කතා කිරීමට මෙන්ම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමට පවා ඇතැමුන් මැළිවන රෝගයක් ලෙස පණු රෝග හැඳින්විය හැකි අතර මෙය වයස් භේදයකින් තොරව බාල, මහලු කාටත් වැලඳිය හැකිය. මිනිස් ශරීරයේ අන්ත්‍රවල විවිධ හැඩයේ හා ප්‍රමාණයේ පණුවන් විවිධ ප්‍රමාණවලින් ජීවත් විය හැකි අතර, අප ගන්නා ආහාර මත යැපෙමින් එයින් පෝෂණය වන පණුවන් නිසා ශරීරයේ විවිධ රෝග තත්ත්වයන් ඇති වේ.
කුඩා දරුවන් අතර වඩාත් ප්‍රචලිත පණු රෝග ලෙස කිරි පණු හා කොකුපණු රෝග නම් කළ හැකිය. ඇතැම් දරුවන්ගේ පණු රෝගවල රෝග ලක්ෂණ පිටතට පෙන්වන්නේ නැත. එහෙත් කිරිපණු රෝගයෙන් පෙළෙන දරුවන් තුළ රෝග ලක්ෂණ පැහැදිලිව දැකගත හැකිය. කිරිපණුවා රාත්‍රී කාලයට ගුද විවරය ආශ්‍රිතව බිත්තර දැමීම නිසා ගුදය අවට ඇති වන කැසීම, නින්ද අඩුවීම, මුත්‍රා පිට කිරීමේදී ඇති වන වේදනාව, ශරීරයේ බර අඩු වීම, ආහාර අරුචිය සහ වරින් වර ඇතිවන උදරයේ වේදනාව ඒ අතර මූලික වේ. කොකුපණු රෝගයේ ලක්ෂණ ලෙස, කැස්ස, හතිය, රක්තහීනතාව හෙවත් ලේ අඩුකම, මහන්සිය, උදරයේ වේදනා, ඔක්කාරය, මල සමඟ රුධිරය පිටවීම, ආහාර අරුචිය, කැසීම සහිත දද ආදිය ඇතිවිය හැකිය.
පණු රෝග සෑදීමට මූලික හේතුව ලෙස අපිරිසුදුකම හැඳින්විය හැකිය. විශේෂයෙන් කුඩා දරුවන් එළිමහනේ සෙල්ලම් කරන විට පණු හෝ පණු බිත්තර ආසාදිත පස් හෝ දූවිලි අතපත ගෑමෙන්, අත කටේ දැමීමෙන් පණුවන් ආසාදනය විය හැකිය. ගුදය ආශ්රිත ඇතිවන කැසීම කිරිපණු ආසාදනවලදී බහුලව ඇතිවන ලක්ෂණයක් වන අතර, කැසීමේදී අතේ තැවරෙන සියුම්, ඇසට නොපෙනෙන කිරිපණු බිත්තර ඒ ආසාදිත වූ අතින් අල්ලන සෑම දෙයක් මතම තැවරේ. එයින් රෝගය තවත් කෙනකුට පැතිරේ. ආසාදිතයන් පාවිච්චි කරන කිලිටි ඇඳ ඇතිරිලි හා යට ඇඳුම් පණුවන්ට වාසස්ථාන සපයන අතර, රෝගකාරකයන්ගේ නියපොතුවල පවා පණු බිත්තර තිබිය හැකිය. ඒ කුමන හෝ දෙයක් ස්පර්ශ වීමෙන් නීරෝගි අයකුට ද රෝගය වැලඳිය හැකිය. එමෙන්ම නිසි ලෙස නොසේදූ එළවලු, පලතුරුවලින්ද පණු රෝග ආසාදනය විය හැකිය.
පණු රෝගයක් වැලඳී ඇති බව දැනගත් වහාම නිසි ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ. කුඩා දරුවන් පණු රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවාට පිරිසුදු ආහාර සහ ජලය ලබා දීම, හොඳින් අත් සේදීම, පිරිසිදු ඇඳුම්, ඇඳ ඇතිරිලි, පොරවන ආදිය භාවිත කිරීම සුදුසු වේ. එක් අයකු හෝ පණු රෝගයකින් පෙළෙනවා නම් නිෙවසේ සියලු දෙනාම එකවර පණු බෙහෙත් භාවිත කිරීම වඩාත් සුදුසු වන්නේ මෙය ගුද මාර්ගය ආශ්‍රිතව තවත් අයකුට බෝවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති රෝගයක් වන නිසාය.
පණු රෝග නසන කසායක්
තිප්පිලි, තිප්පිල් මුල්, සිවිය මුල්, රත් නෙටුල් මුල් සහ වියළි ඉඟුරු කලන් එක බැගින් ගෙන පිරිසිදු මැටි මුට්ටියකට දමා වතුර කලන් 8ක් දමා ලිප තබා එය කලන් 1කට සිඳවාගන්න. ඉන්පසු එය සමාන කොටස් දෙකකට බෙදා ගෙන ඉන් එක කොටසකට සීනි තේ හැඳි 1ක් සහ මී පැණි තේ හැඳි 1ක් මිශ්‍ර කර උදෑසන හිස්බඩ පානය කරන්න. අනෙක් කොටසට ද එසේම සීනි සහ මී පැණි මිශ්‍ර කර හවස 5-6ත් අතර පානය කරන්න. මෙම කසාය වයස අවුරුදු 12න් පහළ දරුවන්ට දීම සුදුසු නැති අතර, වයස අවුරුදු 12ට වැඩි ඕනෑම අයකුට පානය කළ හැකිය. මේ ආකාරයට දින 5ක් එක දිගට පාවිච්චි කරන්න.