Home » දුම්රිය වර්ජනය නතර කළ මෙහෙයුම

දුම්රිය වර්ජනය නතර කළ මෙහෙයුම

by Mahesh Lakehouse
July 13, 2024 12:30 am 0 comment

සුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩියෙන්ම කතාබහට ලක්වුයේ වැඩ වර්ජන පිළිබදවයි. මෙම වැඩ වර්ජන සාධාරණ ඉල්ලීම්ද නැත‍හොත් මැතිවරණ ඉලක්ක කරගෙන සිදුකරන ඇතැම් දේශපාලන පක්ෂවල උවමනාවන්ද යන්න සංවාදයක් ඇති වී තිබේ.

වැඩ වර්ජනයේ මුල,මැද සහ අග

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග නිසා පසුගිය බ්‍රහස්පතින්දා වන විට මගී ජනතාව දැඩි අපහසුතාවනට ලක් වෙමින් සිටියහ. ඒ වන විට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන දැඩි තීරණයකට එළඹ සිටියේය. එනම් එදින දහවල් 12.00 වන විට සේවයට වාර්තා නොකරන සියලු දෙනා සේවය හැරගිය වුන් ලෙස සලකා කටයුතු කරන බවය. ඉර අවරට යාම ඇරඹෙන විටද ප්‍රශ්නය විසඳෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත. අමාත්‍යවරයාගේ තීරණයේද කිසිදු වෙනසක් වූයේ නැත.

අවසානයේ වර්ජනයට එක් වූ දහසක් දෙනාට සේවය හැර යාමේ ලිපි නිකුත් කරන ලෙස ඇමැතිවරයා ප්‍රවාහන ලේකම්වරයා වූ ඉංජිනේරු රංජිත් රූබසිංහටත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාටත් නියෝග කළේය.

මේ අතර වර්ජකයන්ට සේවය හැර යාමේ ලිපි නිකුත් කිරීම වළකාලන්නට ආගමික නායකයන්, දේශපාලන අංශ නොයෙකුත් සංවිධාන කටයුතු කළත් ඇමැතිවරයාගේ තීරණය වෙනස් වූයේ නැත.

කරුවල වැටීගෙන එන මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති බන්දුලට කතා කළේය.

මේ වන විට දේශපාලනයට සම්බන්ධ නැති සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කරු වන හිටපු කථානායක කරු ජයසූරිය සමඟ එක්ව වර්ජනය දික් ගැස්සීම වැළැක්වීමට අදාළ කඩිනම් පියවර ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ඇමැතිවරයාට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත කරු ජයසූරියද ගැටලුව විසඳීම සඳහා මැදිහත්වීමට සූදානමින් සිටියේය. ඒ මොහොතේ කරු ජයසුරිය මහතා බන්දුල ඇමතිවරයාට කතා කළේය.

“අපි මේක කොහොමද කරන්නේ?”

“අවසාන වතාවට කියල එහෙනම් කතා කරමු”

අන්තිමේදී කරු ජයසුරිය මහතාගේ නිවසේදීම වෘත්තීය සමිති නියෝජිතයන් හමුවීමට තීරණය කෙරිණි. ඒ අනුව රාත්‍රී 7.30 වෙද්දී බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නත් හැව්ලොක් ටවුමේ අමරසේකර මාවතේ පිහිටි කරු ජයසූරියගේ නිවසට ගියහ. දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝද එහි පැමිණියහ.

පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්ඡාවන් ඵලදායී ලෙස අවසන් කරන්නට හැකි එකඟතාවකට පැමිණෙන්නට දෙපාර්ශ්වයම කටයුතු කළහ. කරු ජයසූරිය ඒ සඳහා වටිනා මෙහෙවරක් ඉටු කළේය.

ඒ අනුව එදින රාත්‍රී 12.00ට පෙර සේවයට වාර්තා කරන කිසිවකුටත් අත්‍යවශ්‍ය සේවාවන් කඩ කිරීමට අදාළ විනය පියවර නොගැනීමට එහිදී තීරණය විය. ඒ අනුව ක්‍රියා නොකරන අනෙකුත් අයට විනය පියවර ගැනීමට සිදුවන බව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා එහිදී කියා සිටියේය. අවසානයේ පොදු ජනතාවට හිතකර විසඳුමකට එන්නට දෙපාර්ශ­්වයම කටයුතු කළේය.

ජනපති රනිල් රැස්වීම්වල පක්ෂ තුනක

ජනපති රනිල් ඉකුත් සෙනසුරාදා උදේ ගාල්ලට ගොස් වජිර සංවිධානය කර තිබූ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සමුළුවට එක්වූ අතර එදිනම සවස පොදුජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සංවිධානය කර තිබූ උත්සවයකට එක්වූයේය.

ගාල්ල රැස්වීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් මෙන්ම උප නායක අකිල එක්ව සිටියදී රෝහිතගේ උත්සවයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මෙන්ම පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

“මම අද උදේ හිටියේ ගාල්ල යූ.එන්.පී රැස්වීමේ. හවස පොහොට්ටුවේ රැස්වීමේ ඉන්නවා. ඊයේ රෑ හිටියේ සජබ කණ්ඩායමත් එක්ක.” ජනපති රනිල් කියද්දී සභාවෙන් ආවේ උණුසුම් ප්‍රතිචාරයකි. මහින්ද, බැසිල්, ගෝඨාභය හා නාමල් යන සියලු දෙනාම ජනපති සමඟ සුහඳ කතා බහක නිරත වුවද මැතිවරණය ගැන කතා බහ නොකිරීමට ඔවුනොවුන් වඟ බලාගෙන තිබුනි.

ඉරිදා පෙරවරුවේ දේශපාලන රැස්වීම් කිහිපයක් පැජට් පටුමඟ නිවසේ පැවැති අතර සවස ඔහු ගියේ කෘතහස්ත දේශපාලඥයෙකු වූ ආර්. සම්පන්දන්ගේ අවමගුලට සහභාගී වීමටය. සඳුදා පෙරවරුවේ ඔහු දේශපාලන කැබිනෙට්ටුව මුණ ගැසුණි. සවස රත්නපුරයට ගියේ අමරපුර සංඝ සභාවේ ආදි කර්තෘ සැමරුමට එක්වීමටය.

වැටුප් වැඩි නොකිරීමට හේතු

එදින ඔහු කාර්යාලය වෙත පැමිණියේ රජයේ සේවකයින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කරන වර්ජනය ගැන මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ සාකච්ඡා කිරීමටය. ඊට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙන්ම ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග ද එක්ව සිටියහ.

මෙහිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන කීවේ රාජ්‍ය සේවකයන් ඉල්ලන වැටුප ගෙවීමට නම් වැට් බද්ද 21%ක් දක්වා වැඩි කළ යුතු බවය. මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීම පනතකින්ම අත්හිටුවා ඇති බැවින් එය කළ නොහැකි ක්‍රියාවක් බවත් 18%ක් වැට් බද්ද තවත් ඉහළ දැමීම ජනතාවට දරාගත නොහැකි බවත්ය.

ඒ අනුව මේ මොහොතේ වැටුප් වැඩි කළ නොහැකිය යන ස්ථාවරයට ජනපති පැමිණියේය. අඟහරුවාදා උදේ ආරක්ෂක අමාත්‍යාංශයට ගිය ජනපති රනිල් එය නිමවා පැමිණියේ පාර්ලිමේන්තුවටය. එහිදි ආණ්ඩු පක්ෂ රැස්වීමට ගොස් ඉන් පසුව ගියේ ඇමැති මණ්ඩල හමුවටය. ඇමැති මණ්ඩල හමුවට එක්වීම සඳහා ජනපති රනිල් පාර්ලිමේන්තු කාර්යාලය වෙත එද්දී එහි කොරිඩෝවේ පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණ සිටි පාසල් සිසුන් පිරිසක් මුණ ගැසුණි.

ජනපතිගෙන් පාසල් සිසුන්ට පැනයක්

ළමුන් අසලට ගිය ජනපති ඔවුන් හා ඡයාරූපවලට පෙනී සිටිමින් විමසා සිටියේ “දැන් කවුද මෙතනින් පාර්ලිමේන්තු එන්නේ”. කියාය. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිටින සිසුන් දහ පහළොස් දෙනෙකු එහිදි අත එසවූහ. එහි සිටි ඇමැති සියඹලාපිටිය කීවේ “දැන් දරුවන්ටත් තේරිලා තියෙන්නේ ඔබතුමා හොඳින් රට පාලනය කරනවා කියලා. දරුවන්ට මේ ගැන හොඳ අවබෝධයක් තියනවා.” කියාය.

වර්ජන කුමන්ත්‍රණයක්ද?

“ජවිපෙ උත්සාහ කරන්නේ 88/89 කාලයේ වගේ රජයට විරුද්ධව කැරලි ගහලා භිෂණයක් ඇති කරන්න. රජය අපහසුතාවයට පත් කරලා බලය ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙනවා” ඇමැතිවරු එක හඬින් කියන්නට වූහ. එසේම තවත් ආයතන ඉදිරියේදි පාරට ගේන්න සැලසුම් කරමින් සිටින අතර ප්‍රවාහන ක්ෂේත්‍රය ද එහි කොටසක් බවත් මේ අය පෙන්වා දුන්නේය.

වර්ජනය නොකළ සේවකයින් ජනපතිගේ ඇගයීමට

සියලු කතාවලින් පසු ජනපති රනිල් සිය යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළේය. වර්ජනයට එක් නොවූ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබාදීමත් සේවය අගය කරමින් විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමත් එහි අන්තර්ගතව තිබුනි. ඊට අමතරව 22 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස ජනපති ධුර කාලය වසර 5ක් කිරීමේ කැබිනට් පත්‍රිකාව ද ජනපති රනිල් ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කොට සම්මත කර ගත්තේය.

ප්‍රශංසා ලිපිවල වාසිය වජිර පෙන්වයි

ඇමැති මණ්ඩල හමුව නිමවා ජනපති පිටතට පැමිණි අවස්ථාවේ එහි සිටි මන්ත්‍රීවරුන් යෝජනාව අගය කරමින් විමසන්නට වූවේ ප්‍රශංසා ලිපිවලින් සිදුවන්නේ කුමක් ද කියාය. ඒ ගැන පැහැදිලි කිරීම කළේ මන්ත්‍රී වජිර අබේවර්ධනය.

“ ප්‍රශංසා ලිපිය සේවකයාගේ ලිපි ගොනුවට ගියාම උසස්වීම්වලට ඒක බලපානවා. සේවයට වාර්තා නොකරපු අයට වඩා මේ අයගේ උසස්වීම් ඉක්මන් වෙනවා.” වජිර කියද්දී එය අසා සිටි මන්ත්‍රීවරු කීවේ එය කදිම වැඩක් කියාය.

“මෙතුමා කවුද කියලා ඔය වෘත්තීය සමිති නායකයන්ට මතක නෑ. ජේ.ආර් ජයවර්ධන 80 ජුලි වර්ජනය කරපු වෙලාවේ තීන්දු තීරණ ගන්න කැබිනේට්ටුවේ මෙතුමත් හිටියා කියලා වෘත්තීය සමිති නායකයොත් දැන් කතා කරන්න පටන් අරගෙන. අපිත් ඒක මතක් කරලා දෙන්න ඕනේ.” ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ කාගේත් නළල රැලි ගන්නවමිනි.

මාන්නප්පෙරුමගේ ආධාරකරුවන් ජනපති සමඟ ඡායාරූපවල

ඇමැති මණ්ඩල හමුව නිමවා පාර්ලිමේන්තු ඉහළ මහලට ගමන් කිරීමට ජනපති රනිල් විදුලි සෝපානය වෙත එද්දී විදුලි සෝපානය අසන්නයේ සජබ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සිය ආධාරකරුවන් පිරිසක් සමඟ එහි සිටිනු දුටුවේය. ජනපති දුටු ඔවුන් ජනපති අසලට පැමිණ කතා බහ කරමින් ඡායාරූපවලට ද පෙනී සිටියෝය.

එහි සිටි පිරිස් කියන්නට වූවේ “සර් ඉතින් අපේ නායකයානේ.” කියාය. “ඒකනේ. දැන් අපි ඔක්කොම රට හදන්න එකතු වෙන්න ඕනේ.” ජනපති කීවේ ඇඟට පතට නොදැනීය. එය සියල්ලෝම අනුමත කරමින් එන බව කියද්දී ආශු කීවේ දැන් සැලුන් දොර ඇරලා තියෙන්නේ කියාය.

රනිල්, මෛත්‍රී සමඟ “වන් ගෝල්ෆේස්” එකට

පසුගිය දිනෙක ජනපති රනිල් හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ “වන් ගෝල්ෆේස්” සුපිරි වෙළෙද සංකීර්ණයට ගියේ එහි ඇති පී.වි.ආර් සිනමා ශාලාවේ චිත්‍රපටයක් නැරඹීමටය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙන්ම ශ්‍රී ලංකා පදනමේ සභාපති සමන් ආතාවුදහෙට්ටි ද ඔවුන් සමඟ එක්වූවේ ඔහුගේ සොහොයුරා නිපදවූ “අදර අන්තය” චිත්‍රපටය නැරඹීමටය.

ළගදීම ප්‍රදර්ශනය කිරීමට නියමිත අසෝක ආතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් එහි ප්‍රදර්ශනය කෙරුණු අතර ජනපති රනිල් එහි පැමිණ සිටි රසික රසිකාවන් සමඟ කතාබස් කරමින් නිදහසේ ඇවිද ගියේ චිත්‍රපටය නැරඹීමටය.

ජනපතිගේ විනෝදාංශයක් හෙළිවෙයි

පැමිණ සිටි එක් ආරාධිතයෙක් ජනපතිගෙන් විමසූවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ චිත්‍රපට නැරඹීමට වේලාව වෙන් කර ගන්නේ කෙසේද කියාය.

“පුංචි කාලේ ඉඳලම චිත්‍රපටි බලන එක මගේ විනෝදාංශයක් . ඒ වුණත් ප්‍රසන්නගේ ගාඩි බැලුවට පස්සේ මේ වෙනකල් ශලාවකට ඇවිල්ලා චිත්‍රපටියක් බලන්න නම් බැරිවුණා.” ජනපති සැහැල්ලු පිළිතුරක් දෙමින් ඉන් පිටව ගියේය.

වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද තිරසර සංවර්ධන සැලැස්ම ජනපතිට පිළිගැන්වූවේ අඟහරුවාදා පස්වරුවේය. අඟහරුවාදා තවත් විශේෂ දිනයක් වූවේ ජනපති රනිල්ගේ නිවස සහ එහි තිබූ වටිනා පුස්තකාලය විනාශ කර වසර දෙකක් ගතවූ දිනය වීමය. සිය නිවස ගිනිබත් වූ තවත් ඇමැතිවරයෙකු වන ප්‍රසන්න රණතුංග එදින මහල් නිවාස හිමියන්ට සින්නක්කර ඔප්පු දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණේ එය සිහිපත් කිරීම අරමුණු කර ගනිමිනි. එහිදි ජනපති රනිල් සංවේදී කතාවක්ද කරනු ලැබීය.

බදාදා පෙරවරුවේ ජනපති ගාල්ලට ගියේ කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමටය. එය නිමවා මුදල් අමාත්‍යාංශය වෙත ගිය ජනපති රනිල් රටේ ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කළේය. බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම විවෘත කර නැවත කාර්යාලය පැමිණෙද්දී මැති ඇමැතිවරු රැසක් ජනපති මුණ ගැසිමට පැමිණ සිටියේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන කතා බස් කිරීමටය.

වර්ජන රැල්ල ගැන කතාබහක්

වැඩවර්ජන රැල්ලත් දුම්රිය මගීන්ට වූ අපහසුතාවයත් ගැන මෙහිදි කතා බහ ඇදී ආවේය. “80 වර්ජනයේදී සේවයට වාර්තා කළ නිලධාරීන්ට මේ වගේම දිරි දීමනා දුන්නාද?” ඒ කතාව විමසුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නය.

“මේ ලිපිය දුන්න නිසා වැඩට නාව අය ජූනියර්ලා වෙලා වැඩට ආපු අය සීනියර්ලා වෙනවා.” ඇමැති මනූෂ කීවේ වෘත්තීය සමිති නායකයන්ගේ අමනෝඥකම ගැනත් සිහිපත් කරමිනි.

“මේ වර්ජනයට ජනතාව විරුද්ධයි. ඔවුන් ආණ්ඩුවට දොස් කියන්නේ තද තීරණ ගන්නේ නෑ කියලයි. තවත් කට්ටියක් කියන්නේ දුම්රිය සේවය පුද්ගලීකරණය කරන්න කියලායි.” මන්ත්‍රී මහින්දානන්ද කීවේය.

“විපක්ෂයට සැලසුමක් නෑ. වර්ජන රැල්ලක් හදලා ආණ්ඩු විරෝධයක් අරගෙන මැතිවරණයට යන්න හදන්නේ. මේවා ප්‍රායෝගික නෑ. වර්ජනවලට මිනිස්සු එකඟ නෑ. එයාලට ඕනේ නිදහසේ තමන්ගේ වැඩ කරගන්න. වර්ජකයන්ට එරෙහිව දැඩි තීන්දු ගන්න වෙන්නේ ඒ නිසයි.” ජනපති රනිල් කීවේ බැරෑරුම්වය.

රනිල්, මහින්ද, ගෝඨාභය එකම වේදිකාවක

රෝහිත අබේගුණවර්ධන ගේ දේශපාලන ජීවිතයට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතරදී උත්සවයක් සංවිධානය කර තිබිණි.මේ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ සහභාගී වූහ. මීට අමතරව නාමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ හා ධම්මික පෙරේරා ඇතුළු මැති ඇමැතිවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙහිදී කතා පැවැත්වීමට තිබුණේ රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂ හා ධම්මික පෙරේරාටය. මෙහිදී ධම්මික, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේදී සිදුකල කාර්‍යයන් පිළිබදව කතා කිරීමට අමතක නොකළේය. විශේෂයෙන්ම මහින්දෝදය විද්‍යාගාර හැදුණු හැටි ධම්මික. කතා කළේය. උත්සවය අවසානයේදී නාමල්, ධම්මික, රෝහිත හා මහින්ද අල්ලාප සල්ලාපයේ නිරත විය.

“ ධම්මිකට මහින්දෝදය විද්‍යාගාර හැදුණු හැටි මතකයි නේද?“ කතාවට මුල පිරුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය. “ඔව් සර් මොකද මතක නැත්තෙ. ඒක අපි සම්බන්ධ වෙලා කරපු ලොකු වැඩසටහනක්නෙ“ ධම්මික පැවසීය. “ ඔව් ඔව් ඒක ඇත්ත. දරුවන්ට ඒකෙන් ලොකු උදව්වක් වුණා. “නාමල් රාජපක්ෂ පැවසීය. “ ඔක්කොම එකතු වුණොත් සුබ ගමනක් යන්න පුළුවන්. පක්ෂ කඩාගෙන නම් ඡන්ද දිනන්න වෙන්නෙ නෑ“නාමල් රාජපක්ෂද පැවසීය.

ඊලෝන් මස්ක් ශ්‍රී ලංකාවට

ආණ්ඩු පක්ෂයේ සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉකුත් සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

විදුලි සංදේශ නියාමන පනත සමඟ පළමුව සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධයෙන් ඇමැති කංචන පැහැදිලි කිරීමක් කළේය.

“මේක වැදගත් පනතක්.මේක සම්මත කරගැනීම අත්‍යවශ්‍යයි. අපි කතා කරන ඩිජිටල් ආර්ථිකය ආරම්භ කරන්න බෑ මේ පනත නැතුව. ආර්ථික ප්‍රථිසංස්කරණයට මේක අත්‍යවශ්‍යයි.” ජනාධිපතිවරයා කීය

“මේක සම්මත වෙලා මාස දෙකක් ඇතුළත ඊලොන් මස්ක් ලංකාවට ගෙන්වනවා.” ජනාධිපතිවරයා යළි කීය.

මධුරගෙන් හා අජිත්ගෙන් විරෝධය

අනතුරුව සාකච්ඡා කළේ සත්ත්ව හිංසා පනත ගැනය.

“සත්ත්ව හිංසා පනතේ සමහර වගන්ති අවුල්. මේක සම්මත වුණොත් පෙරහර කරන බෑ. හරක් යොදාගෙන හාන්නත් බෑ” මුලින්ම මන්ත්‍රී මධුර බාල්දියක් පෙරළීය.

“නෑ මන්ත්‍රීතුමා අපි මේ පනතින් කෘෂිකර්ම කටයුතු නිදහස් කරල තියෙන්නේ.”කෘෂිකර්ම නිළධාරීන් කීය.

“ඔයාල පනතේ 18 වැනි වගන්තිය කියවන්න” මධුර ගේම අත්හැරියේ නැත.

“එහෙම වගන්තියක් මේකෙ නෑ” මධුර⁣ට පිළිතුරු බැන්දේ ජනාධිපතිවරයායි.

කෙසේ නමුත් සත්ත්ව හිංසා පනතට මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූයේ විරෝධයකි. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂද ඒ අතර විය.

එස්.බී. ගෙන් සත්තුන්ට දානයක්

“ජනාධිපතිතුමනි, මමත් වගා කරනවා. ඒකට සතුන් හානි කරනවා. හැබැයි මම දැන් දානයක් දෙනවා. දැන් සත්ත්ව හානි නෑ”

එස්.බී කීවේය.

“මොකද්ද මන්ත්‍රීතුමා ඒ දානය.” මන්ත්‍රීවරුන් විමසීය.

“අපොයි ඒක ප්‍රසිද්ධියේ කියන්න බෑ” එස්.බී කීවේ හයියෙන් සිනාසෙමිනි.

“හරි අපි මේක කැබිනට් එකට දාමු. එකෙදි සාකච්ඡා කරල තීන්දුවක් ගනිමු.” ජනාධිපතිවරයා යළි කීය.

ගල් අරක්කු මිල අඩුවෙයිද?

අනතුරුව සාකච්ඡා කළේ සුරාබදු ආදායම පනත ගැනය.

“අපි මේක ක්‍රියාත්මක කරන්නෙ රුපියල් බිලියනයකින් රාජ්‍ය ආදායම වැඩි කරගන්නයි.” ජනාධිපතිවරයා කීය.

“හැබැයි ජනාධිපතිතුමා ගම්වල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙලා. මේ ගැනත් තීරණයක් ගන්න ඕන” ඒ මන්ත්‍රී මධුරය.

“මේකට හොඳම දේ ගල් අරක්කුවල මිල අඩුකරන එකයි” මන්ත්‍රී මධුර යළි කී අතර එස්.බීද එය අනුමත කළේය.

“අපි ඒකට මොනවහරි කරන්න බලමු. මම ඒ ගැන අයි.එම්.එෆ් එකත් එක්කත් කතා කරන්නම්.”ජනාධිපතිවරයා කීය.

රනිල්ටත් නෑ…ප්‍රසන්නටත් නෑ

කොළඹ නගරයේ මහල් නිවාස හිමියන්ට ඔප්පු ප්‍රදානය කිරීම පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම උත්සවය සංවිධානය කළේ ඇමැති ප්‍රසන්නය. ඒ සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකගේ උදව් ඇමැතිවරයාට ලැබුණි.

අඟහරුවාදා යනු ජූලි 9 වැනිදායි. මීට දෙවසරකට පෙර එනම් 2022 ජූලි 9 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපතිවරයාගේ ⁣නිවස ගිනි තැබීය. ඊට දෙමාසයකට පෙර ඇමැති ප්‍රසන්නගේද නිවසට ගිනි තැබීය. එබැවින් මෙය විශේෂ දිනයක් විය.

“මට ගෙදරක වටිනාකම දැනුනේ මගේ ගේ ගිනි තියපු දවසේ. ප්‍රසන්න ඇමැතිතුමාගේ ගේත් ගිනි තිබ්බා. අපි දෙන්නටම දැන් ගෙවල් නෑ.” ජනාධිපතිවරයා කීවේ සංවේදීවය.

“ගෙයක් කියන්නේ කාල, බීල වැටිල නිදාගන්න තැනක්ම නෙමෙයි.ඒක මතක සැමරැම් සහිත ඉතිහාසයක්. හරියට කෞතුකාගාරයක් වගෙයි” ඇමැති ප්‍රසන්න ද කීය.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් හිමිකම් ඔප්පු ප්‍රදාන කිරීම ලබන 17 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

“මේ උත්සවය ප්‍රසන්න ඇමැතිතුමා බොහෝම මහන්සි වෙලා වැඩකළා. ජනාධිපතිතුමාට කරදර කළේ නෑ.” ඒ සාගල රත්නායකය.

“මම කොහොම හරි ඉඩම් ඔප්පු දෙනවා. මගේ ටාගට් එක ඔප්පු 50,000ක් දෙන එකයි” ඇමැති ප්‍රසන්න කීය.

“සර් විපක්ෂනායකතුමා ගෙවල් හදන්න ගිහිල්ලා රුපියල් මිලියන 5500 ගාණක් පාඩු කරලා” ඇමැතිවරයා කී අතර ජනාධිපතිවරයා එයට සිනාසුණා මිස කිසිත් කීවේ නැත.

ජනාධිපති, මහින්ද හා බැසිල් හමුවෙයි

ඉකුත් සතියේ දිනයක ජනාධිපතිවරයා හිටපු ජනාධිපති හා පොහොට්ටුවෙ නිර්මාතෘ බැසිල් හමුවී සාකච්ඡාවක් කළ බව වාර්තා වෙයි

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කතාබහ වී තිබේ.

නාමල්ගෙන් ප්‍රසන්නට ඇමතුමක්

ඉකුත් සඳුදා මන්ත්‍රී නාමල් රාජපක්ෂ පුද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට සහභාගී විය.

එය අවසන් වූ සැණින් මන්ත්‍රීවරයා ඇමැති ප්‍රසන්නට ඇමතුමක් ගත්තේය.

“ප්‍රසන්න අයියේ මාවයි අයියවයි හප්පන්න එයාල ගොඩාක් මහන්සි ගත්තා. හැබැයි මම ශේප් වුණා.” නාමල් කීය.

“මාත් බලාගෙන හිටියේ.මල්ලි ඔයා හොඳට ෆේස් කළා” ඇමැති ප්‍රසන්න කීය.

රනිල්ට වජිරගෙන් ගීත 2ක්

ගාල්ල දිස්ත්‍රික්ක සම්මේලනය පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ

ඉදිරි ජනාධිපතිවරණය මුල්කොට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙන් ගීත දෙකක්ම මෙම සමුළුවේදී එළි දැක්වුණි.

ගීත දෙක ජනප්‍රිය ගායන ශිල්පීන් දෙදෙනෙකු වන අමල් පෙරේරා සහ නිරෝෂා විරාජිනී විසින් ගායනා කිරීමද පැමිණ සිටි පිරිසගේ මහත් අවධානයට ලක්විය.

මෙතැනින් නොනැවතුණු මෙම සම්මේලන අවස්ථාවේදී මෙම ගීත දෙකට අමතරව තවත් ගීත කිහිපයක්ම ගායනා කෙරිණි. ඒ ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් විසිනි.

බෙග්ගේ ගීතයට රනිල්ගෙන් නව අරුතක්

ඉෂාක් බෙග් විසින් ගීත කිහිපයක්ම මෙහිදී ගායනා කළ අතර ඔහු ගායනා කළ එක් ගීතයක් සැමගේ අවධානය දිනා ගැනීමට ලක්විය. ඒ එම ගීතය ගායනා කොට අවසන් වූ පසු නිවේදකවරයා වන පරාක්‍රම විසින් නැවත වරක් බෙග්ට එය සංගීතය නොමැතිව ගායනා කිරීමට ආරාධනා කිරීමත් සමඟය.

නව නිපැයුම් අප රටෙහි සදා
නව යුගයක් අපි කරමු උදා
සිරිලක් මවගේ අනාගතේ
රැඳී තිබෙන්නේ රනිල් අතේ…..

ගීතය මෙසේ ගායනා කිරීමෙන් පසුව සභාව ඇමතීමට තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහටය. ඔහුව කතාව ආරම්භ කළේම ඉෂාක් ගැයූ ගීතයට තවත් සබැඳියක් එක් කරමිනි.

“ඉෂාක් මැතිතුමා ගීතය ගායනා කරද්දී කිව්වා සිරිලක් මවගේ අනාගතේ තිබෙන්නේ මගේ අතේ කියලා. නමුත් මම එය මෙසේ කියන්න කැමතියි, සිරිලක් මවගේ අනාගතේ තිබෙන්නේ මගේ අතේ නෙමෙයි, එය තිබෙන්නේ ඔබේ අතේ. මම මට පුළුවන් හැමදෙයක්ම කළා. දැන් එය ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමක්“. සිය කතාව ආරම්භයට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ සියල්ලන්වම අමන්දානන්දයට පත් කරමිනි.

අජිත්ගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පසුගියදා සිය කාර්යාලයේදී ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ පැවති කතාබහකදී යම් හෙළිදරව්වක් සිදු කළේය.

මේ සත්ත්ව හිංසා පනත මුල්කරගෙන සමහර සත්ව සංවිධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවිධ බලපෑම් කරනවා. එම සංවිධාන කියන්නේ සත්ත්ව හිංසන පනතට සහාය දෙන්න කියලා එක් මන්ත්‍රීවරයෙකුට තර්ජනයකුත් කරලා තියෙනවා.

මේ සත්ත්ව හිංසන පනත සුනඛයින් සම්බන්ධයෙන් නම් 100%ක්ම හරි. නමුත් අලි, ගවයින් ඇතුළු අනෙකුත් සත්ත්වයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණොත් විශාල ගැටළුවක් මතුවෙනවා. ඔය සත්ත්ව සංවිධාන සමඟ කතාබහ කරලා මෙම ප්‍රශ්න විසඳා ගත යුතුයි”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division