රැල්ලට වර්ජන පැතිරෙමින් තිබේ. දවස ගානේ කුමන හෝ වෘත්තීය සමිතියක් ඊට එක්වෙමින් තිබේ. ඇතැම් අයගේ ඉල්ලීම දශක දෙකහමාරක් පැරණි වැටුප් විෂමතා ඉවත් කිරීමය. තවත් අය ඉල්ලන්නේ රුපියල් 25,000 දීමනාවකි. මේ සියල්ල කරනුයේ බංකොළොත් බවේ පතුලට වැටි යාන්තම් හිස ඔසවාලමින් තිබෙනා ආර්ථිකයත් හමුවේය.
වෘත්තීය අයිතිවාසිකම් උදෙසා වර්ජනය පිළිගත හැකි මෙවලමකි. ඒත් දේශපාලන අරමුණු මුල්කර සිදුකරනා වර්ජන වැඩ කරන ජනතාව ගොනාට ඇන්දවීමකි. රටේම ජනතාව පීඩාවට පත්කර තම දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගන්නට කරනා නින්දිත උත්සාහයකි.
මැතිවරණයක් ආසන්නයේ අත්‍යවශ්‍ය ජනතා සහනයක් පවා ලබාදීම තහනම් ය. එවැනි දේ වෙනුවෙන් මැතිවරණ කොමිසම වහා පෙරට එන්නේය. එහෙත් පවතින ආණ්ඩුවට එරෙහිව දේශපාලනික අරමුණු පෙරදැරිව වර්ජන ක්‍රියාත්මක කර රටේ ජනතාව මරා දැමීමට කිසිදු තහංචියක් නැත.
වර්ජකයන් සිය සාර්ථකභාවය මනිනුයේ අපූරු ක්රමයකටය. ජනතා පීඩාව උග්‍ර වන තරමට වර්ජනය සාර්ථකය. ලංකා ගුරු සම්මෙලනයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පාසල් දස දහසක් වසා දමා තම වර්ජනය සාර්ථක බවට උදම් ඇනුවේ ඒකය. මේ සාර්ථක බවට අධ්‍යාපනය අඩාළ වන සිසු දරුවන්ගේ දුක පෙනෙන්නේ නැත. වර්ජන නිසා අඩාළ වන අධ්‍යාපන ඉලක්ක සපුරා ගන්නට බාහිර පන්ති වෙත දරුවන් යවනා දෙමාපියන්ගේ පීඩනය ද අදාළ නැත. මැතිවරණ ඉලක්ක කර කරනා වර්ජනවලින් දිනා දෙන්නේ වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් නොව බංකොලොත් විපක්ෂයේ අවශ්‍යතා ය. ජනතා පීඩාව දැක දැකත් විපක්ෂය කසාය බිව් ගොළුවන් සේ ඉන්නේ ඒ නිසාය.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මහ පාරේ මරාගෙන මැරෙන්නට යන ඊනියා ශිෂ්‍ය ව්‍යාපාර ද විපක්ෂයට දෙවෙනි නැත. දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වැය කරනා ලෙස ඉල්ලා අරගල කරනා මෙකී ශිෂ්‍ය ව්‍යාපාර ආණ්ඩුව බොහෝ අසීරුතා මැද වෙන් කර ඇති මුදලින්වත් සිසුනට අධ්‍යාපනය ලබන්නට දෙන්නේ නැත. ස්ටාලින්ට සෞදිය පුරන්නට පවුකාර මධු කුසලානය ඔසවා දෙන ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ගුරු වර්ජනයේදී සිය හෙළුව රටටම පෙන්වා අවසානය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සම්මේලනය සිය වර්ජනයේ එක ජයක් ඊයේ ලබා ගත්තේය. වර්ජනය නිසා ඇතිවූ තදබදය නිසාම මගියෙක් දුම්රියෙන් වැටී පසුගියදා මිය ගියේය. එම පුවත පාසල් දස දහසක් වසා සෞදිය පිරු ගුරු සංගම්වල සතුට හීන කරන්නට සමත් වන්නට ඇති බවට සැක නැත. වර්ජනය තව දිගු කිරීමෙන් පාසල් තුළ ද මෙවැනි තත්තවයක් ඇතිවිය හැකි මුත් සමාජයක් ලෙස අප එයට තවමත් සංවේදී නැත. බොහෝ දෙනෙකුගේ ඇස් ඇරෙන්නට ව්‍යසනය උපරිම තලයට පැමිණිය යුතුය. එහෙයින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය කොල්ලකන වෘත්තීය සමිති නායකයන් ගැන තීරණයක් ගැනීමට ජනතාව පෙරට ආ යුතුය.
ශ්‍රී ලංකාව වූ කලී ක්‍රිකට් ගැන කතා කරන්නට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය අත්හිට වූ රටකි. එහෙව් රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් එක් වචනයක් කතා කරන්නට විපක්ෂය කට අරින්නේ නැත.
කිසිම ආණ්ඩුවකට සිහිනෙකින් හෝ ලබාදිය නොහැකි ඉල්ලීම් වෙනුවෙන් කරනා වර්ජනය ගැන පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් විපක්ෂය නිහඬය. එමතුදු නොව සියවස් දෙකක් මෙරට වතු කම්කරුවා පෙළුෑ වැටුප් අර්බුදය විසඳීමට ආණ්ඩුව සමත් වුව ද ඊට එරෙහිව වතු සමාගම් කිහිපයක් උසාවි ගියේය. එම අවස්ථාවේ ද ප්‍රධාන විපක්ෂ දෙක කම්කරුවන් වෙනුවෙන් එක වචනයක් කීවේ නැත. ඊට හේතුව අනෙකක් නොව මේ සිටිනා විපක්ෂය ආණ්ඩුවට පමණක් නොව ජනතාවට ද පක්ෂ නැති විපක්ෂයක් වීමය.
තවමත් ජනාධිපතිවරණය නිල වශයෙන් කැඳවා නැත. වසරකට පෙර සිට සූට් මසාගත් “වෙන්ඩ ජනාධිපතිවරු” දෙදෙනෙක් රටේ හතර කොන සැරිසරන්නේ කාලයකට පෙර සිටය. තව පෝය තුනකින් රටේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නට දෙදෙනාම සූදානම්ය. තම ආණ්ඩුවක් යටතේ මේ සියලු වැටුප් වර්ධක තව පෝය තුනකින් ලබා දෙන බව එම පක්ෂ දෙකම කියන්නේ නැත. බුද්ධිමත් ජනතාව වටහා ගත යුත්තේ මෙකී හැසිරීමේ යටි අරුතය.
විපක්ෂයේ මේ හැසිරීම් පිටුපස හේතු දෙකක් තිබිය හැකිය. ඉන් පළමුවැන්න වනුයේ පෝය තුනකින් ආණ්ඩුවක් පිහිටවීමට එම පක්ෂවලට නොහැකි බව ඔවුන් වටහාගෙන තිබීමය.
දෙවෙනි කාරණාව පවතින ආර්ථික අර්බුදයේ තරම දන්නා බැවින් කිසිම ආණ්ඩුවකට මේ වැටුප් වැඩි කිරීම් කරන්නට බැරි බව ඔවුන් දැන සිටීමය.
එසේනම් විපක්ෂයේ උත්සාහය කුමක්දැයි දැනගැනීමට මහා ලොකු දේශපාලන කියැවීමක් අවශ්‍ය නැත. ඔවුන් උත්සාහ ගනුයේ විදෙස්ගත ශ්‍රමික ප්රජාවේද සහය ඇතිව ආණ්ඩුව පුරවමින් සිටිනා භාණ්ඩාගාරය යළි හිස් කිරීමටය. එසේ කර ආර්ථික අර්බුදය නැවත වරක් උත්සන්න කර ජනතාව පාරට ගෙන ඒමටය. ඒ අන් කිසිවක් නිසා නොව අර්බුදවලින් තොර රටකදී ආණ්ඩුවට එරෙහිව කිසිම සටන් පාඨයක් වර්තමාන විපක්ෂයට නොමැති නිසාය.