නීරෝගි සමක් යනු පුද්ගලයකුගේ නීරෝගි බවට මෙන්ම පෞරුෂත්වයට ද බලපාන ප්‍රබල සාධකයකි. සමේ ස්වාභාවික පැහැය නැති කරමින් ශරීරය පුරා වේගයෙන් පැතිර යන රෝගයකින් සිරුරට වේදනාවක් හෝ අපහසුතාවක් ඇති නොවූවද එයින් දැඩි මානසික පීඩාවක් ඇතිවේ. එවැනි රෝගයක් ලෙස සුදු කබර රෝගය හැඳින්විය හැකිය.
සාමාන්‍ය ව්‍යවහාරයේදී සුදු කබර රෝගය ලෙස හැඳින්වුවද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙම රෝගය හඳුන් වන්නේ ශ්විත්‍ර ලෙසය. නවීන වෛද්‍ය විද්‍යාවට අනුව එය Vitiligo ලෙස හැඳින්වේ . සමෙහි තැනින් තැන සුදු ලප හට ගැනීම මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. මෙය ගැහැනු පිරිමි හේදයකින් තොරව මෙන්ම ඕනෑම වයසක පසුවන අයකුට වැලඳිය හැකිය. වෙනත් සමේ රෝගයකදී මෙන් එම ලප පවතින ස්ථානවල කැසීමක්, සැරව ගැලීමක් හෝ පැසවීමක්, රක්තය ශ්‍රාවය වීමක් හෝ වේදනාවක් ආදී කිසිවක් ඇති නොවේ. ඇතැම් විට එම ලප පවතින ස්ථානවල රෝම පවා සුදු පැහැ ගැන්වේ. මෙසේ සම මත සුදු ලප ඇතිවීමට හේතුව සමෙහි වර්ණය ඇති කරන මෙලනින් රසායනිකය නිපදවන වර්ණක සෛල යම් යම් හේතු නිසා අක්‍රිය වීමය. පළමුව ඉතා කුඩා සුදු ලප ලෙස හටගෙන පසුව ක්‍රමයෙන් විශාල වී ශරීරය පුරාම පැතිර යන අතර, එම ලප හටගන්නා රටා 3ක් හඳුනා ගෙන ඇත.
එනම්, කෙනෙකුගේ ශරීරය දෙපස සමමිතිකව ලප හටගන්නා අතර, තවත් අයකුගේ එසේ නොමැතිව අත් පා, කඳ ආදී ස්ථානවල තැනින් තැන ලප ඇතිවේ. තවත් කෙනකුගේ තොල් අග, කන්පෙති දාර, අතුල් පතුල්වල දාර, ඇඟිලි තුඩුවල නිය අග ලප ඇතිවේ. මීට වසර ගණනාවකට පෙර මවිසින් නාවින්න ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී මෙම රෝගය පිළිබඳ කරන ලද අධ්‍යයනයේදී අනාවරණ වූ කරුණක් වූයේ මෙසේ දාරවලින් රෝගය ආරම්භ වන අයගේ ශරීරයේ වෙනත් තැන්වලටද රෝගය පැතිරෙන බවය. එමෙන්ම එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෙනත් තැන්වල හටගත් ලප සුව වුවත් ඉහත සඳහන් දාරවල හටගත් ලප සුව නොවන බවය. එමෙන්ම එම දාරවලින් රෝගය ආරම්භ වූවන් සුව වීමේ ප්‍රවණතාව ද අනෙක් රෝගීන්ට වඩා ප්‍රමාද වූ බවය.
සුදු කබර රෝගය ස්පර්ශයෙන් හෝ ඇඳුම් පැලඳුම් ආදියෙන් හෝ වෙනත් ක්‍රමයකින් තවත් අයකුට බෝ වන රෝගයක් නොවේ. එහෙත් අවාසනාවකට මෙන් සමාජයේ බොහෝ දෙනකු සුදු කබර රෝගය බෝවන භයානක රෝගයක් ලෙස සලකා එම රෝගීන් පිළිකුල් කර මඟහරින බවක් දක්නට ලැබේ. මෙය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් බව පැහැදිලිව කිව යුතුය.
මෙම රෝගයේදී සුදු ලප තද හිරු එළියට නිරාවරණය වීමෙන් එම ස්ථාන පිලිස්සීමට ඉඩ ඇති බැවින් එවැනි රෝගීන් තද හිරු එළියට සම නිරාවරණය වීමෙන් වැළකීම වැදගත් වේ. මෙය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝගයක් වුවත් පාරම්පරිකව ප්රවේණිගතව හටගත හැකියි. එසේ පරම්පරාවෙන් කාගෙන් කුමන කෙනෙකුට යා හැකි දැයි නිශ්චිතව කිව නොහැකිය. සුදු කබර රෝගීන්ගෙන් තුන් දෙනකුගෙන් යටත් පිරිසෙන් එක් අයකුටවත් ප්රවේණිගතව රෝගය හටගෙන ඇත. සමෙහි හට ගන්නා සුදු, කළු සහ අළු පැහැ අළුහම් සහ ලාදුරු රෝග අවස්ථා සුදු කබර රෝගය ලෙස අනුමාන නොකළ යුතුය. එම රෝග දෙකම කෙනෙකුගෙන් තවත් අයකුට බෝවන රෝගය. එවැනි සැක කටයුතු අවස්ථාවලදී වෛද්‍යවරයකු වෙත යොමුවී රෝගය නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
මීයන් සපාකෑ විට සුදු කබර රෝගය හට ගන්නා බව සමාජයේ ප්‍රචලිත කරුණකි. එසේ වුවද බොහෝ දෙනකු නොදන්නා ඉතා වැදගත් කරුණක් වන්නේ එසේ විෂ වන්නේ රැලේ යන මීයන් සපා කෑවොත් පමණක් යන අදහසයි. මීට වසර කිහිපයකට පෙර මේ පිළිබඳ මෙරට කරන ලද පර්යේෂණයකින් අනාවරණ වී ඇත්තේ ගැහැනු පිරිමි මීයන් ලිංගිකව හැසිරීමෙන් පසු ඔවුන්ගේ ලිංගික අවයව මුඛයෙන් පිරිසිදු කරන විට පිරිමි ශුක්‍ර තරල ඔවුන්ගේ මුඛයේ තැවරෙන අතර ඒ අවස්ථාවේදී සපාකෑමක් සිදු වුවහොත් එම ශුක්‍ර තරල ශරීරයට ඇතුළු වේ. එවිට ඒවාට එරෙහිව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතික්‍රියා දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස සමෙහි මෙලනින් නිපදවන සෛල අක්‍රිය වී සුදු කබර රෝගය හට ගනී. ඒ අනුව රැලේ යන මීයන් සපා කෑම විෂ සහිතය යන කතාවේ යම් සත්‍යතාවක් ඇති බව පිළිගත හැකිය. මීට අමතරව ස්ථාවර විෂ සහ ජංගම විෂ ශරීරගත වී එයට නිසි ප්‍රතිකාරයක් නොකර එම විෂ සම්පූර්ණයෙන් ඉවත් නොවී සිරුරේ ශේෂ වී පැවතීමෙන් මෙන්ම යම් යම් රසායනික විෂ ශරීරගත වීමෙන් ද සුදු කබර රෝගය හට ගත හැකිය.
සුදු ලප මත ඇති රෝම සුදු නොවූ, තොල්, කන් පෙති දාර, අතුල්පතුල් ඇඟිලි තුඩු ආදියෙන් රෝගය ආරම්භ නොවූ , සුදු ලප එකිනෙකට යා නොවී පවතින සහ රෝගය ආරම්භ වී වසරක කාලයක් නොඉක්මවන සුදු කබර රෝගීන් ඉතා පහසුවෙන් සුව කළ හැකි බව ද ආයුර්වේදයේ පෙන්වා දෙයි.
මෙම රෝගය සඳහා වමන විරේචන, රක්තමෝක්ෂණ සහ රක්ෂ ශෝධන ප්‍රතිකාර විධි ආයුර්වේද වෛද්‍ය ක්රමයේ නිර්දේශ කර ඇත. ඊට අමතරව අක්‍රිය වී ඇති සමේ වර්ණක සෛල සක්‍රිය කිරීම සඳහා බාහිර ආලේප කිරීමට ආලේප සහ තෛල වර්ග නිර්දේශ කර ඇත. එක් එක් රෝගියාගේ සම පරීක්ෂා කර ඒ අනුව ප්‍රතිකාර කළ යුතු වන්නේ එක් රෝගියකුට නිර්දේශ කරන ඒවා තවත් රෝගියකුට සුදුසු නොවිය හැකි නිසාය. රෝගය හඳුනා ගත් වහාම ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වේ.