මිනිස් ජීවිතයක් බිල්ලට ගෙන දුම්රිය වර්ජනය අවසන් වූයේය. කොවිඩ් වසංගත සමයේ සිට කඩාකප්පල් වූ අධ්‍යාපනය, හිදැස් පුරවාගෙන ඉදිරියට එන කල්හි සරසවි අනධ්‍යන සේවක වර්ජනය ද කල එළි බැසීය. එයින් සිදු වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ගේ මාස දෙකක කාලයක්, නැති නාස්ති වී යාමයි. සරසවි ප්‍රවේශ කටයුතු ද මෙම කාලයේදී සිදුවූ බැවින්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් අඳුරු පැතිකඩක් යළිත් වරක්, ජන මනසේ මැවි මැවී පෙනෙන්නට විය. මේ හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබා සිටි දරුවන් පවා, පෞද්ගලික සරසවි සඳහා ප්‍රවේශ වීමට පටන් ගෙන තිබුණි. බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීහු මෙම වැඩ වර්ජනය අත්හැරියහ. විශ්වවිද්‍යාල පද්ධතියේ සියලු අනධ්‍යයන කාර්ය මණ්ඩලය 13,000කි. ඉන් විධායක ශ්‍රේණියට අයත් වන්නේ, නිලධාරීන් 593කි. ඉතිරි පිරිස වර්ජනය අඛණ්ඩව සිදු කරන හෙයින් විශ්වවිද්‍යාල විවෘත කිරීමක් ගැන තවම කතා කළ නොහැකිය.
වර්ජනය වූ කලී රැකියාවට පමණක් සම්බන්ධවූ දෙයක් ලෙස පැවතියේ, වෘත්තිය සමිති ව්‍යාපාර ආරම්භ වූ සමයේ පමණය. කාර්මික විප්ලවය පැවති කාලයේදී යුරෝපය පුරා වෘත්තිය සමිති යන්න ජනප්‍රිය මාතෘකාවක් විය. එය ශුද්ධ වූ කම්කරු අයිතීන් වෙනුවෙන් පමණක් පෙනී සිටිය ද, ඉන්පසු දේශපාලන පක්ෂ යන්ත්‍රණය සමඟ දිගින් දිගටම, දීග කෑමට පටන් ගත්තේය. එතැන් සිට වර්ජන යනු දේශපාලනයේ එක් කොටසක් බවට පත්විය.
පසුගිය වසරේ යුරෝපයම වැසී යන පරිදි වැඩවර්ජන රැල්ලක් හමා ගියේය. එය ප්රංසය කේන්ද්‍ර කරගනිමින් ඇතිවූවකි. බ්‍රිතාන්‍යය දෙසට ද මේ උණුසුම් රළ වේගය හමා ආවේය. බ්‍රිතාන්‍යය පසුගිය අඩ සියවයේ මුහුණ දුන් විශාලතම වැඩවර්ජන රැල්ල එය විය. ආර්ථික අවපීඩනය මධ්‍යයේ, ග්‍රීසියට දරුණු වැඩ වර්ජන තුනක් පාත් විය. වසර 30කට පසු ජර්මනියේ සිදු වූ විශාලතම ප්‍රවාහන හා පොදු සේවක වැඩ වර්ජනයෙන්, පුරා දිනයක්ම එරට නැවතී ගියේය.
මේ වනාහි ලෝක දේශපාලනයේ න්‍යාය පත්‍ර හේතුවෙන් ඇතිවූ දේ මිස ශුද්ධ වූ වෘත්තිය සමිති වාදයක් නොවේ. ලෝකය පුරා මේ වසරේ මැතිවරණ පැවැත්වෙන්නේය. ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන වසර 2024ය. ලෝක ජනගහණයෙන් අඩකට වඩා මේ වසරේ ඡන්ද පොළට එන්නේය. මේ නිසා වර්ජන කසකාරයෝ හැමතැනම කරක් ගසති.
ශ්‍රී ලංකාව මේ දින කිහිපයේ අත්දකින ලද්දේ ද දේශපාලන සිතියමට අනුව, මාලිමාවේ කටුව භ්‍රමණය වන්නාවූ වර්ජන රැල්ලක් මිස අන් යමක් නොවේ.
මැතිවරණ සඳහා මුහුණදීමට සේම ඒවා කල් දමා ගැනීම සඳහා ද මේ ආකාරයේ වැඩ වර්ජන සිදු කළ හැක්කේය. තැපෑල, ප්‍රවාහනය ආදියේ සිට ඡන්දය ගණන් කිරීම සදහා අවශ්‍ය රාජ්‍ය සේවක පිරිස් වැඩ වර්ජනයක් සඳහා යොමු කළ විට, ඡන්ද පැවැත්වීම අවුල් වන්නේය. ඒ ආකාරයට වැඩේ අවුලකට ගෙන යෑම, විපක්ෂයේ සැලසුම විය හැකිය. ආණ්ඩුව මුල සිටම ජනාධිපතිවරණය සඳහා සූදානම් විය. එසේ තිබියදී විපක්ෂය කෑකෝ ගසාගෙන ගියේ, ආණ්ඩුව මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා සැරසෙන බවය. ආණ්ඩුවේ සියලු පාර්ශ්ව එක පයින්ම ඡන්දය සඳහා සූදානම්ව රැස්වීම් පවත්වයි. මැතිවරණ කාර්යාල ආදිය ද විවෘත කර තිබේ.
මේ අතර ව්‍යාපාරිකයෙක් පැමිණ ජනාධිපතිවරණය වසරකින් කල් දමා ගැනීමේ අරමුණින්, මුලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කළේය. ඒ සැණින්, විපක්ෂය ප්‍රචාරය දියත් කළේ, එම නඩුව ගොනු කරන ලද්දේ, ආණ්ඩුවේ වුවමනාව අනුව බවය. නඩුව ගොනු කළ තැනැත්තා, පසුගිය මහමැතිවරණයේදී, ජාතික සංවර්ධන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකි. එහි නායකයා රොහාන් පල්ලෙවත්ත ය. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව, පසුව සමඟි ජන බලවේගයට සම්බන්ධ විය. ඒ අනුව ජාතික සංවර්ධන පෙරමුණ දැන් සිටින්නේ සජබය සමඟය. රොහාන් පල්ලෙවත්ත, සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් සහ සජිත් ප්‍රේමදාසගේ, විදේශ ප්‍රතිපත්ති සැකසීමේ කණ්ඩායමේ නායකයා වශයෙන් ද පත්කර ඇත්තේය. මේ අනුව පෙත්සම ආවේ කොයි පාර්ශ්වයෙන් ද කියා පැහැදිලිය.
විපක්ෂයේ ප්‍රචාරය සඳහා ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනය කර තිබුණේ, මේ වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. තමාගෙන් හෝ තම නීතිඥවරුන්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබා ගැනීමක් සිදුකර නැති බව පවසමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා තම පාර්ශ්වයට කිසිදු වුවමනාවක් නොමැති බවය.
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් වන බවත් 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් තමාගේ දැඩි ස්ථාවරය බව ද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.
නඩුව සඳහා රජය පාර්ශ්වයෙන් පෙනී සිටි නීතිපතිවරයා සඳහන් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බවය. ඒ මදිවාට පසුගිය කැබිනට් මණ්ඩලයේදී මේ සඳහා යෝජනාවක් ද ජනාධිපතිවරයා ගෙන ආවේය. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙත ජනාධිපතිවරයා සිදු කළ යෝජනාව කැබිනෙට්ටුවේදී අනුමත විය.
ජනාධිපතිවරයාගේ යෝජනාව වූයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ‘අවුරුදු හයකට වඩා’ යන වැකිය වෙනුවට ‘අවුරුදු පහකට වැඩි’ යන යෙදුම යෙදිය යුතු බවය. එතරම් ප්‍රතිකර්ම යොදමින් ආණ්ඩුව ඡන්දය සඳහා සැරසෙන විට, විපක්ෂය වෙනත් මාර්ග ඔස්සේ, ගමන් කරන්නේ ඡන්දය කල් දමා ගැනීම සඳහා බව පෙනී යන්නේය.
වර්ජන වනාහි ඒ සඳහා වන එක් මාවතකි. වර්ජන රැල්ල දැඩිවූ විට, ආර්ථිකය ද පහළට වැටෙන්නේය. ඒ සමඟ, ඡන්දය පැවැත්වීම ඉබේම අහෝසි වන්නේය. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය සේවය, වර්ජන ඔස්සේ, ජනතාවගේ සේවා ලැබීමේ අයිතිය එක් අතකින් සිඳින්නේය. අනෙක් අතින් මූලික අයිතිවාසිකමක් වූ ඡන්ද අයිතිය අහෝසි කිරීම සඳහා ද උත්සාහ කරන්නේය. ඡන්ද පොළට පැමිණෙන පළමු දහ දෙනාට වෙඩි තබන බව කියූ පිරිසගෙන් මෙවන් ප්‍රතිචාර මිස ඡන්දය සඳහා දිරි දෙතැයි බලාපොරොත්තු විය හැකි නොහේ. උණ්ඩය පවා පරාජය කරමින් ඡන්දය සඳහා පෙළ ගැසුණු ජනයා, වර්ජන රැල්ල ඉදිරියේ සිය ඡන්ද අයිතියට යටපත්වීමට ඉඩ නොදෙන බව සහතිකය.