන් තොටේදී කොටුවූ පිලිපීන ජාතික ගණකාධිකාරිවරිය සන්තකයේ කෝටි 20ක් වටිනා කොකේන් කිලෝ 2ක්
– මෙරට ගැනුම්කරු ගැනත් සොයයි
ඇය පිලිපීනයේ මැනිලා නුවර වාසය කරන 47 හැවිරිදි ගණකාධිකාරිවරියකි. පසුගිය දිනෙක ඇය හමුවීමට පැමිණි ඇගේ යෙහෙළියක ඇයට කදිම යෝජනාවක් රැගෙන ආවාය. ඉන් කියැවුණේ මෙම ගණකාධිකාරිවරියට දින 05කට අධික කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අවස්ථාවක් උදා වී ඇති බවයි.
මෙහිදී එම සංචාරය ඇය සාර්ථකව නිමා කළ පසු ඇයට අමෙරිකානු ඩොලර් 1,000ක මුදලක් හිමි වන බව ද ඇගේ යෙහෙළිය ඇයට අවධාරණය කළාය.
මීට අමතරව ශ්‍රී ලංකාවට පැමිණ ආපසු යාම සඳහා කටාර් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබාදීමටත් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඇයට දින 05ක කාලයක් ආහාරපානාදිය සමඟ ශ්‍රී ලංකාවේ තරු පන්තියේ හෝටල් වෙත නවාතැන් ගැනීමේ පහසුකම් ද ඇයට හිමි වන බව ඇගේ යෙහෙළිය ඇයට දන්වා තිබිණි.
මෙම යෝජනාවට එකහෙළා එකඟ වීමට මෙම ගණකාධිකාරීවරිය දෙවරක් නොසිතුවාය. ඒ අනුව සිය චාරිකාව පටන් ගැනීම සඳහා පිලිපීනයේ මැනිලා නුවර සිට ඉතියෝපියාවේ අඩිස්අබාබා අගනුවර වෙත ඇය පැමිණියාය. එහිදී ඇයට මිරිස් කුඩු, කහ කුඩු සහ පාන් පිටි බහාලු ඇසුරුම් තුනක් සමඟ තවත් සුදු පැහැති කිසියම් ද්‍රව්‍යයක් අඩංගු ඇසුරුම් තුනක්ද දැමු ගමන්මල්ලක් මේ සංචාරය සංවිධානය කළ අය ලබා දුන් අතර, ඒවා ඇය ශ්‍රී ලංකාවේ තරු පංතියේ හෝටලයක නැවතී සිටින අවස්ථාවක කිසියම් පුද්ගලයෙකු පැමිණ ඇගෙන් ලබාගෙන යයි යනුවෙන් ඇයට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබිණි.
ඒ අනුව ඇය ඉතියෝපියාවේ අඩිස්අබාබා අගනුවර සිට මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණියාය. ඉන් පසුව එතැන් සිට පසුගිය මැයි 21 වැනිදා පස්වරු 04. 30ට කටාර් ගුවන් සේවයේ කිව්. ආර්. – 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
ගුවන් තොටුපොළ වෙත පැමිණ සිය ගුවන් නිෂ්කාශන කටයුතු නිමා කර මඳ දුරක් ගමන් කරමින් ගුවන් තොටුපොළ පිටවීමට සූදානම් වෙමින් සිටියදී ඇය වෙත පැමිණි ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් ඇය අත්අඩංගුවට ගෙන ඇය විසින් රැගෙන ආ ගමන්මලු පරීක්ෂා කර බලන්නේ ක්ෂණිකවය.
ඒ වනවිටත් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ඇගේ මෙම ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ බුද්ධි තොරතුරු ජාත්‍යන්තර රේගු විමර්ශන අංශ විසින් ඉතාමත් නිවැරැදිව ලබා දී තිබිණි. එහිදී ඇයට දී තිබූ උපදෙස් පරිදි ඇය සිය ගමන් මල්ලේ කුළුබඩු තොගයක් ඇති බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් නොමඟ යැවීමට ප්‍රයත්න දරමින් සිටියාය.
එහෙත් ශ්‍රී ලංකා රේගු නිලධරයෝ ඉතාමත් නිවැරැදිව කුළුබඩු සහ ඒ ඇසුරුම් සමීපයෙහි තිබූ කොකේන් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමට සමත් වී සිටියෝය. ඒ සඳහා ඔවුන් ක්ෂණික, විද්‍යාත්මක පරීක්ෂණ ක්‍රම භාවිත කර තිබුණේ පිලිපීන සහකාර ගණකාධිකාරීවරිය මවිතයට පත් කරමිනි.
ඒ අනුව ඇගේ ගමන්මල්ල තුළ රුපියල් කෝටි විස්සක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 861ක් තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඒවා සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී මෙම කතගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ වැඩිදුර තොරතුරු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඇගෙන් විමසද්දී ඇය මේ ආකාරයට කුළුබඩු සමඟ කොකේන් මත්ද්‍රව්‍ය ඉන්දියාවට සහ මැලේසියාවට සාර්ථකව රැගෙන ගොස් භාර දී ඇති බව අනාවරණය කළාය.
ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගත් මෙම පිලිපීන ජාතික සහකාර ගණකාධිකාරීවරිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබිණි.
කටුනායක - ටී.කේ.ජී. කපිල