එය මල්වර දැරියන්ගේ භීෂණ සමය විණ.’ මේ ආරම්භක, උත්ප්‍රාසාත්මක වැකිය ලියැවී ඇත්තේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’ නම් වූ අපූරු නවකතාවේ ය. වසර සිය ගණනක ඈත අතීතයකට, (රජ කාලයකට) පාඨකයා රැගෙන යන සයිමන් නවගත්තේගම නම් වූ දුර්ලභ ගණයේ නිර්මාණකරුවා මේ වියමන අරඹන්නේ, කාමිනියන් මෙන් ම රාජසභාව ද පිරිවරා සිටින අධිරාජයකුගේ මාලිගාවකිනි. අන්තඃපුර ස්ත්‍රීන් හා බාලිකාවන් යැයි කියා අධිරාජයාට වෙනසක් ඇත්තේ නැත. එකම සාධකය, එකම සුදුසුකම වන්නේ ‘මල්වරභාවය’ යි.
කතුවරයා සිය නිර්මාණය උත්කර්ෂයට නංවන්නේ මේ සර්වකාලීන, සාර්වභෞමික (පාලක) භූමිකාවට උත්ප්‍රාස රසය ද එක්කිරීමෙනි. ඓතිහාසික නවකතා ශානරයට අයත් යැයි බැලූ බැල්මට පෙනී ගිය ද මේ පොත මෙන් ම සයිමන් නවගත්තේගම ලියූ වෙනත් බොහෝ නවකතා ඉතිහාසය මෙන් ම අනාගතය ද දකින දාර්ශනික ගැඹුරෙන් නොතොර ය. ඒවාට උත්ප්‍රාසය මුසු වී ඇත්තේ සුදුසුම මාත්‍රාවෙනි. මේ හපන්කම කළ හැකි වන්නේ උපන් ලේඛකයකුට පමණකි. මෙහිදී ‘උපන් ලේඛකයා’ යනුවෙන් අප අදහස් කරන දෙය දීර්ඝව විස්තර කිරීමට මේ අවකාශය අප්‍රමාණවත් ය.
තිත්ත කසායකට අනුපාන වශයෙන් සහිඳ ලුනු වැනි රසකාරකයක් එක් කරන්නේ දිවට දැනෙන අමිහිර තුනී කිරීමට ය. කසායක්, බෙහෙතක් දිවට අමිහිරි වුණ ද සිරුරට මිහිරි ය; පෝෂ්‍යදායක ය. මිනිසාගේ භාව පෝෂණය සඳහා යොදා ගැනෙන ප්‍රබන්ධ (හා නිර්ප්‍රබන්ධ) කෘති සම්බන්ධයෙන් වංලගු වන්නේ ද ඒ නියමයයි.
දැන් මීළඟ ප්‍රශ්නය වන්නේ නවකතාවකට දර්ශනයක් (දාර්ශනික ගැඹුරක්) අවශ්‍ය වන්නේ ද යන්නයි.
‘නවකතාව හෝ කෙටිකතාව දාර්ශනික ප්‍රබන්ධයක් විය යුතු යැයි මම නොසිතමි. එසේ වුවත් අනුපානයක මට්ටමින් හෝ ඊට දර්ශනය පසුබිම් විය යුතු යැයි මම කල්පනා කරමි.’
(සංඥාපනය – දර්ශනවාද අසබඩින්)
මෙසේ කියන්නේ කෘතහස්ත ලේඛක කේ. ජයතිලකයෝ ය. ජයතිලකයන්ගේ ප්‍රබන්ධ කෘතිවල නොවූ විරූ රශ්මි කදම්බයක් පාඨක සමාජයට මුදාහැරුණේ ඔහුගේ නිර්ප්‍රබන්ධ කෘතිවලිනුයි අපි සිතමු.
නිර්මාණකරුවාගේ කාර්යභාරය (වගකීම) වන්නේ ඔහු ජීවත්වන සමාජයේ උද්ගතවන පොදු ගැටලු, කාලීන ප්‍රවණතා ප්‍රතිනිර්මාණය කිරීම බව පෙන්වා දෙන විද්වතුන් හා විචාරකයෝ ද වෙති. සමාජ විෂමතා, ස්ත්‍රී හිංසනය, වාර්ගික ගැටලු ආදිය ප්‍රස්තුතව ලියැවුණ නිර්මාණ වැඩි ප්‍රතිශතයක් වර්තමාන සාහිත්‍යධාරාව තුළින් ද කලඑළි ගැන්වෙයි. එය ගැටලුවක් ද නොවේ. එහෙත් මේ පොළොවේ උපත ලබන කිසිම පුද්ගලයෙක්, ඔහු නිවසන මේ කාලවකවානුවේ ඕපපාතික පලයක් පමණක් ම නොවේ. ඔහුගේ සමස්ත ඉන්ද්‍රිය පද්ධතිය මෙන් ම සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් සියල්ල ද අනුක්‍රමිකව සිදුවූ පරිණාමීය ක්‍රියාදාමයක ප්‍රතිඵලයකි. පාඨකයා කඳු මුදුනකට රැගෙන යාම කෙසේ වෙතත් තමා සිටින තැනින් එක පඩියක් ඉහළට නැඟුණාක් වැනි මනෝභාවයක් ඔහුගේ සිතෙහි ජනිත කිරීම හොඳ නවකතාවක ප්‍රමුඛ ලක්ෂණයකැයි අපි සිතමු. එසේ නොවන නිර්මාණ වැඩිවශයෙන් පාඨකයාට උපකාරී වන්නේ කාලය ගත කර ගැනීමට ය.
පියදෝර් ඩොස්තයෙව්ස්කි නම් වූ අසහාය ලේඛකයා තවමත් ලෝක සාහිත්‍යයේ ගල් කණුවක් මෙන් නොසැළී සිටින්නේ කෙසේ ද? සැබැවින්ම මනෝවිද්‍යාවේ පියා වන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ද? ඩොස්තයෙව්ස්කි ද? මෙවැනි ප්‍රශ්නාර්ථයක් මතුවන්නේ ෆ්‍රොයිඩ් මෙන් ම ඩොස්තයෙව්ස්කි ද කියවූ සූක්ෂ්මාත්මතාවෙන් යුතු පාඨකයා තුළ ය. මේ තත්ත්වය වරක් දාර්ශනික ලෙස හා උත්ප්‍රාසාත්මක ලෙස මතුකර දැක්වූයේ ද කේ. ජයතිලකයන්ම ය.
මම තවම දොස්යෙවුස්කි
දැක නැත්තෙමි
එහෙත් බොහෝ කලකට පෙර
ඔහු මා දැක ඇත.
ඔහු මා ගැන
මා නොදන්නා දේ ද
ලියා ඇත.
(අත්පසුරු – 32 පිටුව)
මේ බිමේ ඉපදී මිනිස් මනස කැඩපත්ගත කළ ලාංකේය ලේඛකයා වන්නේ ජී.බී. සේනානායකයන් ය, යනු අපගේ අදහසයි. හැදෑරීමෙන් මෙන් ම එක්තරා ස්වයංභූ ඥානයකින් ද යුතුව මිනිසා කණපිට ගැසූ ලේඛකයා වන්නේ ද ඔහුම ය. නිදහස් කවි ආර සිංහල කවියට හඳුන්වාදෙමින් සාහිත්‍ය කලාවේ බොහෝ ඉසව්වලට සාර්ථක බලපෑම් කළ මේ අපූරු ලේඛකයා මනෝවිද්‍යාත්මක නවකතාවේ ලාංකේය සලකුණ ද වෙයි. බුද්ධ කාලයට ද පෙර යුගයක් කරා දිවැස් හෙළමින් අවුරුදු 2500 කට පසු යුගයක ද ජීවත් වෙන පොදු මිනිසාගේ පොදු රූපකයක් සිත්තම් කරමින් මිනිසාගේ ප්‍රේමයේ, වෛරයේ, සතුටේ, වේදනාවේ පොදු ගුණාකාරය නිරූපණය කරන ලද්දේ ඔහු මැවූ චරිත විසිනි. ‘මේධා’, ‘වරදත්ත’ යනු ලෝක සාහිත්‍යයට එක්විය යුතු එවැනි සිංහල නවකතා ය.
දාසියන් තළන, පෙළන සහජයෙන්ම නපුරු සිත් ඇත්තියක වන මේධා තුළ මහත් වූ විපර්යාසයක් හටගන්නේ සිය බාලපුතුට රාජනීතියෙන් මරණ දණ්ඩනය හිමිවීම ද සමඟිනි. වධකයන් පුතුට වද මල් පළන්දා, පිටිතල හයා බැඳ දංගෙඩිය කරා ගෙනයන්නේ ඇගේ මන්දිරය ඉදිරියෙනි. ඒ දසුන දෙස නොබැලුව ද වධකයන්ගේ බිහිසුණු භේරිනාදය ඇය අසා සිටින්නේ සවනින් නොව හදවතිනි.
මේධා පූර්ණ වෙනසකට බඳුන් වන්නේ එතැන් සිට ය. ඒ වෙනස සිදු වන්නේ ඇය සිය මනෝභාවයන් උඩුයටිකුරු කරගැනීමට දරන ස්වයං උත්සාහය මුල්වීමෙනි. නපුර යටපත් කරගැනීමට සිය නැන්දණිය දරන වෙහෙස තේරුම් ගන්නට උත්සාහ කරන්නේ මේධාගේ ලොකු ලේලිය වන යසසේනා ය. ස්වභාවයෙන්ම කාරුණික හදක් ඇති යසසේනා නැන්දණියගේ මනෝභාවයන්හි වෙනස දෙස බලා සිටින්නේ කුහුලකිනි. මේ අතර දිනක දාසියක් කුණුගොඩකට ඇවිළු ගින්නකින් මැඳුරේ ධාන්‍ය ගබඩාවක් දැවී යන්නට වෙයි. මේධා එතැනට දිව එන්නේ කෝපයෙන් දැවෙමිනි. නැන්දණියගේ දෑස් රතුවී, හුස්ම ඉක්මන් වූ ආකාරය යසසේනාට පෙනෙයි. මේධා ක්ලාන්ත වී බිම වැටෙන්නට ආසන්න මොහොතේ යසසේනා ඇය වත්තම් කරගෙන යහන් ගැබට රැගෙන යයි.
සහජ හැඟීම් යටපත් කරගැනීමට දරන ආයාසයේදී මිනිසාගේ ශරීරය ඊට ප්‍රතික්‍රියා දක්වන ආකාරය මෙතරම් යථාරූපීව දැක්වූ වෙනත් සිංහල නවකතාවක් අප කියවා නැත. සිංහල සාහිත්‍යයේ ජී.බී. සේනානායක ලකුණ හඳුනාගැනීම සඳහා අවශ්‍ය වන්නේ විද්වත් භාවයට වඩා දියුණු කළ චින්තනයකියි අපි සිතමු. කලාතුරකින් පමණක් බිහිවන නිර්මාණකරුවකු ලෙස අපට හැඟෙන ජී.බී. සේනානායකයන්ගේ බහුවිධ වූ (සාහිත්‍ය) භූමිකා නිර්ලෝභී ලෙස ඇගැයූ, පැසසූ දුර්ලභ ගණයේ චින්තකයා වන්නේ මහගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයෝ ය. ජී.බී. සේනානායකයන් පත්තර රස්සාවට බැඳුණේ ‘දිණමිණ කර්තෘ’ අසුන මාර්ටින් වික්‍රමසිංහයන් හොබවමින් සිටි අවදියේ ය. පත්තරයට ලැබුණ අපූරු නිර්මාණ හඳුනාගත් කතුවරයකු විසින් නිර්මාණකරුවා කැඳවනු ලැබීම, ඔහු කර්තෘ මණ්ඩලයට බඳවා ගනු ලැබීම මෙකල ජීවත් වන අපට නම් සුරංගනා කතාවකි. එහෙත් ජී. බී. සේනානායකයන් පත්තර රස්සාවට පිවිසෙන්නේ ඒ ආකාරයට ය. ‘මහ ගසක්’ මෙන් තමාට සෙවණ සැලසුවේ වික්‍රමසිංහයන් යැයි සේනානායකයෝ කියති. ජී.බී. සේනානායකයන් පිළිබඳ කතිකාව පසුකාලීනව යටපත් වූයේ මහා වෘක්ෂයන් ඉන්පසු මේ බිමෙහි රෝපණය නොවූ නිසා ද? මේ රටේ ඉපදී, චින්තනය කළුමැදගත් මේ අපූරු නිර්මාණකරුවන් දෙදෙනාම (පිළිගත්) පාසල් අධ්‍යාපනය තුළ අටවෙනි පෙළ දක්වා හෝ ගමන් කර නොතිබීම කවර නම් ආශ්චර්යයක් ද?
චෙෙකාස්ලොවේකියාවේ උපන් මිලාන් කුන්දේරාගේ ස්වීයත්වය යුරෝපීය සාහිත්‍ය තුළ මුල්බැස ගන්නේ (තහවුරු වන්නේ) ඔහුගේ Joke (විහිලුව) නවකතාවෙන් බව ප්‍රකට කරුණකි. අතිධාවනකාරී ලෙස සිදුවන තාක්ෂණික දියුණුව, යුරෝපීය මිනිසා ‘සමස්තය’ කෙරෙන් බැහැර කිරීම හේතුවෙන් මිනිසා මෙන් ම ලෝකය ද පටුවී ලඝුවී යාමක් ගැන කුන්දේරා පළ කරන අදහස් සංගෘහිතව ඇත්තේ Art of the Novel (නවකතා කලාව) නම් වූ ඔහුගේම කෘතියෙහි ය. යුරෝපීය නවකතාව ප්‍රස්තුතව සැකසුණු ඒ ඉසියුම් විමර්ශනය සාරාංශගත කළ විට කියැවෙන්නේ විද්‍යාවේ පුනර්ජීවනය විසින් වෙන් වෙන්ව පිහිටි උමං මාර්ග තුළට මිනිසා ගාල්කරනු ලැබ ඇති බව ය. බෙදා වෙන් කෙරුණු අධ්‍යයන ක්ෂේත්‍ර ඔස්සේ මිනිසා වෙත කාන්දු වූ දැනුම වැඩිවර්ධනය වූයේ ලෝකය දෙස මෙන් ම සිය පැවැත්ම දෙස ද සමස්තයක් ලෙස (සාකල්‍යාර්ථයෙන්) බැලීමේ හැකියාව ඔහුට අහිමි කරමිනියි කුන්දේරා කියයි. ඔහුට අනුව එය තමාට තමා අමතක කරවීමකි.
සමස්තය කුඩා කුඩා කැබලිවලට වෙන් කරගැනීමේ ප්‍රතිඵල වශයෙන් අද වන විට පටුවී, ලඝුවී ඇත්තේ නිර්මාණ සාහිත්‍යය පමණක් ම නොවේ. සෞඛ්‍යය හා රෝග නිවාරණය විෂයයෙහි ද එය අදාළ ය. තරමක් බරපතළ යැයි කිව හැකි කිසියම් රෝගි තත්ත්වයක් හටගත් විට මෙකල රෝගීන් බොහෝවිට කරන්නේ විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම ය. රෝගය අවිනිශ්චිත නම් ඔහු සොයායන්නේ Physician කෙනෙකි. ෆිෂීශන් යැයි කියන්නේ සර්වාංග වෛද්‍යවරයාට ය. එහෙත් මේ කවර නම් සර්වාංග වෙදකමක් දැයි රෝගියා විස්මයටපත් වන්නේ, සමස්ත ඉන්ද්‍රිය පද්ධතියේ විවිධ කොටස්වලට (විවිධ ඉන්ද්‍රියනට) වෙන් වෙන් වශයෙන් විශේෂඥ වූ තවත් වෛද්‍යවරුන් ගණනාවක් කරා යන ලෙස සර්වාංග වෛද්‍යවරයා විසින්ම නිර්දේශ කරනු ලැබූ විට ය.
නවකතාවේ අරුණෝදයක් සනිටුහන් කළ ලතින් අමෙරිකානු මහාලේඛක ගාර්ෂියා මාක්වේස්, මෙන් ම පොතක් ලියන්නට පෙර බරපතළ ගවේෂණයක යෙදෙන ඉසබෙල් අයියන්දේ ද නිර්මාණ සාහිත්‍යය භාවිත කළේ සමකාලීන සමාජ ප්‍රශ්න (සමාජ, ආර්ථික, වර්ගවාදී ආදී) පාඨකයාට හඳුන්වාදීම සඳහා පමණක් ම නොවේ. සමකාලිකත්වය බහා ඇත්තේ කාලය නම් වූ මහා සත්තාව තුළ බව සාක්ෂාත් කර සිටි ඔවුන් අක්ෂරයෙන් ලෝක සිතියම පින්තාරු කළේ ජනකතා, ඉතිහාස කතා මෙන් ම පුරාණෝක්තිවලින් ද එය වර්ණ ගන්වමිනි.
මීළඟ ප්‍රශ්නය පැන නඟින්නේ දර්ශනය හා උත්ප්‍රාසය එක්තැන් කළ හැකි ද යන්න පිළිබඳව ය. අප විශ්වාස කරන ආකාරයට මේ කාර්යය ඉතා සාර්ථකව කර ඇත්තේ මෙතෙක් ලොව පහළ වූ විශිෂ්ට ගණයේ චින්තකයෝ ය; දාර්ශනිකයෝ ය. විවිධ දෘෂ්ටීන් අනුදත් බමුණන් සමඟ ධර්ම සාකච්ඡාවන්හි යෙදුණු බුදුන් වහන්සේ වරින්වර උත්ප්‍රාසය කුළුගැන්වූ ආකාරය පිළිබඳ බොහෝ නිදසුන් ත්‍රිපිටකයෙහි සඳහන් ය. ඉතා වැඩි වශයෙන් එවැනි අවස්ථා නිරාවරණය වන්නේ සෙන් බුදුදහමෙනි.
ඕෂෝ නම් වූ මෑතකාලීන ඉන්දීය චින්තකයාගේ ආශ්‍රමයන්හි මුළු දුන් දාර්ශනික සාකච්ඡා, සංවාද, විවාද අතරේ ද උත්ප්‍රාසය ඉහවහා ගිය අවස්ථා බොහෝ වූ බව ඕෂෝ සංවාද පරිශීලනය කරන්නෝ දැන සිටිති. යට දැක්වෙන්නේ ඒ පිළිබඳ සැබෑ පුවතකි.
කලක් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුව සිටි ඕෂෝ ඒ කාලයේදී උදෑසන සක්මනක යෙදෙන්නට පුරුදුව සිටියේ මිතුරු සරසවි ඇදුරෙක් ද සමඟිනි. සෞන්දර්යවාදියකු හා පරිසර ප්‍රේමියකු වූ ඕෂෝ හැමදාමත් මේ ගමන ගියේ ගහකොළ සමඟ නිහඬ සංවාදයක යෙදෙමිනි. දිනක් හදිසියේම දුටු රෝසමලක් අසල ඔහුගේ දෙපා ඇනහිට තිබේ. ඔහු දිගින් දිගටම නිහඬව පසුවූයේ එහි සෞන්දර්යය ආස්වාදනය කරමිනි. එහෙත් මේ විදර්ශනාවට බරපතළ ලෙස බාධා පමුණුවනු ලැබූයේ සුමිතුරු සරසවි ඇදුරා විසිනි. ඔහු කියාගෙන යන්නට වූයේ රෝසමලේ කුලමල ය. මලේ සම්භවය සිදුවූ රට, මලේ උද්භිද විද්‍යාත්මක නාමය ආදී වශයෙන් දිග තෝම්බුවක් දිග හැරෙද්දී ඕෂෝ කියා ඇත්තේ මෙපමණකි.
‘හෙට ඉඳං මං මේ ගමන තනියෙන් එන්නං.’
විද්වත් බව, රසාස්වාදනය හා චින්තනය පිළිබඳ දිග කතාවක්, ගැඹුරු සත්‍යයක් මින් විශද වන බව අපගේ හැඟීම ය. කප්පරක් සහතික ඇතත් රසවිහීනයකුට සාහිත්‍ය විනිශ්චයේ මූලාසනය හිමිවුවහොත් සාහිත්‍ය කලාවේ සිදුවන පරාභවයට මුක්කු ගසන්නට සරස්වතියට ද බැරි බව වටහා ගන්නට මේ කතාව ප්‍රමාණවත් ය. කෙසේ වෙතත් මේ රට තුළ දුර්ලභ ලෙස එළිදුටු ඇතැම් අපූරු නිර්මාණ පොත් රාක්ක තුළ නිදා සිටින්නේ මේ කුඩා රටේ තරමටම පුද්ගල චින්තනය ද කුඩා වී ඇති හෙයින් විය හැකි ද?
නවකතාවේ විභව ශක්තිය උද්දීපනය වන්නේ එය සමස්තය ස්පර්ශ කරන තරමට ය. සයිමන් නවගත්තේගම කියන්නේ ද මේ හපන්කම කළ දුර්ලභ ගණයේ නිර්මාණකරුවකුට ය. ජී. බී. සේනානායකයන්ට සාපේක්ෂව ගත් කල සයිමන් නවගත්තේගම ගැන නම් කිසියම් කතාබහක්, ඇගැයීමක් මේ රටේ සිදුවූ බව නම් අපට අමතක නැත. එහෙත් ‘සාපේක්ෂණී’ නවකතාවේ ප්‍රථම මුද්‍රණයට 1990 වසරේදී නවගත්තේගම ලියා තිබූ ප්‍රස්ථාවනාවෙන් නම් කියවෙන්නේ වෙනත් කතාවකි.
මගේ නිර්මාණ කවදාවත්, මනා විචාරයට භාජනය නුවූ බව නම් සැබෑවකි. ඒ ගැන මට කියන්නට ඇත්තේ කුමක් ද? ….
මගේ නිර්මාණ ඉත සිතින් වැළඳගන්නා සහෘදයන්ගේ රස වින්දනය පමණක් මට ප්‍රමාණවත් නොවේ. ඒ ගැන ස්වාධීන සාකච්ඡාවලට එළඹෙන ගැඹුරු විචාරක පෙළක් මට සිටියේ නම්, මගේ නිර්මාණ මීට වඩා සාරගර්භ වන්නට ඉඩ තිබුණි.
සැබෑ නිර්මාණකරුවකුට උපත ලැබීම සඳහා මේ රට පතිරූපදේශයක් නොවේ යැයි අප නිගමනය කර සිටින්නේ ද මේ තත්ත්වය නිසා ය. කෙසේ වුව ද සයිමන් නවගත්තේගම වසර 34 කට පෙර ලියූ යථොක්ත ප්‍රස්ථාවනාව කියවූ අප තුළ විමතියක්, ප්‍රශ්නාර්ථයක් හටගැනුණේ ඉකුත් කාලසීමාව තුළ ඔහුගේ නිර්මාණ සමුච්චය කිසියම් ඇගයීමකට ලක් වූ බවක් ද සිහිවූ හෙයිනි. ඔහුගේ කෘති විමසමින් පළවූ විචාර ග්‍රන්ථ ද තිබේ. එසේ නම් සැබෑ තත්ත්වය, (සත්‍යය) කුමක් ද? ඔහු ගැන හඬක් අවදි කෙරුණේ ඔහුගේ අභාවයෙන් පසුව ද? මේ රටේ උපන් සැබෑ නිර්මාණකරුවා පිළිබඳව සැබෑව වන්නේත් එයම ද?
කැත්ලීන් ජයවර්ධන