ගෙවුණ කාලය බොහෝ දිගය. නමුදු අද ද ඉඳහිට ඒ මතකය හිත හඬවයි. ඇය මට හමුවුයේ මගේ රැකියා ස්ථානයේදී. දිගු කොණ්ඩයක් හිමි පැහැපත් ඇය දෙස කෙනෙකු එක් වරක් නොව දෙතුන් වරක් හැරී බලනව බව නම් විශ්වාසය. මමත් ඇය දුටු පළමු දිනයේ ඇයට හොරෙන් දෙතුන් වරක් ඈ දෙස බැලූ බව මතකය. ඇයත් මමත් දවසින් දවස හිතින් ළංවුණේ අපටත් නොදැනීමය.
“මේ දවස්වල අම්මා මට කසාද බඳින්න කෙනෙක් හොයනවා…“
“ඉතිං“
“ඉතිං…. කියන්නේ… ලබන ඉරිදා කෙනෙක් එනවලු අපේ ගෙදර“
“ඒ මොකටද?“
“මාව බලන්න“
“හොඳයිනේ“
ඇය මා අසලින් නැගිට්ටේ මගේ අත ගසා දමාය.
“මං හිතුවේ නැහැ ඔයා ඔහොම කියයි කියලා…ඔයාට මාව ඕනේ නැහැ… ඒකනේ ඔහොම කියන්නේ….ඇය එහෙම කිව්වේ සුරතේ තිබූ ලේන්සුවෙන් දෑසට තදකරගනිමි.
“මම විහිළුවක් කළේ… දැන් ඔය කොහෙ කෙනෙක් ද එන්නේ?“
“දන්නේ නැහැ…“
“කමක් නෑ .. ඔයා ඒ බලන්න එන එක්කෙනා ගෙදරට එන දවසේ ලස්සනට ඉන්නකෝ.. නැත්නම් අම්මලා ඔයා එක්ක තරහා ගනිවී… ඒ නිසා ඉවසීමෙන් ඉන්න…ඊට පස්සේ බැරියෑ අපිට ඒ ගැන පියවරක් ගන්න…“
“පියවරක් ගන්න….ඒ කියන්නේ?“
ඇය එහෙම අහලා මගේ දිහා බැලුවේ ඇස් දෙකේ කඳුළු පුරවගෙන. කොහොම නමුත් මට අද වගේ ඒ දවස්වල කෙළින් තීරණයක් ගන්න බැහැ. මගෙ අම්මා තාත්තා ඇය ගැන දැනගෙන හිටියත් අපිට එයාට තරම් සල්ලි තිබුණේ නැහැ.
එදා හවස මම ගෙදර ගිහින් මගෙ අම්මට ඇය ගැන කිව්වා.
“ඒ මිනිස්සු කැමති වෙයි ද පුතේ අපිට… අපේ ගෙදර තව කොච්චර වැඩ තියෙනවද කර ගන්න. පුතාට ඕනෙම නම් අපි ඒ දූගෙ ගෙදර යමු.“
අම්මා එහෙම කිව්වත් මට නම් උවමනාවක් තිබුණේ නැහැ මගෙ අම්මා තාත්තව බාල්දු කරන්න… දවස දවස කාලේ ගෙවිලා ගියා. ඇය බලන්න ආව මනාලයාට එයා කැමැතියි කියලා මට එයාගේ වචන වලින්ම තේරුණා. ඒත් එයාව නතර කරගන්න මට බැරි වුණා. එයා රස්සාවෙන් අස්වුණා. හේතුවක් නැතිවම අපි වෙන් වුණා. වෙන්වෙනවා කියලා කියන්නෙවත් නැතිව එයා මගෙන් වෙන් වුණා. හිමි නැති දෙයක් ගැන ඇයි තැවෙන්නේ කියලා මම හිත හදා ගන්න උත්සාහ කළා. දැන් ඇය මගෙන් වෙන් වෙලා අවුරුදු තුන හතරක් වෙනවා. මම තවමත් හිත හදා ගන්න උත්සාහ කරනවා. ඒත් මම දන්නවා මට කවදාවත් මගේ හිත හදා ගන්න බැරි බව. එයාට නම් මාව අමතක වෙලත් ඇති.
“ඔහොම ඉදලා හරියනවද දරුවෝ…අපි හොඳ ගැනු ළමයෙක් බලමු ?“
මගෙ අම්මා යෝජනා කීයක් නම් ගේන්න ඇතිද? ඒත් ඒ එකකටවත් මගේ හිතේ කැමැත්තක් ඇති වුණේ නැහැ. මම මගෙ රස්සාව වෙනස් කළා. ඇගේ මතකයන් එක්ක මට ඒ කන්තෝරුවේ ඉන්න බැහැ කියලා හිතුණා. මම රැකියාවෙන් ඉවත් වුණා. මම දැන් ව්‍යාපාරිකයෙක්. මගෙ අත මිට එදාට වඩා සරුයි. ඒත් මගෙ හිත හරි දුප්පත්“
අපිත් එක්ක එකට එක පන්තියේ ඉගෙන ගත්ත ඔහු තවමත් ඒ හැර ගිය ප්‍රේමයෙන් තැවෙන පෙම්වතෙක්. මේ එක් අයෙකුගේ අත්දැකීමක් පමණි. මෙවැනි පෙම්වතුන් පෙම්වතියන් මේ සමාජයේ ඕනෑ තරම් සිටී.
“වස්සාන සිහින පෙරදා
ඔබ ගාව තනිව රැඳුණා
රොබරෝස මලින් සඟවා
ගුරු පාර කඳුළු සැලුවා….“
ගහ කොළ, අඳුරු අහස, පිපුණ පරවුණ මල් මේ ආදි වූ දහස් පරිසර වෙනස්කම් ගෙන එන්නේ විරහවේ වේදනාවයි.
මේ එවන් පෙම්වතුන්ගේ ගීතයයි. ඇය යළිත් කවදා හෝ එන්නේ නම් කියා බලා හිදින පෙම්වතුන්ගේ ගීතයයි. ගීතය ගයන්නේ යොවුන් ගායන ගීල්පී ලසන්ත අබේපාල. ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ ද ලසන්තය. ගී පද නිරමාණය යමුනා සරෝජනී ගුණවර්ධනගෙනි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරියක ලෙස සේවය කළ යමුනා වසර දෙක තුනකට කළින් සේවයෙන් විශ්‍රාම ගන්නේ ද ගීත රචනා ක්ෂේත්‍රයට තිබූ ඇල්ම නිසාමය. ගීතය පිළිබඳ ඇගේ අදහස ය මේ.
“මේ ගීතයේ අත්දැකීම මම දන්න තරුණයෙකුගේ. ඔහු තරුණියක සමඟ යාළු වී සිටියා. ඔහුගේ හිතේ බලාපොරොත්තුව තිබුණේ ඇය සමඟ විවාහ වීමට. ඒත් ඒ අදහස් වෙනස් වෙලා ගියේ ඇයට නව පෙම්වතෙක් හමු වීම නිසා. ඔහු ඇගේ වෙනස් වීම බොහෝම අමාරුවෙන් දරා ගන්නවා. අවසානයේ ඇය විවාහ වෙනවා. ඔහුට එය දරා ගන්න අමාරුයි. ඇය යළිත් කොයිම මොහොතක හෝ පැමිණේවි කියන බලාපොරොත්තු ඔහු තුළ තියෙනවා. නමුත් ඇය නැවත එන්නේ නැහැ. ඔහු තවමත් අවිවාහකව ඇය වෙනුවෙන් ඉන්නවා. ඔහු මා සමඟ මේ කතාව කිව්වට පස්සේ දැනුන කම්පාව කාලයක් මගේ හිතේ තිබුණෘ. අවසානයෙ එය පද පෙළක් ලෙස මා අතින් ලියැවෙනවා. ඔහු මා සමඟ ඒ කතාව කිව්වට පස්සේ මගේ හිතේ කාලයක් තිස්සේ එය රැඳිලා තිබුණා. ඔය සිද්ධිය
මගේ හිතේ මතුවෙමින් යට යමින් කාලයක් තිස්සේ තිබිලා තමයි වචනවලට පෙරළුණේ.
“ඔබ ඒවි කියා සිතුවා
හැමදාම සිහින මැව්වා
සුළඟෙ සුසුම් දවටා
හැන්දෑව සොවින් හැඬුවා“
මට ඕන වුණේ ඒ තරුණයාට පමණක් නොවෙයි ප්‍රේමයෙන් පැරදුන හිතකට දැනෙන විරහව පරිසරය තුළින් කියන්න.
වස්සාන සිහින පෙරදා
ඔබ ගාව තනිව රැඳුණා
රොබරෝස මලින් සඟවා
ගුරු පාර කඳුළු සැලුවා….
ඔබ ඒවි කියා සිතුවා
හැමදාම සිහින මැව්වා
සුළඟෙ සුසුම් දවටා
හැන්දෑව සොවින් හැඬුවා
කිසිදාක යළිත් නොඑනා
නුඹ දුන්නු හීන බිඳුණා
වැසි දියෙන් පාර පෙගුණා
නුඹගේම සුවද දැනුණා
සංගීතය සහ ගායනය – ලසන්ත අබේපාල
පද රචනය – යමුනා සරෝජනී ගුණවර්ධන