Home » මිනිස් වෙස්ගත් පිටසක්වල ජීවීන් ගැන අමෙරිකානු සාක්ෂිය මෙන්න…

මිනිස් වෙස්ගත් පිටසක්වල ජීවීන් ගැන අමෙරිකානු සාක්ෂිය මෙන්න…

by Mahesh Lakehouse
July 13, 2024 12:30 am 0 comment

ඳුනා නොගත් ආකාශ වස්තු (UFO) ගැන කතාබහ නිමාවක් නැත. අඩුම තරමින් දිනකට වතාවක් හෝ එවැනි ආකාශ වස්තුවක් දුටු බවට අන්තර්ජාලයේ වාර්තා පළ වෙයි. වරින් වර ලොව පුරා බොහෝ රටවල ආකාශ පර්යේෂකයෝ ද විවිධ මත පළ කරමින් සිටිති. මේ ආකාශ වස්තු යනු අතීතයේදී අප කවුරුත් හඳුන්වනු ලැබූ ‘පියාඹන පීරිසි‘ කතාව පුළුල් ලෙස දිග හැරීමකි. 70 දශකයේ අගභාගයේදී ජිප්සීස් කණ්ඩායම ගැයූ පාවෙන පීරිසියකින් ආ ‘කුරුමිට්ටෝ‘ ගීතයෙන් කියැවෙන පරිදි අඟහරු ලොවෙන් පැමිණීමක් හෝ මිටි සිරුරුවලට හිමිකම් කීමක් හෝ ලොව කිසිදු පර්යේෂණයකින් තහවුරු නොවූවත් අදටත් එය එසේ නොවන බවට කිසිවකුට තර්ක කළ නොහැකි අන්දමේ කුතූහලයකින් යුතු පුවතකි. දිනෙන් දින උණුසුම් වන දිනෙන් දින අලුත් වන මේ පිටසක්වළ ජීවීන් ගැන අලුත් කතාවක් ඊයේ පෙරේදා යළි ඉස්මතු වී තිබේ.

එය වාර්තා වූයේ ද පිටසක්වළ ජීවීන් ගැන වැඩිපුරම ප්‍රවෘත්ති මැවෙන එසේම. එවැනි කතා වැඩිපුරම ප්‍රතික්ෂේප කරන අමෙරිකාවෙන්මය. ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් එය වාර්තා වූයේ පසුගිය මාසයේ පස්වැනිදාය. හරියටම කියන්නේ නම් ඒ වෙනුවෙන් වෙන් කළ දිනයට දින 28කට පසුවය. හඳුනා නොගත් ආකාශ වස්තු ගැන දැන සිටියත් ඒ සඳහා ජාත්‍යන්තර දිනයක් වෙන් කර ඇති බව වැඩිදෙනකු නොදනී. සෑම වසරකම ජූලි මස 2 වැනිදා හඳුනා නොගත් ආකාශ වස්තු දිනය ලෙස නම් කර ඇත්තේ 2001 වසරේදීය. එය නම් කරනු ලැබුවේ ලොව පුරා විසිරී සිටින එවැනි පර්යේෂකයන්ගෙන් සැදුම්ලත් හඳුනා නොගත් ආකාශ වස්තුන් පිළිබඳ ලෝක සංවිධානය විසිනි. ඇතැමුන් එය ජූනි 24 වැනිදාට සමරන අතර, තවත් පිරිසක් ජූලි 2 වැනිදා සමරනු ලබයි. ජූනි මස 24 වැනිදාට සමරනු ලබන්නේ අමෙරිකාවේදී පළමුවරට එවැනි අද්භූත ආකාශ වස්තුවක් දුටු බවට එවකට අමෙරිකාවේ හිටපු ව්‍යාපාරිකයකු, අහස් යාත්‍රිකයකු හා දේශපාලනඥයකු වූ කෙනත් ආනෝල්ඩ් විසින් සිදු කරනු ලැබූ හෙළිදරව්ව නිසාවෙනි. එය සිදු වී තිබුණේ 1947 ජූනි මස 24 වැනිදා ය. ජූලි මස 2 වැනිදාට එය සමරනු ලැබීමට හේතු වූයේ මෙක්සිකෝවේදී පිටසක්වළ යානා ගැන ලොව කැලඹූ විශාලතම සිදුවීමේ හෙළිදරව්ව නිසාය.

හඳුනා නොගත් ආකාශ වස්තුන් පිළි­බඳ ලිපි­ගොනු තමා සතුව ඇතැයි කියන හිටපු ජනා­ධි­පති ට්‍රම්ප්

හඳුනා නොගත් ආකාශ වස්තුන් පිළි­බඳ ලිපි­ගොනු තමා සතුව ඇතැයි කියන හිටපු ජනා­ධි­පති ට්‍රම්ප්

1947දීම ජූලි මස 2 වැනිදා එය සිදුවූයේ මෙක්සිකෝවේ දේශසීමාව අසල පිහිටි රොස්වෙල් පළාතේදීය. අදටත් ‘හඳුනා නොගත් ආකාශ වස්තු කඩා වැටුණු ස්ථානය‘ හැටියට රොස්වෙල් ප්‍රදේශය ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ ද එබැවිනි. මේ දෙදින කිනම් ආකාරයෙන් සමරනු ලැබුවද එය සමරන්නේ එවැනි ආකාශ වස්තු ගැන සිහිනුවණින් සිටින ලෙස ලෝක ප්‍රජාවට දැනුම්දීමටය. සාම්ප්‍රදායිකව එදිනට හඳුනා නොගත් ආකාශ වස්තු දැක බලා ගැනීමට ලොව විවිධ රටවල විවිධ පළාත්වල ජනතාව එක්රොක්වී හිස් අහස දෙස බලා සිටීම මේ දිනය ප්‍රකාශයට පත්කළ දිනයේ සිටම සිදුවන්නකි. එහෙත් එදිනට එසේ වුවද අන් සෑම දිනයකදීම රාත්‍රී කාලයේ ලොව පුරා ඕනෑම රටක සිට ඇස් දහසක් හිස් අහස වෙතට එල්ල වී තිබෙන බව සහතිකවම කිව හැකිය.

ආකාශ වස්තු හෝ පිටසක්වළ ජීවීන් දුටු බවට ලොව පුරා විවිධ රටවලින් වරින්වර වාර්තා වන්නේ එබැවිනි. පෘථිවිවාසීන් රාත්‍රිය පුරා ඇස් කන් හැර අහස දෙස බලා සිටින බව පිටසක්වළ ජීවීන් පවා නොදන්නවා විය හැකිය. එහෙත් එය සැබැවින්ම සිදුවන්නකි. ශ්‍රී ලංකාවේ කියා වෙනසක් නැත. ආකාශ වස්තු හා පිටසක්වළ ජීවීන් ගැන කුතුහලයෙන් යුතුව සිටින ලොකු කුඩා කවුරුත් රාත්‍රි කාලයේ නිවෙසින් පිටතට පැමිණෙන මොහොතක අහස දෙස නිකමට හෝ නොබලන්නේ නම් එය පුදුමයකි.

පිටසක්වළ ජීවීන් ගැන ෆ්ලොරීඩා ප්‍රාන්තයේ අලුත්ම පුවත කරළියට සේන්දු වූයේද එවැනි අද්භූත ආකාශ වස්තු ගැන සිහිනුවණින් සිටි පිරිසක් නිසාය. ඔවුන් කියා සිටියේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි රෙඩ් රොක්ස් උද්‍යානය සහ එහි රංග ශාලාවට ඉහළින් අද්භූත වස්තුවක් පියාසර කළ බවටය. එය බැලූ බැල්මට අසත්‍ය හෝ කිසිවකු මුළා කරවනසුලු පුවතක් හෝ නොවන බව අමෙරිකාවේ ජනතාව හොඳින්ම දන්නේ දැනට වසර 77ක කාලයක් පුරා මෙය දිගින් දිගටම සිදුවෙමින් පවතින නිසාය.

ඔවුන් රෙඩ් රොක්ස් උද්‍යානයේ සේවක පිරිසකි. ඔවුන් මේ අද්භූත ආකාශ වස්තුව දැක තිබුණේ රාත්‍රි කාලයේ මධුවිතින් සප්පායම් වී විනෝදයෙන් සිටින මොහොතකදීය. ඒ ගැන ඔවුන් කීවේ ද මීට පෙර කවුරුත් අසා ඇති කතාවමය. ජිප්සීස් සුනිල්ලා කුරුමිට්ටෝ ගීතයෙන් කියූ කතාවමය.

‘ඒක විශාල පීරිසියක් වගේ දෙයක්. ඒක පාවෙවී තිබුණේ රංග ශාලාවට ඉහළ අහසේ. කිසිම ශබ්දයකින් තොරව පාවෙන්න පටන් ගත්තා. ඊළඟට අතුරුදන් වුණේ තත්ත්පර 30ක් වගේ කෙටි කාලයකදියි. හරියටම කියනවා නම් තට්ටු තුනේ බිල්ඩිමක ප්‍රමාණයේ එකක්. ඒක ගුවන්යානයක් නෙවෙයි. ඒක චන්ද්‍රිකාවකුත් නෙවෙයි. ඩ්‍රෝන යානාවකුත් නෙවෙයි කියලා අපිට හොඳටම විශ්වාසයි. පොළොවට අඩි සිය ගණනක් උඩින් පාවුණා. කවුළු පේළි තුනක් තිබුණා. විදුලි බුබුළු ගොඩාක් තිබුණා. ඊට පස්සේ එකපාරටම විදුලි බුබුළු නිවුණා. ඒ එක්කම වගේ අතුරුදන් වුණා.‘ බැලූ බැල්මට එය ගෙතූ කතාවක් ලෙස පෙනුණත් සැබැවින්ම එය සිදුවී තිබිණි. ඇසින් දුටු සාක්ෂි 12කින්ම පුන පුනා කියැවුණේ එකම දේ ය.

මේ සිදුවීම අමෙරිකාව පුරා පැතිරී යෑමට වැඩි කාලයක් ගත නොවූ අතර, ඇතැමුන් කියන්නට වූයේ මෙවැනි හඳුනා නොගත් ආකාශ වස්තු නිතර නිතර අමෙරිකාවෙන්ම දර්ශනය වන්නේ ඇයි දැයි යන්නය. ඇතැමුන් කීවේ පිටසක්වළ ජීවීන්ගේ පෘථිවි මූලස්ථානය අමෙරිකාව විය හැකි බවය. එය ද බැහැර කළ නොහැකි තර්කයක් වන්නේ පසුගිය දශක ගණනාව පුරා වැඩිපුරම එවැනි අද්භූත ආකාශ වස්තු ගැන තොරතුරු වාර්තා වූයේ ද අමෙරිකාවෙන් වන බැවිනි.

අමෙරිකාවේ හඳුනා නොගත් ආකාශ වස්තු ගැන ජාතික පර්යේෂණ ආයතනයේ වාර්තාවට අනුව 1974 වසරේදී එම ආයතනය ස්ථාපිත කිරීමෙන් පසු මේ දක්වා ඔවුන්ට වාර්තා වූ මෙවැනි තොරතුරු සංඛ්‍යාව 1,70,000කට වැඩි බවය. ඔවුන් මේ සියලුම වාර්තා ගැන සොයා බලමින් සිටින අතර, වරින් වර වැඩිදුරට සොයා බැලීම සඳහා එවැනි වාර්තා විවිධ පර්යේෂකයන් අතට පත් කිරීමට ද පියවර ගෙන තිබිණි. වැදගත්ම කාරණාව වන්නේ 2022 වසරෙන් පසු එවැනි තොරතුරු වාර්තා වීම වේගවත්ව සිදුවීමය. එය හඳුනා නොගත් ආකාශ වස්තු ගැන ජාතික පර්යේෂණ ආයතනයේ විමතියට මෙන්ම කලබලයට හේතුවක් වී ඇතැයි ද වාර්තා විය.

එය දෙගුණ තෙගුණ වූයේ පසුගිය වසරේ ජූලි මාසයේදී අමෙරිකාවේ විශේෂිත සෙනෙට් කමිටුවක් හමුවේ කරුණු කාරණා හෙළිදරවු වීමත් සමඟය. එය හෙළි කරනු ලැබුවේ අමෙරිකානු ගුවන් හමුදාවේ සහ බුද්ධි අංශයේ හිටපු නිලධාරියකු වූ ඩේවිඩ් ග්‍රස්ච් විසිනි. ඔහු කීවේ හඳුනා නොගත් ආකාශ වස්තු සහ හඳුනා නොගත් අද්භූත ගුවන් සිදුවීම් සම්බන්ධව අමෙරිකානු රජය අතිශය රහසිගත වැඩසටහනක් පවත්වා ගෙන යන බවය. එමෙන්ම මිනිසුන් රහිත පිටසක්වල අභ්‍යකාශ යානා සහ ජීවින් යැයි පැවසෙන ගුවන් නියමුවන්ගේ මළ සිරුරු අමෙරිකානු රජය සතුව ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ සත්‍ය ප්‍රකාශයක් බවට දිවුරුම් දීමෙන් පසුවය. ඔහුගේ මේ අනාවරණය අමෙරිකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල ආන්දෝලනයට තුඩු දුන් අතර, මේ විස්මිත හෙළිදරව්ව නිසා නිවේදනයක් නිකුත් කිරීමට පෙන්ටගනයට පවා සිදු විය. එය සුළුවෙන් තැකිය නොහැකි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් විය. එය සිදු කරනු ලැබුවේ එරට බුද්ධි අංශයේ හිටපු නිලධාරියකු විසිනි. තමා සමඟ එම තොරතුරු හුවමාරු කරගත් පුද්ගලයන් රැසක් පසුව ඝාතනයට ලක්වූයේ තොරතුරු වසන් කිරීමට රජය දරන උත්සාහයේ කොටසක් ලෙස බව හිටපු බුද්ධි අංශයේ නිලධාරියා කළ ප්‍රකාශය අතිශය බරපතළ විය. කතාව ඉන් අවසන් නොවීය.

ඊට මාසයකට පසු මෙක්සිකෝවේ කොන්ග්‍රසය හමුවේදී මින් පෙර කිසිවකු සියැසින් නොදුටු පිටසක්වළ ජීවීන්ගේ යැයි කියන මළ සිරුරු දෙකක් ප්‍රදර්ශනය කෙරිණි. එරට රූපවාහිනියේ එය සජීවිව ලොවටම ප්‍රදර්ශනය වූ අතර, ඉන් පියාඹන පීරිසි හා පිටසක්වළ ජීවීන් අමෙරිකාවේ සඟවා ඇතැයි අමෙරිකානු බුද්ධි අංශයේ හිටපු නිලධාරියා කළ ප්‍රකාශයට නැවත ජීවය ලැබිණි. දැන් සිදුවෙමින් පවතින්නේ මේ සියලු තොරතුරු හා එකට බැඳුණු සිදුවීම් මාලාවක කතා පුවතකි.

එය දැන් තවත් දිග්ගැස්සී තිබේ. හේතුව එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විවාදයකට එක්වන ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අභියෝග කිරීමේදී මේ කියන පිටසක්වළ ජීවීන් හා හඳුනා නොගත් ආකාශ වස්තු ගැනත් සඳහන් කර ඇති බැවිනි. ඔහු කියා ඇත්තේ ජනපති සටනින් බයිඩ්න් පරාජයට කිරීමට තරම් වැදගත් හා අත්‍යවශ්‍ය හඳුනා නොගත් ආකාශ වස්තු පිළිබඳ ලිපිගොනු රාශියක් ඔහු සතුව ඇති බවය.

මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ඇදී ගිය කරුණු රැසකට මුල් වී සිටින බැවින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ ගැන එරට ජනතාව තුළ එතරම් පැහැදිලි චිත්‍රයක් නැති බව සැබෑය. එහෙත් හඳුනා නොගත් ආකාශ වස්තු ගැන අමෙරිකානු ජනතාව අතර දශක ගණනාවක සිට පවතින කුතුහලය හා සැකය වැඩිදියුණු කිරීමට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සමත් වී තිබේ. ඔහු නොකියා කියන්නේ පසුගිය වසරේදී අමෙරිකානු කොන්ග්‍රසය හමුවේ හිටපු බුද්ධි අංශයේ නිලධාරියා සිදු කළ ප්‍රකාශය තහවුරු කිරීමක් ද විය හැකි බව ඇතැමුන්ගේ අනුමානය වී තිබේ.

එය එසේ නම් මතුවී ඇත්තේ දශක ගණනාවක් පුරා වරින් වර පත්වන අමෙරිකානු රජයන් හා පෙන්ටගනය ආරක්ෂා කිරීමට දැඩි උත්සාහයක නිරත වන පිටසක්වළ ජීවීන්ගේ කතාව සැබෑවක් වීමේ ඉඩකඩකි. එසේ වුවත් තමා සතුව ඇතැයි කියන මේ හඳුනා නොගත් ආකාශ වස්තු ගැන තොරතුරු ඇතුළත් ලිපිගොනු වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ විවාදයට භාවිත කළ ද, ඒවා ජනතාව හමුවේ ප්‍රසිද්ධියට පත් කරන බවත් ට්‍රම්ප් මෙතෙක් ප්‍රකාශ කර නැත. ඉන් කියැවෙන්නේ ඔහු සිය ජයග්‍රහණය වෙනුවෙන් ඒවා තුරුම්පු බවට පත් කරගැනීමට උත්සාහ දරන බව නොවේදැයි තවත් පිරිසක් අනුමාන කර තිබේ.

මීට පෙර බුද්ධි අංශයේ හිටපු නිලධාරියා කළ අභියෝගය හමුවේ වහා නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ පෙන්ටගනය මෙවර හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හමුවේ මුනිවත රැකීමත් ගැටලුසහගතය. ඒ අතරතුර පෙන්ටගනය හා සමීපව කටයුතු කරන නව දර්ශන සම්බන්ධ රජයේ ආයතනයේ ප්‍රධානියා වන ඩැනියෙල් ශීහාන් මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබේ. ‘හඳුනා නොගත් ආකාශ වස්තු ගැන අමෙරිකාවට මීළඟට පත්වන ජනාධිපතිවරයා වැදගත් තීන්දුවක් ගනු ඇත. එය අද්භූත පිටසක්වළ ජීවීන් ගැන හා රජයේ විනිවිදභාවය ගැන තීරණයක් වනු ඇත.‘ එය අමෙරිකානු ජනතාව තුළ අද්භූත ආකාශ වස්තු හා පිටසක්වළ ජීවීන් ගැන කුතූහලය සහ රජයේ මැදිහත්වීම ගැන සැකය උපදවනසුලු ප්‍රකාශයක් බවට ද පත් වී තිබේ.

විමතියට කරුණ නම් තාක්ෂණයේ උපරිම දියුණුවට පත්වූ යුගයකදී පවා පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන කතා දශක 7කට වැඩි කාලයක් තිස්සේ අසමින් සිටින ලෝක වාසීන්ට තවමත් එය සනාථ කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය නොවීමය. කුඩා දරුවන්ගේ සිට මහලු වියේ පසුවන පුද්ගලයන් දක්වා අඩුවැඩි නැතිව එක ලෙස කුතුහලය දනවනසුලු මේ අද්භූත කතාවට මෙතෙක් විසඳුමක් ලැබී නොතිබීමය. වරින් වර ලොව පුරා විවිධ රටවල පර්යේෂකයන් තව තවත් කුතුහලය දනවන කරුණු කාරණා හෙළි කරමින් සිටින අතර, ඒවායින් පවා සිදුවී ඇත්තේ පෘථිවිවාසීන්ට මේ අද්භූත ජීවියා ගැන භීතිය වැඩිවීම පමණි.

පසුගියදා අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් නිකුත් කරනු ලැබූ අධ්‍යයන වාර්තාවකින් කීවේ මිනිස් වෙස්ගත් පිටසක්වළ ජීවීන් අප අතරේම සිටිය හැකි බවකි. එය දැනටමත් පිටසක්වළ ජීවීන් ගැන බියෙන් පසුවන ලෝකවාසීන්ට අනුව ‘ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක්‘ වැනි හෙළිදරව්වකි. දැන උගත් පර්යේෂණ කණ්ඩායමක් විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවක් නිසා එය සැහැල්ලුවට ගැනීමට ද නොහැකිය. ඇරත් මේ අරුම පුදුම ජීවියාට අප අතරේ සැරිසරමින් මිනිසුන් ලෙස පෙනී සිටීමේ හැකියාව සහ මිනිස් වෙස් ගැනීමේ හැකියාව ඇතැයි ප්‍රකාශ කිරීම නිසා දැන් කුතුහලය පමණක් නොව භීතියත් දෙගුණ තෙගුණ වී තිබේ.

පර්යේෂකයන් පුන පුනා කියන, අමෙරිකානු රජය සහ පෙන්ටගනය ප්‍රතික්ෂේප කරන මේ අගමුලමැද පැටලුණු පිටසක්වළ ජීවියාගේ කතාවත්, ඊයේ පෙරේදා අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ වැදගත් හා අත්‍යවශ්‍ය හඳුනා නොගත් ආකාශ වස්තු පිළිබඳ ලිපිගොනු රාශියක් තමා සතුව ඇතැයි කියන කතාවත් නිසා ලෝකවාසීන්ට දැන් පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසියේ කතාව එහෙම පිටින්ම හතර බිහිරි කතාවක් බවට පත් වී ඇත.

පසු­ගි­යදා අද්භූත වස්තු­වක් පියා­සර කළ බව කියන ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි රෙඩ් රොක්ස් උද්‍යා­නය සහ එහි රංග­ශා­ලාව

පසු­ගි­යදා අද්භූත වස්තු­වක් පියා­සර කළ බව කියන ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි රෙඩ් රොක්ස් උද්‍යා­නය සහ එහි රංග­ශා­ලාව

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division