තොටිල්ල පැදවූ අත රට ආණ්ඩු කරන්නට පටන් ගෙන බොහෝ කලකි. ලොව පළමු අගමැතිනිය බිහිවී ගතවූ දශක කිහිපය තුළ විවිධ ක්ෂේත්‍ර තුළින් ලොව ජයකෙහෙළි නංවන්නට ලාංකේය ගැහැනුන්ට හැකි විය. ලොව වඩාත්ම බලපෑම් සහගත කාන්තාවන් අතර ලාංකේය කාන්තාවන් කිහිප දෙනෙකුම වේ. අපමණ බර උසුලමින් ජීවිත ගිරිදඹ තරණය කරන සුවහසක් ගැහැනු අතර ජයන්ති කුරුඋතුම්පාල එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූවාය. ගුවන සරනා ලාංකේය ගුවන් නියමුවරියන් අතර, ශ්‍රී ලාංකික යුවතියක වන කවිනි නිම්තරා සිය හපන්කම් දැක්වූයේ තනිව රොකට්ටුවක් ගුවන් ගත කරමිනි. ලංකාවේ නම කීර්තියට පත්කළ මෙවැනි සුරුවිරු ලියන් අතරට අලුතෙන්ම එක් වූයේ ගාල්ලේ නයෝමි අමරසිරි නමැති යුවතියකි. ඒ, මගී ප්‍රවාහන නෞකාවක සේවය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කත බවට පත්වෙමිනි.
නයෝමි අමරසිරි පිළිබඳ ඒ පුවත අනාවරණය වූයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ඉකුත් දා ඇය පිළිබඳ තැබූ ඇගැයීම් සටහනකිනි. ඔවුහු ඇයට ඇගැයීමට ලක් කර තිබුණේ ‘ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්රයේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බාධක බිඳ දැමූ කාන්තාවක ලෙසිනි. ඒ අනාවරණයත් සමඟ ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ කාන්තාවන් කළමනාකරණය සඳහා වන සංවිධානය (WIM) විසින් ඉකුත් සතියේ පැවැත්වූ 5 වැනි New Generation Asia Awards 2024 උලළේදී යොවුන් නායක සම්මානයෙන් පිදුම් ලැබීමට ද නයෝමි වාසනාවන්ත වූවාය. අප මේ මේ දිරිය යුවතිය හමු වූයේ මාස අටක නෞකා ගමනකට පසු නිවාඩු ලබා මවුබිමට පැමිණ සිටින අතරේදීය.
“මම ඉපදුණේ ගාල්ලෙ. ඉගෙන ගත්තෙ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ. පාසල් කාලයේ මම ක්‍රීඩාවට වගේම බාහිර කටයුතුවලත් යෙදුණා. ඒත් ඒ කාලේ ඉඳලම මම ආශාවෙන් හිටියේ නාවික හමුදාවට බැඳෙන්න. ඒකට හේතුව ඒ වෙද්දි මගේ අයියලා දෙන්නත් සේවය කළේ නාවික හමුදාවේ වීම නිසයි. නමුත් මම නාවික හමුදාවට බැඳෙනවට අම්මයි තාත්තයි කැමති වුණේ නැති නිසා මගේ ඊළඟ ආසාව වුණේ මාධ්‍යවේදිනියක් වීම. 2012දී කලා අංශයෙන් උසස් පෙළට පෙනී සිටි මට උසස් පෙළ ප්‍රතිඵල අනුව ශ්‍රී පාලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණත් මම ඒ සඳහා අයැදුම් කළේ නැහැ. ඒකට හේතුව ඒ වෙද්දි මාධ්‍ය හීනය වෙනුවට වෙනත් හීනයක් මගේ හිතේ ඇති වීමයි. ඊට පස්සේ මම ඒ හීනය වෙනුවෙන්මයි කැප වුණේ.” ඇය කියන්නේ සිනාසෙමිනි. ඒ හීනය කුමක්දැයි මගේ පැනයට නයෝමි පිළිතුරු දුන්නේ සිය සුරත පෙන්වමිනි. එහි වූයේ නැංගුරමක ටැටූවකි.
“මේ නැංගුරමෙ ටැටූ එක ගැහුවෙ 2018දී. ඒ වෙනකොට මගේ හිතේ කලින් තිබුණු නාවික ක්ෂේත්රයට එකතු වෙන හීනය ආයෙමත් පණ ගැහෙන්න පටන් අරගෙන තිබුණා. ඒ වෙද්දි ලංකාවේ කාන්තා කැඩෙට්ලා කිහිප දෙනෙක් හිටියත් මගී ප්‍රවාහන නෞකාවලට කාන්තාවො ගත්තෙ ගොඩක් අඩුවෙන්. බොහෝ වෙලාවට ඒවට ගන්නේ පිරිමි අය විතරයි. ඒකට හේතුව සීෆෙයාරර් කෙනෙකුට කරන්න තියෙන වැඩ කොටස ගොඩක් අමාරුයි වගේම වගකීමත් ගොඩක් වැඩියි. ඒත් මට ඉලක්කයක් තිබුණා මම කොහොම හරි මගේ හීනෙට යනවා කියලා. ඒ ගැන හොයමින් ඉන්නකොට 2021දී මට මහපොළ වරාය සහ සමුද්‍රීය ඇකඩමිය පවත්වන පාඨමාලාවක් ගැන දැනගන්න ලැබුණා. ගැහැනු ළමයින්ට ඒ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ ලැබුණේ පළමු වතාවටයි. ශ්‍රී ලංකා ජාතික නාවික සංගමයේ සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අනුග්‍රාහකත්වය ඇතිව පැවති එම පාඨමාලාවේ මුල් කණ්ඩායමට 25 දෙනෙක් පමණ සහභාගි වුණා. මමයි තව ගැහැනු ළමයි දෙන්නෙකුයි හැර එහි සිටි අනිත් හැමෝම පිරිමි ළමයි. ඒක මාස 8ක පාඨමාලාවක්.”
සාර්ථක ලෙස එම පාඨමාලාව නිම කළ නයෝමිට එය අවසන් වීමත් සමඟම ජර්මන් සමාගමකට අයත් අයිඩා සෝල් නමැති මගී ප්‍රවාහන නෞකාවට එක්වීමට අවස්ථාව සැලසිණි. ඒ ගැන නයෝමි මෙසේ කීවාය.
“මට ඒ අවස්ථාව ලැබුණේ Mercantile Marine Management සමාගම නිසයි. පාඨමාලාව අවසන් වෙද්දිම ඔවුන් මා ගැන අයිඩා සෝල් නැව අයිති ජර්මන් සමාගමට රෙකමදාරු කර තිබුණා. ඊට කලින් මැරින් මැනේජ්මන්ට් සමාගමේ නිලධාරින් මාව සම්මුඛ පරීක්ෂණයකට ලක් කළා. ඊට පස්සෙයි ජර්මන් නැව් සමාගම සම්මුඛ පරීක්ෂණයක් තියලා මාව බඳවා ගත්තෙ. මම මුල්ම නෞකා ගමන ගියේ යුරෝපයට. දෙවැනි සැරේ ලෝක සවාරියකට එක් වුණා. මුලින්ම නැවට යද්දි මට පුදුම හිතුණා මෙච්චර විශාල, ලස්සන නැවක මට රස්සාවක් ලැබුණා කියන එක මට අදහගන්නත් බැරි වුණා.”
ඒ සතුට, විස්මය දැනුදු ඇයගේ මුහුණේ වේ. සුන්දර ආශ්චර්යවත් මුහුදු සවාරියක් වූවද එහිදී ඇයට පැවරුණු වගකීම ද මහ සයුර තරමටම ගැඹුරු විය.
“ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණා. පාඨමාලාව තුළින් අපිට ලැබෙන්නේ න්‍යායික දැනුම විතරයි. ඒ හැමදේම ප්‍රායෝගිකව අත්විඳින්න ලැබුණේ නැවේදි. එතැනදි ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. හැමදේටම වැඩිය මම ආධුනිකයෙක්. මගේ පළමු මුහුදු ගමන. ලොකු අභියෝගයක්. විශාල වගකීමක්. ආරක්ෂාව තමයි අපේ මූලිකම වගකීම. පළවැනි වාර නැවට ගිහින් වැඩ කරද්දි මට හිතුණා, මේක ගොඩක් අමාරුයිනෙ, ඉදිරියට තවත් ගොඩක් අමාරු වෙයි නේද කියලා. හැබැයි මට කවදාවත් මේක දාලා එන්න නම් හිතුනෙ නැහැ.” නයෝමි අමරසිරි පැවසුවේ උද්යෝගිමත් හඬිනි. ඒ අධිෂ්ඨානය තමාට ලැබුණේ සිය ආත්ම විශ්වාසය නිසා බව ද ඇය කීවාය.
“මට මූලිකම අභියෝගය වුණේ මම තරුණියක් වීම නිසා. ගොඩක් අය කිව්වේ ගැහැනු ළමයෙකුට මේ ක්ෂේත්රය ගැළපෙන්නෙ නැහැ, ඒක කරන්න බැහැ කියලා. නමුත් මම ස්ථිර තීරණයක හිටියා මම කරන්නේ මේ දේම තමයි කියලා. මගේ මවුපියන්ට විශ්වාසයක් තිබුණා මම ගත්ත තීරණය ගැන. එතැනින් එහාට මම වෙන කිසිම කෙනෙක් කියන දේවල් ගැන හිතුවෙ නැහැ. මම හිතුවේ මට මේක කරන්න ඕනේ, මට ඒක කරන්න පුළුවන් කියලා විතරයි. ඒ හැරුණාම ආධුනිකයෙක් විදිහට මට පැවරිලා තියෙන හැම රාජකාරියක්ම නිවැරදිව ඉතා ඉක්මනින් ඉගෙන ගැනීම අභියෝගයක් වුණා. නමුත් විවිධ රටවල්වල අය එක්ක සහ ලංකාවේ අපේ අය එක්ක වැඩ කරද්දි මට ඒ අභියෝගයත් පහසුවෙන් ජයගන්න පුළුවන් වුණා. ඔවුන් හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා.”
නයෝමි මේ වන විට අයිඩා සෝල් මගී ප්‍රවාහන නෞකාවේ සේවයට බැඳී මාස 16කි. මේ වන විට ඇය මාස 8 බැගින් අයිඩා සමඟ ගමන් වාර දෙකකට සහභාගි වී ඇත.
“දෙවැනි ගමන් වාරය නිම කරලා මම ගෙදර ආවේ පහුගිය ජුනි මාසයේ. නැවත යන්නේ සැප්තැම්බර් මාසයේ. අයිඩා සෝල් අයිති නැව් සමාගමට නැව් 11ක් තියෙනවා. ඒ අතරින් අපි කැමති නැවකට යන්න ඉල්ලන්න පුළුවන්. මම පහුගිය ගමන් වාර දෙකම ගියේ අයිඩා සෝල් එක්ක. තුන්වැනි ගමනත් අයිඩා සෝල් එක්කම යන්න තමයි බලාපොරොත්තුව. මේ වෙද්දි මම නෝර්වේ, ස්වීඩනය, අයිස්ලන්තය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ දකුණු අමෙරිකාව ආදී රටවල් 34කට ගිහින් තියෙනවා.”
මාස 16ක් තුළ රටවල් 34ක සංචාරය කළ නයෝමි පවසන්නේ බොහෝ දෙෙනකුට දකින්නට නොලැබෙන ලෝකයේ ඉතා සුන්දර ස්ථාන රාශියක් දැක ගැනීමට ලැබුණු අවස්ථාව සිය වෘත්තීය ජීවිතයේ අමතක නොවන සහ සුන්දරම අත්දැකීම බවය.
“ඒක සීෆෙයාරර් කෙනෙකුට විතරක්ම ලැබෙන අත්දැකීමක්. ලෝක සිතියමේ තියෙන කාටවත් බලන්න බැරි ස්ථාන පවා මුහුද මැද්දෙන් යද්දි අපිට බලන්න පුළුවන්. රටවල් 34ක ඇවිදින්න ලැබීම ඉතාම සුන්දර අත්දැකීමක්.” නයෝමිගේ අත්දැකීම් මේ ක්ෂේත්රයට පිවිසීමට කැමැති යුවතියන්ට අභිප්‍රේරණයක් වනු නිසැකය. ඒ ගැන ද ඇය මෙසේ කීවාය.
“ලංකාවේ තරුණියන් බොහෝ දෙනෙක් මේ ගැන දැනුම්වත් නැහැ. ගොඩක් අය දන්නේ නැවක සේවයට බැඳෙන්න පුළුවන් කැඩෙට්ලා විදිහට විතරයි කියල. ඒ සඳහා විශාල වියදමක් දරන්න වෙන නිසා ගොඩක් අයට ඒ අවස්ථාව ලැබෙන්නෙ නැහැ. නමුත් දැන් ලංකාවේ මෙවැනි පාඨමාලා පවත්වන ආයතන තිබෙනවා. එවැනි ආයතනයකට යොමු වෙලා ලංකාවේ ආර්ථික මට්ටම අනුව දැරිය හැකි මුදලකට මෙවැනි පාඨමාලාවක් හදාරලා මේ ක්ෂේත්රයට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා මම අපේ තරුණියන්ට කියන්නෙ බය නැතුව මේ ක්ෂේත්රයට එන්න කියලා. සමහරු කියනවා මේ රැකියාව තරුණියන්ට සුදුසු නැහැ, මුහුද මැද්දේ තරුණියකට ජීවත් වෙන්න බැහැ, රැකියාව කරන්න බැහැ කියලා. නමුත් එය පුහු මතයක් විතරයි. මේ වෙද්දි මම ගමන් වාර දෙකක් ගිහින් තියෙනවා. ඒ කිසිම ගමනකදි මට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ආත්ම විශ්වාසය, එඩිතරකම තියෙනවා නම් බය නැතිව මේ ක්ෂේත්රයට එන්න, වැඩ කරන්න කියලා මම කියන්න කැමතියි.”
මෙතෙක් ආ ගමනේදී අතහිත දුන් සියලු දෙනාට කෘතඥ වන්නට ද නයෝමි අමතක නොකළාය. මෑතකදී වියෝවූ සිය පියා වජිර අමරසිරි, මව හේමමාලි පතිරණ, අනුෂ්ක සහ සංඛ යන දෙසොහොයුරන්, ක්ෂේත්රයට යොමුවීමට මඟපෙන්වූ මානෙල් අතුකෝරල, පාලිත අතුකෝරල, ලලිත් ඒකනායක, ඔරනි නෙල්සන්, හිමාෂා ඉද්දමල්ගොඩ, අසිත සෙනෙවිරත්න සහ සුලෝචනා සිගේරා සහ භාග්‍යා වෙත්තසිංහ යන අය ඒ අතර වේ.
ශ්‍රී ලාංකේය යුවතියක ලෙස විශාල වගකීමක් දරමින් සමුදුර තරණයේ යෙදෙන නයෝමි අමරසිරි ඒ පිළිබඳ සිහි කළේ අභිමානයෙනි.
“ඒක පුදුමාකාර සුන්දර හැඟීමක්. ලංකාව කියන්නේ ගොඩක් අය කැමැති රටක්. නැවේදි හමුවන අය ලංකාව හරිම ලස්සන රටක් කියද්දි මටත් ගොඩක් සතුටුයි. මමත් ලංකාවේ කියල දැනගත්තම එයාලා ගොඩක් සතුටු වෙනවා. ළඟදි තිබුණු කාන්තා සීෆෙයාරර් එකේදී මට ශ්‍රී ලංකා ධජය අරගෙන අපේ රට නියෝජනය කරන්න ලැබුණා. ඒ වෙලාවේ මට අපේ රට ගැන පුදුම අභිමානයක් දැනුණා.”
ඒ අභිමානයෙන් උපන් සතුටින් දැනුදු ඇයගේ දෙනෙත් දිදුලයි. තවමත් 30 වැනි වියේ පසුවන මේ සොඳුරු යුවතියගේ ඉදිරි අපේක්ෂා බොහෝ ධෛර්ය සම්පන්නය.
“මගේ බලාපොරොත්තුව කැප්ටන් කෙනෙක් දක්වා මේ ක්ෂේත්රයේ ඉහළටම යන්න. ඒ සඳහා යා යුත්තේ පියවරෙන් පියවරයි. ඔෆිසර් විභාගයට පෙනී ඉන්න මම මේ විදිහට මාස 36ක අත්දැකීම් ලබාගත යුතුයි. ඊට පස්සේ ඉදිරි පියවරට යා යුතුයි. යා හැකි උපරිම දුර යන්න මම බලාපොරොත්තු වෙනවා.”
ඇය පැවසුවේ තිර හඬිනි. පාසල් වියේදී දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වූ ඇයට දැන් ඒ සඳහා අවකාශයක් නොවුණද විවේකයක් ලද විටෙකදී පොත් කියවීමටත් සංගීතයට සවන් දීමටත් ප්‍රිය කරන්නීය. තවමත් තාරුණ්‍යයේ පසුවන ඇයගේ හදවතට ප්‍රේමය ආගන්තුක විය නොහැකිය. ඒ ගැන විමසද්දී ඇය දුන්නේ අපූරු පිළිතුරකි.
“මම පෙම්වතියක් නෙවෙයි. මට ඕනේ මේ ක්ෂේත්රයෙන් ඉහළටම යන්න. ඒ ඉලක්කයට යන ගමනට ආදරය බාධාවක් වෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා මගේ හිතේ තියෙන හීනෙ සැබෑ කරගන්නකම් ආදරේ කරන්නෙ නැහැ කියලයි මම තීරණය කරගෙන ඉන්නෙ. ඇත්තටම ආදරේ ගැන මට හීනයක් නැහැ.”