– කොළඹ සිට ගෙනෙන හෙරොයින් පස්සර නිවෙසේදී පැකට් කර බදුල්ලේදී ඊසි කෑෂ් ක්‍රමයට විකුණලා
– විමර්ශන බදුල්ල ඩී සී ඩී බීයෙන්
– පොලිස් උපාය දූතයාට පස්සර පාරෙදී විකුණන්න හදද්දී අල්ලයි
කොළඹ සිට බදුල්ලට හොර රහසේ ගෙනැවිත් බදුල්ල නගරයේ ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක වසර ගණනක් පුරා නිරතව සිටි අනියම් යුවළක් අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට හැකි වූයේ පසුගියදාය.
යට ඇඳුමේ සහ තිසර පට තුළ හෙරොයින් සඟවාගෙන ඊසි කෑෂ් ක්‍රමයට මෙම අනියම් යුවළ ඉතාමත් සූක්ෂම අයුරින් මෙම හෙරොයින් ජාවාරම සිදු කර ගෙන ගොස් තිබුණේ කාලයක සිටය.
බදුල්ල කණුපැලැල්ල, බෝගහඇල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු සහ හාලිඇළ, හපුවත්ත, මොරගහවෙල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක මෙසේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණේ දෙදෙනා සන්තකයේ තිබූ ජංගම දුරකතන හතරක්, හෙරොයින් මිලිග්‍රෑම් 15760ක් සහ මුදල් රුපියල් 22200ක් සමඟය.
බදුල්ල නගරය අවට ප්‍රදේශයේ ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරම ජයටම සිදු වන බවට බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්තට සිය පෞද්ගලික ඔත්තුකරුවෙකු මාර්ගයෙන් තොරතුරක් ලැබිණි.
එම තොරතුරුකරුගෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට වැඩිදුරටත් දැනගැනීමට ලැබුණේ මෙම හෙරොයින් ජාවාරම අඹුසැමි යුවළක් විසින් සිදු කරගෙන යන බවටය.
ඒ අනුව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත සිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ වැඩ බලන ස්ථානාධිපතිනී කාන්තා පොලිස් පරීක්ෂිකා නිලූෂි පතිරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායම කැඳවා මෙම හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත්, එම වැටලීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
එම උපදෙස් මත කාන්තා පොලිස් පරීක්ෂිකා නිලූෂි පතිරණ සහ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායම මේ මෙහෙයුම සඳහා ලකලෑස්ති වෙමින් අවශ්‍ය විස්තර සොයමින් සිටින අතරේ එහි නිලධාරියකු මෙම ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරතව සිටි ජාවාරම්කරුගේ දුරකතන අංකය හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකුගෙන් ලබාගැනීමට සමත් විය.
ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායම හෙරොයින් මිලදී ගැනීමට උපායදූතයකු යොදවා අදාළ වැටලීමට ලකලෑස්ති වී ජාවාරම්කරුට ඇමතුමක් ගනිමින් “මට කෑල්ලක් ඕනේ“ කියා කියන්නේ සැකකරු රවටමිනි. ඒ සමඟම ජාවාරම්කරු ‘ඊසි කෑෂ් ක්‍රමයට බඩු දෙන්නේ’ කියා කියන අතරේම පොලිස් උපායදූතයා, ‘අනේ මට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් දාන්න බෑ. මට ඉක්මනට කෑල්ලක් ඕනි.’ යැයි ජාවාරම්කරුට ඇවිටිලි කරන්නේ කුඩු සික්කාරයකු ලෙස රඟපාමිනි. පසුව ජාවාරම්කරු පොලිස් උපාය දූතයාට කියන්නේ ‘හරි මම අරන් එන්නම්. කෑල්ලක් රුපියල් 5000යි. පස්සර පාරේ 7 කණුවට එන්න යැයි’ දැනුම් දෙමිනි.
ඒ අනුව පොලිස් කණ්ඩායම උපායදූතයාට මුදල් අතට දී අදාළ ස්ථානයට පිටත්කර අදාළ ස්ථානයේ සැඟවී සිටින්නේ ජාවාරම්කරුවන් අතටම අල්ලා ගැනීම සඳහාය. ජාවාරම්කරු පස්සර, බදුල්ල බස්රථයක පැමිණ අදාළ ස්ථානයට ගොස් උපාය දූතයාට හෙරොයින් අලෙවි කිරීමේදී රැකවලෙහි නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගන්නේ මිනිත්තු කීපයක් ඇතුළතදීය.
පසුව සැකකරු පරීක්ෂාවට ලක්කිරීමේදී ඔහු ඇඳ සිටි යට ඇඳුම තුළ සඟවාගෙන සිටි විකිණීමට සූදානම් කර තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 7400ක්, මුදල් රුපියල් 10200ක්, පොලිසිය අත්අඩංගුවට ගෙන සැකකරුගෙන් ප්‍රශ්න කරන්නේ මේ ජාවාරම පිළිබඳව තවත් තොරතුරු සොයා ගැනීම සඳහාය.
තමන් සිය අනියම් බිරිය සමඟ එක්වී කොළඹ ගොස් ගැනුම්කරුවන්ගෙන් හෙරොයින් ග්‍රෑම් එකක් රුපියල් 22000, 25000ක් වැනි මුදලකට මිලදීගෙන බස්රථයේ පස්සරට රැගෙනවිත් කුඩා පැකට් කර පැකට්ටුවක් රුපියල් 5000 බැගින් මුදලට බදුල්ල නගරයේදී ‘ඊසි කෑෂ් ක්‍රමයට’ විකුණන බව සැකකරු පොලිස් නිලධාරින්ට හෙළි කරන්නේ ඉන් අනතුරුවය.
සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායම වහා පස්සර බලා පිටත්ව ගොස් පස්සර හෙළගහලන්ද ඉහළ කොටසේ ජාවාරම්කරුගේ නිවස පරීක්ෂා කරන්නේ එහි හෙරොයින් මත්ද්‍රව්‍ය ඇත්දැයි සොයා බැලීම සඳහාය. ඒ වනවිටත් ජාවාරම්කරුගේ බිරිය කුඩා දරුවා සමඟ නිවසේ සිටි අතර කාන්තා පොලිස් නිලධාරීන් විසින් එම කාන්තාව දැඩි ලෙස පරික්ෂාවට ලක් කිරීමේදී ඇය ඇඳ සිටි තිසර පටයේ සඟවාගෙන සිටි විකිණීමට සූදානම් කර තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 8360ක්, මුදල් රුපියල් 12000ක් ජංගම දුරකතන හතරක් සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකිවිය.
මෙම කාන්තාව විවාහ වී දරුවන් දෙදෙනකු සිටින බවත්, එම විවාහක සැමියා අතහැර මෙම ජාවාරම්කරු සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යමින් හෙරොයින් ජාවාරමේ නිරතව සිටින අතර, ජාවාරම්කරු සිය විවාහක බිරිය දරුවන් සිවුදෙනා අතහැර මැය සමඟ වසර ගණනක් පුරා අනියම් සබඳතාවක් පවත්වාගෙන යමින් පස්සර ප්‍රදේශයේ කුලියට ගත් නිවෙසක සිට ඊසි කෑෂ් ක්‍රමයට මෙසේ හෙරොයින් විකිණීමේ ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරන්නේ ඔය අතරය.
මොවුන් දෙදෙනා ඊසි කෑෂ් ක්‍රමයට ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබාගෙන පසුව පස්සර සිට එන අතරතුරේ 7 කණුව, 3 කණුව, 2 කණුව ප්‍රදේශයේ ගැනුම්කරුවනට විදුලි කණු, දුරකතන කණුවල හෙරොයින් පැකට් අලවා තබමින් මෙසේ හෙරොයින් බෙදා හරිමින් බදුල්ල නගරයට පැමිණ නගරයේ හෙරොයින් ජාවාරම සිදුකරන, බවත් ජාවාරම්කාරිය බදුල්ල නගරයට පැමිණ දෙයියන්නේවෙල, අමුණුවැල්පිටිය, හපුවත්ත බෝගහමඩිත්ත 2 කණුව හරහා බදුල්ලට යමින් මෙසේ හොර රහසේ හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවත් ඔවුන් ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය වී තිබේ.
පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගත් මෙම අඹුසැමියන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත්ද සිල්වා නියම කළේය.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි පී. එම්. ජයරත්නගේ අධීක්ෂණයෙන් බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ වැඩබලන ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂිකා නිලූෂි පතිරණගේ මෙහෙයවීමෙන් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති සැරයන් (54100) තිලකරත්න, (46592) සුජීව, (824) බස්නායක, (74503) සමීර, (12507) විජේරත්න, (85557) වීරසිංහ, (14695) රත්නායක, කාන්තා පොලිස් සැරයන් (5067) දමයන්ති යන නිලධාරින් නිලධාරිනියන් පරීක්ෂණ කටයුතු සිදු කළහ.
සී. ගමගේ - සොරණාතොට සමූහ