– පොලිසියට කොටුවන්නේ බඩල්ගම හොරකඳවිලදී මාල දෙකක් කඩාගෙන යද්දී මෝටර් බයිසිකලය ලොරියක ගැටිලා
– කොල්ලකෑම් 9ක් හෙළි වෙයි
“දෙන්නෙක් මෝටර් සයිකලයකින් ආවා. බෙල්ලට කඩුවක් තිබ්බා. මරනවා කිව්වා. මගේ මාලේ කඩා ගත්තා. අනේ මම ගාමන්ට් ගිහිල්ලා දුක් විඳලා හම්බ කරලා. ඒක ගත්තේ“ යැයි තරුණියක දිවුලපිටිය පොලිසිය හමුවේ හඬා වැටෙමින් පැවැසුවේ මීට සති කිහිපයකට ඉහතදීය.
මේ ආකාරයේ අඳෝනා සමඟ කාන්තාවන් මෙන්ම පිරිමින්ද සැලකිය යුතු පිරිසක් ඔවුන්ට අයත් රන්මාල කොල්ලකරුවන් විසින් පැහැරගෙන යාමේ සිදුවීම් සම්බන්ධයෙන් ගම්පහ දිසාවේ පොලිසි රැසකටම පැමිණිලිකර තිබුණි. මේ සියල්ලම එකම මාදිලියකටම සිදුවූ කොල්ලකෑම් විය.
දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමාල් ලියනගේ මේ පැමිණිලි සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන විශේෂ සැලසුමක් සකස් කරනු ලැබීය. ඒ අනුව සිදුවීමක් වූ විගස අපරාධකරුවන් හඹා යාම එහි මුල් පියවරක් විය.
දිවුලපිටිය වසමේ මහමඟ ගමන් ගන්නා ඇතැම් කාන්තාවන් සහ පිරිමින්ගේ බෙල්ලට කඩුවක් තබා මරණ බිය ඇතිකර රන් ආභරණ කොල්ලකෑමේ නිරත වුණු කල්ලියකට සම්බන්ධ රන් ආභරණ වෙළෙඳසල් හිමියකු, කාන්තාවක ඇතුළු සිවුදෙනකු එසේ කොල්ලකෑ රන් ආභරණ කිහිපයක්, කඩු දෙකක් සහ අත්බෝම්බයක් ද සමඟ පසුගිය 29දා අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලිසියට හැකි වූයේ එම වැඩපිළිවෙළ සාර්ථකත්වයට පත් කරමිනි.
කලක් තිස්සේ මරඳගහමුල, දූනගහ අවට ප්‍රදේශවල අතුරු මාර්ගවල පවා ගමන් ගත් කාන්තාවන්ගේ රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධීන් පිළිබඳ වාර්තා වීම නිසා දිවුලපිටිය පොලිසිය ඒ ගැන දැඩි විමසිල්ලෙන් සිටියදී ‘පල්ලියපිටිය’ ප්‍රදේශයේදී මේ කොල්ලකරුවන් රන් දම්වැල් දෙකක් කඩාගෙන පලාගිය බවට පොලිසියට දැනගන්නට ලැබිණි. පොලිස් නිලධාරීන් පිරිසක් කොල්ලකරුවන් පලා ගිය යතුරුපැදිය ගමන්ගත් මාර්ගය ඔස්සේ ලුහුබැඳ යන්නේ ක්ෂණිකවය.
පොලිස් කණ්ඩායම කොල්ලකරුවන්ගේ යතුරුපැදිය හඹා යද්දී බඩල්ගම පොලිස් වසමේ හොරකඳවිල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය ලොරියක ගැටී පෙරළුණු අවස්ථාවේ ප්‍රදේශවාසී ජනතාවගේ ද සහායෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි විය. යතුරුපැදියටද බරපතළ ලෙස හානි සිදුවී තිබිණි.
ඔවුන් කඩා ගත් රන්මාල මෙන්ම කාන්තාවන් බියගැන්වීමට යොදාගත් කඩු දෙකක් ද සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගනු ලැබිණි. සැකකරුවන් හැඳ සිටි කලිසම් සාක්කුවල තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කීපයක් ද සොයා ගැනීමට පොලිසියට හැකි විය. සැකකරුවන් ගමන්ගත් යතුරුපැදියද පොලිස් භාරයට ගනු ලැබිණි.
මෙසේ අත්අඩංගුවට ගැනුණේ මිනුවන්ගොඩ, හොරම්පැල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මීරිගම, හල්පෙ පදිංචිකරුවකු සහ ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව එක් සැකකරුවකු හොරම්පැල්ල තාවකාලික පදිංචි නිවසේ වැසිකිළිය අසල සඟවා තිබූ අත්බෝම්බයක් ද සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා මෙසේ කාන්තාවන්ගෙන් කොල්ලකන රන් දම්වැල් හොරම්පැල්ලේ තාවකාලිකව පදිංචිව සිටින සැකකරු විසින් සහ හල්පේ පදිංචිව සිටින ඔහුගේ නැඟණිය විසින් දිවුලපිටිය ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණා ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව අදාළ වෙළෙඳ ආයතනයේ හිමිකරුවකු ද අත්අඩංගුවට ගනු ලැබිණි. සැකකරුවන් විසින් ගෙනවිත් දුන් බව කියන සොරකම් දෙකකට අදාළ උණු කරන ලද රත්රන් ප්‍රමාණයක්ද එම වෙළෙඳසලේ හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිසියට සොයා ගැනීමට හැකි වී ඇත.
ගත වූ කාලසීමාවේදී සිදු වූ රන් භාණ්ඩ කොල්ලකෑම් නවයකට මෙම සැකකරුවන් සම්බන්ධ වී ඇති බවට පොලිසිය කරුණු හෙළිකරගෙන තිබේ.
එම සියලු රන් ආභරණ දිවුලපිටියේ වෙළෙඳ ආයතනයට විකුණූ බව ඔවුන් හෙළිකර ඇතත් එම වෙළෙඳ ආයතන හිමිකාර සැකකරු පවසා ඇත්තේ සිද්ධීන් දෙකක රන් ආභරණ පමණක් තමන් මිලදී ගත් බවකි. මෙම සැකකරුවන් විසින් කොල්ලකා විකුණන ලද අනෙකුත් කොල්ලකෑම්වලට අදාළ රන්ආභරණ සොයා ගැනීම සඳහා ප්‍රධාන සැකකරුවන් දෙදෙනා රඳවා ගැනීමේ නියෝග යටතේ තබා තවදුරටත් ප්‍රශ්න කරන බව පොලිසිය කියයි.
සෙසු සැකකරු සහ සැකකාරිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබිණි.
මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ උපදෙස් හා සහකාර පොලිස් අධිකාරි ඒ. එදිරිසිංහගේ මෙහෙයවීම යටතේ දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමාල් ලියනගේ, පොලිස් සැරයන් 32650 කුමාරතිලක, කොස්තාපල්වරුන් වන 72419 සඳරුවන්, 102390 දේශාන් ,102513දිමුතු සහ කාන්තා පොලිස් කොස්තාපල් 6793 ශාලිකා යන නිලධාරීහු මෙම සිදුවීම් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වති.
එම්. පුෂ්පකුමාර කොටදෙනියාව සමූහ