Home » හෝටල්වල නැවතී ඔත්තු බලා රටේ හතර වටේ ගේම් දීලා

හෝටල්වල නැවතී ඔත්තු බලා රටේ හතර වටේ ගේම් දීලා

කුඩ්ඩන් දෙන්නා අල්ලන්න පොලිසිය ගහපු ගේම

by Mahesh Lakehouse
July 13, 2024 12:30 am 0 comment
අත්අ­ඩං­ගු­වට ගන්නා ලද යතු­රු­පැදි

– නවගත්තේගම ගෙස්ට් හවුසියක නැවතී කොල්ලකෑම් සිදු කරන්න ඔත්තු බලලා;
– රුපියල් කෝටියක පමණ වටිනා මුදල් – රන් ආභරණ, ත්‍රිවීල්, මෝටර් බයිසිකල් කොල්ලකාලා

පසුගිය දින කීපය තුළ නිවෙස්වලට කඩා වැදී තියුණු ආයුධ එල්ලකර නිවැසියන් බිය ගන්වමින් රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑ සිද්ධීන් ගණනාවක් රටපුරා පොලිස් ස්ථානවලින් වර්තා විය. වයඹ පළාත තුළ ද ස්ථාන කිහිපයකින්ම එවැනි සිදුවීම් වාර්තා විය. ඒ අනුව වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ඒ සම්බන්ධව දැඩි අවධානය යොමු කරමින් එවැනි සිදුවීම් කීපයක් පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කළේය. එහිදී අනාවරණය වූයේ දුරබැහැර ප්‍රදේශවලින් පැමිණ අවන්හල්වල ලැගුම්ගෙන

සැලසුම්සහගතව විවිධ අයුරින් සොරකම්වල යෙදෙන කණ්ඩායමක් සිටින බවයි.

රන් භාණ්ඩ පොලිස් නිලධාරීන් පරික්ෂා කරමින්...

රන් භාණ්ඩ පොලිස් නිලධාරීන් පරික්ෂා කරමින්…

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වයඹ පළාතේ සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබා දුන්නේ අදාළ පොලිස්බල ප්‍රදේශයේ පවතින නවාතැන් පහසුකම් ගැනීමට පැමිණෙන පුද්ගලයින් ගැන දැඩි සෝදිසියෙන් සිටිය යුතු බවය. ඉන් පසුව අවන්හල් සහ හෝටල් හිමිකරුවන්, කළමනාකරුවන් අදාළ පොලිස් ස්ථාන මඟින් දැනුවත් කිරීමට කටයුතු ‍ෙකරිණි. එවන් පසුබිමක් තුළ ඉකුත් 13 වැනි දින නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාරට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ තම අවන්හලේ සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙක් ලැගුම්ගෙන සිටින බවයි. ඒ නවගත්තේගම නගරය ආසන්නයේ පිහිටි අවන්හලකිනි.

පසුව වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා සැලසුමසහගතව පොලිස් කණ්ඩායමක් සමඟින් එම ස්ථානයට ළඟා විය. එහිදී අවන්හලේ රැඳී සිටි සැක කටයුතු පුද්ගලයන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ගේ හදිසි පැමිණීම සැක සිතී සූක්‍ෂ්ම ලෙස පලා ගියේය. අනෙක් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්විය. ඔවුන් ලැගුම්ගෙන සිටි කාමරය දැඩි පරීක්ෂාවට ලක් විය. එහිදී හෙරොයින් මිලි ග්‍රෑම් 250ක් සහ අයිස් මිලි ග්‍රෑම් 120ක් පොලිස් භාරයට ගැනීමට හැකි විය. ඔවුන් පැමිණි යතුරුපැදි දෙකක්ද අත්අඩංගුවට ගැනිණි. එම යතුරුපැදි මීගමුම ප්‍රදේශයෙන් සොරාගත් ඒවා බවට අනාවරණය විය. පැනගිය සැකකරු නාරම්මල මැටියගනේ පදිංචි අවුරුදු තිස්හතක අයෙකි. අත්අඩංගුවට පත් සැකකරු ගිරිඋල්ල, ඉහළ කටුගම්පොළ ප්‍රදේශයේය. ඔහු අවුරුදු හතළිස් පහක් වයසය.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිසියේ ඉල්ලීම මත දින හතක් රඳවාගෙන විමර්ශන කටයුතු ‍ෙකරිණි. ඉන් අනතුරුව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ උපදෙස් මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.රූපසිංහගේ මැදිහත් වීමෙන් ආණමඩුව සහකාර පොලිස් අධිකාරි සමන් ප්‍රියන්ත ගමගේගේ මෙහෙයවීමෙන් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.බී.සී. පැතුම් කුමාර විමර්ශන කටයුතු ආරම්භ කළේය.

සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ය. මෙලෙස රටේ ප්‍රදේශ ගණනාවක ලැගුම්හල්වල නවාතැන්ගෙන ඒ ආසන්න ප්‍රදේශවල නිවෙස්වල තොරතුරු සොයාගෙන බොහෝ අවස්ථාවල වයෝවෘද්ධ පුද්ගලයන් පමණක් සිටින නිවෙස්වලට දහවල් කාලයේ ගොස් තියුණු ආයුධ එල්ලකර රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකන බව හෙළි විය. රාත්‍රී කාලයේ යා හැකි නිවාසවලට සූක්ෂම ලෙස ඇතුළු වී නිවැසියන් බියගන්වා මෙලෙස කොල්ලකැම් සිදුකරන බවද හෙළි විය. ඒ අත්අඩංගුවට පත් සැකකරුගෙන් හෙළි වූ තොරතුරුය.

අනතුරුව නාරම්මල, මැටියගනේ පදිංචි පලා ගිය සැකකරු සම්බන්ධව තොරතුරු රැසක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය විය. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කළේය. පොලිස් නිලධාරින් මෙන්ම විවිධ වෙසින් සැරසී බුද්ධි අංශ නිලධාරින් අදාළ ප්‍රදේශවලට ගොස් සැරිසරමින් පලා ගිය සැකකරු ගැන තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට කටයුතු කළේය. ඒ අනුව ඔහු ඉකුත් දාහත් වැනි දින තවත් අයෙක් සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. සැකකරු දෙපළ පරීක්ෂා කිරීමේදී අයිස් ග්‍රෑම් දෙකක්, හෙරොයින් ග්‍රෑම් තුනක් ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගත්තේය.

නව­ග­ත්තේ­ගම පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ටී.බී.සී. පැතුම් කුමාර

නව­ග­ත්තේ­ගම පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ටී.බී.සී. පැතුම් කුමාර

මෙම සැකකරුවන් විවිධ සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කීප වතාවක් අධිකරණය වෙත යොමුකර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අය වේ. සැකකරුවන් දෙදෙනා වරෙන්තු මත සිටි අය බව ද හෙළි විය. දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ නාරම්මල, පන්නල, පොතුහැර, බියගම, අලව්ව, මීගමුව යන ප්‍රදේශවල සැරිසරමින් සොරාගැනීම්, කොල්ලකෑම් ගණනාවක් සිදුකර ඇති බවයි.

නිවෙස් ගණනාවකට කඩා වැදී රන් ආභරණ, වටිනා භාණ්ඩ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ කීපයක් කොල්ලකා ඇති බව විමර්ශනවලදී හෙළි විය. පොල්ගහවෙල ප්‍රදේශයෙන් සොරාගන්නා ලද එම ත්‍රිරෝද රථය විකුණා ඇති බවද හෙළි විය. බියගම ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවි කිරීමේ අලෙවිසැලකට කඩාවැදී රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් කොල්ලකා ඇති බවද හෙළි විය.

මෙලෙස පැහැරගන්නා ලද රන් සහ යානවාහනවල වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.බී.සී. පැතුම් කුමාර සඳහන් කළේය.

පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ උපදෙස් මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්. රූපසිංහගේ මැදිහත්වීමෙන් ආණමඩුව සහකාර පොලිස් අධිකාරි සමන් ප්‍රියන්ත ගමගේගේ අධීක්ෂණයෙන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.බී.සී. පැතුම් කුමාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක, සැරයන්වරුන් වන (31261) රාජකරුණා, (36196) ජයන්ත, (33642) අබේරත්න, (68421) ජයසිංහ, (63449) විජේරත්න, කොස්තාපවරුන් වන (757110) සම්පත්, (76662) රංග යන නිලධාරීන් විසින් විමර්ශන සිදුකරන ලදි.

මිහිර විජේසේකර මාරවිල සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division