– ගෙවල් බිඳින ‘පැණියා’ ලක්ෂ 12ක් වටිනා සොර බඩු සමඟ කොටුවෙයි
– මාල කඩන දෙන්නා රන් මාල කොල්ලකෑම් ගණනාවකට හවුල්
මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටින මත්ලෝලීන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නොකරන දෙයක් නැත. මාර්ගයේ ගමන් කරන කතුන්ගේ ගෙල බැඳි රන් මාල කඩාගෙන පලා යාම මත්ලෝලී අපරාධකරුවන් සිදු කරන ප්‍රධානම අපරාධයකි. සොරකම් කරගන්නා මෝටර් බයිසිකල්වලින් ගොස් මහමඟ ගමන් කරන කතුන්ගේ රන්මාල කඩාගන්නා කල්ලි කණ්ඩායම් රැසක් ගැන තොරතුරු පසුගියදා වාර්තා වූ අතර එම අපරාධකරුවන්ගෙන් වැඩිදෙනෙක් පොලිසියට කොටුවීමද සුවිශේෂිය.
මීට ටික දවසකට පෙර කිරිබත්ගොඩ ප්‍රදේශයේදී කතකගේ ගෙල බැඳි රන්මාලය කඩාගෙන මෝටර් සයිකලයකින් පලාගිය කොල්ලකරුවෙක් එඬේරමුල්ලේදී ලයිට් කණුවක හැපී බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරන ලද පුවතක් ද පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි.
රන්මාල කොල්ලකෑම් තරම්ම නැතත් ස්කූටි, මෝටර් බයිසිකල් සොරකම් කිරීම, ගෙවල් බිඳ භාණ්ඩ සොරා ගැනීම, කාන්තා අත්බෑග්, ජංගම දුරකතන පැහැර ගැනීම, ත්‍රිරෝද රථ සොරකමද බහුල වශයෙන් සිදු කරන්නේ මත්ලෝලීන් බව පොලිසිය හෙළිකරගෙන ඇත්තේ සිදු කරන ලද විමර්ශනවලදීය. මෙවැනි සොරකම් කොල්ලකෑම් සිදුකර පොලිසියට කොටුවන අයගෙන් 99% ක්ම කුමන හෝ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහිවී සිටින අය වෙති.
රන්මාල කොල්ලකෑම්, කාන්තා අත්බෑග් පැහැරගැනීම්, ගෙවල් බිඳුම්, ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සොරකම් ඇතුළු අපරාධ මර්දනය සඳහා විශේෂයෙන් දිවා සහ රාත්‍රී කාලයේ පොලිසිය මෙහෙයුම්වල නිරත වෙයි. යුක්තිය මෙහෙයුමට සමගාමීව අපරාධ මර්දන ක්රියාවලියද සිදුවන්නේ පැය 24 පුරාමය.
කඩවත පොලිස් ස්ථානයේ නිලධරයෝද පැය 24 පුරාම යුක්තිය මෙහෙයුමට සමගාමීව අපරාධ මර්දන ක්‍රියාවලියේ නිරතව සිටින්නේ එම පොලිස්බල ප්‍රදේශයේ සිදුවන අපරාධ ප්‍රමාණය අවමකර ගැනීම සඳහාය. සී.අයි.ඩී. පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් කඩවත මංකඩ පාරේ ව්‍යාපාරික කතක් බියගන්වා කප්පම් ලබා ගැනීමට තැත් කළ කට්ටඬියකු කඩවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂ් ප්‍රනාන්දු සහ උප පොලිස් පරීක්ෂක අභිෂේක් කරුණාතිලක යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් පසුගියදා අත්අඩංගුවට ගන්නේ යුක්තිය මෙහෙයුමට අදාළ විමර්ශනවල නිරතව සිටින අතරය. කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර හෙට්ටිආරච්චිගේ උපදෙස් පරිදි කඩවත පොලිස්බල ප්‍රදේශයේදී පසුගියදා සිදු කරන ලද වැටලීම්වලදී ගණිකා මධ්‍යස්ථාන කීපයක් වටලා සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
කඩවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උප පරීක්ෂක අභිෂේක් කරුණාතිලක ඇතුළු කණ්ඩායම පසුගියදා ‘අත ගසන්නේ’ එම ප්‍රදේශය කැලඹූ අපරාධකරුවකු අල්ලා ගැනීම සඳහා සිදු ෙකරෙන විමර්ශනයකටය.
කැලණිය සහ කඩවත කොට්ඨාසයට අයත් බියගම පොලිස් වසම්වල පසුගියදා නිවෙස් බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ සිදුවීම් කීපයක් වාර්තාවී තිබුණු අතර ඊට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා කඩවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමකට කොටුවන්නේ ඔය අතරදීය.
එලෙස පොලිස් අත්අඩංගුවට පත්වන්නේ 27 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ පදිංචිය කඩවත ඉහළ බියන්විල ප්රදේශයේය. එම සැකකරු ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිතව ඇත්තේ ‘පැණියා’ යන අන්වර්ථ නාමයෙනි. සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී කඩවත සහ බියගම පොලිස් වසම්වල සිදුවූ ගෙවල් බිඳුම් පිළිබඳව තොරතුරු හෙළි විය. ඉන් තුනක් සිදුවී ඇත්තේ කඩවත පොලිස්බල ප්‍රදේශයේදීය.
එම නිවෙස්වලින් සොරකම්කර තිබූ රුපියල් 95,000ක් පමණ වටිනා ජංගම දුරකතනයක්, රූපවාහිනි දෙකක්, ග්‍රයින්ඩර් මැෂින් දෙකක්, වැකියුම් උපකරණයක්, වාහන සෝදන යන්ත්‍රයක්, වාහන පිරි මැදීමේ යන්ත්‍රයක්, පාපැදි දෙකක් පොලිසිය විසින් සොයාගත් අතර සැකකරු සන්තකයේ තිබුණු මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2300ක් ද සොයා ගැනිණි.
කඩවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අභිෂේක් කරුණාතිලක ඇතුළු කණ්ඩායම මේ අතර තවත් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ මෝටර් බයිසිකල්වලින් ගොස් කතුන්ගේ මාල කඩන කල්ලියක් අත්අඩංගුවට ගැනීම සඳහාය. කඩවත පොලිස්බල ප්‍රදේශයෙන්ද එවැනි රන්මාල කොල්ලකෑම් පිළිබඳව වාර්තා වී තිබිණි.
මෙලෙස විමර්ශනවල නිරත පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරක් මත කඩවත පොලිස්බල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ දෙදෙනා කඩවත, සපුගස්කන්ද, මීගහවත්ත, බියගම පොලිස්බල ප්‍රදේශවලදී මෝටර් බයිසිකල්වලින් ගොස් මහමඟ යන කතුන්ගේ රන්මාල කොල්ලකෑම් ගණනාවක් සිදුකර ඇති බවද හෙළි විය. ඊට අමතරව මේ දෙදෙනා නිවෙසක් බිඳ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියකට ද සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකි විය. මොවුන් බියගම පොලිස් වසමේදී මෝටර් බයිසිකල් දෙකක් සොරකම් කරගෙන ඒවායේ යන ගමන් රන්මාල කොල්ලකා ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි විය.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදි. සැකකරුවන් දෙදෙනාම අයිස් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටින අය වෙති.
සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ඔවුන් සොරකම් කරන ලද මෝටර් බයිසිකල් දෙකක්, රන් මාලයක්, පෙණ්ඩන්ට් එකක් සොයා ගැනීමට හැකි විය. මෝටර් බයිසිකල් දෙක රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා බව පොලිසිය සඳහන් කරයි.
කඩවත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර හෙට්ටිආරච්චිගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පරීක්ෂක අභිෂේක් කරුණාතිලක, සැරයන් 49998 බාලසූරිය, කොස්තාපල්වරුන් වන 66735 සම්පත්, 76914 අසේල, 94035 ජයවික්‍රම, 103805 ඒකනායක, 103868 උදයංග යන නිලධාරීන් විසින් විමර්ශන සිදු කරන ලදි.
දීපාල් සමරසේකර