මගී ජනතාවගේ ගමන් පහසුව පිණිස උදෑසන පළමු බස් රථයත් රාත්‍රී අවසන් බස් රථයත් ධාවනය කෙරෙන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය හෙවත් ලංගමෙනි. එදා සිට අද දක්වාම ජනතාවට එවන් අතිවිශාල සේවාවක් සපයනු ලබන ලංගම බස් සේවාව විධිමත් කළ යුත්තේ මඟී ජනතාවට මම මඟ ‘කොට කොටා‘ ගමන් කරන පෞද්ගලික බස් රථවලින් ලංගම මෙන් ගුණාත්මක බවින් ඉහළ සේවාවක් සිදු නොවන හෙයිනි. ආදායම පමණක්ම මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථ සේවාව ක්‍රියාත්මක වන හෙයින් සේවය යන්නට ‘පෞද්ගලික බස් රථවල ප්‍රමුඛතා ලැයිස්තුවේ ‘ ඇත්තේ අඩු සැලකිල්ලකි. එවන් තත්ත්වයක් උඩ ලංගම බස් රථ සේවාව ගුණාත්මක බවින් ඉහළ නැංවීමට නම් ලංගම බස් රථ ඇණියද ඉහළ නැංවිය යුතුය.
පාසල් සිසුන් වෙනුවෙන් කලකට පෙර සැපයූ පාසල් සේවය අද වන විට සිසුසැරිය ලෙසින් දියුණු වී විශාල සේවාවක් සැපයීමට කටයුතු කර ඇත. එමෙන්ම දුර ගමන් බස් රථ සේවා ද නගර සේවා ද විධිමත් කළ යුතු හෙයින් වසරකට වරක් භාවිතයෙන් ඉවත් කරනු ලබන බස් රථ වෙනුවෙන් නව බස් රථ ඇණියට එක් කළ යුතුය. නොඑසේ නම් අබලන් බස් රථ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කළ යුතුය. අපේ ලංගම බස් රථවලින් සැලකිය යුතු බස් රථ සංඛ්‍යාවක් ඩිපෝවල ගාල් කර ඇත්තේ ‘එන්ජින් හා ජියර් පෙට්ටිවල දෝෂ නිසාය. ඇතැම් එන්ජින් යළි පූර්ණ අලුත්වැඩියා කිරීමට විශාල මුදලක් වැය වේ. එවන් මුදලක් වැය කර එන්ජින් අලුත්වැඩියා කිරීමට වඩා අලුත් එන්ජිමක් මිලට ගැනීම වඩාත් අගනේය. ඒ නව එන්ජිමකින් ධාවනය කළ හැකි දුර ප්‍රමාණය වැඩි හෙයිනි. ගියර් පෙට්ටිවල තත්ත්වය ද එසේමය.
විශේෂයෙන්ම අපේ රටේ බහුතරයක් භාවිත කෙරෙන ලේලන්ඩ් බස් රථවලට එන්ජින් ජියර් පෙට්ටි අලුතින් යොදා තවත් සැලකිය යුතු කාලයක් ධාවනය කළ හැකිය. ලංගම විසින් අබලි බස් ලෙසින් වෙන්දේසි කරනු ලබන බස් රථ මිලට ගෙන පෞද්ගලික බස් හිමියන් මගී ප්‍රවාහනයේ යෙදෙන්නේ එවන් බස් රථවලට එන්ජින් හා ගියර් පෙට්ටි අලුතින් යොදවමිනි.
මේ ක්‍රමවේදය කලකට පෙර ලංගම බස් රථවලට ද ක්‍රියාවට නැංවුණි. ඒ වේරහැර, ඒකල, කැප්පෙටිපොළ, ගාල්ල පෙට්ටිගලවත්ත බස් රථ පූර්ණ අලුත්වැඩියා කර්මාන්තශාලාවලය. එය ලංකාව වැනි රටකට වඩාත් ආර්ථික ශක්තියක් ද ගෙන දෙන්නකි.
යළිත් එවන් සංකල්පයක් ගෙන එන්නට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් කටයුතු කර ඇත. ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය ශක්තිමත් කිරීම සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම සමඟ අශෝක් ලේලන්ඩ් බස් රථ එන්ජින් මිල දී ගැන්මට ගිවිසුමක් අත්සන් කර ඇත.
ඒ අනුව ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් නව බස් රථ එන්ජින් මිලදී ගැනීම පසුගියදා සිදු කෙරිණි. එලෙසින් මිල දී ගත් නව එන්ජින් කට්ටල ලංගම ඩිපෝ වෙත බෙදා දීම පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධාත්වයෙන් සිදු විය. ඒ ලංගම සභාපති ලලිත් ද අල්විස් ලංගම ඇතුළු විධායක නිලධාරීන් හා ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම් ඇතුළු එම සමාගමේද නිලධාරීන් පිරිසක් සමඟය.
නවතම එන්ජින් කට්ටල 70ක් මේ යටතේ ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 490කි. එම ව්‍යාපෘතිය ආරම්භ කරමින් සංකේතාත්මක ලෙසින් දිවයින පුරා ඇති ඩිපෝ 12ක් වෙත නව එන්ජින් කට්ටල භාරදීම සිදු කෙරිණි.
ඒ යටතේ නැඟෙනහිර ප්‍රදේශයට අයත් වාලච්චේන, අම්පාර, මඩකලපුව, කින්නියා, ත්‍රිකුණාමලය, මුතුර්, කලවන්චිකුඩි, ඩිපෝ වෙතත් කළුතර ප්‍රාදේශීයට අයත් පානදුර, කළුතර, අලුත්ගම, මතුගම, හොරණ යන ඩිපෝ වෙතත් එම එන්ජින් ලබා දීම සිදු කෙරිණි.
ඒ අනුව මේ එන්ජින් යොදාගෙන ඩිපෝවල භාවිතයෙන් ඉවත් කර ඇති බස් රථ අලුත් වැඩියා කර ධාවනයට එක් කිරීමට නියමිතය.
එලෙසින් අලුත්වැඩියා කරන බස් රථ දුර ගමන් සේවා වෙනුවෙන් ප්‍රමුඛතා ලබා දෙමින් ධාවනයට කටයුතු කෙරෙනු ඇත
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් සිළුමිණට පවසා සිටියේ මේ වන විට ධාවනයෙන් ඉවත් කර ඇති කිලෝමීටර් ලක්ෂ 12කට වඩා ධාවනය කර ඇති චැසිය හා බඳ හොඳ තත්ත්වයේ පවතින බස් රථවලට නව එන්ජින් යොදා ධාවනය කරන බවයි. අලුතින් බස් රථයක් මිලදී ගැනීමට රුපියල් මිලියන 30ක් (කෝටි 3ක්) වැය කළ යුතු වුවත් එන්ජිමක් මිල දී ගැනීමේදී වැය කරන්නට සිදු වන්නේ මිලියන 7ක් පමණක් බවයි. එම නිසා පිරිමැසුම්දායක ලෙසින් ලංගමට පණ දීමට හැකිව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය. ඇමැති බන්දුල ගුණවර්ධනගේ උපදෙස් අනුව මේ කටයුතු සිදු කෙරෙන බවත් ඒ අනුව ලංගමට අඩු මිලකින් පණ දෙන්නට හැකිවීමෙන් පාසල් සිසුන් ඇතුළු මඟී ජනතාවට වැඩි බස් රථ වාර ගණනක් සපයා දෙන්නට හැකි බවයි.
තාරක වික්‍රමසේකර